හිමගිරි අරණ -75

“බබා ගැන නොදන්න දේවල් නිතරම ඩොක්ටගෙන් අහන්න. හොස්පිටල් එකෙන් යන්න කලින් ඔයාට නොතේරෙන හැම දෙයක්ම එයාලගෙන් අහලා පැහැදිලි කර ගන්න.නොතේරෙන තැන් තියෙයි.ඔයාට බය හිතෙයි.ඒත් ඔයා හැමදාම අලුත් අම්මෙක් වෙලා ඉන්නේ නෑ.දූ හැමදාම ඔය ගාණට ඉන්නෙත් නෑ.”

දිනාරාට නංගි බලන්නට කුඩා බිළිඳිය දෝතට ගත් හිමාෂා මල්මි සමඟ පැවසුවේ අහිතකින් තොරව ය.අලුත් අම්මා කෙනෙකු වීම පහසු කටයුත්තක් නොවන බව ඇය දන්නී ය.මල්මිගේ මුහුණේ තවම වේදනාත්මක ඉරි ඇඳෙයි.ඒ ඇය දරා ගන්නා වේදනාවේ පරිමාව බව හිමාෂාට හොඳින් වැටහෙයි.මල්මි හිමාෂා වෙත දෑස් විදා හිනැහුණා ය.ඇයට තමන්ගේ උදුරා ගැන්ම ගැන සිහින් වේදනාවක් දැනෙන්නේ මෙවැනි මොහොතක ය.

“ඔයා අලුත් තාත්තා කෙනෙක් නෙවෙයිනෙ.ඔයා මල්මිට වඩා දේවල් දන්නව සහන්.එයාට උදව් කරන්න.”

බිළිඳිය වඩා ගැනීමේදී පවා මල්මි තවම නිවැරදි ඉරියව් අනුගමනය නොකරන බව පෙනෙද්දී හිමාෂා සහන්ට පැවසී ය.සහන් කිසිවක්ම නොපවසා ඉන්නට වග බලා ගත්තේ ය.දිනාරා උපන් සන්තෝසය පැවතියේ පැය කිහිපයකි.ඉන් අනතුරුව හිමාෂා අලුත් ජීවිතය කෙසේ දරා ගත්තාදැයි ඔහු දන්නේ නැත.හිමාෂා බලා ගන්නට ඇගේ අම්මා සිටීනම් තමන් එතැනට අනවශ්‍ය බව සිතූ අතීතය ගැන දැන් සහන්ට දැනෙන්නේ වේදනාවකි.

“පුංචි බබෙක් දවසින් දවස උස්මහත් වෙන හැටි බලන් ඉන්න එක පුදුම තරම් සන්තෝසයක් සහන්.ඒ එක මොහොතක්වත් මඟ ඇර ගන්න එපා.ඔයාට දිනාරා මඟ ඇරුණා.ඒක වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති.ඔයත් එක්ක ජීවිතේ බෙදා ගන්න බැරි උනාට මට දුකක් නෑ.ඒත් ඔයාට දිනාරාගෙ ලස්සනම දේවල් මඟ ඇරුණට මට දුකයි.මඟ ඇරියාට වඩා ඔයා ඒවා මඟ ඇරියා.ඒත් දැන් ඔයා ඒ කාලෙට වඩා දැනුං තේරුම් තියන මනුස්සයෙක්.ඒ නිසා චූටි දූට ඔයාව මඟ ඇරෙන්න දෙන්න එපා.”

හිමාෂා ඒ කතාව මල්මි ඉදිරියේම කියන්නට සිතුවා ය.ඇතැම්විට ඒ කතාව හිමාෂා වෙනුවෙන් සහන්ට කියන්නට කාට හෝ හැකි වූවානම් මෙතැන රවිඳු හෝ මල්මි ඉන්නට ඉඩක් නැතැයි හිමාෂාට සිතිණ.එසේ වී නම් දෙවැනි දරු උපතක මිහිර විඳින සහන් සහ ඇයට මේ රෝහල් කුටිය වෙන් වන්නට තිබිණ.නමුත් දෛවයේ  සැළසුම් ඊට වෙනස් ය.

හිමාෂා හදවතට එන සියල්ල මේ තරම් පහසුවෙන් වචන කරන්නියක බව සහන් කිසි දිනක දැන සිටියේ නැත.තමන් ඇයට ඇහුම්කන් දෙන්නට කිසිදිනෙක ක්‍රියා නොකළ බව ඔහුට වැටහුණේ ඒ මොහොතේ දී ය.ඇයට සවන් දෙන්නට නොව ඇය දෙස බලා හිඳින්නට වත් උවමනාවක් නොවූ අතීත දවස් ගැන දැනෙන්නෙ ලැජ්ජාවක් ද නැත්නම් පසුතැවීමක් දැයි ඔහුට තෝරා බේරා ගන්නට හැකි වූයේ නැත.

“අත්දැකීම් තමයි සහන් ජීවිතයේ අලුත් කරන්නේ.දිනාරා ඉස්සරහත් ඔයාට මිස් වෙන එකක් නෑ.දුවෙක් කියන්නේ මල් ගහක් වගේ.ඒ මල් ගහේ මල් පිපෙන කොට ඔයාට නොකිය ඉන්න හිමා හිතුවත් මං ඔයාට කියනව.ඒක මම අතින් වෙන්න ඕන යුතුකමක් කියලයි මං හිතන්නේ.”

රවිඳු එසේ කියන්නේ අලුත උපන් දරුවෙකුගේ විස්මය නරඹන කුඩා දියණියගේ හිස පිරිමදින අතර ය.සහන් ඔහු දෙස බැලුවේ අහිතක් නොමැති දෑසකින් ය.

“මගේ දරුවා සම්පූර්ණයෙන්ම ඔයාට අයිති වුණා කියන ඇත්ත මට පිළිගන්න වෙනවා මල්ලි.අපි කරපු වැරදි වලට දරුව දඬුවම් නොවිඳින එක තමයි මට තියෙන එකම සැනසීම.කෙල්ල ඉන්නේ තාම පුංචි වයසක.ඇත්තම කතාව තමයි මාව අමතක කරලා ඔයාව හිතේ තියාගන්න එයාට ලේසියෙන්ම කරන්න පුළුවන්.ඒකට අපි උත්සාහ නොගත්තත් සිද්ධවෙන්නේ ඒක.ඒක එහෙමම උනාවේ.මල් පිපෙන විදිය ගැන ඔයා මට කිව්වට මල් පිපෙන ලස්සන බලන්න මං හිත හදා ගත්තෙ දුව ඔයා එක්ක ඉන්න හැටි බලලා.එයා වෙනුවෙන් වෙන්න ඕන යුතුකම් හැම එකක්ම මම ඉෂ්ට කරනවා.ඒකෙන් අදහස් වෙන්නේ ඔයාටවත් හිමාටවත් එයාව බලාගන්න හයියක් නෑ කියන එක නෙවෙයි.මං එයාගෙ ඇඟේ දුවන ලේවලට මේ දරුවාට තරම්ම එයාටත් සාධාරණයක් කරන්න ඕන.එච්චරයි.එතන වෙන කිසිම කතාවක් නෑ.”

පශ්චත්තාපය තරම් දරුණු දඬුවමක් මිනිසෙකුට ලැබිය හැකි වේදැයි හිමාෂාට සිතුණේ නැවත එන අතරමග ය.ඇය ඒ අදහස වචන කර රවිඳුට පැවසී ය.

“දරුවාට අවුරුදු කීපයක් තිස්සේ අසාධාරණයක් වුණා කියන එක විතරක් සහන් මතක තියාගන්නවනම් මට ඒ ඇති.ඔයාට අසාධාරණයක් වුණා කියලා එයා හිතන්න ඕනේ නෑ.”

රවිඳුගේ ඒ අදහස හිමාෂාට ගෙනාවේ පුදුමයකි.සහන්ගේ කුටුම්භය තුළ තමන් දැඩි අසාධාරණයට ලක්වූ බව සිතන්නට ඇය තවමත් කැමති ය.

“අපි ඇත්තටම ඇත්ත කතා කළොත් සහන් මල්මිත් එක්ක ඉන්නෙ සතුටින්.අපි තවම එකට ජීවත් වෙන්න පටන් ගත්තෙ නැතුවාට ඔයා මා එක්ක ඉන්නෙත් සතුටින් නේද? ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නම මඟ ඇරිල මායි මල්මියි මුණ ගැහුණේ ඔයාලගෙම හොඳට.දිනාරා වෙනුවෙන් ඔහේ යුතුකම් ඉෂ්ට කරගෙන ජීවත් වෙනවාට වඩා තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන එකත් එක අතකට හොඳයි හිමා.”

රවිඳු පවසන වචන ඒ ආකාරයෙන්ම පිළිගන්නට හිමාෂාට සිත් නොදේ.ඇයට මේ මොහොතේ පවා සිතෙන්නේ සහන් ඇයට තදබල අසාධාරණයක් කළ බවක් පමණි.ඒ හැඟීමෙන් හිත පුරවා ගත් ඇය රවිඳු දෙස බැලුවේ නොකැමැත්තෙන් ය.

“ඔයා කියන්නෙ මාව වයිෆ් හැටියට තියාගෙන සහන් මාව රවට්ටපු එක හරි කියලද? එහෙමනම් ඔයත් දවසක ඒකම කරයි කියල මට හිතන්න පුලුවන් නේද?”

එවැනි හදිසි ප්‍රශ්න රවිඳු කෝප කරන්නට සමත් වන්නේ නැත.ඔහු ඇය වෙත පැහැදිලි සිනාවක් හෙළුවේ ය.

“සහන් කරපු වරද මල්මි තෝරා ගත්තු එක නෙවෙයි.එයා ගැන ඔයාට නොකියා ඉන්න හිතපු එක.එයාට ඕන මල්මි කියලා දැන දැනම ඔයා එක්ක දිනාරාව මේ ලෝකෙට ගෙනාව එක.එයාට ඕනෑ කරන ආදරේ හරි ජීවිතේ හරි ඔයා ළඟ නැත්නම් එයා කරන්න තිබ්බෙ ඒක ඔයත් එක්ක කෙලින් කතා කරලා ඒකට විසඳුම් හොයන එක නෙවෙයිද? ඒ වෙනුවට හිත හදාගන්න මල්මිට ළං වෙලා ලෝකෙට පේන්න ඔයා එක්ක ජීවත් වෙලා එයා කරේ එයාව රවට්ටා ගත්තු එක.තමන් තමන්වම රවට්ටා ගැනීම තරමක් ලොකු වැරැද්දක් තවත් නෑ හිමා.අපි අතින් අනිත් අයට වැරදි වෙන තරමක් වෙන්නෙ අපි අපිවම රවට්ටා ගන්නකොට.”

ඒ තමන් කිසිම දිනයක නොසිතූ කාරණාවක් බව හිමාෂා සිතුවා ය.ඇයට ඒ ගැන අලුතින් සිතන්නට සිතුණේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles