අරුමැති ආදරයක් – 33

0
2216

දහවල ආහාරයෙන් පසුව පැයක් දෙකක් නිදා ගැනීම තමාරාගේ සිරිතය. එය නන්දනීටත් විවේක කාලයකි. බොහෝවිට තමාරාගේ දවස ගෙවී යන්නේ කාල සටහනකට අනුකූලවය. එය වෙනස් වන්නේ කාන්තා සමිතියක සභා වාරයකට හෝ ඔවුන් විසින් සිදුකරන සමාජ සේවා කටයුත්තකට නිවසින් පිටතට යාමට සිදු වුවහොත් පමණි. 

කිසිවෙකු විසින් ගේට්ටුවේ සවිකර තිබූ විදුලි  සීනුව නාද කරන අයුරු මුලින්ම ඇසුණේ නන්දනීටය. අවේලාවේ නිවසට පැමිණියේ කවුරුන්දැයි සිතමින් ඕ  ආලින්දයට එබුණේ තමාරාව නොහැරවාමය. වසර ගණනාවකින් නොදැක සිටියත්, අමුත්තෙකු සේ සිය කලිසම් සාක්කුවල දෙඅත්  රුවාගෙන ගේට්ටුව අසල උන් රුව හඳුනා ගැනීමට ඇය අපොහොසත් වූයේ නැත. දෑස් විසල් කරගත් නන්දනී ආපසු නිවස තුළට දිව ගියේ තමාරාව ඇහැරවන්නටය.

“කවුද නන්දනී ඇවිත් ඉන්නේ……”

ඇඳේ  සිටි තමාරා එසේ ඇසුවේ නන්දනී කාමරය තුළට එබෙද්දීය.

“මට බෙල් එක ගහනවා ඇහුනා..”

“ලො…ලොකු මහත්තයා ඇවිල්ලා”

“ලොකු මහත්තයා..?”

“ඕ.. අපේ පුෂ්පානන්ද මහත්තයා…”

තමාරා ඇඳෙන් නැගිට්ටා නොව නැගිටුනාය. විවිධ උත්සව අවස්ථාවලදීත් නගරයට ගිය කිහිප වතාවකදීත් ඔහු හමු වූවාට පුෂ්පානන්ද මේ නිවසට පැමිණියේ ඇගේ මතකයේ හැටියට වසර දහ අටකට පමණ පසුවය. එසේ යාමට ඒමට තහනමක් නොවූවත් ඔහු පැමිණියේ නැත. උවමනාම යමක් කතා කෙරුනේ දුරකතනයෙන්ය.

“නන්දනී ගේට්ටු ඇරියද..”

“නෑ මම ලොකු නෝනගෙන් අහන්න ආවෙ.”

නන්දනී ගේට්ටුව අරින්නකෝ මම එන්නම්…”

දිගු සුසුමක් මුදාහල තමාරා නතර වූයේ කන්නාඩිය ඉදිරිපසය. සිය දෑගිලි වලින්ම හිස කේ සකස් කරගත් ඕ විලවුන් බිඳු දෙකක් කන් පෙති දෙපස තවරා ගත්තාය. එදා වූ රූපය දැන් ඇයට නොවේ. අතරින්පස ඉදී තිබූ සුදු කෙස්ගස් කළු කර ගන්නට ඈ වෙහෙස නොවූවාය. භාවනා පන්තියකට මිස විවිධ නර්තන පන්ති සඳහා සහභාගී වෙමින් ඇඟ හැඩ කර ගන්නට වෙහෙස නොවූවාය. එහෙත් ඕ කෑමෙන් බීමෙන් ප්‍රවේශම්ය. ඒ කිසිවක් නොකළත් තමාගේ රූපය අප්‍රසන්න එකක් නොවනබව තමාරා දැන උන්නාය. ආපසු හැරී බලද්දී තම ජීවිතය ගැන සතුටු විය හැකි තැනක් වූවානම් ඒ අම්මාත් තාත්තාත් සමඟ මහ ගෙදර ජීවත් වූ සමයයි. පුෂ්පානන්ද තමා බලන්නට මුලින්ම නිවසට පැමිණි දා සිට ඇය ජීවත් වූයේ ඔහු ගැන සිහිනයකය. ඒ අතීතය අදටත් ඇයට ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර මතකයේ වේ.

“හරියට සනත් ගුණතිලක වගේ බං. මාර ලස්සනයි..”

එදින නිවසට පැමිණ සිටි ඥාතී දියණියන් මෙන්ම යෙහෙළියන් දෙදෙනාද පැවසූයේ ඒ අයුරින්ය. සිතු ලෙසම ඔහුගේ මනාලිය වී පෝරුවේ සිට ගන්නට ඇයට වාසනාව ලැබිණ. එහෙත් ඒ සතුට,ආඩම්බරය වූයේ දින කිහිපයකි. ඔහු ජීවත් වෙන්නේ තමාගේ ලෝකයේ නොවේයැයි මුලින්ම වැටහුම්  වූ දා සිත විදි වේදනාව ඇයට අද මෙන් මතකය. ඒ අතීතය සිහිවද්දී අදටත් තම පපුව ඇවිල යන තරම් දැන සිටියේ ඇය පමණය. 

යළිත් දිගු සුසුමක් මුදාහල තමාරා කාමරයෙන් පිටතට පැමිණියේ ඔහුගේ මේ හදිසි ආගමනය ගැන පෙර වූ පුදුමයෙන්මය. තමාරා ඇවිද එන දෙසට පිටුපා ඔහු උන්නේ විසල් විසිත්ත කාමරය කෙළවරක තබා තිබෙන මංගල සේයාරුව දෙස බලාගෙනය. කිහිප වරක්ම මේ සේයා රුව විසිත්ත කාමරයෙන් අයින් කරන්නට සිතූවත් තමාරාට ඊට සිත හදාගත හැකි කමක් වූයේ නැත. ඇගේ ලෝකයේ අදටත් උන් එකම පිරිමියා ඔහුය. 

එක තැන නැවතුනු තමාරා තත්පර කිහිපයක් ඔහු දෙස බලා සිටියාය. සිය දෑත් කලිසම් සාක්කු තුළ රුවාගෙන තවමත් ඔහු ඇයට පිටුපා ගත් ගමන්ය. ඕ එක පිට එක ඇසිපිය සැලුවේ  දෑස් මුලට එකතු වූ කඳුළු කඩා වැටේ යැයි බියෙන්ය. පුෂ්පානන්ද  කෙදිනකවත් මේ දෑස් වලින් වැටුණු කඳුලක වටිනාකම වටහා ගන්නට උත්සාහ නොකළ බව විශ්වාසය. එනිසාම තමාරා තම කඳුළවත් ඔහු ඉදිරිපස හෑල්ලු කරන්නට නොගියාය.

අවසන ඕ උගුර පෑදුවේ තමා පැමිණි බව හඟවන්නට සේය.

සිතූසේම පුෂ්පානන්ද පිටුපස හැරුණේ ඒ හඬට අවනතවය.

“අ…තමාරා නිදා ගෙනද හිටියේ.. මම මේ ළඟට ආපු ගමන් ඇවිල්ල යන්න හිතුනා.”

“ඒක කොච්චර දෙයක්ද ඉඳගන්න පුෂ්පානන්ද…”

තමාරා පැවසූයේ ආයාසයෙන් මුවගට  නඟාගත් සිනහවෙන්ය. එහෙත් ඕ උපරිමයෙන්ම තම රංගනය තාත්වික කරගන්නට වෙහෙස වූවාය. 

තත්පර කිහිපයක් දෙදෙනාම නිහඩව සිටියේ කතා කරන්නට තරම් දෙයක් නොවූවා සේය. අවසන වෙනදා මෙන් මුලින්ම හඬ අවදි කළේ පුෂ්පානන්දය. 

“කොහොමද ඉතින් තමාරා..”

“වරදක් නෑ.”

“යුගාෂ් බිස්නස් ගැන බලනවද.”

“ඔව් බලනවා……”

තමාරා එසේ පැවසූයේ ඒ මුසාවක් බව දැන දැනමය. එදත් අදත් යුගාෂ් ව්‍යාපාර වෙනුවෙන් වෙහෙස වූ අයෙකු නොවේ. වර්තමානයේ කුරුදු සහ රබර් ඉඩම් පාලනය වන්නේ තාත්තා සමග උන් ලියන මහතාගේ පුත්‍රයා අතින්ය. එදා ඔහුගේ පියා රැකි විශ්වාසය අදටත් එහෙමමය. ඒ ගණුදෙනු සියල්ල සිදු වූයේ විශ්වාසය මතය.

“ඒක හොඳයි. නැත්නම් ඕවා නාස්ති වෙලා යනවා. තමාරා එදා ඉඳලම කැමති වුණේ නැහැනේ මම ඒ දේවල් හොයලා බලනවට. 

යුගාෂ් මම වගේ තමයි මිනිහා හැම දේකටම දක්ෂයි.”

“පුෂ්පානන්ද මොනවද බොන්නේ….”

තමාරා එසේ ඇසුවේ කතාව වෙනතකට හරවා ලීමේ අරමුණින්ය. ඔහු මුලින්ම තාත්තා සමග ගැටුම් ඇතිකර ගත්තේ ව්‍යාපාර නිසාය. පුෂ්පානන්ද තමා හා විවාහ වීමට එක් හේතුවක් වූයේ තාත්තා සතු ව්‍යාපාර බව තමාරා දැන ගත්තේ පසු කාලයේය. ඒ ඔහුගේම මුවින් පිට වූ වදන් වලින් පසුවය.

“කරදරයක් නැත්නම් සීනි අඩු තේ එකක් බොමු.”

තමාරා නන්දනීට කතා කළේ විසිත්ත කාමරයේ සිටමය. 

“යුගාෂ්ට  මේ රස්සාවෙන් හොඳ අනාගතයක් තියෙනවා. මට ඒක දැනෙනවා. මම කිව්වත් නොකිව්වත් මගේ පුතා කියන තැනදි  මිනිස්සු මට තියෙන ගෞරවයම යුගාෂ්ට දෙනවා.තමාරා ටිකක් තදින් අවවාද කරන්න ඒ තැන රැක ගන්න කියලා. තමාරා දන්නවනේ මම නඩු පැරදිච්ච මිනිහෙක් නෙමෙයි. ඒකට තියෙන්න ඕනේ ඒම් එකක්. මොළයක්. අන්න එහෙමයි තමන්ගේ වෘත්තිය තුළ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ. අද පුෂ්පානන්ද කියන ගානකට මිනිස්සු තමන්ගේ නඩුව පුෂ්පානන්දට බාර දෙන්න කැමතියි. මිනිස්සු හිතනවා පුෂ්පානන්ද නඩුවක් කතා කරන එක තමන්ගේ වාසනාව කියලා”

නන්දනී ගෙන ආ තේ කෝප්පය පුෂ්පානන්ද වෙත පිළිගැන්වූයේ තමාරාමය. කලකට පසු පැමිණ ඔහු මේ අයුරින් තමාව වර්ණනා කරන්නේ කුමකටදැයි ඈ සිතුවේ නොපහන් හැඟීමෙන්ය.

“ඕනවට වඩා මිනිස්සු ගැන හිතන,  ඕනවට වඩා සංවේදී වෙන මිනිහෙක්ට දක්ෂ ලෝයර් කෙනෙක් වෙන්න බෑ. මුලින් හිතන්න ඕනේ තමන් ගැන. මමත් එක්ක වැඩ කලානම් යුගාෂ්ට ඒ අත්දැකීම ලැබෙනවා. කොහෙද මිනිහා ටිකක් උද්දච්චයිනේ.”

“මම පුතාගේ ජොබ් එක ගැන කතා කරන්න දන්නෙ නෑ පුෂ්පානන්ද. ඇත්තටම මං ඒ ගැන එයාගෙන් අහන්නේ නෑ.”

“ඒක තමයි ඔයාගෙ එදා ඉඳලම තිබුණු වරද…”

“ඇත්තටම මං මේ මගේ කාලය කැප කරගෙන මේ ගමන ආවේ ඔයාට දෙයක් කියලා යන්න. ඒක පුතාට වැදගත් වෙයි. ඔයාට මෙච්චර දෙයක් එයාට පැහැදිලි කරල දෙන්න මොළයක් නැතිබව මං දන්නවා”

“ඒ මොකක්ද පුෂ්පානන්ද…

“යුගාෂ් දැන් තීරණ ගන්නෙ හදවතින් මිසක් මොළෙන් නෙමෙයි. හදවතින් තීරණ ගන්න මිනිස්සු හැමදාම පැරදුනා. එහෙමනම් එයාට තිබුනේ සමාජ සේවය කරන්න. ඔයා එයාට ටිකක් අවවාද කරන්න මොළෙන් තීරණ ගන්න කියලා. මුලින්ම බලන්න ඕනේ තමන්ගේ ලඟට නඩුවක් අරන් එන මනුස්සයාගේ තරාතිරම මොකක්ද කියලා. ඊළඟට මේ නඩුව දිනන්න පුළුවන්ද කියලා. එහෙම නැතුව තමන්ගෙ ළඟට දුක කියාගෙන අඬාගෙන එන ගෑණුන්ගේ, පිරිමින්ගේ හිත් සනසවන එක නෙමෙයි. නඩුවක් දෙකක් පැරදුනාට පස්සේ ලෝයර් කෙනෙක්ට පැවැත්මක් නෑ. පිළි ගැනීමක් නෑ.”

“පුෂ්පානන්ද මේ ටික පුතත් එක්කම කතා කළා නම් හොඳයි නේද. මං හිතන්නේ උදේ හවස පුතා හමුවෙනවනේ.” 

“එහෙම බැරිකමක් නෑ. එදා ඉඳලම යුගාෂ්  තමාරාව හැදුවේ තමාරාගේ පිළිවෙලට. මං කියන දේට වඩා පිළි ගන්නේ තමාරා කියන දේ” 

“මට පුළුවන් විදියට මං එයාට හොඳ නරක කියලා දුන්නා. අවුරුදු දහ අට පැන්නහම එයා තනියම තීරණ ගන්න විදිහ මං බලාගෙන හිටියා. කොතැනක හරි වරදක් උනොත් මං ඒ වරද එයාට පැහැදිලි  කරලා දුන්නා. දැන් යුගාෂ්ට අවුරුදු විසි අටක්. මං හිතන් නැහැ පුතාගේ තීරණවලට මට මැදිහත් වෙන්නවත් බලපෑම් කරන්නවත් පුළුවන් වෙයි කියලා.”

“මං තමාරාට ඇත්තම කියන්නම්කො..මේ මිනිහා අර මන්ත්‍රී සේනකට විරුද්ධව නඩුවක් බාරගෙන. සේනකගේ පුතා කියන්නෙ කිසිම වරදක් නොකර බොහොම වැදගත්කමට මේ සමාජෙ ජීවත් වෙන තරුණයෙක්. මේක තනිකරම දයාල් සේනකගේ දේශපාලන ගමන වළක්වන්න කිහිප දෙනෙක් එකතු වෙලා කරන දෙයක්. තමාරාට  පුළුවන් නම් යුගාෂ්ට කියන්න ඒ නඩුවෙන් අයින් වෙන්න කියලා. සියයට සීයක් විශ්වාසයි මම මේ නඩුව දිනනවා. ඒ උනාට එහා පැත්තේ ඉඳගෙන පැරදෙන්නේ මගේ පුතා කියන වේදනාව මගේ හිතේ තියෙනවා. අන්න ඒ නිසයි මං මේ මතක් කිරීම කරන්න ආවෙ. අනික තමාරා මම හිතාගෙන ඉන්නවා ඊළඟ පාර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න. මට ඒ ගමනට උදව් කරන්නේ සේනක. ඒ නිසාම කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් යුගාෂ්ව මේ පාරෙන් ඉවත් කරන්න මට සිද්ධ වෙනවා.”

“මම පුතාට කියන්නම්…”

තමාරා එසේ පැවසූයේ හදවත තුලින් මතුව ආ අපහැදීම සියළු ලේ නහර ඔත්සේ පැතිර යද්දීය.

“කියන්නම් විතරක් නෙමෙයි තමාරා. ඔයා කොහොම හරි පුතාව ඔතනින් අයින් කරන්න ඕනේ. එහෙම නැතිවුනොත් එයාට එන කැළල මකන්න අපි කාටවත් බෑ. කිසිම මනුස්සයෙක් නඩුවක් අරගෙන යුගාෂ් ළඟට එන්නේ නෑ. එයාට  වෙන්නෙත් අර වේලි වේලි ඉන්න තුට්ටු දෙකේ ලෝයර්ස්ලා වගේ උසාවිය ඉස්සරහ හිටගෙන ඉන්න.”

පුෂ්පානන්ද නැගී සිටියේ තමා අත වූ පීරිසි කෝප්පය මදක් හඬ නැගෙන ලෙස තැටිල්ල මත තබමින්ය. 

“යුගාෂ්ට කියන්න තමාරා  මමත් එක්ක වැඩ කරන්න කියලා ප්‍රශ්නේ ඉවරයි නේ. මගේ නම මගේ ගෞරවය මගේ හැමදේම මගෙන් පස්සේ මිනිහට. ආයෙ අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ. මට පරක්කුයි තමාරා. හතර වෙද්දි මම අලුත්ගම ඉන්න ඕනේ. මම ගිහිල්ල එන්නම්”

පුෂ්පානන්ද අඩියක් පෙරට තැබුවේ සිය අත් ඔරලෝසුව දෙස බලමින්ය. තමාරා ඔහු පසුපස ඇවිද යන්නට සැරසුණා පමණි. පුෂ්පානන්ද යළි හැරුනේ ඇය අපේක්ෂා නොකළ මොහොතකය.

“මේ ෆොටෝ එක තවම මෙතන ඇති කියලා මම හිතුවේ නෑ.”

එවර  පුෂ්පානන්ද පැවසූයේ තමාගේත් තමාරාගේත් මංගල සේයාරුවට සිය දකුණත දිගු කරමින්ය. 

තමාරා පිළිතුරක් දෙන්නට පෙර  ඔහු සිය අව් කන්නාඩිය පැළඳගෙන ගේට්ටුව දෙසට ඇවිද ගියේ ඉක්මන් ගමනේය.

තමාරා දිගු  සුසුමක් මුදා හැරියේත්, රිදුම් දෙමින් දෑස් මුල එකතු වී තිබුණු කඳුළු වලට ගලා යන්නට ඉඩ දුන්නේත් එකම වරකය. අදටත් ඔහු එදා සේම කඩවසම්ය. තද නිල් පැහැ ඩෙනිම් කලිසමට ප්‍රසිද්ධ සන්නාමයක ටී ෂර්ට් එකක් ඇද එය යට කරගෙන උන්  ඔහු පැළඳ උන්නේ සම්පූර්ණම දෙපය ආවරණය වන සපත්තුය. මඳක් දෙපා ඈත් කරමින් තබා ඇවිද යන ඒ ගමන යුගාෂ්ටත් ඒ අයුරින්ම පිහිටා තිබිණ.

“ලොකු නෝනා..ලොකු මහත්තයා ආව කියල කිව්වොත් සුදු මහත්තයට කේන්ති යයිද මන්දා.”

තමා හා සමාන්තරව නන්දනී සිටගෙන උන් බව තමාරා දන්නේ ඇය එසේ පැවසුවාට පසුවය. ඔහු පැමිණි හයිබ්‍රිඩ් වර්ගයේ කාරය නික්ම ගොස් තත්පර කිහිපයක් ගත වී ගියත් තමාරා තවමත් ඒ දෙස බලා ගත් ගමන්ය.

“සුදු මහත්තයා කවද හරි දැනගෙන ඇහුවොත් මිසක් අපි ඒ ගැන කියන්න යන්න ඕන නෑ. මේ අපේ සැප දුක් බලන්න ආපු ගමනක් නෙමෙයි නන්දනී. මේ ලෝකෙම කණපිට පෙරලුණත් වෙනස් වෙන ජාතියේ මිනිහෙක් නෙමෙයි එයා. තව තවත් පව් එක් රැස් කර ගන්න බලනවා මිසක්කා මේ නිස්සාර ජීවිතෙන් මිදෙන්න එයා උත්සාහ කරන්නේ නෑ.”

“ලොකු මහත්තයා තවමත් අපේ යුගාෂ් මහත්තයා වගේම තරුණ පාටයි නේද…”

“හ්ම්……”

“ලොකු නෝනට දුකයිද…ලොකු නෝනා  තවමත් ලොකු මහත්තයාට ආදරේ නේද..”

“ඒක හැමදාම මගේ හිතේ විතරක් තිබුණු ආදරයක් නන්දනී. මේ මගේ තාත්තට පස්සේ මගේ පුතාට පස්සේ මගේ ජීවිතේ ඉඳපු එකම පිරිමි චරිතය.” 

“ලොකු නෝනට තිබුණේ ආපහු කසාද බඳින්න.”

“එකම රූපයක් හිතේ තියාගෙන ගත විතරක් අරගෙන වෙන මනුස්සයෙක් ළඟට යන්න පුළුවන් කමක් මට තිබුණෙ නෑ නන්දනී. ඒ දවස්වල අම්මා මට වෙන විවාහයක් කරල දෙන්න හරියට උත්සාහ කළා. මේවා අපි පතාගෙන එන හැටි. මං කැමතියි ඒ පව් මේ ආත්මෙන් ගෙවලා ඉවරර කරන්න.”

“එක අතකට ලොකු නෝන හරි. ලොකු නෝනා හැම පැත්තකින්ම දිනපු ගැහැණියක්. එච්චර වරදක් ලොකු මහත්තයා කරලා ලොකු නෝනා අදටත් ලොකු මහත්තයට වෛර කරන්නේ නැත්තේ ඒ නිසා..අපි යමු.  ලොකු නෝනට  මං තේ හදන්නම්..”

නන්දනී එසේ පැවසූයේ තමා අසල සිටගෙන සිටින හොඳ හිතක් ඇති ගැහැණිය ගැන ඇතිවූ සැබෑම ආදරයෙන්ය. මෙම නිවසේ සේවයට පැමිණ වසර දොළහක් ගෙවී ගියත් හිත රිදෙන්නට වචනයක්වත් ඇගෙන් පිට නොවූ තරම්ය. එනිසාම මියයන තුරාම ඈ ළඟ රැඳෙන්නට නන්දනී තම සිතටම සපථ කරගෙන උන්නාය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here