ශරදාකාසේ -32

වියරු, දරුණු, කුරිරු නිහැඬියාවක් තත්පර කිහිපයක් පුරා එක ම තැනක නතර වී තිබුණේ ය.හරියට ලෝකය මොහොතකට නතර වූවාක් මෙනි. සියලු දෙනා ගේ කන් අගුලු වැටී ඇති හෝ හඬක් පමණක් ඇසෙමින් තිබිණ. නමුත් ‘තාත්ති’ යනුවෙන් එසඳි නැගූ කෙඳිරිල්ල හැම හදවතක ම බිත්ති වල හැපෙමින් යළි යළි ප්‍රතිරාව නැංවුණේ ය. ඒ හඬ ඇසුණේ සවන් වලට නොව හදවත් වලට ය. 

ටික ටික ඒ වියරු සුළි කුණාටුව ඈතකට පලා යන්නට විය. බෝධි වෘක්ෂයේ පත්‍ර සෙලවෙනා සිලි සිලිය ඇහෙන්නට පටන් ගති. අභ්‍යන්තර යුධ හා සටන් වලින් අනතුරු ව තම තමන් තනි තනි ව සන්සුන් වෙමින් ද යථා තත්වයට පත් වෙමින් ද යථාව අවබෝධ කර ගනිමින් ද සිටියහ.

“සුදූ…”

ශාරද එසඳි වෙත පහත් වෙමින් ඇය වඩා ගන්නට දෑත් පෑවේ ය. ඔහු ගේ ඇස් වල ආදරය විය. ඒ ආදරය හඳුනා ගත් නිශාමනී දෙතොල් තද කර ගෙන ඇස් වලින් සිනහ වූවා ය. නමුත් එසඳි ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් කිසිවෙකු බලාපොරොත්තු වූ ආකාරයකට නොවේ. නිශාමනී ගේත් ආකාස ගේත් අත් දෙක අත් හළ ඕ, ආකාස දෙසට හැරී දෑතින් ම ඔහු ගේ දෙපා බදා ගත්තා ය. 

“ඇයි මැණික”

ආකාස දැරිය ළඟ පහත් වෙමින් ඇය වඩා ගත්තේ වඩා සුරක්ෂිත හැඟීමකින් ඇය නැහැවී යන සේ කුරුළු කොට ගෙන සිප ගනිමිනි.

“තාත්ති ලඟට යන්න පුතා”

නිශාමනී හෙමිහිට කීවා ය.

“මට බෑ”

කියමින් ඇය ආකාස ගේ ගෙල වැළඳ ගත්තා ය. එය කිසි සේත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ තත්වයක් වී ද, ශාරද හෝ පංචලී ඉන් අපහසුවට පත් නො වනු වස් නිශාමනී මඳහසකින් පංචලී වෙත යොමු වූවා ය.

“ඉතිං කොහොමද ඔයාට දැන්…”

ඇය පංචලී ගේ අතක් ද යන්තමට අල්ලා ගෙන සිටියා ය.

“දැං ළඟ ඇති නේද ඩිලිවරි එකට…”

“ලබන මාසෙ නිශාමනී”

“පුතෙක් හම්බෙයි නේ…”

“ස්කෑන් එකෙන්නං කිව්ව පුතෙක් කියල”

“ඒක හොඳයි. හම්බුණාම අපි එන්නංකො මල්ලි බබා බලන්න. නේද එසඳි පුතා…”

නිශාමනී, ආකාස අත උන් එසඳි ගේ අතකින් අල්ලා ගෙන පිරිමැද්දා ය. ඇය ආකාස ගේ ගෙලෙහි මුහුණ සඟවා ගෙන සිටියා මිස හිස එසවූයේ හෝ නැත. ශාරද ගේ මුහුණ දියණියගේ ප්‍රතික්ෂේප කිරීමත් සමග ශෝකාකූල වී අසරණ වී ඇති සැටියක් නිශාමනී හොඳින් ම නිරීක්ෂණය කළා ය.

“එසඳිගෙන් වදේ පන්සල් යන්න ඕන කියල. ආකාසටත් කරදරේ දැන් මේ ළමය නිසා. අපේ අම්මයි තාත්තයි එක්ක කොහෙවත් යන්න කැමති නෑ. තාත්ති නැත්තං බාප්පි ඕනෙ කියල හැපෙනව”

ආකාසත් එක්ක පන්සල් ඒම ගැන හේතු  සාධාරණීකරණය කරන්නට නොව නිශාමනී ට ඕනෑ වූයේ ඒ හේතුව උත්කර්ෂයට නංවන්නට ය කියා කීවත් වරදක් නැත. ශාරද නැති වූවා කියා ඇය ට කිසිදු පාළුවක් – පාඩුවක් නැත ය කියා ශාරද ට දන්වා සිටීමේ උවමනාවක් හදිසියේ ම ඈ තුළ ඇති වන්නට ඇත.

“අපි එහෙනං යන්නද…”

වෙන් වීමට අවසර ඉල්ලුවේත් ඇය ම ය. ශාරද ගේ මුහුණ, ඔහු ට අයිති ව තිබී ඔහු විසින් ම අහිමි කර ගත්තා වූ වස්තුවක් ගැන අප්‍රමාණ ලෝභ කමකින් ගැවසී ගෙන තිබිණ. සමු ගැනීමකින් තොර ව ම ඔහු බෝ මළුවෙන් පහලට යන පිය ගැට පෙළ දෙසට පිය තැබුවේ ය. 

“බලාගෙන පංචලී ඔය පඩි වල වතුර. ලිස්සයි පරිස්සමෙන්”

නිශාමනී ට එසේ කියවුණේ මූණිච්චාවට නොවේ. ඇත්තට ම ය. බෝධිය නැහැවීමට ගෙනෙනා පැන් කළ වලින් වට පඩි පෙළ තෙත් කොට තිබි බව දුටු බැවිනි.

පංචලී නික්මුණේ යන්තමින් නිශාමනී ගේ අත අල්ලා ගෙන ය. ශාරද ඉස්සර වී ගියේ ය. ඇය පසු පසින් ගියා ය. නිශාමනී පඩි පෙළ ඉස්මත්තේ සිට ඔවුන් යන හැටි බලා සිටියා ය.

“ආදරේ නිසා ගින්දරට පැන්න ගෑනියෙක්”

ඇයට එසේ කියවී තිබිණ. ආකාස බලාපොරොත්තු වූයේ දැන් ඇය වාවා ගත නො හැකි ව හඬාවී කියා ය. නමුත් නිශාමනී හැඬුවේ නැත. ඇය ට හැඬුණේ ද නැත.

“ගෑනියෙක් තමන්ට කවදාවත් අයිතිවාසිකං කියන්න බැරි පිරිමියෙක් ගෙ දරුවෙක්ව බඩට ගන්නෑ. එහෙම කරන්නෙ එක්කො මෝඩ කමට. නො දැනුවත් කමට. එහෙම නැත්තං ආදරේ නිසා. පංචලී කියන්නෙ මෝඩ කෙල්ලෙක් නෙවෙයි කියල පේනව නේද ආකාස…මන්දා…මටනං බැරි වෙයි ලබා ගන්න බැරි කෙනෙක්ගෙ දරුවෙක් වුණත් දරා ගන්න. ඒකට මාර ශක්තියක් ඕනෙ. ඒකට ලොකූ ආදරයක් ඕනෙ. කොහොමත් ශාරද දන්නව කෙල්ලංව ආදරෙං පිස්සු වට්ටන කලාව”

ඇය ආකාස ට නො දැනෙන සේ සුසුමක් හෙළුවා ය. නමුත් ඔහු එය දුටුවේ ය. වදනකුදු නො බිනූ ආකාස නිශාමනී ගේ උරය පිටුපසින් යන්තම් අතක් තබා ඇය ව ඉස්සර කරමින් වැලි මළුව ඉදිරියට ගියේ ය. පහන් වල තෙල් හා තිර කර වීමෙන් නැගෙනා සුවඳත්, විවිධාකාර මල් ප්‍රකෝටි ගණනකින් එක වර හමනා ස්වභාවික සුවඳත්, සුවඳ දුම් හා කට්ටකුමංජල් දැවීමෙන් ඇති වන්නා වූ කෘතීම දුම් සුවඳත් එක් ව අමුතු ගුප්ත හැඟීමක් ඇති කළේ ය. විවිධ නම් ගම් සහිත ව අපල උපද්‍රව දුරු වේවා යනුවෙන් නෙක පැහැ කොඩි වැල් බෝ අතු වල එල්ලී සෙලවෙමින් තිබිණි. නිශාමනී හිතෙන් ඒ තැන් වලට ඔවුන් ගේ නම් ආදේශ කොට බැලුවා ය. 

එසඳි ගේ ග්‍රහ අපල දුරු වේවා!

ශාරද ගේ නවග්‍රහ අපල දුරු වේවා!

නිශාමනී ගේ අපල උපද්‍රව දුරු වේවා!

පංචලී ගේ අපල දුරු වේවා!

ලියා කියා පැහැදිය නො හැකි ශෝකී හැඟීමක් ඇගේ හද සන්තානයෙහි, බෝ පත් වල සිලි සිලි සුළඟේ ගසා ගෙන හමා ගියේ ය. එසඳි තවමත් ආකාස ගේ ගෙල වැළඳ ගත් වන ය. නික්මෙන්නට පෙර ශාරද ඇගේ හිස සිම්බේ ය. එසඳි නොමනාපයෙන් කකුලක් ගැසුවා ය!

“කෝ ඉතිං පුතා සාදු කියන්නකො”

නිශාමනී හිතට දිරි ගෙන කීවා ය. ආකාස දැරිය බිමින් තැබුවේ ය. තාත්තා වෙනත් ස්ත්‍රියක ගේ අතින් අල්ලා ගෙන සිටිනු දුටු දැරිය ගේ මනස කැළඹී තිබිණ. නිශාමනී ඒ බව දුටුවා ය.

“තාත්තිව ඒ ආන්ටිටත් අයිතියි. තේරුණාද…ඒකට ඔයා තරහ ගන්න හොඳ නෑ. අපි කවුරුත් අපි කාටත් ආදරේ වෙන්න ඕනනෙ මගෙ සුදු මැණික. ඔයා තාත්තිට වගේ ම බාප්පටත් ආදරේ කරන්නෙ. එහෙම තමයි. හොඳද…”

“මීට පස්සෙ මං තාත්තිට ආදරේ නෑ. බාප්පිට විතරයි ආදරේ. මං ඔයාට තාත්ති කියලත් කියන්නං හොඳේ”

නිශාමනී ගේ කතාවට පිළිතුරු ලෙස එසඳි දැක්වූ ප්‍රතිචාරය, ඇගේ හිත කෙතරම් රිදී ඇත්ද යන්න මැනවින් ප්‍රකාශ කරන්නකි. ඇය ට ඒ සිදුවීම අමතක වනු වස් ආකාස වැව අවට ඈ බයිසිකල් පැදවූයේ ය. එසඳි ගේ දෑත් අල්ලා ගෙන ඇවිදවූයේ ය. පිටතින් කෑම ගෙන දුන්නේ ය. සෙල්ලම් බඩු ගෙන දුන්නේ ය. නමුත් වෙනත් කිසිදු රෝගයකින් තොර ව එදා රාත්‍රියේ එසඳි ට උණ ගත්තේ ය. 

පංචලී එදා හොඳට ම හැඬුවා ය. ශාරද සිටියේ කැළඹීමෙනි. දික්කසාදය ලැබෙන්නට ආසන්න ව තිබුණෙන් ඔහු කුළී නිවසක් ගෙන එහි ඇයත් සමග පදිංචි ව සිටියේ ය. දික්කසාදය ලැබුණ ගමන් ඔහු ඇය නීත්‍යානුකූලව විවාහ කර ගනු ඇත. නමුත් මහත් හිස් කමක් පංචලී ට දැනිණ.

“ඔහොම අඬන්න එපා. හොඳ නෑ”

නළල රැලි නංවාන ටික වෙලාවක සිට ඇදෙස බලා උන් ශාරද අන්තිමට කීවේ ය. ඔහු ගේ තොල් කොනක ගැස්සීමක් විය. 

“අනිත් එක වැරැද්දක් කළානං ඒ මං…ඔයා නෙවෙයි”

“වුණ දෙයක් වුණේ අපි දෙන්නම අතින්”

“දැන් කිසි දෙයක් ආපස්සට හරවන්න බෑ. නිශාමනී වෙනුවෙන් කරන්න බැරිවුණ දේ මං ඔයා වෙනුවෙනුයි දරුව වෙනුවෙනුයි කරනව පංචලී. ඒක පොරොන්දුවක්. ඒක නිශාමනී මගෙන් කරපු ඉල්ලීමක්. දැන් අපි අඬල දොඩල තේරුමක් නෑ. මේක තමයි වෙන්නැති වෙන්න තිබුණ විදිහ. ඒත් මට එසඳි ගැන මාර වේදනාවක් ඇති වුණා එයා මං ළඟට එන්න බෑ කියපු වෙලාවෙ. හරියට මගෙං කොටස් මට නැති වෙලා ගියා වගේ. ඒක කවදාවත් පියවගන්න බැරි ඉඩක් වෙයි පංචලී. කවදාවත් ම…”

ශාරද හැඬුම්බර වූවේ ය. ඔහු අතින් මුව වසා ගත්තේ ය. ඇස් බොර පැහැති ළිඳක් සේ කඳුළකට දිළිසිණි.

ඉන් සතියකට පසු උසාවියෙන් දික්කසාදය සඳහා එකඟතාව ලැබිණ. නමුත් තීන්දුව ලැබෙන්නේ තවත් මාස තුනකට පසුව ය. ඒ මාස තුන තුළ දී, සාමකාමී වී නැවතත් යුග දිවියට එළඹෙනවා දැයි තීරණය කරන්නට යුවති පතිනට පුළුවන.

“බොරුවට නාස්ති කරන මාස තුනක්. ඕක දැන්ම දුන්නනං පංචලීගෙ බබා ඉපදෙන්න කලින් ඒ දෙන්නට බඳින්න තිබුණා”

නිශාමනී චේතනා සමගින් කීවා ය. ඇය යෙහෙළිය දෙස බලා උන්නේ තරමක පුදුමයකිනි.

“මං දෙයක් අහන්න ඔයා ඇත්තම කියනවද…”

“හ්ම්”

“චුට්ටක්වත් ලෝබ හිතෙන්නෙ නැද්ද ශාරද ගැන…”

“නෑ”

නිශාමනී එක හෙළා කීවා ය. 

“එයා ආදරේ කරන්න දක්ෂ පිරිමියෙක්. හරි ඊස්තටික් ලව් එකක් ඇස් දෙක ඉස්සරහ මවන්න එයාට පුළුවන්. ඒත් ඒක තවත් ගෑනු ඉස්සරහ කරන්න එයාට පුළුවන් කියල දැන ගත්තට පස්සෙ…මං දන්නෑ මං හිස් වුණා. දැන් මට ඕන ඒ අතීත මතකයක්වත් ඉතුරු කර ගන්නෙ නැතුව…ඉතුරු වුණත් වදයක් කර ගන්නෙ නැතුව අනාගතේට යන්න. අනුන්ට අයිති දෙයක් ඉල්ල ඉල්ල කඳුළු පෙරාගෙන අඬන්න තරං දුර්වල වෙන්න මට ඕන නෑ”

ඇගේ ඇස් වල වේදනාවක අංශුවක් හෝ වූයේ නැත. ඒ වෙනුවට සැනසිලිදායක බවක්, මුණිවර සැනසීමක් ඒ ඇස් ගැඹුරෙන් සොයා ගත හැකි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...