සමහර වෙලාවට සමහර යුධ කතන්දර පටන් ගන්නේ කඩු fight වලින් නෙවෙයි, ලිපි වලින්, වෙනස් අදහස් වලින්, ආගම්වාදී මතවාද වලින්.
බටහිර ආසියාවේ රටවල් දේශපාලනික ගැටුම්වල පැටලිලා ඉන්න වෙලාවක, කැරළි කාරී සිතිවිලි පලිහක් වගේ පාවිච්චි කරන වෙලාවක, ආගම කියන එක ආයුධයක් බවට පත් වෙන වෙලාවක, කැතරින් පෙරෙස්-ෂක්ඩම් කියන කාන්තාව තමන්ගෙ බුද්ධිමත් ගෑනුකම පාවිච්චි කරලා ඉරාන පාලනයේ හදවතටම රිංගලා ගියා. එයා මුස්ලිම් කාන්තාවක් වගේ ඔළුව වහගෙන, සිනහ වෙවී, එයාලගෙම කෙනෙක් වගේ පෙනී සිටියා.
ඒත් ඇත්තටම මොකද්ද එතන වුණේ? කවුද මේ කැතරින් පෙරෙස්-ෂක්ඩම්?
මුලින්ම එයාව දැක්කම, එයත් අනිත් අය වගේම ඉස්ලාමීය විප්ලවයට කැප වුණු කෙනෙක් වගේ තමයි පෙනුණෙ. එයා ආගමට හැරිලා, ෂියා ඉස්ලාම් ගැන පොත් ලියලා, කතාවලට සම්බන්ධ වෙලා, හැමෝම පිළිගත්ත කෙනෙක් වුණා. එයා ඉරාන රජයේ මාධ්‍යවල හරිම උද්යෝගයෙන් ලිපි පළ කළා. බටහිර රටවල්වල කුහකකම් ගැන කතා කළා. එයාට ඉරානයේ ජනාධිපති එක්ක කතා කරන්න පවා අවස්ථාව ලැබුණා. ඒත් “දැහැමි මුස්ලිම් කාන්තාවක්” කියන මේ ලස්සන කතාව පිටුපස්සේ, ලොකු රැවටීමක් හැංගිලා තිබුණා. ඒ බොරුව හෙළි වුණාම ඉරානයේ දේශපාලන සහ බුද්ධි අංශ දෙදරා ගියා.
ඉතින් අද අපි අරගෙන එන්න යන්න එන්න ඒ පෙරළිය කරපු කැතරින් පෙරෙස්-ෂක්ඩම් ගෙ කතාව.
පැරිසියේ සිට ටෙහෙරානයට: බොරුවෙන් ගොඩනැඟුණු ගමනක්
කැතරින් පෙරෙස්-ෂක්ඩම් උපන්නේ ප්‍රංශයේ සාමාන්‍ය යුදෙව් පවුලක. එයාගෙ පවුලේ අයත් දේශප්‍රේමී අය. මව් පාර්ශවයේ සීයා නාසීන්ට විරුද්ධව සටන් කරලා තිබුණා. පිය පාර්ශවයේ සීයා සමූල ඝාතනය වීමකින් බේරිලා තිබුණා. ඒ වගේම එයා හරිම දක්ෂ ශිෂ්‍යාවක්. මනෝවිද්‍යාවෙන් උපාධියක් අරගෙන, පස්සේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මුල්‍ය සහ සන්නිවේදන අංශවලින් උපාධි දෙකක්ම ගත්ත කෙල්ලෙක්.
ලන්ඩනයේ ඉගෙන ගන්න කාලේදී තමයි මේ කතාව වෙනස්ම පැත්තකට හැරුණේ. කැතරින් යේමන ජාතික මුස්ලිම් මිනිසෙක්ව විවාහ කරගෙන, සුන්නි ඉස්ලාම් ආගමට හැරුණා. ඒත් එයායගේ ආගමික ගමන එතනින් නතර වුණේ නෑ. ටික කාලෙකින් එයය ෂියා ඉස්ලාම් ආගමට හැරිලා, ඒ වෙනුවෙන් දැඩි උනන්දුවකින් ලිපි ලියන්න පටන් ගත්තා. රැඩිකල්වාදය, අන්තවාදය සහ බටහිර ආසියානු දේශපාලනය ගැන එයාය ලියපු දේවල් නිසා කැතරින් ඉක්මනින්ම ප්‍රසිද්ධියට පත් වුණා.
එයා ඉරාන රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනවල ලිපි පළ කළා. ඉරානයේ නායකයාගේ වෙබ් අඩවියට පවා ලිපි ලියන එකෙන් දායක වුණා. ඉරාන පාලනයේ දර්ශනයට ගැළපෙන, විශ්වාසවන්ත, දැනුම ඇති බටහිර කාන්තාවක් විදියට කැතරින් ඉක්මනින්ම ඉරාන මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රසිද්ධ මුහුණක් බවට පත් වුණා.
ඒත් ඉන්පස්සෙ වුනේ බෝම්බයක් පුපුරනවා වගේ හැමෝම කම්පා වෙන දෙයක්.
රටක් දෙදරා ගිය පාපොච්චාරණය
2021 නොවැම්බර් මාසේදී The Times of Israel වෙබ් අඩවියේ පළ කරපු ලිපියක කැතරින් පුදුම හිතෙන දෙයක් එළි කළා. ඒ එයා තවදුරටත් මුස්ලිම් නෙවෙයි කියලා. එයා ඉස්ලාම් ආගම අත්හැරියා විතරක් නෙවෙයි, එයාගේ මුළු ආගමික පෙනුමම හදාගත්තේ ඉරානයට රිංගලා ඔත්තු බලන්න බවත් කැතරින් කිව්වා.
“මම කවදාවත් ඇත්තටම විශ්වාස කළේ නෑ, ඒත් මට කරන්න, මගෙන් වෙන්න ඕන යුතුකම් කොටසක් තිබුණා කියලා මම විශ්වාස කළා.” ඒ කොටස තමයි එයා ඉරානයේ ඔත්තු බලන ඒජන්තවරියක් විදියට කටයුතු කිරීම.
කැතරින් කිව්වේ එයාගේ ප්‍රංශ ජාතිකත්වය, මුස්ලිම් මිනිසෙක් එක්ක තිබ්බ විවාහය, සහ ඉස්ලාමය ගැන ලියපු ලිපි නිසා ඉරානයේ ඉහළම තැන්වලට යන්න පුළුවන් වුණා කියලා. එයා ඉරානයට ගිහින්, ලොකු පූජකවරුන් සහ දේශපාලන නායකයන් හමුවුණා. 2017දී ඉරාන ජනාධිපති අපේක්ෂකයා වුණු ඉබ්රාහිම් රයිසි එක්ක පවා එයා කතාබහා කරන්න, හමුවන්න අවස්ථාව ලබා ගත්තා.
වරක් කැතරින්ව පිළිගත් ඉරාන පාලකයෝ දැන් එයාව දැක්කේ ඔවුන්ට තිබ්බ ලොකුම බයක් අන්තිමේදි ඇත්තක් වුණා කියනවාවගේ හැඟීමක් එක්ක. හිජාබයක් ඇඳගෙන, ඔවුන්ගේම භාෂාව කතා කරමින් ඔවුන්ගේ දොරටු අස්සෙන් ඇවිද්ද බටහිර ජාතික ඔත්තුකාරියක් විදියට. ඒ වගේම ඒක තමන්ට වෙච්ච ලොකුම ලොකු අවනම්බුවක් විදියට එයාලා දැක්කා.
විශ්ලේෂිකාවකගේ සිට ඔත්තුකාරියක් දක්වා
ෂක්ඩම්ගේ ලේඛන ජීවිතය RT, හෆ්පෝස්ට් වගේ තැන්වල විතරක් නෙවෙයි, ඊශ්‍රායලයට සම්බන්ධ චින්තන ආයතනවලත් පැතිරිලා තිබුණා. එයාගේ ඔත්තු බැලීමේ චෝදනා ඇත්තටම බලවත් වුණේ 2022 මුල් භාගයේදී. හිටපු ඉරාන ජනාධිපතිවරයෙක් වන මහමුද් අහමදිනෙජාඩ්ගේ ටෙලිග්‍රෑම් චැනල් එකකින් කැතරින්ගේ ලිපියක් නැවත පළ කරලා, ඉරාන බුද්ධි අංශවල බරපතල අසාර්ථකත්වයන් ගැන චෝදනා කරනවා. ඒ ලිපියෙන් කිව්වේ ෂක්ඩම් කියන්නේ ඉරාන නායකත්වයේ ඉහළම තැන්වලට රිංගපු ඊශ්‍රායල ඔත්තු සේවයේ නියෝජිතවරියක් කියලා.
මේකෙන් ඉරාන රජය ඇතුළේ ලොකු කලබලයක් ඇති වුණා.
පැය කිහිපයක් ඇතුළත ඉරාන පුවත් ආයතන ඔවුන්ගේ වෙබ් අඩවිවලින් එයාගේ ලිපි මකා දැම්මා. කලින් පළ කරපු සම්මුඛ සාකච්ඡා ඉවත් කළා. එයා එක්ක තිබ්බ හැම සම්බන්ධකමක්ම නැති කළා. වරක් කැතරින්ගේ දැනුමට ප්‍රශංසා කරපු යව දැන් එයාව හැඳින්වූයේ ඔත්තුකාරියක් විදියට.
ප්‍රතිවිපාක සහ ඇඟිලි දිගු කිරීම්
2025දී ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වුණු යුද්ධය සහ ඇෆ්ගන් සරණාගතයන්ව ඉරානයෙන් පිට කිරීමෙන් පස්සේ, ටෙහෙරානයේ දේශපාලනඥයන් බයෙන් සහ සැකෙන් පිරිලා හිටියෙ. හිටපු ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණු මුස්තෆා කවකෙබියන්, රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ ඇෆ්ගන් සරණාගතයන් ගැන විතරක් කතා කරලා ඇත්තටම තියෙන ආරක්ෂක දුර්වලතා ගැන තියෙන අවධානය නැති කරනවා කියලා.
“කැතරින් පෙරෙස්-ෂක්ඩම් වගේ අය තමයි ඇත්තටම තියෙන තර්ජනය. ඔවුන් අපේ ආගම වෙස්මුහුණක් වගේ ඇඳගෙන අපේ විප්ලවය ඇතුළට ආවා,” ඔහු කිව්වා.
2025 ජූලි 20 වෙනිදා, ඉරාන බලධාරීන් කවකෙබියන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඔහුට චෝදනා කළේ තහවුරු නොකළ දේවල් ප්‍රචාරය කිරීම සහ මහජන සාමය කඩ කිරීම කියලා.
ඉරානයේ දුර්වලතා පිළිබිඹු කරන කතාවක්
කැතරින් පෙරෙස්-ෂක්ඩම්ගේ කතාව කියන්නේ ඔත්තු බැලීම ගැන විතරක් නෙවෙයි. ඒකෙන් ඉරානයේ අභ්‍යන්තර දුර්වලතා පෙන්වනවා. ඔවුන් පහසුවෙන් රැවටෙනවා. ගෝලීය පිළිගැනීමක් ලැබීම ගැන ඔවුන්ට තිබ්බ ආශාව නිසා තමයි මේ වගේ රැවටීමක් වුණේ.
කැතරින් ඉරානයට ඕන වුණු හැමදේම දුන්නා: බටහිරින් ආපු ආගමට හැරුණු කෙනෙක්, බුද්ධිමත් කාන්තාවක්, සහ ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව කතා කරන කටහඬක්. ඒකෙන් එයා නොසිතූ විරූ ප්‍රවේශයක් ලබා ගත්තා. ඒත් එයා වෙස්මුහුණ ගලවලා දැම්මාම, ඒ පාවාදීම නොසලකා හරින්න බැරි තරම් ගැඹුරු එකක් වුණා.
අද කැතරින් පෙරෙස්-ෂක්ඩම් ඉරානයේ කාන්තාරවලින් ගොඩක් ඈත ඉන්නවා. දැන් එයා තමන්ව නැවතත් සියොන්වාදියෙක් සහ යුදෙව් කෙනෙක් විදියට හඳුන්වනවා. එයා ඔත්තුකාරියක්ද, දක්ෂ රැවටිලිකාරියක්ද, නැත්නම් වෙනස්ම ගමනක් ගිය සාමාන්‍ය කාන්තාවක්ද කියලා කියන්න අමාරු වුණත් එක දෙයක් නම් ස්ථිරයි.
ඒ කැතරින් අමුතුම විදියකට ලිව්ව මේ කතාව ඉරාන සමාජයට කවදාවත් මකන්න බැරි විදියෙ කැළලක් ඇති කරලා තියෙනවා කියන එක.