රාත්‍රියට ව්‍යායාම කරන එක සුදුසුයිද?

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කැමති ඔබ ව්‍යායාම වල නිරත වීම ඔබේ ජීවිතයේ අනිවාර්ය අංගයක් කරගෙන ඇති.බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ උදෑසන කාලයේ ව්‍යායාම කිරීමටයි.නමුත් රාත්‍රී කාලයෙ ව්‍යායාම කිරීම මගින් ඔබට ලබාගන්න පුළුවන් වාසි බොහොමයක් තියෙනවා.අද අපි ඔබට කියන්නේ ඒ ගැනයි.

ආතතිය දුරු කරයි 

රැකියා ස්ථානයේ කාර්යබහුල සහ දීර්ඝ දිනයක් ගතකරන ඔබ දවස අවසානයේ දී කායිකව වගේම මානසිකවත් ඉතාම වෙහෙසට පත්වී සිටීම සාමාන්‍ය කාරණාවක්.ඔබට ඔබේ මනස ලිහිල් කර ගෙන රාත්‍රී කාලයේදී සුව නින්දක් ලබා ගැනීමට නම් , සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ව්‍යායාම වල නිරත වීම ඉතාම හොඳ දෙයක්. 

මාංශපේශීන් ලිහිල් කරයි

කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබ අනිවාර්යයෙන්ම රැකියා ස්ථානයේදී පැය කිහිපයක් එක දිගට අසුන් ගෙන සිටිනවා ඇති.ඒ නිසා සවස් කාලය වන විට ඔබේ මාංශ පේශීන් තද වීමක් සිදුවීම වළක්වන්නට බැහැ.ඔබේ බෙල්ල ,  උරහිස් , ඉණ සහ පිටුපස ප්‍රදේශය යන ස්ථානවල මාංශ පේශීන් තද වීම නිසා රාත්‍රී කාලයේ දී ඔබට ශරීරයේ විවිධ ස්ථානවල වේදනාවක් දැනීම සිදුවෙනවා.තදවූ මාංශ පේශීන් ලිහිල් කර ගැනීමට නම් ඔබ ව්‍යායාම වල හෝ යෝගා අභ්‍යාස වල නිරත වීම කළ යුතුයි. රාත්‍රිය එයට හොඳම වෙලාවයි

නින්දේ ගුණාත්මක භාවය වැඩි කරයි 

ඔබ රාත්‍රියේ නින්දට යාමට පැය තුනකට පමණ පෙර ව්‍යායාම කිරීම මගින් ඔබට සුව නින්දක් ලබා ගන්නට සහ ගුණාත්මක නින්දක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.ව්‍යායාම කිරීමෙන් පසුව ඔබේ මාංශ පේශීන් ද ලිහිල් තත්ත්වයක පවතින නිසා සහ ඔබ වෙහෙස වී ඔබේ ශක්තිය නිසි ආකරයෙන් වැය වී තිබෙන නිසා ඔබට සුව නින්දක් ලැබෙන බවට කිසිම සැකයක් නැහැ. ඔබ රාත්‍රියේ දී සුව නින්දක් ලබා ගැනීම මගින් ඔබේ එළඹෙන දිනයද ඉතා ප්‍රබෝධමත් ලෙස ආරම්භ කිරීමට ඔබට හැකි වනවා.

පහසු උදෑසන චර්‍යාවක් ලැබෙයි 

ඔබ උදෑසන කාලයේ ව්‍යායාම වල නිරත නොවීමෙන් අදහස් වන්නේ ඔබට ඉතා සරල උදෑසන චර්යාවක් ඇති බවයි.ඒ නිසා ඔබට උදෑසන කාලයේ දී ස්වභාවධර්මය රසවිඳීම , කැමතිම ආකාරයේ කෝපි කෝප්පයක රස බැලීම සහ සෞඛ්‍ය සම්පන්න උදාසන ආහාර වේලක් ලබා ගැනීම වැනි ක්‍රියාකාරකම් වල නිරත වන්නට පුළුවන්. ඔබේ උදේ කාලය කලබලකාරී එකක් නොවන නිසා දවස පුරාම ඔබේ ඵලදායීතාවය ඉහල නංවා ගන්නටත් ,යහපත් මනෝභාවයක් ඇති කරගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා.

දිගු වේලාවක් ව්‍යායාම කිරීමට හැකිවීම 

දවස ආරම්භයේ දී ඔබට දවස තුළදී කළ යුතු වැඩ කොටසක් පිළිබඳව කාල සටහනක් තිබෙන්නට පුළුවන්. ඒ නිසා උදෑසන කාලයේ දී ව්‍යායාම සඳහා ඔබට වෙන් කරන්නට පුළුවන් වන්නේ කුඩා කාලයක් පමණයි. නමුත් සියලු වැඩ අවසන් කර ඇති සවස් වරුවේ ව්‍යායාම කිරීම මඟින් ඔබට ඒ සඳහා නිදහස් සහ දිගු වේලාවක් වෙන් කිරීමට හැකියාව ලැබෙනවා.

වඩාත් ඵලදායී වීම

බොහෝ දෙනෙකුගේ උදෑසන කාලය ඒ තරම් ජවසම්පන්න එකක් වන්නේ නැහැ. ඒ නිසාම උදෑසන කාලයේ ව්‍යායාම කිරීම නිෂ්ඵල කාර්යයක් බවට පත්වීමට ඇති ඉඩකඩ වැඩියි.මේ හේතුව නිසා මෙන්ම දවස පුරා ඔබ හොඳින් ආහාර ගැන ශරීරයේ ඇති ශක්ති ප්‍රමාණයත් වැඩි නිසා රාත්‍රී කාලයේ ව්‍යායාම කිරීම වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි එකක් වෙනවා.

දවස අවසන් කිරීමට විශිෂ්ට ක්‍රමයක් 

සමහරවිට දවසේ අවසාන පැය කීපය ගත කිරීම පිළිබඳව ඔබට ගැටළු මතුවෙන්න පුළුවන්. එහිදී මිතුරන් මුණ ගැසීමට යාම , අවන්හලකට ගොස් ආහාර ගැනීමට , පීසා එකක රස බැලීමට හෝ ඔබ පෙළඹිය හැකියි. ඔබ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ව්‍යායාම කිරීමට හෝ ජිම් එකකට යාමට පුරුදු වී සිටිනවා නම් ඔබට ඉහත කී සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවල් වලින් මිදෙන්නට අපහසු නෑ

රාත්‍රී කාලයේදී ව්‍යායාම කිරිමෙන් ඔබට ලබාගන්න පුළුවන් ප්‍රධානතම වාසි කීපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ. නමුත් මෙය සෑම කෙනෙකුටම ප්‍රතිඵල ගෙන දෙන්නේ නැහැ. එය එකිනෙකාගේ ජීවන රටාව , රැකියාව සහ කාර්යබහුල බව අනුව වෙනස් විය හැකියි. ඒ නිසා ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය වන ව්‍යායාම වල නිරත වන වේලාව ඔබේ තෝරා ගැනීමක් විය යුතුයි . 

Related Articles

Don't Miss


Latest Articles