කාර්යාල සගයන් සමඟ පෞද්ගලික තොරතුරු ඕනෑවට වඩා බෙදා නොගෙන සිටීමට ප්‍රවේසම් වූ මෞර්යා අභිමන් හට පිළිතුරු දීමේ දී ද ප්‍රවේසම් වූවාය. අභිමන් සෑම සේවකයෙකු හටම එක සමාන ලෙස සැලකුම් ලබා දුන්නද බොහෝ ආයතන වල තත්ත්වය තරාතිරම මත සේවකයන් හට සැලකුම් ලැබෙන නිසා මෞර්යා තමා ගේ පවුල් පසුබිම හෝ පියාගේ ව්‍යාපාර පිළිබඳව තොරතුරු කිසිවෙකුත් සමග බෙදා ගත්තේ නැත.
සහභාගි වූ රැස්වීම බලාපොරොත්තු වූවාට වඩා වේලාවක් පැවැත්වුනු නිසා නෙහාරා පිටව ගිය පසු ආදිත්‍ය කෙලින්ම නිවස වෙත යාමට පිටත් වූයේය. මාර්ග තදබදය අතරතුරදී ආදිත්‍ය දුරකථනය අතට ගෙන ෂෙහාරාට ඇමතුමක් ලබා ගත්තේ රාත්‍රී ආහාරය පිණිස ගෙන ආ යුත්තේ මොනවාදැයි ඇසීමටය.එහෙත් ෂෙහාරා දුරකථනයට පිළිතුරු නොදුන් නිසා ආදිත්‍ය සිතුවිල්ලේම නිවසට පැමිණියේය.
ආදිත්‍ය නිවසට පැමිණෙන විට රාත්‍රී හත පසු වී තිබුණු අතර නිවස සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලී තිබුණි. උඩුමහලේ හෝ විදුලි පහන් නොදල්වා තිබුණු නිසා ෂෙහාරා නිවසේ නොසිටින බව ආදිත්‍ය තේරුම් ගත්තේය. මිදුලේ වාහනය නතර කළ ආදිත්‍ය ඉන් බැස ගත්තේ සුසුමක් හෙළමිනි.ෂෙහාරාගේ වාහනයද මිදුලේ දක්නට තිබුණේ නැත. ඇය තමාටත් නොදන්වා සුපුරුදු පරිදි කොහේ හෝ ගොස් ඇත.
නිවසට ඇතුළු වූ ආදිත්‍යයට දැනුනේ දරා ගත නොහැකි තරමේ පාළුවකි. ඒ පාළුව පරදා විශාල දුකක්ද තමා වෙලාගෙන ඇති බව ආදිත්‍යයට දැනුණු අතර ඔහුට අශිකා බැලීමට යාමේ සිතුවිල්ලක් ද හදිසියේ ඇති විය. එහෙත් ෂෙහාරා කොයි මොහොතේ හෝ නිවසට පැමිණිය හැකිය. ඇය තමා මෙන් නොඉවසන නිසාත් , බොහෝ කලබලකාරී සහ ආවේගශීලී නිසාත් තමා නිවසේ නොසිටියහොත් එය තවත් ගැටලුවක ආරම්භයක් විය හැකි නිසාත් නිවසේ නතර වී සිටීමට ආදිත්‍යය තීරණය කළේය.
ඇවිදින මං තීරුවේ විනාඩි 45 ක පමණ කාලයක් ඇවිදීමෙහි නිරත වූ මෞර්යා වාහනය නතර කර ඇති ස්ථානයට පැමිණියේ අත බැඳි ස්මාර්ට් ඔරලෝසුවෙහි පියවර ගණනය කිරීම නවතා දමන අතරේය. වාහනය අසලට පැමිණියද මෞර්යා එයට ගොඩ වූයේ නැත. වාහනය නතර කර තිබූයේ වෙනදා නතර කරන ස්ථානයේම නිසා මෞර්යා ඒ අවට විමසිල්ලෙන් බලමින් වාහනයට හේත්තු වූයේ යමක් බලාපොරොත්තුවෙනි.
ආදිත්‍ය කොයි මොහොතක හෝ එතැනට පැමිණේ යැයි මෞර්යා ඇත්තටම බලාපොරොත්තු වූවාය. ඔහු ඇසුරේ සිටින විට තමා මින් පෙර නොවිඳි සැහැල්ලුවක් සහ නිදහසක් අත්විඳින බව මෞර්යා සිතුවේ වේගයෙන් වාහන එහා මෙහා යනෙන මාර්ගය දෙස බලාගෙනය. ඔහු අසල සිටිනා විට ලෝකය මේ තරම් කලබලකාරී නැති බවක් දැනේ. තොර තෝංචියක් නැතිව කියවන්නටද සිතේ.ඔහු අහම්බෙන් හමුවූ ආගන්තුකයෙක් වූ නමුත් ඔහු පිළිබඳව කිව නොහැකි තරමේ ළෙන්ගතු කමක්ද දැනේ. පැය භාගයක් පමණ මාර්ගය දෙස බලාගෙන කල්පනාවේ වැටී හුන් මෞර්යා වාහනයට ගොඩ වූයේ තවත් වරක් විපරමින් වටපිට බැලූ පසුවය.
රාත්‍රියට කිසිවක් ආහාරයට වත් නොගෙන අඩ නින්දේ සිටි ආදිත්‍ය තිගැස්සී අවදි වූයේ දුරකථනය නාද වන හඬිනි. ඇමතුම ෂෙහාරා ගෙන් වූ අතර එයට පිළිතුරු දීමට පෙර ආදිත්‍ය වෙලාව බැලුවේය. ඒ වන විට මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි කිහිපයක් ගත වී තිබුනේය. ආදිත්‍ය දුරකථන ඇමතුම ක්‍රියාත්මක කළේ ඇඳ මත වාඩිවන අතරය
” කියන්න ෂෙහාරා ”
” හෙලෝ, මිස්ටර් ආදිත්‍ය ? ”
දුරකථනයේ එහා පසින් ඇසුණේ ආගන්තුක කාන්තා හඬකි. ආදිත්‍ය කලබල වී ඇඳෙන් පැන්නේය.
” හෙලෝ.කවුද මේ ? ”
” කලබල වෙන්න එපා මිස්ටර් ආදිත්‍යය. මිස් ෂෙහාරට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා hospital එකට ගෙනල්ලා තියෙනවා. ගෙදරට inform කරන්න කියලා එයා මේ නම්බර් එක තමයි ඩයල් කරලා දුන්නේ ”
ආදිත්‍යගේ හිස ගිනි ගත්තේය. ෂෙහාරා ගේ කල් ක්‍රියාව අනුව ඇය කොයි මොහොතක හෝ මෙවැනි විනාසයක් සිදු කර ගන්නා බවට ආදිත්‍යය බලාපොරොත්තු වෙන් සිටියත් එය මේ තරම් ඉක්මනට සිදුවේ යැයි ඔහු බලාපොරොත්තු වූයේ නැත.
දුරකථන ඇමතුම ලබා දුන් කාන්තාව ගෙන් වැඩි විස්තර අසා දැන ගත් ආදිත්‍යය අතට හසු වූ ඇඳුමක් ඇඳගෙන නිවසින් පිටත් වූයේය. සිදුවී ඇත්තේ කුමක්දැයි තවමත් හරියට නොදන්නා නිසා ආදිත්‍ය අභිමන් හටවත් දුරකථන ඇමතුමක් නොදී තලවතුගොඩ පිහිටි පෞද්ගලික රෝහලක් කරා වේගයෙන් වාහනය පැදවූයේ ය.
වාහන අංගනයේ වාහනය නැවැත්වූ ආදිත්‍ය හදිසි අනතුරු අංශය කරා දිව ගියේය. ඉන් පසුව මදක් වටපිට බලමින් ඉදිරියට පැමිණි ඔහු නතර වූයේ මුලින්ම හමු වූ හෙදිය අසලය.
” Excuse me, අනේ දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා ලේඩි කෙනෙක්ව ගෙනාවද ? එයා කොහෙද ඉන්නේ? ”
හෙදිය මොහොතක් බලා සිටියාය.
” මිස්ටර් ගේ නම මොකද්ද ? ”
” ආදිත්‍ය , ආදිත්‍ය දේවපුර ”
” එතකොට පේශන්ට් ගේ නම ? ”
” ෂෙහාරා ”
හෙදිය තොරතුරු ලබාදෙන කවුන්ටරය වෙතට ගොස් එතැන සිටි තවත් හෙදියක ගෙන් තොරතුරු ලබා ගෙන නැවත ආදිත්‍ය වෙත පැමිණියාය.
” යන් මිස්ටර් ආදිත්‍යය “
හෙදිය ඉස්සර වූ අතර ආදිත්‍ය ඇය පසුපස පියවර තැබුවේ බොහෝ දෑ සිතමිනි. ආදිත්‍ය ගේ මනස නූල් බෝලයක් සේ පැටලී තිබුණි. ෂෙහාරා බොහෝ දින වල රාත්‍රියේ සිටින්නේ නිවසින් පිට බව යන්තමින් හෝ දන්නේ අෂිකා පමණි. එවැනි තත්ත්වයකදී මෙවැනි වේලාවක ෂෙහාරා පමණක් අනතුරකට මුහුණ පෑම පිළිබඳව තමා හට බොහෝ දෙනෙකුට පිළිතුරු බඳින්නට සිදු වනු ඇත.
කුඩා කොරිඩෝවක් දිගේ පැමිණි හෙදිය එක් කාමරයක් ළඟ නතර වූවාය. එවිටම එම කාමරයේ දොර ඇරගෙන තවත් හෙදියක් පැමිණි අතර ඇය කාමරයේ දොර වසා දමා ආදිත්‍යය සහ අනෙක් හෙදිය දැක හැරුනාය.
” මේ. මිස් ශෙහාරා ගේ ගෙදරින් ”
කියා අනෙක් හෙදියට කියූ ආදිත්‍ය සමග පැමිණි හෙදිය සූදානම් වූයේ එතනින් පිටවීමටය.
” මිස් , අනිත් කෙනාගේ ගෙදරින් ආවේ නැද්ද ? එයාට තමයි ටිකක් අමාරු ”
” එයාට ටිකක් අමාරු නිසා තමයි එයාගේ ගෙදරට ඉන්ෆෝම් කරන්න බැරි වුනේ. මං ආපහු ගිහිල්ලා බලන්නම් මොන හරි information ගන්න පුළුවන්ද කියලා ”
ආදිත්‍ය සමග පැමිණි හෙදිය පිටවූ අතර ආදිත්‍ය සිටියේ අනෙක් හෙදිය ගෙන් ෂෙහාරා පිළිබඳව තොරතුරක් දැන ගැනීමේ නොඉවසිල්ලෙනි.
” මිස්. ෂෙහාරාට කොහොමද ? ලොකු අමාරුවක් නෑ නේද ? ”
” ලොකු අමාරුවක් නැහැ.පොඩි පොඩි තුවාල ටිකක් තමයි තියෙන්නේ.හැබැයි ඩොක්ටර් කිව්වා රෙස්ට් කරන්න කියලා. මං හිතන්නේ එයා ටිකක් ඩ්‍රින්ක්ස් අරන් ඉන්නේ. කෝකටත් ඔයා ඇතුළට යන්න කලින් ඩොක්ටර් එනකන් ටිකක් ඉන්න.දැන් ඩොක්ටර් එයි ”
ආදිත්‍ය නිරුත්තර වූයේය. මේ සිදු වන ලැජ්ජාව තමාට මේ මොහොතේ තනිව දරා ගැනීමට සිදුවනු ඇත. තම බිරිඳ බීමතින් ගොස් රිය අනතුරකට ලක්වී තිබීමේ කටුක සත්‍යයට ආදිත්‍යය අපහසුවෙන් වුවත් මුහුණ දෙමින් උන්නේය.
” අ.. මිස් මේ. එතකොට අනිත් කෙනා කවුද ? ”
හදිසියේ යමක් මතක් වී ආදිත්‍යය හෙදිය ගෙන් ඇසුවේය. හෙදිය එයට පිළිතුරු දීමට ඉක්මන් නොවී තත්පර කිහිපයක් ආදිත්‍ය දෙස බලා උන්නාය.
” ඔයා කවුද ? ”
” මං ආදිත්‍යය ”
” නෑ මං අහන්නේ ඔයා පේෂන්ට් ගේ කවුද ? ”
” හස්බන්ඩ් ”
හෙදිය ගේ දෑස් පුදුමයෙන් මහත් වූයේ ආදිත්‍ය බලා සිටියදීමය.
” ඇයි මිස් ? ”
” නෑ නෑ මුකුත් නෑ ”
හෙදිය ෂෙහාරා සිටි කාමරයේ දොර දෙසද බලමින් ආදිත්‍යගේ දෑස් මඟ හැරීමට උත්සාහ කළාය. ඇගේ ඒ අසාමාන්‍ය හැසිරීමෙන් ආදිත්‍යය ට දැනුනේ අමුත්තකි.
” මිස් මොකක් හරි ප්‍රශ්නයක් නම් කියන්න ? wife ට අමාරුද ? “
” නෑ එයාට ලොකු අමාරුවක් නැහැ. හැබැයි ..”
හෙදිය කියන්නට ගිය දේ ගිල ගත්තාය.
” ඇයි ? ”
” නෑ මේකයි. එයත් එක්ක ඇක්සිඩන්ට් එක වෙලා ගෙනාවේ බෝයි කෙනෙක්. මේ. ගේනකොට එයාට සිහිය තිබුනේ නැහැ. මිස් ෂෙහාරා කිව්වේ… ඒ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා.මං .. ඒකයි මේ බැලුවේ ”
හෙදිය ගොත ගසමින් පිළිතුරු දුන්නාය. ආදිත්‍ය අසල වූ පුටුවකට වාරු වුයේ දෙපා පණ නැති වීගෙන එන බවක් දැනුනු නිසාවෙනි.
