අරුමැති ආදරයක් – 23

0
3634

අඩ හෝරාවක් පමණ දුරකථන ඇමතුමක උන් තමාරා ආලින්දයට පැමිණියේ දිගු සුසුමක් හෙළුවාට පසුවය.අවසන  ඒ ආරංචිය විශ්වාස කල නොහැකි කමකින් සේ ඕ මද වේලාවක් බලා සිටියාය. නන්දනී උන්නේ බෝගන්විලා පඳුරු වලට පොහොර දමමින්ය. දුරකථන ඇමතුම පැමිණෙද්දී තමාරා සිටියේත් නන්දනීට උදව් වෙමින්ය. 

“ඇයි නෝනා..”

අත වූ මුල්ලුවත් පොහොර පැකට්ටුවත් බිම තබමින් නන්දනී නැගී සිටියේ තමාරාගේ විලාසයටය. දුරකථනය නාද වන හඬට නිවස තුළට ගිය ඇය යළි පැමිණියේ හිත හොඳකින් නොවන බව විශ්වාසය. 

“මට තේරෙන්නේ නෑ නන්දනී මේ වෙන්නෙ මොනවද කියලා…”

තමා තරමටම ලෝකය ගැන නොදැන සිටියත් වසර ගණනක් තිස්සේ නිවසේ උන් මෙහෙකාරිය සමග සිතට වද දෙන යමක් බෙදා ගැනීමට තමාරා දෙවරක් සිතුවේ නැත. ඇගෙන් උපදෙස් නොලැබුණාට තමා අසා සිටීමම ප්‍රමාණවත් යැයි ඕ බොහෝ වරවර සිතුවාය. ඒ සියල්ලටම වඩා වටින්නේ විශ්වාසයයි.

“ඇයි ලොකු නෝනා බය වෙලා වගේ.”

නන්දනී යළිත් ඇසුවේ තමාරා කිසිවක් නොකී නිසාය. 

“කාට හරි මොනව හරි කරදරයක්ද ලොකු නෝනා.”

“කරදරයක් වෙයිද නැද්ද කියන්න දන්නෙ නෑ නන්දනී. මට තේරෙන්නේ නෑ වෙලාවකට මේ චූටි මහත්තයා කරන දේවල්”

“ඇයි ලොකු නෝනා එහෙම කියන්නේ චූටි මහත්තය නරක වැඩ කරන කෙනෙක් නෙමෙයි නේ.”

“චූටි මහත්තයා නඩුවක් බාරගෙන..”

“ඉතින් ඒක චූටි මහත්තයාගේ රස්සාවනේ  ලොකු නෝනා.”

“ඒ නඩුවට විරුද්ධ පාර්ශවයෙන් කතා කරන්නේ ලොකු මහත්තයා”

“අපේ පුෂ්පානන්ද මහත්තයා….”

“ඔව්”

“ඒකනං එච්චර හොඳ දෙයක් නෙමෙයි ලොකු නෝනා. ඇයි චූටි මහත්තයා කවදාවත් නැතුව ඒ වගේ දෙයක් කලේ.”

නන්දනීට  පිළිතුරක් නොදුන් තමාරා ආලින්දය තෙක් ඇවිද ගියේ වෙහෙසකර අයුරකින්ය. දුරකථන ඇමතුමක් ලබා දුන්නේ පුෂ්පානන්ද හා සේවය කරන තවත් නීතීඥයෙකුගේ බිරිඳක්ය. 

“මං මේ කේලමකට ඕපාදූපෙකට කියනවා නෙමෙයි තමරා. අපේ මහත්තයා උනත් කියන්නේ ඒ වැඩේ එච්චර හොඳ එකක් නෙමෙයි කියලා. පුෂ්පානන්ද කියන්නේ පැරදෙන්න කැමති මිනිහෙක් නෙමෙයි නේ. අන්තිමට ඕක අප්පච්චිල පුතාලා අතර ඝට්ටනයක් වෙයි. මං දන්නෑ යුගාෂ් පුතා ඇයි මේ වගේ මෝඩකමක් කලේ කියලා. දැනටමත් ඇතුලේ කතා වෙනවලු යුගාෂ් පුතා අප්පච්චිගෙන් පළිගන්නයි මේක කළේ කියලා. ඒක එක පැත්තකින් ඒ දරුවාට නරක නාමයක්නේ තමාරා. අනිත් එක්ක මේක සෑහෙන්න ප්‍රසිද්ධියක් ලැබෙන නඩුවක් කියලා මහත්තයා කියනවා. ඒ වගේ නඩුවකින් යුගාෂ් පැරදුනාම ආපහු කැමති වෙයිද ක්ලයන්ස්ලා එයාට නඩු භාර දෙන්න..”

රාජිනී  පැවසූයේ ඒ අයුරින්ය. ඇය පවසන්නේ අසත්‍යයක් නොවේ. මේ තමාරාගේ සිත්හි සැමදාමත් තිබූ බියකි. එකම ක්ෂේත්‍රයක සේවය කරන පිය පුතු අතර ගැටුමක් ඇති නොවේවායි ඇය පැතූ අවස්ථා ඕනෑ තරම් විය. පුෂ්පානන්ද සේ නොව යුගාෂ් යනු නීතියට ගරු කරන සාධාරණ පුද්ගලයෙකි. නීතිය අවනීතිය වී ඇති කාලයක පැරදෙන්නේත් එවන් පුද්ගලයන්ය. 

“ඔයා පුළුවන්නම් යුගාෂ් පුතා එක්ක මේ ගැන කතා කරන්න.” 

අවසන රාජිනී එසේ පැවසූයේ සමුගන්නට සූදානමින්ය. තමාරා යනු කෙදිනකවත් ඔහුගේ රාජකාරී ජීවිතය පිළිබඳව විමසීම් කළ, ප්‍රශ්න කළ අයකු නොවේ. ඉඳහිට දිනක උසාවියේ සිදුවීම් පිළිබඳව යමක් යුගාෂ් තමාරා  හා පැවසුවේය. නිහඬව ඒවාට සවන් දුන්නාට නීති රීති පිළිබඳව වැඩිපුර යමක් ඕ දන්නේ නැත. 

“සිප වැළඳ ගනිමින් සෙනෙහස නොපෑවත් පුෂ්පානන්දගේ සිතෙහි යුගාෂ් පිළිබඳව හැඟීමක් වන බව විශ්වාසය. තමාරා වඩා බිය වූයේ ඒ හැඟීම පළුඳු වී යනවාටය.

“ඒ මගේ පුතා…..” යනුවෙන් යුගාෂ්  යම් යම් ජයග්‍රහණ ලත් බොහෝ අවස්ථාවල පුෂ්පානන්ද තම මිතුරන් හා පවසා තිබිණ. තමා හා එක්ව වැඩ කරන්නයැයි ඔහු යුගාෂ්ට ආරාධනා කළ අවස්ථාද කිහිපයකි. නඩුවක දෙපස සිටින නීතිඥයන් ඔවුනොවුන් හා පුද්ගලික අමනාපකම් ඇති කරගන්නේ නැත. එවේලෙහි සේවා දායකයාගේ පාර්ශ්වයට කතා කළත් ඒ ඔවුන්ගේ රාජකාරිය පමණක් බැව් ඔවුන් හොඳින් අවබෝධ කරගෙන සිටියහ. මේ තත්ත්වය ඊට සපුරා වෙනස් වූ එකකි. දෙදෙනාම පැරදෙන්නට කැමති අයවලුන් නොවේ.

“ලොකු නෝනට  බොන්න මොනවා හරි හදලා ගෙනත් දෙන්නද….”

තමාරා තිගැස්සුනේ නන්දනී එසේ අසද්දීය. 

“ලොකු නෝනා ඒ ගැන වැඩිය කල්පනා කරන්න ගිහිල්ලා අසනීප වෙන්න එපා. චූටි මහත්තයා හොඳට හිතල බලල වැඩ කරන කෙනෙක්නෙ. 

තමාරා නන්දනීට  එකඟව හිස වැනුවත් ඇගේ සිත වූයේ බියෙන් සැකයෙන් ගැහෙමින්ය. අහිමිවීම්, වේදනාවන්, කලකිරීම් රැසකට පසුව සන්සුන්ව ගලායන මේ ජීවිතයට යළිත් කඳුළක් එක්කර ගන්නට ඈ කැමති වූයේ නැත.

                            ************************

තමා විසින් ඉදිරිපත් කළ තර්ක යම් තරමකට අප්පච්චී විසින් බිඳ හෙලුවත් තමා පරාජයට පත් වූවායැයි හැඟීමක් යුගාෂ්ට වූයේ නැත. ඔහු  භුක්ති විඳිමින් උන්නේ මේ අභියෝගය බාරගත් සතුටය. ලබන මස දහතුන් වනදාට කල් ගිය කල් ගිය නඩු වාරය වෙනුවෙන් මීටත් වඩා හොඳ සූදානමකින් පසුවිය යුතු යැයි යුගාෂ් විශ්වාස කළේය. අප්පච්චි සමගින් උසාවි භූමියෙන් පිටව ගිය සේනකගේත් ඔහුගේ පුතුගේත් සමච්චල් සහගත සිනහව යුගාෂ්ට අමතක කළ හැකි එකක් වූයේ නැත. තම ජයග්‍රහණය සමස්ථ කාන්තාවන්ගේම ජයග්‍රහනයක් යැයි ඔහු සිතුවේ එනිසාය. මේ වෑයම වරදකරුවන් නිවැරදිකරුවන් කිරීමට නොවන බව විශ්වාසය. එනිසාම මේ ස්වභාවධර්මයත් තමා සමඟ රැඳී සිටීවි යැයි යුගාෂ් සිතුවේය. 

“ස්වාමීනි මගේ සේවා දායිකාව  අදාළ කාර්යාලයේ සේවයට ඇවිල්ල තියෙන්නෙ හිතවතෙකුගේ මාර්ගයෙන්. එහෙම සේවයට ඇවිල්ලා සති දෙකකට පස්සේ තමයි මේ විත්තිකරු ඇයට  මුලින්ම ප්‍රේම සම්බන්ධතාවයකට යෝජනාවක් ගෙනත් තියෙන්නේ. ස්වාමීනි පැමිණිලිකාරිය  මුලින් ඒ යෝජනාවට අකමැති වෙලා තියෙනවා. නමුත් පසු කලෙක ඇය ඒ යෝජනාව පිළි අරගෙන තියෙනවා. ඒ විතරක් නොවෙයි  ස්වාමීනී මේ පැමිණිලිකාරියවව කසාද බඳිනවා කියලා විත්තිකරු කිහිප වතාවක්ව එම නිවසට පවා පැමිණ තියෙනවා. ඒ  අහල පහල මිනිස්සු ඒ වගේම පැමිණිලිකාරියගේ ඥාතීන් පවා ඔවුන් අතර  තිබුණු මේ සම්බන්ධතාවය දැනගෙන ඉඳලා තියෙනවා ස්වාමීනී.”

පුෂ්පානන්ද නැගී සිටියේ යුගාෂ් එසේ පවසද්ධීය..

“අවසරයි ස්වාමීනී..එහෙම ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වලා කසාද බඳිනවා කියලා දීපු පොරොන්දු කඩ කරලා ගියපු ප්‍රේමවන්තයෝ, ප්‍රේමවන්තියෝ එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉඳීවි ස්වාමීනී. මං හිතන්නේ මගේ උගත් නීතිඥ මහතා ප්‍රේම කරලා නැතුව ඇති. ඒකයි ඔහු මේ කාරණාව මේ තරම් ලොකුවට ගන්නේ” 

එවේලෙහි අප්පච්චිගේ මුහුණෙහි වූ අවඥා සහගත බව මේ දැනුදු යුගාෂ්ට මැවී පෙනෙන්නා සේය. 

“ස්වාමීනී…මට මගේ සේවා දායිකාවගේ කතාව මේ ගරු අධිකරණයට ඉදිරිපත් කරන්නට අවසර ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. කසාද බඳිනවා කියන පොරොන්දුවෙන් මේ තරුණයා තරුණියත් එක්ක කතාබහ කරලා  නතර වුණේ නැහැ. කාලයත් එක්ක ඇගේ  හිතේ තිබුණු බය සැක නැති වුණා. මේ දෙන්නා විවාහක යුවළක් ලෙස හැසිරෙන්න පටන් ගත්තා. කසාද බඳිනවා කියලා ගෙදරට එන යන මනුස්සයා පිළිබඳව බයක් සාංකාවක් ඒ හිතේ තියෙන්නෙ නැතුව ඇති. ස්වාමිනි! මෙම තැනැත්තියට දැන් වෙනත් තරුණයෙකු විවාහ කර ගැනීමට හැකියාවක් නැහැ. ඇය දැන් කන්‍යාවියක් නෙමෙයි.”

“අවසරයි ස්වාමීනි…මගේ උගත් මිත්‍රයා මේ ගරු අධිකරණය තුළ මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ ඔහු තාම වෘත්තියෙන් පරිණත වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ගැහැණු ළමයෙක්ගේ කන්‍යා භාවය නැතිවීම වර්තමානය තුල ඒ තරම් තැකීමක් කරන නිර්ණායකයක් නොවෙයි..ඒ විතරක් නෙමෙයි මගේ උගත් නීතිඥ මහත්තයා කොහොමද කියන්නේ මගේ සේවා දායකයාගෙන්ම තමයි ඇගේ කන්‍යා භාවය නැති උනේ  කියලා. මං කලිනුත් සඳහන් කළා ස්වාමීනී මේ ඉන්නේ අනාගත ඇමතිවරයෙක්. එහෙම කෙනෙක්ට මඩ ගහන්න, බොරු  චෝදනා කරන්න තමන්ගේ විරුද්ධ පාර්ශවයේ  අය  අවස්ථාවක් ලැබෙනකල් බලාගෙන ඉන්නේ. ස්වාමීනී වර්තමානයේ ප්‍රේම වන්තයෝ හරි  නිදහසේ හැසිරෙනවා. මං හිතන්නෙ නෑ මේ වගේ පටු අදහස් ඇතුලේ එල්බගෙන ඉන්න තරුණ තරුණියන් දැන් ඉන්නවා කියලා. ඒ සියල්ලටම වඩා මේ පැමිණිලිකාරිනිය  දැනගන්න ඕනේ තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වෙන විදිහට හැසිරෙන්න. එහෙම ස්ථානයකට  මේ පැමිණිලිකාරිණිය ගියා නම් මගේ සේවා දායකයා බලෙන් උස්සගෙන ගෙනිච්චා  වෙන්න බැහැ. තමන්ගේ කැමැත්තෙන් තමයි යන්න ඕනෙ. මේ අම්ම තාත්තා දැනගන්න ඕනේ තමන්ගේ ගෑණු දරුවා ලැජ්ජ බය  ඇති කෙනෙක් විදිහට හදාගන්න. එක තැනක නිරුවත් වෙච්ච ගෑණු ළමයෙකුට තව ඇස් සීයක් දෙසීයක් ඉස්සරහ උනත් නිරුවත් වෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි ස්වාමීනී. මේ ගෑණු ළමයා තනිකරම කරන්නේ අභූත චෝදනාවක්. ද්වේෂ සහගත පළිගැනීමක්. මගේ උගත් නීතිඥයා බොහෝම සංවේදී කතාවක් කියාගෙන ගියේ. ඔහුට මං යළිත් මතක් කරනවා ඒ කතාව නවකතාවකට මිසක් මේ ගරු අධිකරණයට සුදුසු නෑ කියලා”

අප්පච්චිගේ හඬ උද්වේගකර වූවා යුගාෂ්ට මතකය. ඔහු ඒ කියවූයේ  ගැහැණු ළමයෙකුගේ ජීවිතය ඉදිකටු තුඩකටවත් මායිම් නොකරන ගණනටය. 

“උඹ අවුලෙන්ද…..”

තීක්ෂණ එසේ ඇසුවේ පසෙක වූ මැෂිමෙන් නෙස්කැෆේ කෝපි කෝප්පයක් පුරවා මිතුරා ඉදිරිපස තබන අතරේය. 

“නෑ….මං අවුලෙන් නෙමෙයි බං. මට අප්පච්චි කතා කරපු විදිහ ගැන පුදුම අප්‍රසන්නතාවයක් තියෙන්නේ. ඔය සේනකටත් ඉන්නවා බං ගෑණු ළමයි දෙන්නෙක්.  අපේ අප්පච්චිට නං ඒක නොදැනුනා කියහන්කෝ.” 

“ඒකනං එහෙම තමයිි බං. තමන්ගෙ ගෑනු දරුවෙකුට වැරැද්දක් වෙනකල් ඔය තාත්තලට තේරෙන්නෙ නෑ අනිත් ගෑණු දරුවොත් ගෑණු දරුවොම තමයි කියලා.”

“මේ වගේ අසාධාරණයන් වලට ලක්වෙච්ච ගෑණු ළමයි නිහඬව ඉන්නේ ඇයි කියලා මට දැන් තමයි බං තේරෙන්නේ. හරියට සමාජය ඉස්සරහත් නිරුවත් වෙනවා වගේ වැඩක් බං මේක. බලහං අප්පච්චි ඒ  ගෑණු ළමයගෙන් ප්‍රශ්න කරපු කැත.”

“මේ නඩුව කොහොම හරි පුෂ්පානන්ද සර් දිනනවා බං උඹ හිත හදාගනින්. දැන්නම් කොහොමටවත් උඹට දිනුමක් දෙන් නෑ.”

“මේක මං අප්පච්චිට අභියෝග කරන්න බාරගත්ත නඩුවක් නෙමෙයි බං. මට එහෙම උවමනාවක් කවදාවත් තිබුනේ නෑ.”

යුගාෂ්  එසේ පැවසූයේ දිගු සුසුමක් මුදා  හරිමින්ය. බොහෝ දෙනා සිතා සිටින්නේ එසේය. උසාවියේ සිට ආපසු පැමිණෙන ගමනේදී ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිප දෙනෙකුම පැවසූයේ මේ තෝරා ගැනීම නිවැරදි එකක් නොවන බවය. මෙය තමාගේ වෘත්තීය ජීවිතයට හානියක් විය හැකි බවය.

යුගාෂ්ට අපූර්වාව සිහි වූයේත් ඒ හදිසියේමය. ඔහු අත් ඔරලෝසුවට එබුනේය. වේලාව පස්වරුත් හතරට ආසන්නව තිබිණ. නිවස සෑදීමේ කටයුතු ගැන සොයා දහවලේ ඇයට ඇමතුමක් ලබා දෙන බව පැවසූයේ ඊයේ ය. ඒ  පොරොන්දුව කඩ වී පැය ගණනාවක් ගෙවී ගොස් තිබිණ. 

මිතුරාගෙන් සමුගත් තරුණයා හදිසියේම කාර්යාලයෙන් පිට වූයේ ඒ දුරකථන ඇමතුම ලබා ගන්නට සිතාගෙනය.

( යළිත් හමු වෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here