සන්තාන සුසුම් සර – 28

0
5852

වජිරා ගේ උදරයෙහි වන ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමක් සඳහා රෝහල්ගත වන්නට දින නියම කොට තිබිණ. එය කල් ඇතිව සැලසුම් වූ බැවින් අස්විද ද සිය වැඩ කටයුතු තරමක් එහෙට මෙහෙට කරගත්තේ ය. චේතිය ද සූදානම් වූයේ නිවාඩු ගන්නට යි. නමුත් නිලූකා ඇනුම්පද කීවා ය.

‘මේගොල්ලො දොස්තරල වගේනෙ. ඕක මහ ලොකු බරපතල ගෙඩියක් නෙවෙයි කියල ඩොක්ට කියලනෙ තියෙන්නෙ. ඉතිං ඒගොල්ලො ඒක කරයි. මේගොල්ලො මොකටද නිවාඩු ගන්නෙ…වෙන උවමනාවකට නිවාඩු ගන්න ඕන වුණහම නිවාඩු නෑ කියයි අන්තිමට’

‘මේ නිලූකා. හැම එකටම කට දාන්න එන්නැතුව ඉන්නවද… මං නිවාඩු ගන්නවද නැද්ද කියල මං බලාගන්නං’

චේතිය තරමක් තදින් කතා කළේ ය. ඔහු සිය මව් පියන් ගැන බලනවාට නිලූකා කැමති නැති බව චේතිය දනී. පවුල් ප්‍රශ්න ඇති කරගන්නට අකමැත්තෙන් ඔහු ඒ දේවලට මුලදී නිහඬ වූවත් දැන් එහෙම ඉන්නට හිතෙන්නේ නැත. විශේෂයෙන් ම වජිරා නිසා බොහෝ තැන්වල මුණිවත රකින්නට චේතිය ට සිදු විය. ඇය කීවේ ම ඔවුන් නිසා ගැටළු ඇති කර නො ගෙන නිලූකා සමග හොඳින් සිටිනා ලෙසයි. නමුත් දැන් දැන් චේතිය ගේ සිතේ නිලූකා කෙරේ වන්නේ බරපතල අප්‍රසාදයකි. එය යළි කිසිදා අත්හැර ගත හැකි කළකිරීමක් නොවන බව ද ඔහු දනී.

‘තමුසෙ නිවාඩු ගන්න ඕන්නෑ. මං ඉන්නවනෙ. ඔෆිස් ඉවරවෙලා එන ගමන් හොස්පිට්ල් එකට එනව’

අස්විද සොයුරාව පසෙකට කරගෙන කීවේ ය.

සැත්කම සිදුවන්නට නියමිත පෞද්ගලික රෝහලට වජිරා සමගින් විජිත, අස්විද හා යසස්වි ද යන්නට සූදානම් වූහ. නිලූකා ඒ ගැන ද කුටු කුටු ගාමින් දොස් කීවා ය. ඇගේ ඇතැම් ඇනුම්පදයක් යසස්වි ට හොඳින් ඇහුණ ද ඈ සිටියේ නෑසුණා සේ ය.

රෝහල්ගත වීමට පෙර දා හැන්දෑවේ යසස්වි ගේ ඕනෑකමට ගමේ පන්සලට ගොස් බෝධිපූජාවක් සිදු කොට පත්තිනි දේවාලයට බාරයක් ද විණි.

කෙතරම් හොඳ ශල්‍ය වෛද්‍යවරයෙකු සැත්කම සිදු කරන්නට නියමිත වී ද, වෛද්‍ය විද්‍යාව මොන තරම් දියුණු වී ද, පෞද්ගලික රෝහලක පහසුකම් සහිතව සියලු කටයුතු සිදු වුණ ද, හිත් වල ගැස්මක් නොවූවා නොවේ. වජිරා ව ශල්‍යාගාරයට ගෙන යාමෙන් අනතුරුව ඒ ගැස්ම වඩාත් දැඩි වූවා විය යුතු ය. විජිත සේ ම අස්විද ද සිටියේ නො සන්සුන් බවකින් යුතුවයි. ඔවුන් දෙදෙන ශල්‍යාගාරය ඉදිරියෙහි වන කොරිඩෝරයෙහි සක්මන් කරමින් ද අසුන්ගත වෙමින් ද නැවත සක්මන් කරමින් ද අත් ඔරලෝසු දෙස බලමින් ද කල්මරණ ආකාරය දකිත්දී යසස්වී ට මේ අසීරු මොහොත වඩා හොඳින් වටහාගත හැකි විය.

‘තව ටිකක් වෙලා තියනවනෙ. අපි තේ එකක් බීල එමුද… ‘

ඇය එවන් යෝජනාවක් ගෙනාවේ ඔවුන් ගේ හිත් මඳ වෙලාවකට හෝ වෙනතක යොමු කළ මනා යයි සිතුණ බැවිනි. අස්විද ඈ වෙතට හෙළුවේ ඒ තරම් සෞම්‍ය බැල්මක් නොවේ. ‘මේ වෙලාවෙ මෙයාට තේ බොන්නත් ඕන වුණාද’ වැනි බැල්මකි එය. යසස්වී වහා ඒ බැල්මෙහි අරුත වටහාගත්තා ය.

‘මෙහෙම කලබල හිතකින් ඔරලෝසුව දිහා බල බල ඉන්නකොට වෙලාව යන්නෑ වගෙයි දැනෙන්නෙ. ඒක හිතට හරි වදයක්. හැබැයි අපි කැන්ටින් එකට ගිහින් තේ එකක් බොන ටිකට වෙලාව ඉගිල්ලිලා වගේ ගිහින් තියෙයි. ඒකයි මං එහෙම කිව්වෙ’

‘යමු’

කියමින් විජිත නැගී සිටියේ පොඩි කෙල්ල ගේ හිත රිදෙන යමක් අස්විදගෙන් කියවෙන්නට පෙරයි. කෝපි බොන අතරවාරයේත් යසස්වි වැඩකට නැති කතා ඇදගත්තා ය. වැඩුණු පිරිමියෙකු වූව ද සිය මව පියවි සිහියෙන් ඈත් කොට කරනා සැත්කමක් නිසා අස්විද ගේ සිත්හි වූයේ දෙගිඩියාවකි. ඔහු ඉන් මුදාගැනීම ඇගේ අරමුණ විය. ඈ කීවා සේ ම යළි ශල්‍යාගාරය අසලට පැමිණෙන විට සැලකිය යුතු වෙලාවක් ගත වී තිබිණ.

‘දුව කියපු කතාව ඇත්ත. මෙතන හිටියනං බඩේ ගින්දරෙං ඉන්නෙ. තව පොඩි වෙලාවයි තියෙන්නෙ’

විජිත අත් ඔරලෝසුව දෙස බලමින් සැනසිලි සිනහවක් පෑවේ ය. යසස්වි ගේ නෝක්කාඩු බැල්ම අස්විද වෙත රැඳිණි.

‘එක්කෙනෙක්නං මාත් එක්ක පුපුර පුපුර ගියේ. අපි බයවෙයි පිපිරුවට’

අස්විද ඇගේ කරලකට ගෙතූ දුඹුරු සේද කොණ්ඩයෙන් ඇද්දේ පොඩි කොල්ලෙකු මෙනි.  

වජිරා ශල්‍යාගාරයෙන් පිටතට ගෙන ආවේ සැත්කම සාර්ථක ව නිම වූවා ය යන පණිවිඩය ද සමග යි. චේතිය කාර්යාලයේ සිට රෝහලට පැමිණියේ ය. වජිරා නිදුකින් සිටියා ය. ඒ රෝහලේ ගිලන් කුටිය වී ද ඔවුන් පස් දෙනා ම එතැන සිටියදී ජීවිතය පරිපූර්ණයි වාගේ හැඟීමක් අස්විද ට දැනෙමින් තිබිණ.

‘මං අම්ම ළඟ ඉන්නං රෑට. තාත්තල එහෙනං ගෙදර යන්න අයිය එක්ක’

 අස්විද ‘තාත්තල’ යන බහු වචනය යොදා ගත්තේ යසස්වි ද ඊට ඇතුළත්කොට ය.

‘මං ඉන්නව අම්ම ළඟ’

විජිත ස්ථිර ස්වරයකින් කීවේ ය. ඔවුන් දෙදෙනා විවාහ වූ දා පටන් වෙන්ව සිටියා නම් ඒ නො වැළැක්විය හැකි අවස්ථාවක පමණකි. වජිරා ට කොහොම වුණත් විජිත ට ඇය නැති දවසක් කල්පයක් මෙනි. ඈ නැති විට ඔහු ගේ දකුණු අත කැඩී ගියා වන් අබ්බගාත හැඟීමක් දැනේ. ඔහු සම්පූර්ණයෙන් ම බිරිඳ මත යැපෙන්නට පුරුදු වූ සැමියෙකි. නිතරම ඔහු පතන්නේ ඇයට වැඩිය දිනකට හෝ කලින් ඔහු මෙලොවින් සමුගත යුතු ය කියා ය. ඇය නැති ජීවිතයක් ගැන සිතාගන්නට හෝ ඔහු ට නො හැකි බැවිනි.         

‘පුතාල යන්න. නිකං බොරුවට මෙතන නිදිමරන්නැතුව ගිහිං නිදාගෙන හෙට උදේට ඉන්න. මට පුළුවං අම්මව බලාගන්න’

‘බෑ බෑ තාත්තව තනියම මෙතන තියල මට යන්න බෑ’

‘එහෙනං… අපි දෙන්න ඉඳල මේ දුවව ලොකු පුතා එක්ක යවමු’

‘අනේ බෑ බෑ. මාත් ඉන්නව ඕගොල්ලො එක්ක’

ඔවුන් ගන්නට යන තීරණයට යසස්වි වහා විරුද්ධ වූවා ය. ඒ වෙනුවෙන් නිදහසට කාරණයක් ද ඇයට තිබිණි.

‘මං අයිය එක්ක ගෙදර ගියොත් එහෙම… නිලූකා අක්ක මට ගහල පන්නන්නත් බැරි නෑ. අංකලුයි ආන්ටියි නැති අතරෙ’

ඒ කතාවට හැම මුහුණක ම ඇඳුනේ සිනහවකි. යසස්වි ඇයට පේනා මානයේ ඉන්නා එකට වජිරා ද කැමති වූවා ය. ඒ යසස්වි ගේ ආරක්ෂාව, සිය මිතුරිය චාරුලතා විසින් ඇය මත පවරනු  ලැබූ බැවිනි. ඒ අනුව චේතිය නික්ම ගොස් අනිත් තිදෙනා ම වජිරා සමග ගිලන් කුටියෙහි නතර වූහ. අස්විද විජිත සමග පිටතට ගොස් ඔවුන් වෙනුවෙන් රාත්‍රී ආහාර ගෙනාවේ ය. යසස්වි ද එහි නතර වීම ගැන හිත ට දැනුණු අහේතුක සතුට ගැන ඔහු නො සිතා සිටියේ ය. ඔවුන් පැමිණෙන විට යසස්වි සිටියේ යහන පාමුල අසුනෙහි හිඳ වජිරා ගේ හිස පිරිමදිමිනි.

‘හොඳ වෙලාවට අපි කලින්ම ගෙදර වැඩට ගෑනු ළමයෙක් ගෙනාවෙ’

අස්විද විහිළුවක් කළේ ය. යසස්වි බොරුවට රැව්වා ය.

ඒ ඔවුන් සිව් දෙනාට ම වෙනසක් දැනවූ රාත්‍රියකි. තුසිතයෙහි දී මුළු රැයක් ඒ විදිහට එක් කාමරයක ගෙවන්නට ඔවුන්ට අවස්ථාවක් උදා වී නැත. ඖෂධ නිසාවෙන් වජිරා ට ඉක්මනින් නින්ද ගියේ ය. අස්විද විසින් ගෙනෙනා ලද බිත්තර රොටී කනු ලැබුණේ ඉනික්බිති යි. ගෙදරදීත් දැනී නැති තරම් පවුලක හැඟීමකින් යසස්වි පිරී යමින් සිටියා ය. තාත්තාත් පුතාත් දෙදෙනා ම ගෑනු ළමයාගේ සුව පහසුව ගැන සැලකිලිමත් වූහ.

‘දුව ඔය ඇඳෙන් නිදාගන්න’

කෑම ගැනීමෙන් පසු විජිත යසස්වි ඇමතුවේ කුටියෙහි වන කුඩා යහන පෙන්වමිනි. රෝගියා අසල සිටිනා කෙනා වෙනුවෙන් එක් කුඩා යහනක් ද තවත් යුගල සෝෆාවක් ද එහි තිබිණි.

‘එපා එපා. මට නිදියන්න ඕන නෑ. අංකල් ඔය ඇඳෙන් හාන්සි වෙන්න. නිදිමරල අංකල්ට ප්‍රෙශර් නැග්ගොත්… ආන්ටිත් අසනීප අතරෙ ශෝක් එකට ඉඳී’

විජිත කෙතරම් පෙරැත්ත කළ ද යසස්වි ඒ කුඩා ඇඳ ප්‍රතික්ෂේප කරමින් එය ඔහුට ම පිළිගැන්වූවා ය. අස්විද ඇයට සෝෆාවේ නිදන ලෙසට ඇරයුම් කොට, ගිලන් යහන පාමුල පුටුවෙහි අසුන්ගත වූ විට යසස්වි ඊට කැමති වූයේ ද නැත.

‘අනේ එහෙම එපා. ඔය පුටුවෙ එළිවෙනකල්ම ඉන්න අමාරුයිනෙ. මං නිදියන්නෑ. ඔයත් මේ සෝෆා එකෙන්ම ඉඳගෙන ඇස් දෙක පියං ඉන්න. ඕන්නං අපිට කතා කර කර ඉන්න පුළුවන්නෙ…’

අස්විද ඇගේ යෝජනාවට එකඟව විත් සෝෆාවේ අනිත් පස හිඳගත්තේ ය. තාත්තා හා ගෙදර ද උදාර ද ගැන යම් යම් දෑ ඈ ඔහු ට පවසමින් සිටියා ය. හිත නිදහස් වන විට කෙතරම් සැහැල්ලු ද? මැදියම් රැය ඉක්ම යත්දී දැනුණා වූ නිදිමත ට එක මොහොතක දී ඇය පැරදෙන්නට ඇත. නින්දෙන් කඩා වැටුණු ඇගේ හිස අස්විද සිය උරහිස මත්තෙහි පරිස්සම් කළේ ය. වායු සමීකරණ සිසිලස නිසා ඇය උකුල මත තබාගෙන උන් ඇතිරිල්ල උරහිස තෙක් පෙරවූයේ ය. වචන කෝටි ගණනකින්වත් විස්තර කළ නො හැකි මහානර්ඝ හැඟීමකින් ඔහු සන්තෘප්ත වෙමින් හිඳිනට ඇත.

යසස්වි අවදි වූයේ පාන්දර යාමයේ ය. එතකොට ඈ සිටියේ ඔහු ගේ උරහිස මත හිස තබාගෙනයි. ඕ වහා ඒ ඉරියව්වෙන් මිදුණා ය. ඒ වෙලාවේ අස්විද නින්දකට වැටී තිබිණි. පුටු වතට හිස බර කොටගෙන නිදන නිසා උගුරෙන් ගෙරවුමක් නික්මිණි. යසස්වි පරිස්සමට ඔහු ගේ හිස සැකසුවා ය. ගිලන් යහන අසලට ගොස් වජිරා සුවෙන් නිදනා බව සැක හැර දැනගත්තා ය. සේලයින් එක නිමවීගෙන එන බව දැක හෙදියට ඒ බව දැනුම් දුන්නා ය.

 යළි සෝෆාවට විත්, අස්විද නින්දෙන් ඉක්මන් හුස්ම ගන්නායුරු බලා සිටි ඇගේ හදවතෙහි මාතෘ ස්නේහයක් ඉපදෙමින් තිබිණි. ඈ හෙමිහිට ඔහු ගේ හිස සිය උර මඬලෙහි රැඳෙන්නට හැරියා ය.

අස්විද අවදි වන විටත් යසස්වි සිටියේ අවදියෙන්, ඒ ඉරියව්වේමයි. ඔහු කලබලයෙන් වාගේ ඇදෙස බැලුවේ ය. ඈ අම්මා කෙනෙකු වන් නිසංසල මඳහසක් නගාගත්තා ය.

වජිරා ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් තිබිණ.

‘අනේ නංගිව එක්කං ගිහින් කන්න අරං දෙන්න චූටි පුතා’

කියමින් ඇය වද කළෙන්, උදේ කෑම කන්නට යසස්විව භෝජනාගාරයට කැටිව යන්නට අස්විද ට සිදු විය. විජිත නො පැමිණියෙන් යම් කිසි නිදහස් හැඟීමක් දෙදෙනා ගේ ම හිත් වලට දැනිණ. විදුලි සෝපානයේ දී, යසස්වි ඉවත බලාගෙන තනිව හිනැහෙමින් සිටියා ය.

‘මං බයේ හිටියෙ එක්කෙනෙක් ගොරෝන හැටියට ආන්ටිගෙ නින්දත් කැඩෙයිද කියල’

විදුලි සෝපානයෙන් නික්මුණු ගමන් ඇය ඒ විහිළුව කළා ය.

‘කව්ද දන්නෑ මගෙ උරිස්ස උඩට වැටිල හොඳට නිදාගත්තෙ… මරු එක්කෙනා ලෙඩ්ඩු බලාගන්න නතර වුණේ’

‘මං බැලුව තමයි. මං නර්ස්ට කතා කරල සේලයින් එකත් මාරු කළා. කියන එක්කෙනානං මගෙ උරිස්සෙ නිදාගෙන හිටිය… ගොරෝ ගොරෝ…’

ඔවුන් දෙදෙනා ම උනුන්ගෙන් ඉවත බලමින් නැගෙන්නට ආ සිනහවන් ගිලගනිමින් සිටියහ. වචන මොනවා කීව ද ඒ සිව් නෙත්හි වූයේ උනුන් ඉවසන්නටත් දරාගන්නටත් වන අප්‍රමාණ එකඟතාවයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here