බිරිඳට දික්කසාදය දී සියදිවි නසාගත් තරුණ සැමියා

(නීතිඥ බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ අත්දැකීම් ඇසුරෙනි.වෘත්තිය සදාචාරය මත නම් ගම් මනඃකල්පිත වේ)

සමීර ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයෙක්. ඔහු ඉහල වැටුපක් ගත් අයෙකු නෙවෙයි. සමීර 24 හැවිරිදි තරුණයෙක්.ඔහු අපව හමු වෙන්නට පැමිණියේද හඬමින්. ඔහුට දික්කසාද නඩුවක් කරා යන්නට හේතු කතාව තමයි මේ.

සපුමලීව සමීරට මුණගැසෙන්නේ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසයි. ඔවුන් පාසල් ප්‍රේමයක් ලෙසින් ඔවුන්ගේ සම්බන්ධතාවය අරඹනවා. සපුමලී දෙමාපියන් විසින් කුලවද්දා ගත් දැරියක්. ඇගේ දෙමාපියන් ඉතා හොඳ රැකියාවන් කරන පුද්ගලයන්. සපුමලීව කුලවද්දාගන්න අවස්ථාවේදී ඇයට විශාල දේපලක් සහ මුදලක් දෙමාපියන් විසින් පවරා තිබුණා. සියලුම දේපල දියණියට පවරා දීම නිසා ඇය තමන් කැමති පුද්ගලයකු සමඟ විවාහ විය යුතු බවට දෙමාපියන්ගේ මතයක් තිබුණා. එහෙත් සපුමලී ඇගේ ප්‍රේමය පාසල් වියේදීම තෝරා ගන්නවා. ඒ ප්‍රේමය ට එල්ල වූ බරපතල මාපිය විරෝධය නිසා ඔවුන් රහසේම විවාහ වන්නට තීරණය කරනවා.සපුමලීට අවුරුදු දහ අටත් සමීරට අවුරුදු විස්සේදීත් ඔවුන් විවාහ වෙනවා. කට වහරට අනුව නම් ඒ “පැනලා ගොස් කසාද බැඳීමක්”  වුණා. ඔවුන් ඉන්පසු කුලී ගෙදරක ජීවිතය ආරම්භ කරනවා. හිර ගේ දෙමව්පියන් දුප්පත් දෙමාපියන්. ඒ නිසා සපුමලීගේ පවුලේ අයට ඔවුන් ගැළපෙන්නේ නෑ. දියණිය අතින් දේපල සමීරට පැවරෙන්නට ඉඩ වැඩි නිසා ද සමීර වැනි දුප්පත් තරුණයෙකු සමග දියණිය විවාහ වීම දරාගන්නට බැරි නිසාත් සපුමලීගේ දෙමාපියන් මේ විවාහය කෙසේ හෝ දික්කසාද කිරීමට පිඹුරුපත් සකසනවා. ඔවුන්ට උවමනා වන්නේ තමන්ගේ ඥාති පුත්‍රයකු ට දියණියව විවාහ කර දෙන්නටයි.දැන් රැකියාවක් කළ යුතු නිසා සමීර ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ ආයතනයක රැකියාවට යොමු වෙනවා. සිටින කුලී නිවස මෙන්ම ඔහුට ලැබෙන වැටුපෙන් ගෙවන ජීවිතයත් සපුමලීට පහසු එකක් වන්නේ නැහැ. ඒ නිසා ආදරය සම්බන්ධ තෝරාගැනීම ගැන සපුමලීට දෙගෙඩියාවක් ඇතිවෙන්නටත් පටන් ගන්නවා. එළියට සමාව දුන් ඇගේ දෙමව්පියන් සමීර නැති අවස්ථාවල නිවසට පැමිණෙන්නේ ඔය අතරයි.

“ඔයා කොහොම හැදුණු දරුවෙක් ද පුතේ? අපි ඔයාව බලාගත්තේ මලක් වගේ. මේ මිනිහත් එක්ක ඇවිල්ලා ඔයා කන්න බොන්නවත් නැතුව දුක් විඳිනවා.  එයාට මේ වගේ ජීවිතයක් හරියන්නේ නෑනේ. මලින්ද අයියා වගේ කෙනෙක් කසාද බැන්ද නම් මගේ පුතා මොන තරම් හොඳට ජීවත් වෙනවද?”

අම්මා නිරන්තරයෙන් එසේ පවසන්නට පටන් ගන්නවා.  දිගින් දිගටම  ඒවා ඇසෙන්නට පටන් ගනිද්දි අම්මා පවසන්නේ සත්‍ය බව සපුමලීට හිතෙන්නට පටන් ගන්නවා. ඇය සැමියා සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නේ ඉන් පසුවයි.

“මහලොකුවට මාව කසාද බැඳගත්ත ට මට හරියට කන්න බොන්නවත් දෙනවද? මොකක්ද මේ ජීවිතේ?”

ඇය එසේ විමසමින් දිගින් දිගටම රණ්ඩු ඇති කරගන්නට පටන් ගන්නවා. මෙය සමීරට මහත් පීඩනයක් බවට පත්වෙනවා. කෙසේ හෝ ඇය කැමති කැමැති ආහාර ගෙනවිත් දෙමින් ඔහු ඇයව හොඳින් රැක බලා ගන්නට උත්සාහ කරනවා. සියල්ලම තවත් අවුල් ජාලාවක් කරමින් සපුමලී ගැබිනියක වන්නේ ඒ අතර. පවතින ගැටුම් දස දහස් ගුණයකින් වැඩි වන්නට පටන් ගන්නේ ඉන් පසුවයි. 

“තමුසේ හිඟන්නෙක් වගේ නේ. දරුවෙක් හැදුවට දැන් මට වත් කන්න බොන්න සල්ලි තියෙනවද?”

සමීර ආයතන ප්‍රධානියා සමඟ කතාබහ කර ඔහුගේ වැටුප තරමක් වැඩි කරගන්නවා.නමුත් කොරෝනා වසංගතයට ද මුහුණ දෙන්නට ද සිදු වීම නිසා ඔහු සෑම පැත්තෙන්ම අසරණ වන්නට පටන් ගන්නවා. ඒ වෙද්දී දරුවා උපත ලබා සිටියත් වගේ වියදම් පවා හරිහැටි කරන්නට සමීරට හැකියාවක් පවතින්නේ නැහැ. 

“සල්ලි නැති මිනිහෙක් එක්ක ජීවත් වෙන්න බෑ පුතේ ඔයාට ඔය ජීවිතේ හරියන්නේ නෑ. තවත් වතාවක් හොඳට හිතන්න.”

මාපියන් දිගින් දිගටම සපුමලීට එසේ කියන්නට පටන් ගන්නවා. දිගටම ගැටලු ඇති වෙද්දී තමන් වෙන රැකියාවක් සොයා ගන්නට උත්සාහ ගන්නා බවත් මෙයට මද කාලයක් ලබාදෙන ලෙසත් සමීර බිරිඳගෙන් ඉල්ලා සිටින්නට පටන් ගන්නවා. නමුත් සපුමලී එයට කැමති වන්නේ නෑ. එක් දිනක් ඇය අම්මා සමඟ මහගෙදරට පිටත්ව යන්නේ සැමියාට දැන්වීමකින් තොරවමයි. සමීර ඇවිත් බලද්දී බිරිඳ හෝ දරුවා නිවසේ ඇත්තේ නැහැ. දියණියට දැඩි සේ ආදරය කරන සමීරට දැඩි වේදනාවක් ඇති වෙනවා. ඔහු ඒ මොහොතේම සපුමලීගේ මහ ගෙදර බලා පිටත් වෙනවා. ඒ වෙද්දිත් ඇය අම්මා සමග පොලීසියට ගොස් සැමියා ගෘහස්ත හිංසනයට ලක් කරන බවට පැමිණිල්ලක් දමා අවසන්. එනිසා ඔහු අත් හැර යන බවට ඇය පැමිණිලි කර තිබෙනවා. සමීර ඉල්ලා සිටින්නේ එකම ඉල්ලීමයි, ඒ ඔහුට දියණිය බැලීමට අවශ්‍ය බවයි. නමුත් එයට ද සපුමලී එකඟ වන්නේ නෑ. ඒ මොහොතේදී හඬමින් දරුවාව බැලීමට අවශ්‍ය බව සමීර ඉල්ලා සිටි අන්දම ඔහු වීඩියෝ සාක්ෂි ලෙස එක් රැස් කරගෙන තිබුණා. ඒ වීඩියෝ පට සැබෑවටම ඉතා සංවේදී ඒවා. සමීර හඬා වැලපෙද්දී කුඩා දියණිය ද තාත්තාට ඇයව වඩාගන්න ඉල්ලමින් හඬනවා. නමුත් සපුමලීගේ හිත උණුවන්නේ නෑ. සමීර ඒ වීඩියෝ පට පොලිස් ස්ථානයට පෙන්වා තමන්ගේ දරුවා බැලීමට අවශ්‍ය බව ඉල්ලා සිටියත් ඔහුගේ ඉල්ලීම ඉෂ්ට වන්නේ නැහැ.

“මං දරුවාගේ අයිතිය ඉල්ලලා නඩු දානවා”

සමීර එසේ තර්ජනය කිරීමෙන් පසුව ඔහුට දරුවා බැලීමට එක් දිනක අවසරය ලැබෙනවා. ඉන්පසු සපුමලී දික්කසාද නඩුවක් පවරන අතර ඉන්පසු  අපේ උපකාරය පතමින් සමීර අප වෙත පැමිණෙනවා.

මගේ වෘත්තීය ජීවිතය තුළදී එතරමට කම්පාවෙන් පසු පුද්ගලයෙකු මා දුටු මුල්ම අවස්ථාව ඒ බව නොකියාම බැහැ. 

” මගේ නෝනටයි බබාටයි හරිම ආදරෙයි. ඒ වුණාට මට සල්ලි නෑ.

මම දුප්පත්. මම අවස්තාවක් ඉල්ලුවත් නෝනාගෙ අම්මා එයාව එවන්න කැමති නෑ. මම දික්කසාදය දෙන්න කැමති නෑ.”

එසේ කියමින් හැඬූ සමීර අවසානයේදී මට ස්තුති කරා. ඔහුගේ ප්‍රශ්නය අසා සිටීමෙන් ඔහු බොහෝ නිදහස් වූ බව කියමින්.

නඩුවේ මූලික අංගයක් ලෙස පවුල් උපදේශනය ඉල්ලා සිටියත් සපුමලී එය ප්‍රතික්ෂේප කළා. ඉන්පසු නඩුව ආරම්භ වුණා. ඒ අතර කාලයේදී කිහිප වතාවක්ම සමීර සියදිවි නසා ගැනීමේ උත්සාහයන් පවා ගෙන තිබුණා.සපුමලී ඒ අතර කාලයේ ඥාති සහෝදරයා වූ මලින්ද සමඟ සම්බන්ධතාවයක් ආරම්භ කරනවා.

“සපූට හස්බන්ඩ් කෙනෙක් ලැබුණට මගේ දරුවට ආදරේ තාත්ත කෙනෙක් නැති වෙනවා. “

සමීර එසේ කියමින් වේදනාවට පත්වුණා. මේ වෙද්දි අවශ්‍ය වූයේ දියණිය ම පමණයි. නඩුවාර කීපයකට පසු සමීර යළිත් අපේ කාර්යාලයට පැමිණියා.

“සපූ මට ආදරේ නැත්නම් මං එයා ආදරේ කෙනෙක් ලඟට එයාට යන්න ඉඩ දෙනවා. මගේ එකම ප්‍රශ්නෙ මගේ දරුවා. මගේ වැටුප තමයි හැමදේටම මුල. ඒත් මං ආසයි මගෙ දරුවට ඈතින් ඉඳන් හෝ දෙයක් කරන්න. සපූගෙ සතුට වෙනුවෙන් මම දික්කසාදය දෙනවා.”

ඉන්පසු මෝෂන් එකක් හරහා අප නැවත නඩුව කැඳවූවා. දෙපාර්ශවයේම කැමැත්ත මත ද ලබාගත හැකි බව අපි එහිදී උසාවියට දැන්වූවා. හබ කරන්නට බලාපොරොත්තුව නැති බව දැන්වූ බව එදාම ඔවුන්ගේ දික්කසාද තීන්දුව ලැබුණා. දරුවාගේ ශාරීරික භාරකාරීත්වය සපුමලීටත් නෛතික භාරකාරත්වය දෙදෙනාටමත් පැවැරුණා. නඩු තීන්දුවෙන් සති දෙකකට පසු සමීර සිය දිවි නසා ගත්තා. ඔහු ජීවිතය නැති කරගත්තේ දැඩි මානසික ආතතිය සහ විශාදය නිසා බව හෙළිදරව් වුණා. 

මේ ආර්ථික ප්‍රශ්න ඉතා තදින් පවතින කාලයක්.  ආදරය සියල්ලටම ඉහළින් පැවතිය යුතු මොහොතක මුදලට ප්‍රේමය ලඝු කරන්නට එපා. ඒ වගේම ඔබේ ආදරය සහ විවාහය ගැන තීරණ ගන්නට දෙමාපියන්ට ඉඩ තබන්නටත් එපා. සමීරගේ කඳුළු කතාව ගැන ඔබට කියන්නට තිබෙන්නේ එපමණයි.

Related Articles

Don't Miss


Latest Articles