විදුර වීරබද්ධන උන්නේ සමුධ්‍යාවත් ප්‍රභාත්වත් මරණ තරම් තරහකය. ලක්ෂිත උන්නේත් ඒ තරම්ම කේන්තියකය. ඒ කේන්තිය දෙගුණ තෙගුණ වුණේ සමුධ්‍යා අයියා එක්ක හාද වී ඇති බව එළියේ සිට ඇතුලට තමා සොයා ආ පණිවිඩයක රැඳවී තිබුණ එකය.
“ඕකි එහෙනම් මට ගණන් ඔච්චර ඉස්සුවෙ අරූට රෙද්ද උස්සන්න නේද?” කියා හිතමින් ලක්ෂිත බිත්තියට වැරෙන් අත මිට මොලවා පහරක් එල්ල කරද හිත අස්සේ තිබුණ තරහ සම්පූර්ණයෙන්ම යවාගන්න ඒ පහරට උදව් වෙන්න පුලුවන්කමක් තිබුණේ නැත.
“මං ඕකිගෙ පස්සෙන් ඔච්චර ගිහිල්ලත් මට සෙට් කරගන්න බැරි වෙච්ච එකීව අරූ දවසෙන් දෙකෙන් සරෙන්ඩර් කරගත්තෙ කොහොමද? බැල්ලි. ඕකි මට ඔච්චර ගණන් උස්සන්න ඇත්තෙත් එහෙනම් ඒ වෙද්දිත් ඒකි මට කෙළවන ගේමක් අරූ එක්ක ගහන්න හිතාගෙන වෙන්නැති” කියා හිත කියද්දී ලක්ෂිත උන්නේ කෝපය මග හැරගන්න විදියක් හිතාගන්න නොහැකිවය. මේ කිසිවක් නොදන් අරුණ උන්නේ අම්මාව කොළඹ ගෙන්නා ගන්නට කටයුතු කරමිනි. තමන් කොළඹ එන දවසේ කොච්චර දේවල් කිව්වද අම්මා උන්නේ ඒ කිසිම දෙයක් අහන තැනක නොවේ.
“ඔයාට බය තියෙන්නෙ මම මේ ගෙදර තනියෙන් ඉන්න හන්දා කන බොන එකක් නෑ කියලනෙ. ඉතින් මොකෝ කොළඹ ගියා කියලා ඔයාට පැය විසි හතරෙම මං ළඟටම වෙලා ඉන්න පුලුවන්ද පුතේ? අනික මමත් ගියාම අන්තිමේ මේ ගෙවල් පාලුවෙලා ගිහිල්ලා මොකා ඇවිල්ලා මෙව්ව අස්සෙ රිංග ගනීවිද දන්නෙ නෑ. අනික මේ ගෙවල් දොරවල් පාලුවට ගියාම මිනිස්සු හිතාවි අපි සුන්නද්දූලි වෙලාම ගියා කියල. මම දැන් ඉන්නෙ කිසිම මනුස්සයෙක් විස්වාස කරන්න බැරි තැනක පුතේ, එහෙම එකේ තනියෙන් ඉන්න එක මගෙ හිතට සැනසීමක් ඔය නොදන්න තැන්වල ගිහින් ඉන්නවට වඩා”
“අම්මට ඒක සැනසීමක් උනාට මගෙ හිතට සැනසීමක් නෑ අම්මේ. මං කොච්චර ගින්දරකද ඉන්න ඕන අම්මා මේ තනියෙන් මේ විසාල ගෙයක් අස්සට වෙලා මොනවා කරනවා ඇද්ද කියලා?”
“ආහ් එතකොට ඔයා මේ මාව කොළඹ එක්කරගෙන යන්නෙ ඔයාගෙ ගින්දර නිවාගන්න නේද?” ඒ කතාව නතර වුනේ එතනිනි. අම්මා එක්ක ඔය වගේ දෙයක් කතාකර විසඳගන්න බැරි බව දන්න නිසාම ප්‍රභාත් එදා අම්මාගේ දෙපා නැමැද ආපසු කොළඹ බලා ආවේ බරැති හදවතකිනි.
සමුධ්‍යාත් ප්‍රභාතුත් මේ කේස් එක පිටිපස්සේ ඉන්න බව වගේම ඔවුන් දෙදෙනා අතර සබඳතාවයක් තියෙන බව දැන උන්නද විදුර කිසිවිටක ඒ පිළිබඳ කිසිම දෙයක් අනෝමා සමග කතාකරන්නට ගියේ නෑ. මක්නිසාද යත් තමන්ගේ බිරිඳ උනත් අනෝමා හැමදාකම මුල් තැන දුන්නේ මනුස්සකමට මිසක මුදලට හෝ බලයට නොවන බව විදුර දැන් උන් නිසාවෙනි. එහෙත් විදුර උන්නේ සම්පූර්ණයෙන්ම නිහඬ වී නොවේ. විදුර නිහඬ බවක් කිසිවෙකුට විශේෂයෙන් නොතේරෙන පිණිස විදුර වරින්වර පොලිසියට ගොස් පොඩි සද්දයක් බද්දයක් දමා තමන්ගේ ගැම්ම පෙන්නා ආවේය.
“සද්ද නැතුවම හිටියොත් මිනිස්සු දැනගන්නවා අපි සද්ද නැතුව ඉන්නෙ මොකක් හරි දෙයක් ප්ලෑන් කරන හන්දා කියලා. ඒ නිසා බොරුවට හරි අපි ගිහිල්ලා ඕකුන්ට පේන්න සද්දයක් බද්දයක් දාලා එන්න ඕන” කියා තමන්ගේ බත් බැලයන්ට කිව්වේද විදුරමය.
“අරුණ, ඔයාව හැමෝම දන්නෙ ප්‍රභාත් කියලනෙ ගමේ අය. එහෙම එකේ ඇයි ඔයා අරුණ කියලා පාවිච්චි කරන්නෙ? ඔයා අම්මගෙ සර්නේම් එක යූස් කරන්නෙ තාත්තගෙ වැඩවලට විරුද්ධ හන්ද කියල නම් මම දන්නවා”
“ම්ම්ම් මම හිතන්නෙ සමහරවිට මට උවමනා වෙන්න ඇති ගමේ උන්නු තාත්තට සම්බන්ධ මනුස්සයගෙන් සම්පූර්ණයෙන් මිදෙන්න වෙන්නැති. ඔයා ආස නැද්ද අරුණ කියනවට?”
“අනේ නෑ එහෙම එකක් නෙවෙයි මං ඇත්තටම දන්නෙ නැති හන්දා ඇහුවෙ? තරහද?”
“යාලුවෙච්ච අලුත එහෙම තරහා වෙන්න පුලුවන්ද?” කියා අරුණ වඩා ප්‍රේමණීය හඬක තැවරුණ ප්‍රේමණීය වදනක් දුරකතනය ඔස්සේ තමන්ගේ හදවත වෙත එවද්දී සමුධ්‍යා ප්‍රේමයේ පළමු හී සර පහරින් කිලිපොලා ගිය බව හැබෑවකි.
“ආහ් දැන් කවුද යාලුවෙච්ච දෙන්නා?” කියා සමුධ්‍යා ඇහුවේ ඒ කිලිපොලා ගිය හැඟීම අපහසුවෙන් මෙන් මදකට අමතක කර දමාය.
“ආහ් දැන් අපි දෙන්නා යාලුවෙලා නෙවෙයිද ඉන්නේ. මං හිතුවෙ මම ඔයා එක්ක යාලුයි කියලානෙ”
“වැරදිලා ලෝයර් මහත්තයට”
“කමක් නෑ. වැරදුණාද කියල බලන්නම්කො මං ආයෙ හම්බුනාම ටීචර් නෝනව. ඒක නෙවෙයි ආයෙ කවද්ද කොළඹ එන්නෙ?”
“ඉස්කෝලේ නිවාඩු දෙනවනෙ ලබන සතියෙ. විසි එක් වෙනිදා එන්න ඉන්නෙ හවස එන්නත් පුලුවන් ඕන නම් ඉස්කෝලෙ ඇරිලා. ඒ උනාට එතකොට කොළඹ එන්න පරක්කු වෙනවා අනේ”
“බස් තියෙනවා හැබැයි”
“ඔව් පිටකොටුව වෙනකම් තියෙනවා. එතන ඉඳල රෑ තනියෙන් යන්න වෙනවනෙ. මට ඒකට බයයි”
“හරි මෙහෙම කරන්න ඔයා විසි එක ඉස්කෝලෙ ඇරිච්ච ගමන් එන්නකො. පිටකොටුවට මම එන්නම් ඔයාව ගන්න. මං ඔයාව ඩ්‍රොප් කරන්නම් ගිහිල්ලා. අවුලක් නෑනෙ”
“අනේ ඔයාට කරදරයි නේද?”
“ඉතින් දරුවො මං ඇරෙන්න ඔයාගෙ කරදර වෙන කවුද කරන්නෙ? භාරගනී කියලා හිතාගෙන ඇත්තෙ මේ වගේ වද දෙන කෙල්ලන්ව වෙන කොල්ලො”
අරුණත් සමුධ්‍යාත් පළමු ආදරයක මිහිරියාව අස්සේ කැමැත්තෙන් සිර වී හිඳිද්දී රාජකාරිමය වශයෙන් අරුණ උන්නේ දෙව්නිත්, දිලානිත්, ළමා හා කාන්තා කාර්‍යාංශයේ අනෙක් සියලුම නිළධාරිනුත් සමග එක්ව සත්සරා සහ ලක්ෂිතගේ නඩුව සම්බන්ධ ඉදිරි විස්තර කතා කරමිනි.
ඒ කාමරය තිබුණේ සැඳෑ අඳුරෙන් සම්පූර්ණයෙන්ම වෙලී ගොසිනි. සිවිලිමේ එල්ලා තිබුන විදුලි පහන් වලින් බිඳී ආ ආලෝකයෙන් ඒ අඳුර මැකී ගිය නමුත් කාමරයේ උන් දිලානිත්, දෙව්නිත්, අරුණත් උන්නේ දිවා රෑ වන බව ගැන කිසිත් වගක් නැතුව මෙනි. දිලානි මේසයේ කෙළවරේ පුටුවක වාඩි වී, දෑත් බැඳ, ඇස් ඇය ඉදිරිපිට විවෘත ගොනුව මත යොමු කරගෙන උන්නේ දිගු කල්පනාවකය. ඇයට විරුද්ධ පැත්තේ, අරුණ නිහඬ සිතුවිලි ගොන්නක් අස්සේ අධිකරණ ලේඛන කිහිපයක් සෙමින් පෙරළා බලමින් උන්නේය.
“අපි හිතුවට වඩා මේ පොඩි කෙල්ලයි එයාගෙ ආච්චියි ටීචයි හරි හයියයි,” ඩිලානි පැවසුවේ මද සිනාවක් එක්කය. “සමහර දරුවො ඔය වගෙ දේවල් සද්ද නැතුව හංගගෙන ඉන්න වෙලාවක මේ දරුව ඔහොම දෙයක් කිව්ව එකම කොච්චර වටිනවද නේද?.”
“මේ වගේ කේසස් වලදි මට හම්බුවෙච්ච ගොඩක් දරුවො එක්ක බලද්දි මේ කේස් එකේ තියෙන ස්පෙශලටි එක වගේම අපිට තියෙන වාසියත් ඒක,” අරුණ පිළිතුරු දුන්නේ දෙනෙත් ඉහළට නොගනිමිනි. “අපි මේ වැඩේ ඉක්මන් කරන්න ඕනත් අන්න ඒ හන්දා. මොකෝ ඒ මිනිස්සු බය නැතුව ඇවිල්ල අපිට මේව කිව්ව එක අපිට සපෝට් එකක් උනාම සමහර අයට කෙලවෙන්න හේතුවෙන්නෙත් ඒකමනෙ.”
ඩිලානි ගොනුව වසා දමා මේසය දිහාවට හිස නැවුවේ වඩා පැහැදිලිව මේ කතාව අරුණට ඇහෙන පරිද්දෙනි. “අරුණ කියන කතාව් අහරි. අපි ටක්ගාලා නඩු වාරෙකට යන්න ඕන. දැනටමත් මේක ලේට්. අර යක්කු අරහෙ නැත්තම් ආමි එකක් හදනකම් අපි එක්ක යුද්ධ කරන්න අපි උඩ බලන් ඉඳියා වගේ වෙයි”
මේසය මත තිබුන දුරකතනය නාද වූයේ ඒත් එක්කමය. දිලානී ඒ ඇමතුම ගත්තේ සාමාන්‍ය පරිද්දෙන් නමුත් හෙලෝ කීමෙන් පසුව නිහඬ වුන දිලානිගේ ස්වරයත්, කුතුහලයෙන් වෙනස් වුන දිලානිගෙ මුහුනත් කියන්නේ තමන් බලාපොරොත්තු නොවුන අන්දමේ පණිවිඩයකින් බව තේරුම්ගන්න අරුණට අපහසු වූයේ නැත.
එමෙන්ම ඒ වනාහී නරක පණිවිඩයක් බවත් තේරුම්ගන්න අරුණට අපහසු උනේ නැත.