රැක ගත යුතු බැඳීම්.

මාධවී ගෙදර දොර වහලා ඇවිත් වාහනයට නැග්ගා.සුදේශ් එක්ක කතා නොකර මේ ගෙවෙන්නෙ දෙවනි දවස.තමන්ට නොකියා යාලුවන් එක්ක සාදයක් පවත්වපු එකයි මාධවීගේ තරහට හේතුව උනේ.

” අදත් තරහ වෙලා යන්න එපා මැණිකේ.ඒක දැන් ඉවරයිනේ “

සුදේශ්ගේ කෙටි පණිවිඩය කියවලා මාධවී කට කොණකට හිනාවක් නගා ගත්තා.සුදේශ් එහෙම බැගෑපත් වෙන එකත් , ආයේ ආයෙත් සමාව ඉල්ලන එකත් මාධවීට ගෙනාවේ සතුටක්.

පෞද්ගලික ආයතනයක තරමක වැටුපක් ලබන රැකියාවක් කරපු මාධවී ආඩම්බරකාරියක් කියලායි ආයතනයේ හැමෝමත් කතා වුනේ.ඒත් හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරන මාධවීට කවුරුත් ආදරේ කලා.

” අලුත් CEO කෙනෙක් එනවලු නේද මාධවී ? “

පූර්ණිමා ඇහුවේ උදේ ඉඳලා පැතිරෙන ආරංචිය ගැන හරියටම විස්තර මාධවීගෙන් දැනගන්නයි

” ඔව් ඔව්. ඔයාලාට ලේසි වෙන එකක් නෑ ඔන්න “

මාධවී කිව්වෙ හිනාවක් එක්ක.හවස් වරුවේ අලුත් ප්‍රධානියා එක්ක තේ සාදයක් සහිත රැස්වීමක් පැවැත්වෙන්න නියමිතව තිබුන නිසා එක් දෙපාර්තමේන්තුවක් බාරව හිටපු මාධවීත් රැස්වීමට ලෑස්ති උනේ උනන්දුවෙන්

කාර්යාලයේ සියලුම දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් විශාල මේසය වටා අසුන් ගෙන හිටියේ අලුත් ප්‍රධානියාගේ පැමිණීම බලාපොරොත්තුවෙන්.රැස්වීම් කාමරයේ දොරෙන් ඇතුලුවුනේ මාධවී කිසිසේත්ම බලාපොරොත්තුව නොවූ රුවක්

” රොහාන් “

හදවතට වැදුනු අකුණු පහරින් මාධවීගේ හිත ආයෙමත් පුපුරලා ගියේ සුව වෙලා තිබුනු තුවාලත් පාරගෙන. පැය භාගයක් පුරාවට පැවැත්වුණු රැස්වීමේදී මාධවී එක එල්ලේම රොහාන් දිහා බලාගෙන හිටියා.පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් ඇරුණුකොට තාමත් ඉන්නේ ඉන්නේ ඉස්සර හිටපු රොහාන්මයි කියලා මාධවීට හිතුනා.කිසිම වෙනසක් නොපෙන්වා රොහාන් රැස්වීමේ කටයුතු කරගෙන ගියේ පුරුදු ආඩම්බරකමෙන්මයි.

හවස ගෙදර යන්න වාහනයට නැගුනු මාධවී වාහනය පන ගන්වන්න කලින් බොහෝ වේලාවක් ඒ තුළට වෙලා කල්පනා කළා.තමන්ව නොගැලපෙන බව කියමින් නොහිතපු වෙලාවක ඈත්වුන රොහාන්ගේ මතකය මාධවීගේ හිතට ආපහු එබිකම් කරන්න පටන් ගත්තා

” මම අද කලින් ඇවිත් රෑට කෑම හැදුවා මාධවී “

කෑම වර්ග කිහිපයකින් සැරසුන කෑම මේසෙ දිහා මාධවී බැලූවේ එතරම් සැලකිල්ලකින් නෙමෙයි

” මම හවස මීටින් එකේදි කාලයි ආවෙ.මට දැන් බඩගිනි නැහැ “

ඕනාවට එපාවට එහෙම කියපු මාදවි නාන කාමරයට ගියා.රොහාන් ඇරෙන්න වෙන කිසිම දෙයක් මාදවීගේ හිතේ ඒ වෙලාවේ තිබුණේ නැහැ.

පහුවදා උදේ මාධවී රැකියාවට ගියේ වෙනදාටත් වඩා උනන්දුවෙන් ලෑස්ති වෙලා. අලුත් ප්‍රධානියා උදෑසනම කාර්‍යාලයට ඇවිල්ලා වැඩ ආරම්භ කරලා කියලා හැමෝම කතා වෙනවා මාධවීට ඇහුණා

” අපි හිතුවේ වයසක පොරක් වෙන්න ඇති කියලා. මෙයාට නම් තිස් පහකට අඩු මිසක් වැඩි නැහැ “

මාධවීගේ දෙපාර්තමේන්තුවේ තරුණියන් එහෙම කතා වෙනකොට මාධවීගේ කට කොණකට හිනාවක් නැගුණා. විශ්වවිද්‍යාලයේ සමහර තරුණියන් ඉස්සර රොහාන් ගැන කතා උන හැටිත් , ඒ කඩවසම් තරුණයාගේ පෙම්වතිය තමා වුණ හැටිත් මාධවීට මතක් උනා

” රොහාන් සර් මාධවී මැඩම්ට එන්න කිව්වා “

දවල් කෑම වෙලාවෙන් පස්සෙ කාර්යාලයෙන් සාමාන්‍ය සේවකයෙකු වුන අනිල් මාධවීට පණිවිඩයක් අරගෙන ආවා. ආයතන ප්‍රධානියා වෙනුවෙන් වෙන් වෙලා තියෙන විශාල කාමරය වෙත මාධවී පා එසෙව්වේ නොසන්සුන් වූ හිතින්

” එන්න මාධවී “

මාධවී බොහොම අමාරුවෙන් නගා ගත්ත හිනාවකින් මුහුණ සරසා ගත්තා

” අපි මේ වගේ තැනකදි හම්බ වෙයි කියලා මම හිතුවේ නැහැ මාධවී. කොහොම වුණත් මෙහෙම තැනකදි හරි අපි ආයෙ මුණ ගැහුණ එක හොඳයි “

රොහාන් කතාකලේ පුරුදු සැහැල්ලු බවින්

” හැබැයි , ඉස්සර අපි දෙන්න අතර තිබුණ බැඳීම මෙහෙ කවුරුත් නොදැන ඉන්න තරමට අපි දෙන්නට හොඳයි “

රොහාන් ගේ කතාව මාධවී අනුමත කලේ මද හිනාවකින්

” ඇයි මුකුත් කියන්නේ නැත්තේ ? ඉස්සර නම් ඔයාගේ කච කචේ ඉවරයක් නැහැනේ “

” ඒ ඉස්සර නේ මිස්ට‍ර් රොහාන් “

මාධවී කතා කළේ තමන් ඉදිරියේ ඉන්න ආයතන ප්‍රධානියාට ගරු සරු ඇතිව

” මට රොහාන් කියන්න.පිට අය ඉන්නවානම් විතරක් ඔය මිස්ටර් කෑල්ල දාන්න “

මාධවී බිම බලා ගත්තා

” ඔයා බැන්දා කියලා මට ආරංචි වුණා “

” ඔව්.සෑහෙන කාලයක් තනියම ඉදලා මං සෙට්ල් උනා. මම එහෙම කලේ ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ “

මාධවී එහෙම කියනකොට රොහාන් ගේ මූණ බලාගෙන ඉද්දිම වෙනස් වුණා.

” මාධවී දැන් යන්න “

රොහාන් එකපාරටම එහෙම කියද්දී මාධවී අසුනෙන් නැගිටලා කාමරයෙන් එලියට ආවා.

” Sun shine restaurant එකේදී මාව මීට් වෙන්න “

මාධවී තමන්ගේ දෙපාර්තමේන්තුවට ඇවිල්ල අසුන් ගන්නකොටම රොහාන්ගේ පරණ දුරකථන අංකයෙන් ම මාධවීට කෙටි පණිවිඩයක් ආවා.

” දිනිති වෙනුවෙන් මම සෑහෙන දේවල් කළා.ඇත්තටම කිව්වොත් ඔයා වෙනුවෙන් කළ දේවල් වලටත් වඩා දේවල්.මම ඔයාට කරපු දේම එයා මට කළා.ඔයා වින්ද වේදනාව මම හරියටම තේරුම් ගත්තේ එදා. ඒ නිසා මැරි කරන්න හිත හදාගන්න මට තවමත් බැරි වුණා “

හවස් වරුවේ රොහාන්ව මුණ ගැහුනම ඔහු කළේ නිදහසට කරුණු කිමක්ද එහෙමත් නැතිනම් පාපොච්චාරණයක් ද කියලා මාධවීට හිතා ගන්න අපහසු වුණා

” ඔයාට ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වත්ද මාධවී ? “

රාත්‍රියේ නින්දට කලින් මාධවී ඇඳට වෙලා කල්පනා කර කර ඉන්නකොට සුරේෂ් ඇවිත් ඇහුවේ උණු උණු තේ එකක් මාධවී අතට බලෙන්ම වගේ දෙන ගමන්

” න්.. නෑ එහෙම එකක් නෑ “

සුරේෂ් එක්ක තිබුණු කේන්තිය ඒ වෙද්දි ටිකෙන් ටික නිවිලා ගිහින් තිබුණත් මාධවී උත්තර දුන්නේ ඕනාවට එපාවට.සුරේෂ් එක්ක විවාහ නොවී තව ටික කාලයක් තනිකඩව හිටියා නම් රොහාන් ගේ බිරිඳ වෙන්නත් තිබුනා නේද කියලා මාධවීට හිතුනා.

කාර්යාලයේදී නිතර නිතර රොහාන් ව මුණ ගැහීම මාධවීගේ හිතට ගෙනාවේ අමුතුම විදිහේ ප්‍රබෝධයක්.වෙනදාටත් වඩා උවමනාවෙන් සහ ලස්සනට අඳින්න පලඳින්න උනන්දු වුන මාධවී කාර්යාලයට ගියෙත් ඉතාම ඕනෑකමකින්

” ඔයා නිතර නිතර බොස් ගේ රූම් එකට යනවා කියලා කට්ටිය කතා වෙනවා මාධවී “

දවසක් හදිස්සියේම පූර්ණිමා මාධවීට කිව්වේ කාර්‍යාල කාමරයේ කීප දෙනෙක්ම දවල් කෑමට ගිය වෙලාවේ

” මොකක් “

” ඔයාට බොස් එක්ක පෞද්ගලික හිතවත්කමක් ඇති කියලා තමයි ගොඩක් අය කියන්නේ “

මේ තරම් කාලයක් තමන් එක්ක හිතවත්ව හිටපු සේවයකයන් ඒ වගේ කතා වෙනවා කියලා දැන ගත්තාම මාධවීට දරාගන්න බැරිවුනා.

” ඔයාගේ පෞද්ගලික දේවල් මෙතන අයට අදාල නෑ තමයි මාධවී.ඒත් ඔයා අපිට හරිම හොඳට සලකන නිසා මේ දේ ඔයාට නොකියා ඉන්න එක හොඳ නෑ කියලයි මට හිතුනේ.මොන දේ උනත් ඔයාට මේ ඔෆිස් එකේ තිබුන ගෞරවය නැති කර ගන්න එපා “

පූර්ණිමාගේ කාරුණික හඬ ඈත ලෝකයකින් එනවා වගේයි මාධවීට ඇහුනේ.ඊට පස්සේ දින කිහිපයක්ම අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න රොහාන්ගේ කාමරයට යන්න වගේම ඔහුට අමතන්නේ නැතිව ඉන්නත් මාධවී වග බලාගත්තා .ඒත් තමන්ගේ දෙපාර්තමේන්තුවේ අය තමන් දිහා බලන විදිය මාධවීට දැනෙමින් තිබුනා.

” ඉස්සර මොන මොන හිතවත්කම් තිබුනත් , ඒවා නිසා ඔයාගේ ජීවිතේ අවුල් කර ගන්න හදන්න එපා මාධවී “

කණ්නාඩි මේසය ලග වාඩිවෙලා කොන්ඩේ පීරමින් හිටපු මාධවී ලගට සුරේශ් ආවේ එහෙම කියාගෙන .මාධවී ඔහු දිහා බැලුවේ පුදුමයෙන් වගේ

” ලස්සන , උගත් ගෑනියෙකුට කතා හදන එක ඔෆිස් වල සාමාන්‍ය දෙයක්.ඒත් එයාගේ හස්බන්ඩ්ට නිර්නාමික කෝල් එන එක ටිකක් හිතන්න ඕන දෙයක් “

” සුරේශ් ? “

” දවස් කීපයක් තිස්සෙම එහෙම කෝල් ආවා.ඒත් මම නොහිතා කරන වැරදි වලදි මා එක්ක තරහ වෙන ඔයා මට කොච්චර ආදරේද කියලා මම දන්නවා “

එහෙම කියපු සුරේශ් කාමරයෙන් එළියට ගියා.විනාඩි කීපයක් කල්පනා කරමින් හිටපු මාධවී ඇඳ උඩ තිබුන ලැප්ටොප් එක දිග ඇරලා රැකියාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ටයිප් කරන්න පටන් ගත්තේ සියල්ලටම වඩා තමන්ගේ පවුල් ජීවිතයත් ආත්ම ගෞරවයත් වටින බව හිතමින්

More Stories

Don't Miss


Latest Articles