නහර මතු වුණාට මුහුණ රතු කරගන්න එපා

පාදවල නහර ඉලිප්පීම, නහර විස්ථාරණය වීම මැදිවයසේ කාන්තාවන් බොහෝ දෙනෙකුට මතුවන අපහසු තත්වයක්. මේ වෙනුවෙන් මැසිවිලි නමින් මුහුණ රතු කරගැනීම පලක් නැහැ. ඉතා ඉක්මණින් ඊට සුදුසු පිළියම් යෙදීමයි, ඔබ කරන්න ඕනේ.  වෛද්‍ය විද්‍යාවේ Varicose තත්වයක් හැටියට මෙය හඳුන්වනවා. දවසේ දීර්ඝ වේලාවක් හිඳගෙන හෝ සිටගෙන ගතකරන අයට, අඩි උස පාවහන් නිතර නිතර පළඳින අයට, එසේත් නැතහොත් දෙපාවලට හිර පාවහන් නිරන්තරව පළඳින අයට, ගර්භනී කාන්තාවන්ට දෙපාවල නහර ඉලිප්පීමේ තත්වයන්ට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන බව වාර්තා වනවා.

Varicose තත්වයක් ඇති වූ විට  දෙපාවල එම ස්ථාන තද දම්පැහැයෙන් හෝ තද නිල් පැහැයෙන් යුක්තව නහර ඉලිප්පී දෙපා අවලස්සනට දිස් වෙනවා. මෙවැනි තත්වයක දී දෙපා නිරාවරණය වන ඇඳුම් ඇඳීම පවා අපහසුයි. කොහොම වුණත් මේ තත්වය පාලනය කරගන්නට ඕනෑම කාන්තාවකට ම අපහසු නැහැ. විශේෂයෙන් ම ගර්භනී සමයේ දී කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන Varicose තත්වය ප්‍රසූතියෙන් පසු යථා තත්වයට පත් වෙනවා. එය දිගුකාලීන ව පවතින තත්වයක් නොවෙයි. එහෙත් වයස්ගතවීමත් සමඟ දෙපාවලට දක්වන අවධානය අඩුකරදැමුවොත් මේ තත්වය යටපත් කරගන්නට අපහසුයි. මේ නිසා මුහුණට, ඇඟට දෙන අවධානය දෙපාවලටත් ජීවිත කාලය පුරා ම ලබාදීම අත්‍යවශ්‍යයි. ජීවිත කාලය පුරාවට ම නහර විස්ථාරණය වීම වළක්වා ගන්නට සහ දෙපා අවලස්සනවීම නතර කරගන්නට නම් මේ උපදෙස් ඔබට ඉතා වැදගත් වේවි.

  • දෙපයට උචිත ව්‍යායාම ලබාදෙන්න.
  • වැඩිවශයෙන් තන්තුමය ආහාර අනුභව කරන්න.
  • අඩි උස සහ පාදවලට අපහසු, හිර පාවහන් නිතර පැළඳීම නතර කරන්න.
  • හැකි සෑම විට ම පාදවලට විවේකය, සැහැල්ලුව ලබාදෙන්න.
  • මේස් පළඳිනවානම් පාවලට ලිහිල් දහඩිය උරාගන්නා මේස් පළඳින්න

දැනටමත් නහර මතු වී දෙපා අවලස්සන වී ඇත්නම්,

නහර මතුවූ මූලික අදියරේ දී ඔබට නිවසේ දී ම කළ හැකි ප්‍රතිකාර කිහිපයක් තිබෙනවා.

ව්‍යායාම සහ සම්බාහනය

ඇඳක හෝ බිම වැතිරී පපුව තබාගෙන සිටිනවාට වඩා උස් පිහිටීමක ඔබේ දෙපා විනාඩි 15ක් පමණ ඔසවා තබන්න. ඒ සමඟ ම වළලුකර කරකවන්න. පාදවල සමට යටින් පිහිටා ඇති අනවශ්‍ය මේදය දහනය කිරීම සඳහා පාද සම්බාහනය කිරිම කළ යුතුයි. එමඟින් රුධිර සංසරණය ක්‍රමවත් වෙමින් ස්නායු උද්දීපනය වී ශරීරයේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වීම සමඟ පාදවල අනවශ්‍ය මේදය දහනය වනවා.

දෙපා සම්බාහන ක්‍රම

  • ඔලිව් තෙල් සමඟ විටමින් E මිශ්‍ර කර දිනකට දෙවරක් සම්බාහනය කරන්න.
  • කපාගත් පාස්ලි කොළ අහුරකට වතුර දමා තම්බාගන්න. එයට රෝස තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ශීතකරණයේ තබා පසුව පුළුන් කැබැල්ලක් මඟින් ඉලිප්පී ඇති නහර මත ආලේප කරන්න.
  • හිර පාවහන් පැළඳීම නිසා ඇති වූ Varicose තත්වයකින් දෙපා ආරක්ෂා කරගන්නට නම්, එවැනි හිර පාවහන් පැළඳ ගමන අවසන් කළ වහාම දෙපාවල විඩාබර බව මඟහැරෙන්නට දෙපා ඇඟිලි මතින් ටික දුරක් ඇවිදින්න. මඳ උණුසුම් ජලය විනාඩියක කාලයක් දෙපා මතට වත් කරන්න. ශීත කළ ජලය ද ඒ අයුරින් ම විනාඩියක කාලයක් දෙපා මතට වත්කරන්න. පසුව තෙත මාත්තු කර දණිස් දක්වා ඉහළට මසාජ් කරන්න. පොල් විනාකිරි ස්වල්පයක් මඳ උණුසුම් ජලයට දමා දෙපා ඒ මත දමාගෙන හිඳීම තවත් පිළියමක්. ඉන් අනතුරුව පාද හොඳින් තෙතමාත්තු කර වියළාගැනීමටත් අමතක කරන්න එපා.

කාලාන්තරයක් තිස්සේ දෙපාවල නහර මතුවීමේ තත්වය නිසා පීඩා විඳිනවානම් නිවසේ සිට කරන මෙවැනි මූලික ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එවැනි තත්වයක දී හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත්. ඇතැම්විට මෙවැනි තත්වයන් දිගින් දිගට ම නොතකා හැර කටයුතු කිරීම, කල්දැමීම හෝ අමතක කිරීම දිගුකාලීන ව ඔබේ සිරුරේ පැවැත්මට ඉතා අහිතකර විදියට බලපාන්නටත් ඉඩ තිබෙනවා.

හිස, මුහුණ, දෙඅත්, සිරුර වගේ ම ඔබේ දෙපතුල්වලටත් උපරිම අවධානය, ආදරය, රැකවරණය නිරන්තරයෙන් ලබාදුන්නොත්, පිරිපුන් ලස්සනකට හිමිකම් කියන යුවතියක් වෙන්නට ඕනෑම කාන්තාවකට පුළුවනි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles