හිමගිරි අරණ -35

“මට ගෙදරින් ප්‍රපෝසල්ස් හොයනව.”

පාරමී එක් දිනයක හිමාෂාට පැවසුවේ දැඩි කෝපයකින් මුව සරසා ගනිමිනි.හිමාෂා මිතුරිය දෙස බැලුවේ කාරුණික දෑසිනි.ඈ හිඳින්නේ කෝපයෙන් ද දුකකින් ද යන්න හිමාෂාට තෝරා ගන්නට අසීරු තරම් ය.එනිසාම ඇය මිතුරියගේ අත සෙමින් පිරිමදින්නට වූවා ය.

“දැන් ඔයා කසාද බඳින වයසට ඇවිල්ලනේ.අම්මලාට එහෙම හිතෙන එක සාධාරණයි නේද? ඔයාට කසාදෙකට හිත හදා ගන්න බැරිනම් ඒක අම්මලත් එක්ක කෙලින් කතා කරන එක හොඳයි පාරෝ.නැත්නම් වෙන්නේ ඔයාලා ඔක්කොම හිත රිද්ද ගන්න එක.”

පාරමී නොසන්සුන්ව අතැඟිලි මිරිකන්නට වූවා ය.ඇයට රිසි දෙයක් කියන්නට හැර හිමාෂා බලා සිටියේ ඉවසීමෙන් ය.

“මට කසාද නොබඳින්න ඕන නෑ.ඒත් මට බඳින්න ඕන මනුස්සයා මට කැමති නෑනෙ.”

පාරමී ගැන හිමාෂාට ඉපදුණේ දුකකි.මොනතරමට තේරුම් කර දුන්නද රවිඳුගේ ආදරය හිමි නොවන බව ඇය තේරුම් ගන්නේම නැති තරම් ය.

“මට මෙහෙම දෙයක් හිතෙනවා.ඒත් ක්‍රියාත්මක කරන්න නම් මට ටිකක් බයයි.”

හිමාෂාගේ අත තදින් අල්ලාගත් පාරමී පැවසුවේ පහත් හඬකිනි.සමහර අදහස් සිතට නැගුණු විට එතරම් දුර නොපෙනෙන බව හොඳින් දන්නා හිමාෂා මිතුරිය දෙස බලා සිටියේ පුදුමයෙනි.

“මං හිතුණොත් අම්මලාට රවිඳු ගැන කියනවා.”

ඒ කතාවට වෙනදා නූපදින තරමේ බියක් ඇති වන්නේ ඇයිදැයි හිමාෂා දැන සිටියා ය.ඇයට පාරමී මෙන් රවිඳු දිනා ගන්නට ආශාවක් නොවේ.නමුත් ඔහු අහිමිව යෑමේ වේදනාව ඇයට දරන්නට අපහසු තරම් ය.යෝජනාවක් වී මතු වුවහොත් පාරමීගේ යෝජනාවට රවිඳුගේ නිවසින් අකමැති වන්නට ඉඩක් නැති බව හොඳින්ම දන්නා හෙයින් හිමාෂාට වචන කරගත නොහැකි වේදනාවක් දැනෙන්නට විය.දරුවෙකු සිටින අම්මා කෙනෙකු ද යුවතියක ද අතරින් රවිඳුගේ මාපියන් අනිවාර්යෙන් තෝරාගන්නේ පාරමී වග හිමාෂාට සක්සුදක් සේ විශ්වාස ය.

“ඕක හරි පරිස්සමින් කරන්න ඕනේ වැඩක්.”

ඇයට එසේ කියන්නට සිතුණේ සැබෑවටම පාරමී ගැන උපන් මිත්‍ර ස්නේහය නිසා ය.

“රවිඳු එක වතාවකුත් ඔයාට කිව්වනේ එයාට ගර්ල් කෙනෙක් ඉන්නවයි කියලා.ප්‍රපෝසල් එකක් විදියට ඔයා ගැන එයාගෙ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර අය ඔයාට කැමති වුණා කියමුකො?රවිඳු අකැමැති වුණොත්?”

පාරමී මිතුරියගේ මුහුණ දෙස බලා හිඳ දඟකාර සිනාවක් මවා ගත්තා ය.ඇතැම් සටන් කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතුව ඇත.ඒ වෙනුවෙන් තෝරා ගන්නා සමහර මාර්ග යහපත් ඒවා වන්නට ඉඩක් නොමැති වග ඇය දැන සිටියා ය.නමුත් අරමුණ ජයග්‍රහණය කරන්නට නම් කපටිකමක් කිරීම නරක නැති බව පාරමී නැවත නැවතත් සිතන්නට වූවා ය.

“මං කියන්නෙ නම් මෙච්චරයි.පරිස්සමින්.”.

හිමාෂා ලිපිගොනුවක් වෙත දෑස් යොමුකර ගත්තේ එපමණක් පවසා ය.ඈත මේසයක සිටින රවිඳු දෙස ඇය එක් බැල්මක් පමණක් නැඟුවා ය.ඔහු හිඳින්නේ තමන් ගැන ප්‍රේමයෙන් යැයි පවසා කමකට නැති බලාපොරොත්තුවක් සිතේ රෝපණය කළ නැගණිය ගැන ද ඇයට ඇති වූයේ කෝපයකි.ආදරය කියන්නේ ඉරිසියාවට ළඟ හැඟීමක් ද වේදනාවට ලඟ හැගීමක් ද තෝරා ගත නොහැකිව හිමාෂා යන්ත්‍රයක් මෙන් වැඩෙහි යෙදෙන්නට වූවා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles