(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මං දැන් මේ කෝප්පෙ හෝදලා ඔයාට තියන්න කිව්වෙ මෙතනද? ආ?” කියලා අම්මා කෑගහද්දි පුංචි නේශා හොඳටම බය උනා. අම්මා කොහොමත් දවසකට එක පාරක් හරි යකා වෙනවා කියලා දන්නවා උනාට පුංචි නේශා උන්නේ ඕව ඔහොම වෙන්නෙ ඇයි කියලා තේරුම් ගන්න පුලුවන් තැනක නෙවෙයි.
“වතුර බේරෙන නිසා මම රැක් එකෙන් තිබ්බෙ නැත්තෙ අම්මි” කියලා නේශා කිව්වට මධූ උන්නේ ඒව අහන තැනක නෙවෙයි. කොහොමත් මධූ හිතාගෙන ඉන්නේ තමන් තමයි හරි අනිත් හැමෝම වැරදියි කියලා. ඒ හන්දම මධූට උවමනා උනේ ගෙදර හැමෝම තමන් කියන විදියටම හැමදේම කරාවි කියලා. එහෙම නොවිච්ච තැන්වල මධූ යකා උනා. මේ ඔක්කොම හැබැයි ගෙදෙට්ට විතරයි. පිට තැනකදි ඔය වගේ කිසිම ප්‍රශ්නෙකට මධූ ෆේස් කරේ නෑ.
ඒත් මේ මධූගේ හිතේ තිබිච්ච “මං තමයි හැමදේම දන්නෙ. මං තමයි හැමදේම හරියට කරන්නෙ” කියන කාරණාව නිසා ලොකුවටම පීඩනේකින් උන්නෙ ගෙදර අය. විශේෂයෙන්ම දරුවො.
“ඔයාට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනෙ. මම කිව්වෙ ඒක හෝදලා රැක් එකෙන් තියන්න නම් ඔයා ඇයි ඒක සින්ක් එක උඩින් තිබ්බේ” කියාගෙන අම්මා ආයෙ කෑගහද්දි නේශාට ඒකට කියන්න කාරණාවක් තිබ්බා.
“අම්මි තමයි හැමතිස්සෙම මොන්ස්ටර් වගේ කෑගහන්නේ. භානුගෙ අම්ම නම් හරිම හොඳයි. ඒ ආන්ටි ඔහොම කෑගහන්නෙ නෑ” කියලා නේශා ඇස්වල කඳුලු පුරවන් අහද්දි තමයි මධූට තේරුණෙ තමන්ගෙ පැත්තෙ ලොකු අවුලක් තියෙනවා කියන එක.
මධූ පවුලෙ එකම ළමයා. අම්මයි තාත්තයි මධූව හැදුවෙ රැකවල් දාගෙන වගේ. පවුලෙ එකම ළමයා විශේෂයෙන්ම කෙල්ලෙක් වෙද්දි අම්මලා තාත්තලා එහෙම වෙන එක සාධාරණයි කියලා කෙනෙක්ට හිතුණත් ඒකෙන් මධූගෙ ඔලුවට වගේම “අම්මලා තමයි හරියට කරේ” කියල හිතලා මධූ ඒ විදියට තමන්ගෙ පවුල වෙනස් කරගන්න ගිය එකෙන් සෑහෙන ප්‍රශ්න ඇති වුණා.
“ඔයා කරන විදිය වැරදි මං කරන විදිය හරි”
“ඔයා මොනවද අනේ දන්නේ?”
“මං කියන විදියට කරන්න වෙන බකපණ්ඩිත කම් ඕන නෑනෙ” වගේ දේවල් නිතරම කියවෙන්නත් ගෙදර අය තමන් කියන දේකට වඩා වෙනස් දෙයක් කරාම මල පනින එකත් මධූගේ daily routine එකට add වුණා.
ඒ විදියට තමයි මේ anger management වෙනුවෙන් මධූ කවුන්සලින් ආවේ.
අපි සමහර වෙලාවට හිතාගෙන ඉන්නවනෙ “මං තමයි හැමදේම දන්නේ” කියලා. ඒ වගේම අපි සමහර වෙලාවට අපි හැමදේම දන්නවා කියලා හිතාගෙන අනිත් අයව correct කරන්න යනවා.
මේක පුංචි දෙයක් වගේ පෙනුනත්, ඇත්තටම මේක විශාල ප්‍රශ්නයක්.
අපිට නොතේරුණාට, මේ හැසිරීමෙන් වෙන්නේ අපේ මතයට අනිත් අය යටත් වෙන්න ඕන කියලා අපි හිතන එක. අපි හිතනවා අපේ විදියට වැඩ ටික සිද්ධ වුණොත්, අපේ හිතට සැනසීමක් ලැබෙයි කියලා. ඒත්, අපි ඒක කරන්නේ වෙනත් කෙනෙකුට මානසික පීඩනයක් ඇති කරලා. අපේ සැනසීම වෙනුවෙන් වෙන කෙනෙකුට මානසික පීඩනයක් දෙන්න අපිට කිසිසේත්ම අයිතියක් නැහැ.
අපි හිතන්න ඕනේ අපිත් මිනිස්සු කියලා. අපිටත් වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් අයත් තමන්ගේ දැනුමට අනුව තමයි වැඩ කරන්නේ. හැමෝගෙම හරි වැරදි ගතිගුණ තියෙනවා. ඒ නිසා, අනිත් අයව නිවැරදි කරන්න කලින්, අපි අපි ගැනම හිතලා බලන්න ඕනේ. අපි හැමදේම දන්නවා කියලා හිතාගෙන අනිත් අයව පාලනය කරන්න යන එකෙන් වෙන්නේ අනිත් අය අපෙන් ඈත් වෙන එක. තව කෙනෙක්ට අදහසක් ප්‍රකාශ කරන්න ඉඩක් දුන්නම, එයාලගේ අදහස්වලට ගරු කළාම, අපිටත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනගා ගන්න පුළුවන්.
පොඩි කාලේ අපි හැමෝම ආසයි නිදහසේ ඉන්න, තමන්ගේ හිතට ඕන දේවල් කරන්න. ඒත් සමහර දෙමව්පියන් ළමයින්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම control කරනවා. “අද මේක අඳින්න එපා,” “අන්න අර ළමයා එක්ක සෙල්ලම් කරන්න එපා,” “මේ විෂය විතරක් කරන්න,” වගේ දේවල් කියනවා. මේ විදියට හිර වෙලා හිටියම, ඒ ළමයාගේ හිත ඇතුළේ කවදා හරි තමන්ටම තීරණ ගන්න නිදහසක් නැති වීම ගැන තද තරහක් සහ වේදනාවක් ඇති වෙනවා.
මේ වේදනාව, ඒ දරුවා ලොකු වෙද්දි වෙනස් විදියකට එළියට එනවා. එයාට තමන්ගේ ළමා කාලේ නැති වුණ පාලනය, අනිත් අයගේ ජීවිත පාලනය කිරීමෙන් නැවත ලබාගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ නිසයි, පොඩි කාලේ ඕනවටත් වඩා පාලනය වුණ ළමයෙක් වැඩිහිටියෙක් වුණාම, තමන්ගේ සහකරු/සහකාරිය, දරුවන් හෝ යාළුවන් පාලනය කරන්න උත්සාහ කරන්නේ. ඒක පිටතට පේන්නේ බලය පෙන්වීමක් වගේ වුණත්, ඇතුළතින් වෙන්නේ තමන්ට අහිමි වුණ නිදහස සොයන අරගලයක්.
මධූට තිබුණෙත් එහෙම ප්‍රශ්නයක්. තමන්ට කෙනෙක්ව පාලනය කරන්න බැරිවෙච්ච තැනකදි මධූ කරේ තරහා ගත්ත එක.
මොකද තමන්ට අහිමි වුණු පාලනය නැවත ලබාගන්න කරන අරගලයක් අසාර්ථක වෙනකොට, ඇතිවෙන මානසික පීඩනය, අවසානයේදී පාලනය කරගන්න බැරි තරහක් බවට පත් වෙන හන්දා.
මෙහෙම situation එකකදි ඔයාට තනිවම මේ තත්ත්වයෙන් මිදෙන්න බැරි නම්, වෘත්තීය මනෝ උපදේශකයෙකුගේ සහය ලබාගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයා ආදරය කරන, ඔයා විශ්වාස කරන කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න. ඔයාගෙ හැඟීම්, ඔයාගෙ වේදනාව විවෘතව කියන්න. ඒකෙන් ඔයාට ලොකු සහනයක් ලැබේවි. මේක ඔයා ඔයාගෙ ජීවිතේට කරන්න පුළුවන් ලොකුම ආයෝජනයක්.
මතක තියාගන්න, තරහව කියන්නේ ඔයාගෙ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔයාගෙ හිතේ තියෙන වේදනාවක්. ඒ වේදනාවට හොඳම විසඳුම ආදරය, අවබෝධය සහ නිසි මඟ පෙන්වීමයි. තරහා ගන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ඒක හිතට වගේම ශරීරයටත් හොඳයි. ඒ වගේම, ඔයාගෙ ජීවිතයේ සතුට තියෙන්නේ මේ වගේ දේවල් පාලනය කරගන්න පුළුවන් වුණාමයි.
ඉතින් මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!