පෙමාතුර – 28 කොටස

නික්මෙන්නට පණ ගැන්වී තිබි රියෙහි එන්ජිම විසල් විසින් නවතා දමන ලදී. ඒත් එක්ක ම සුසුමක් ගිලිහෙන්නට ගිය මගේ පපුව මම සුරතින් තද කොට ගතිමි. විසල් පිටුපස හැරී හෙළූයේ දැවී අළු වී යන විදිහේ බැල්මකි.

“දැං ඔහොම හිර වෙලා හතර දෙනෙක්ට යන්න පුළුවන්ද…”

ඊළඟට ඔහු ඉෂිනි දෙස බලාන තදින් ප්‍රශ්න කළේ ය.

“ඇයි එදා ගෝල් ෆේසුත් ගියේ මෙහෙම හතර දෙනාම”

ඇය මුරණ්ඩු ලෙස එකට එක කීවා ය.

“ඒ වගේ පොඩි දුරක්ද මේ යන්න තියෙන්නෙ…”

“දුර අදාල නෑනෙ”

“ඔහොම හිර වෙලා කොහොමද යන්නෙ මනුස්සයො..”

“පුතා..”

විසල් ගේ අම්මා ඔහු වෙතට හෙළුවේ තරවටු බැල්මකි. ඉෂිනි ගේ මවු ගේ ද මුහුණේ හොඳක් වූයේ නැත. පිටස්තරයන් ඉදිරියේ විසල් සිය අනාගත සහකාරිය ට මේ විදිහට සැලකීම ගැන ඔවුන් ගේ හිත් වල නොරිස්සුමක් ඇති ව තිබෙනවාට සැක නැත.

“මං කියන්නද…බස් ස්ටෑන්ඩ් එකේදි මාව කොළඹ බස් එකකට දාන්නකො. මං බස් එකේ එන්නං”

ඒ වෙලාවේ හැටියට තිබිය හැකි හොඳ ම විසඳුම මම ඉදිරිපත් කළෙමි. හැම විට ම ජීවිතය අප පතනා දේ ම ලබා දෙන්නේ නැත. අපට ලැබෙනා දේ ජීවිතය ලෙස පිළි ගන්නට තරම් අප නිහතමානී විය යුතු ය. සන්සුන් විය යුතු ය.

“එහෙනං ඉෂිනිත් ඒ දුවත් එක්ක බස් එකේ යන්න. එයාව තනියම යවන්න හරි නෑනෙ”

එවර විසල් ගේ අම්මා මගේ යෝජනාවට තවත් යමක් එක් කළා ය.

“නෑ..ඒකට කමක් නෑ. මට තනියම පුළුවන්. අනික මං ආසයි දුර ගමනක් තනියම බස් එකේ යන්න”

මා කතා කළේ සිනහ වී ගෙන ය. නමුත් ඇතුළාන්තයෙහි වූයේ ඉකි ලලා හැඬිය හැකි දුකකි. කිසිවෙකු ඉදිරියේ කඳුළු නො පෙන්විය යුතු ය කියා මම සිතමි. හඬන්නට ඕනෑ නම් හැඬිය යුත්තේ කිසිවෙකුට නො දැනෙන නො පෙනෙන සේ තනිව ය.

විසල් කතා බහකින් තොර ව යළි රිය පණ ගන්වා ගත්තේ ය. ඔහු එය ධාවනය කළේ වැඩි වේගයකින් හිතේ තිබෙනා ආවේගය පහ කර ගනු වස් විය යුතු ය. රිය තුළ කිසිවෙකු කතා කළේ නැත. හැම හිතක ම විවිධ සිතිවිලි සේනා ක්‍රියාත්මක වෙමින් තිබෙන්නට ඇත.

නගරයට ආසන්න වෙත්දී සනෝජා පුංචි කතා කළා ය.

“විසල් අපිව බස් ස්ටෑන්ඩ් එකෙන් දාන්නකො. මායි කිසායි හරි මායි නදීරායි හරි බස් එකේ එන්නං”

ඇය ගේ පුරුදු මඳහස, කවුරුන් ගැනවත් අමනාපයක් කියා පාන්නේ නැති ව සාමාන්‍ය ලෙස ම විය. කිසිදු හැඟීමක් මත සිය බාහිර ඉරියව් වෙනස් නොකරන්නට පුංචී ට මනා හික්මීමක් හා පුහුණුවක් තිබිණි.

“ඔව් ඒක හොඳයි”

අම්මා ද ඒ අනුමත කළා ය.

“නෑ යංකො ඔහොම..යන්න අමාරු වුණොත් මගදි බස් එකකට නගිමු”

විසල් හෙමිහිට මුත් ස්ථිර ලෙස කීවේ ය. ඒ හඬින් මට දැනුණේ ඔහු බිඳී ඇති බවයි. මට ඔහු ගැන දුකක් නො දැනුණා නොවේ. නමුත් මෙතැන වැරදිකරුවන් ඇත්තේ නැත. අප කාටවත් අනුන් මත පැටවිය හැකි වරදක් නො වන්නේ ය. අපි කරන්නේ උනුන් හට ආදරය කිරීම පමණකි. ඒ ආදරය එකිනෙකා ට පිළි ගත හැකි හා විඳ ගත හැකි ප්‍රමාණයන් හි වෙනස්කම් තිබිය හැක. නමුත් ආදරය වරදක් යයි කාට නම් කිව හැකි ද?

විසල් වරින් වර තැන් තැන් වල රිය නතර කළේ අපට යම් අපහසුවක් දැනේ නම් එය සන්සිඳුවා ගැනීම සඳහා ය. ඉතා ඉක්මනින් ම පුංචි හා නදීරා සාමාන්‍ය කතා බහකට පිළිපන්හ. ඉෂිනි ගේ සිතිවිලි සාමාන්‍ය අතට හැරවීම එහි අරමුණ බව මම දනිමි. සත්තකින් ම ටික වෙලාවකින් සියල් නො රුස්නාකම් පහ ව ගොස් ඇය සිනහ වෙවී අපේ කතා බහට එක් වූවා ය.

ගින්දර තිබුණේ මගේ පපුවේ ය. විසල් ට දිගට ම තරහ පෙන්වා ගෙන සිටිත හැකි විය. නමුත් මම හැම පැත්තෙන් තැලෙනා වූ යකඩය වූයෙමි. තැලෙන්නට තැලෙන්නට මුවහත් වන යකඩයක් සේ ම මම දුකට පදම් ව ද සිටියෙමි.

ආපසු එන ගමන හුඟක් දිගු වූවා සේ ය. අතර මගක දී ඉෂිනි ඇය නවාතැන් ගෙන සිටි බෝඩිමට කතා කළා ය. ඇය නික්ම ගිය නිසා කාමරය වෙනත් තැනැත්තෙකුට ලබා දුන් බව කියවිණි. ඒ අනුව ඊළඟ පැනය වූයේ ඇය ට අලුත් නවාතැනක් සොයා ගැනීමයි.

“ඔයාගෙ තියෙන මුරණ්ඩු කම නිසයි හැම දේම. හිතිච්ච ගමන් යන්නයි හිතිච්ච ගමන් ආපහු එන්නයි..හැබැයි දැන් මටනං වදයක් වෙන්න එපා බෝඩින් හොයල දෙන්න කිය කිය. එච්චරයි කියන්න තියෙන්නෙ”

“දැන් කවුද ඔයාට කිව්වෙ මට බෝඩින් හොයන්නයි කියල…ඒක මං කර ගන්නං”

විසල් ගේ කේන්තියට වඩා දෙතුන් ගුණයක කේන්තියක් ඉෂිනි පෙන්වූවා ය. මේ වාගේ කලබලකාරී පරිසරයකට වඩා බස් එකේ එන්නට තිබුණා නම් නිදහස් ය කියා මට නො සිතුණා නොවේ.

“දැන් ඉතින් ඔහොම රණ්ඩු වෙලා හරි යන්නෙ නෑනෙ බං. උඹල දෙන්න නිකං මේ…කසාද බැඳල අවුරුදු ගාණක් ගිහිං එපා වෙලා ඉන්න ජෝඩුවක් වගේනෙ”

නදීරා මැද්දෙන් පැන්නේ සැබවින් ඒ ආරවුල දුර දිග යා හැකි බව පෙනුණ නිසා ය.

“නෑ අක්කෙ දැන් බලන්නකො පැනගෙන ආවට මෙයා කොහෙද නතර වෙන්නෙ කියල..”

“නතර වෙන්න තැනක් නැති වුණොත් මං ඔයාගෙ තැනට එන්නංකො”

විසල් ගේ රවන ඇස් දෙක ඉදිරි කැඩපතින් මම හොඳට ම දුටිමි.

“එන්න එපා කියනවනං පාරෙ හරි නිදියන්නං. එච්චරයි. ඔයා කලබල නොවී ඉන්නකො”

බැඳීම් කියන දේ හිතට වදයක් නොවීම කෙතරම් වැදගත් දැයි මට සිතිණ. කවර බැඳීමක් හෝ මේ විදිහට කරදරයක් සේ සංවේදනය වීම මට නම් තවත් එතැන රැඳී ඉන්නට බැරි හේතුවක් වන්නේ ය. විසල් කෙරේ මගේ ප්‍රේමය කිසිදු වැට කඩොල්ලකින් හෝ බලහත්කාරයකින් තොර නිදහස් හැඟීමකි.

අප වෙනසක් නැති ය කියා අපට ම පෙන්වා ගන්නට හැදුවාට ආපසු එන ගමන හිත් වලට නිදහසක් දැනවූයේ නැත. මම මගේ සුසුම් මගේ පපුවේ ම හිර කර ගෙන සිටියෙමි. ඒ සුසුම් බැහැර වූයේ අපේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු කොට රිය නවතද්දී ය.

“මොනා වුණත් ගෑනු ළමයෙක්නෙ. කොච්චර කොහොම කිව්වත් ඉෂිනිට දැන් විසල්ගෙ තැන නතර වෙන්න බෑනෙ. එහෙමයි කියල ගෑනු ළමයෙක්ට පාරෙ නිදියන්න කියල අහක බලා ගන්න අපිට බෑ. ඒක නිසා බෝඩිමක් හොයා ගන්නකල් ඉෂිනි මෙහෙ ඉන්න”

අම්මා අවසාන තීන්දුව දුන්නා ය. මට සැනසීමක් දැනුණේ ඇයි? ‘ඕන දෙයක් වෙන්න අරින්නයි තිබුණෙ හිතුවක්කාර කම නිසා’ කියා මට නො සිතුණේ ඇයි? මම නො දනිමි.

ඒ අනුව නදීරා සිය කාමරය හා යහන ඉෂිනි සමගින් බෙදා ගන්නට කැමති වූවා ය. අම්මා ඉෂිනි ව මගේ කාමරයට නො එවීම ගැන මම දෙවියන්ට පින් දුන්නෙමි. ඒ, මගේ නිදහස ඉන් අහිමි විය හැකි ව තිබි නිසා ය.

“සොරි”

නිදන්නට කාමරයට ගිය ඉක්බිති ජංගම දුරකතනය ට විසල් ගේ ඒ කෙටි පණිවිඩය ආවේ ය. කියන්නට යමක් මට වූයේ නැත. ඔහු සමාව අයැද සිටින්නට හේතුවක් ද නැත්තේ ය. එහෙයින් මම මඳ සිනහ මුහුණක් යවා ඇඳට වැටුණෙමි.

ඉදිරි දවස් කෙසේ වනු ඇති ද කියා සිතා ගත නො හැකි ය. විසල් හා විවාහ වීමට සිටිනා ඉෂිනිත්, ඔහු ට පෙම් කරනා මමත් යන දෙදෙනා ම දැන් එක වහලක් යට ජීවත් වන්නෙමු. ඔහු අප දෙදෙනා ගේ ම ඇස් මානයෙහි සිටියි. මා හා ඔහු අතරේ එහෙව් ඇසුරක් ඇති බව දැනට ඇය දන්නා බවක් පෙනෙන්නට නැත. එසේ හෙයින් සියලු බර තනි ව උහුලා ගත යුත්තේ මම ය කියා සිතමි. එක අතකට ඒ අනුන් ට අයත් පුරුෂයෙකු ට පෙම් කිරීම වෙනුවෙන් ලැබුණ දඬුවම වන්නට බැරි නැත.

උදේ ම මා දුටුවේ විසල් එවා තිබි විද්‍යුත් ලිපියකි. ඔහු එය බෙහෙවින් රෑ බෝ වන තුරු ලියා එවා තිබුණ බවක් පෙනිණ.

“කිසා, මන් දන්නව මේක දරා ගන්න හුඟක් අමාරු දෙයක්. ඒත් අමාරුවෙන් වුණත් ඔයා දරා ගන්න බවත් මං දන්නවා.

ඉෂිනිට කවදාවත් ආදරේ කරන්න මට ඕන වෙලා නෑ. ආදරේ කරලත් නෑ. පොඩි කාලෙ ඉඳලම සමහර වෙලාවට මට වදයක් වෙන තරමට එයා ඇඟේ එල්ලි එල්ලි ආව තමයි. වදයක් බව ඇඟෙව්වට ඒකෙන් මිදෙන්න දැනෙන දෙයක් නොකරපු එක ගැන මං දැන් දුක් වෙනවා.

එක අතකට මං එහෙම ලොකු විරෝධයක් නොපාන්න ඇත්තෙ,  එහෙම කරන්න එයාට විශේෂ කැමැත්තක් නැති වීම ඇරෙන්න ලොකු හේතුවක් නොතිබුණ නිසා වෙන්න ඇති. ඒ කියන්නෙ මගෙ හිතේ කැමැත්තක් ආදරයක් ඇති කරපු කෙනෙක් හිටියෙ නැති වීම. මේක මගෙ පැත්ත නිදොස් කර ගන්න කරන පාපොච්චාරණයක් කියල හිතන්න එපා. කිසා, ඔයාට ආදරේ දැනෙන්න ගත්තට පස්සෙ මට තේරුණා මං කොයි තරං මාව අත් ඇරල දාලද ඉඳල තියෙන්නෙ කියල.

දැන් මට ඕනෙ ජීවත් වෙන්න. ඔයත් එක්ක වගේම මාත් එක්ක. ඒත් ඒක පහසු දෙයක් නෙවෙයි කියල මට වගේ ම ඔයාටත් තේරෙනව ඇති. මාව ලැබුණෙ නැති වුණාට කමක් නෑ ඔයා ආදරේ කරනව විතරයි කියල හිත නිදහස් කර ගන්න ඔයාට පුළුවන්. ඒත් මට බෑ. මට දැන් තියෙන්නෙ නිදහස් හිතක් නෙවෙයි. ඒත් මට ඕනෙ නිදහස් වෙන්න.

ඒක කෙලින් ම කියපු නිසා තමයි අම්ම මාව තව දුරටත් පාලනය කර ගන්න මැහි තෙල් බොන්න ගියේ. අම්මලගෙ පොරොන්දු වෙනුවෙන් මගෙ ජීවිතේ බිල්ලට දෙන්න බෑ කියල මං කියලයි ආවෙ. ඉෂිනි දන්නය මං එයාට කවදත් ආදරය නොකළ බව. අනුබල දුන්නෙත් නැති බව. එයාගෙ හැසිරීම් ඉවසුවෙත් කේන්තියෙන් බව. ඒත් දැන් එයා ට පුළුවන් වෙයි ඔයාගෙ හිතට ගොඩක් වද දෙන්න. එයා බොරුත් මවාගෙන කියයි. ඔයාගෙ හිත ගැන මට බයයි. මං මේ වෙලාවෙ හුඟක් අසරණයි. ඉෂිනි පාවිච්චි කරන්නෙ මං කවදාවත් දීල නැති ඒත් ගෙවල් වලින් එයාට ලැබිල තියන අයිතිය. හැබැයි මගෙ හිත කවදාවත් එයාට අයිති වෙලා තිබුණෙ නෑ කියල එයා දන්නව.

ගමේදි එයා මගෙ කාමරේට එනව. ඒකට තහනමක් ගෙවල් දෙකෙන්ම තිබුණෙ නෑ. ඒක නිසා මගෙ තහනමෙන් වැඩක් වුණෙත් නෑ. කොළඹ ආවම එයත් කොළඹ ආව. මොනා වුණත් එයාට මෙහෙ ඉන්නෙ ම විතරක් නිසා මං හොයල බැලුව තමයි. එදා ප්‍රොටෙස්ට් එකේදි එයා මගෙ මූණ ඉඹිනව ඔයා දකින්න ඇති. ඒ එයා එහෙම කරපු මුල් වතාව නෙවෙයි. ගමේදිත් එහෙම හැසිරිලා තියෙනව. මගෙ අකමැත්ත කවදටත් එයාට වගක් වුණෙ නෑ.

හැබැයි දැන් එහෙම දේවල් වෙන්න බෑ කියල මං හිතනව. ඔයා එහෙම දෙයක් ආයෙ එක වතාවක්වත් දකින්න ඕන නෑ. මං අම්මට කියලයි ආවෙ මගෙ පරම්පරාවෙ දේපල ඕන නෑ කියල. මේ තත්වෙ දැනෙන්නෙ එහෙම තත්වෙකට මූණ දෙන කොල්ලෙක්ට විතරයි.

ඔයා හිනා වෙවී වුණත් දුකෙන් ඉන්න ඕන නෑ. ඒත් මං කිව්වට ඒක වෙනස් වෙන්නෙ නැති බවත් දන්නවා. දැනට ඔයා මාව විශ්වාස කර ගෙන හිටියොත් ඇති. ප්‍රශ්න විසඳගන්න මට පුළුවන්. ” ඒ ලිපිය එසේ ය. හැල්මේ එය කියවා ගෙන ගිහින් මම සුසුමකින් මිදුණෙමි. මා පහළ මහළට බසිත්දී මුලින් ම හමු වූයේ ඉෂිනි ගේ සිනහ වත ය. බඩ පපුව දැවී යනවා මට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...