සමුධ්‍යාට විවාහ යෝජනාවක් කර, ඇය එයට කැමැත්ත දුන් පසුව, ඒ සන්තෝසයෙන් හිත පිරී තිබුණද ඉදිරියේදී තම මව සමඟ ඇතිවිය හැකි ගැටුම පිළිබඳව පැහැදිලි අවබෝධයක් අරුණට තිබුණි. අම්මාගේ හිතේ ඇතිවෙන වේදනාව සහ සමුධ්‍යා කෙරෙහි ඇය තුළ ඇති වෛරය, විසඳිය යුතු ප්‍රධාන ගැටලුවක් බව අරුණ දැන සිටියේය. කෙසේ හෝ මේ තත්ත්වය සමනය කළ යුතු බවට ඔහු අධිෂ්ඨාන කර ගත්තේය. සමුධ්‍යාට පොරොන්දු වූ පරිදි, තම මවගේ හිත දිනා ගැනීම සියලු අභියෝගවලින් විශාලතම එක බව අරුණ නොදන්නවා නොවේ. ඒ සඳහා තමන්ට ඉවසන්නට සිදු වෙන බව අරුණ නොදැන සිටියා නොවේ.
සමුධ්‍යා හමුවීමෙන් අනතුරුව අරුණ ආපසු නිවසට පැමිණියේ බර හදවතකිනි. තාත්තගේ මරණයත් මල්ලීගේ සිරගත වීමත් නිසාවෙන් නිවසට එක්ව තිබුණේ කිසියම් නොපෙනෙන, නොඇසෙන දුකකි. අනෝමා තම කාමරයෙන් එළියට නොආවාය. ඇය නිතරම තම කාමරයේ තනිවම කල්පනා කරමින් කල් ගෙවූවාය. දිනෙන් දින ඇය තව තවත් තමන් තුළටම නැඹුරු වන බව අරුණට පෙනී ගියේය. ඇගේ කාමරයේ දොර හැම විටම වසා තිබුණ අතර, ඇය කෑමට පවා ආවේ කලාතුරකිනි.
අරුණ අම්මාගේ කාමරයට ගියේ දැඩි ලෙස සිත සකස් කරගෙනයි.
“අම්මේ මම එන්නද?” කියා දොරට තට්ටු කර අනතුරුව අගුල කරකවා දොර ඇරගත් අරුණ කාමරය තුලට හිස පොවද්දිත් අනෝමා උන්නේ ජනේලය දෙස බෙලහීන බැල්මකින් බලාගෙනය. අම්මාගේ දුක්බර රුව අරුණගේ හදවතට වේදනාවක් එක් කළේය. ඇගේ මුහුණේ තිබුණේ මහත් වෙහෙසකර බවකි, වේදනාවකි.
ඇය හිස හරවා අරුණ දෙස බැලුවේ වෙහෙසකර බැල්මකිනි.
“මොකද පුතේ? ඔයා අද කෑම කන්නෙ නැද්ද?” ඇගේ හඬේ තිබුණේ දුකකි, කිසියම් අසරණකමකි. එය අරුණගේ හදවතට රැගෙන ආවේ පැහැදිලි කරන්නට නොහැකි බරකි.
“කෑවා අම්මේ” කියා මද විරාමයක් ගත් අරුණ තවත් කල් අරගැනීම මේ ප්‍රශ්න දුර දිග යවන්නට හේතු වනු ඇතැයි සිතුව හන්දාම තවත් පමා නොකොට “ අම්මේ මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.” යැයි කියා ඇගේ අසලින් පුටුවක් ඇද හිඳ ගත්තේය. හදවත තිබුණේ වේගයෙන් ගැහෙමිනි. අරුණ තම අත අම්මාගේ සීතල වූ දෑත මත තැබුවේය.
අනෝමා මොහොතක් නිහඬව සිටියාය. ඇගේ දෑස්වල තිබුණේ ප්‍රශ්නාර්ථයකි.
“මොකක්ද පුතේ? කියන්න.” කියා වචනයෙන් එලියට ආවේ ඒ ප්‍රශ්නාර්ථයයි.
“අම්මේ, මමයි සමුධ්‍යායි අතර සම්බන්ධයක් තියෙනවා කියලා අම්මා දැනගෙන හිටියානේ? මං හිතුවා අපි දෙන්නා එක තැනකට ආව නම් හොඳයි කියලා අම්මේ.” කියා අරුණ එක හුස්මට කියා දමද්දී ඔහුගේ හඬේ තිබුණේ ස්ථිර අධිෂ්ඨානයක් වුවද අම්මාගේ පිළිතුර කුමක් වේද යන කුකුස ඔහුගේ හිත අස්සේ නොතිබුනා නොවේ.
ඔහුගේ වචන ඇසුණු සැණින් අනෝමාගේ මුහුණ පුදුමයෙන් සහ කෝපයෙන් රතු විය. ඒ රතු පැහැය ඇගේ කම්මුල් මත පමණක් නොව, ගෙල දිගේ සහ නළල මතද පැතිරී ගියේ, ඇගේ රුධිරය වේගයෙන් ගලා යන බව පෙන්වමිනි. ඇගේ දෑස්වල තිබූ දින ගණනක වෙහෙසකර බව ක්ෂණිකව පහව ගියේ, දැඩි කෝපයක් ඇගේ දෙනෙත් තුළ ඇවිලී ගිය බැවිනි. ඒ කෝපය කෙතරම්ද යත්, ඇගේ සිහින් තොල් පෙති තදින් එකට තද වී තිබූ අතර, ඇගේ නාස් පුඩු පවා පුළුල් වී තිබුණේ දැඩි ආශ්වාසයක් ගන්නාක් මෙනි. ඇගේ මුහුණේ මාංශ පේශි වේගයෙන් වෙව්ලන්නට ගත්තේ, ඇය තුළ ඇති වූ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වූවාක් මෙනි. ඇගේ දෑත් වේගයෙන් වෙව්ලන්නට විය.
“මොනවා? මොකක්ද ඔයා කියන්නේ අරුණ? ඔයාට පිස්සුද? අර කෙල්ලව බඳින්න? අපේ පවුලට මේ හැම නස්පැත්තියක්ම කරපු කෙල්ලව මේ ගෙදෙට්ට එක්කරගෙන එන්න ඔයාට පිස්සුද? ඔයාට පුළුවන්ද එහෙම දෙයක් කරන්න?” ඇය කෑගැසුවාය. ඇගේ කටහඬ කාමරය පුරා දෝංකාර දුන්නේය.
“අම්මේ, එයා අහිංසකයි. එයාට කිසිම වැරැද්දක් කළේ නැහැ.ඔයා හොඳටම දන්නවා මෙතන ඇත්තටම වැරදිකාරයො දෙන්න කවුද කියන එක. එහෙම දැන දැන ඒ වැරදිකාරයො අපෙ පවුලෙ මිනිස්සු කියලා අපි එයාලාව සුදනො කරන්න උවමනා නෑ නේද? අම්මා ඇයි සමුධ්‍යා දිහාව වැරදි විදියට බලන්නෙ? අනික මේ හැමදේම දැනගන්න කලින් අම්මා කොහොමත් හිටියෙ සමුධ්‍යාව මට ප්‍රපෝස් කරන්න නේද?” අරුණ තම මවට පහදා දීමට උත්සාහ කළේය. අම්මාගේ කෝපය අම්මාට අනුව කොතෙක් සාධාරණ වුවද සමුධ්‍යා වනාහී අම්මාගේ කෝපයට බඳුන් විය යුතු කෙනෙක් නොවන බව අරුණ විශ්වාස කරේය.
“අහිංසකයි? ඔයා මොනවා ගැනද කතා කරන්නේ? එයා නිසා තමයි ඔයාගේ අයියා නැති වුණේ. එයා තමයි තාත්තාගේ බලය මරලා දැම්මේ. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? ඔව් මං කලින් ඔයාට එයාව ප්‍රපෝස් කරන්න බලාගෙන හිටියා තමයි. ඒ මේ දේවල් ඔක්කොම වෙන්න කලින්. මෙච්චර දේවල් උනාට පස්සෙත් අපෙ පවුල සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මට පස්සෙත් මං ඔහොම දේකට ඉඩ දුන්නට පස්සෙ මිනිස්සු අපිට පස්ස පැත්තෙන් හිනාවෙයි මිනිහව මරාගත්ත පුතාව හිරේ යැව්ව ගෑණිට ඔයාව කසාද බන්දලා දුන්නා කියලා ” කියමින් අනෝමා දෑත් වනමින් කෑගැසුවේ පිස්සියක මෙනි. අනෝමා උන්නේ කෝපය පාලනය කරගන්නට නොහැකිවය. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබුණි. ඒ කඳුළු දුකින් නොව, වෛරයෙන් ගලා හැලෙන්නක් බව අරුණට හැඟී ගියේය.
“මම කිසිම දවසක මේ සම්බන්ධෙට කැමති වෙන්නේ නැහැ. ඔයා කොහොමද හිතුවෙ මම කවදාවත් කැමති වෙයි කියලා මේ වගේ දේකට? කිසිම දවසක ඒක වෙන්නෙ නෑ පුතේ, ඒක හොඳට මතක තියාගන්න. මට දැන් මේ ලෝකෙ කවුරුවත් නැති එකේ උඹත් නැති උනා කියල මට අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑනෙ. උඹට මාව ඕන නම්, ඒ කෙල්ලව අමතක කරලා දාපන්. එහෙම නැත්නම් මට පුතෙක් නෑ කියලා මම හිතාගන්නම්”
අරුණගේ හිත තිබුනේ මහා වේදනාවකින් සුසර වෙමිනි. අරුණ තම මවගේ වේදනාව තේරුම් ගත්තත්, ඇය සමුධ්‍යාට එල්ල කරන අසාධාරණ චෝදනාවලට එකඟ වීමට අරුණට පුලුවන් උනේ නැත. ඔහු ඇයව සනසන්නට උත්සාහ කළත්, ඒ වනාහී නිශ්පල දෙයක් බව අරුණට තේරුම් ගියේය. තමන් කියන හැම වචනයක්ම පාසා අම්මාගේ ගින්නට පිදුරු දමන්නාක් බඳු බව තේරුන තැන අරුණ නිහඬ විය.
“ආදරේ? ආදරේ කියන්නේ මේකටද? මේ කෙල්ල අපේ පවුලට සාපයක්. අපේ පවුල සුන්නද්දූලි කරලා දාපු එකීව කසාද බඳින්න තරම් මොකද්ද ළමයො ඔයාට තියෙන අඩුපාඩුව? මල්ලිවයි තාත්තවයි ඔච්චර ඉක්මනට අමතක කරලා දාන්න ඔයාට පුලුවන් උනාද? උන් දෙන්නම නැති වුණේ මේ කෙල්ල නිසා! එහෙම එකේ ඔයා කොහොමද මෙහෙම දෙයක් මගෙන් ඇවිල්ලා අහන්නවත් හිතුවෙ?” කියමින් අනෝමා බිත්තියකට හේත්තු වී, හඬා වැටෙන්නට විය.
“අම්මේ, ප්ලීස් මං කියන දේ තේරුම් ගන්න. මල්ලිට වෙච්ච දේට සමුධ්‍යා වගකියන්න ඕනේ නැහැ. අම්මා හොඳටම දන්නවා මල්ලි කරපු වැරැද්ද. තාත්තාට අන්තිමේ ඒ වගේ තීරණයක් ගන්න උනෙත් මල්ලි කරපු වැරැද්ද වහගන්න ගිය එකෙන් කියලා”
“නෑ නෑ නෑ කීයටවත් මම මේකට ඉඩ දෙන්නෙ නෑ. උඹට ඔය කෙල්ලව කසාද බැඳගන්න වෙන්නෙ මගෙ මල කඳ උඩින් තමයි. තාත්තා ගිය දිහාවටම මාත් ගියාට පස්සෙ උඹට කිසි ප්‍රශ්නයක් නෑනෙ, කැමති දෙයක් කරගනිං. කැමති කෙනෙක්ව කසාද බැඳගනින්. මගෙ ඇස් දෙකට නොපෙනී ඕන දෙයක් කරගනිං.” කියා අම්මා තමන් කියන කිසි දෙයක් නොවිමසා හඬා වැලපෙද්දි අරුණගේ හිත තිබුනේ එකම එක ප්‍රශ්නයක් විමසමිනි.
“මම මොකද්ද දැන් සමුධ්‍යාට කියන්නේ?”