ගයාන්ව මට හම්බුණේ කිස් බාර් එකේදි.
මම ඩ්‍රින්ක් එකක් අතේ තියාගෙන වට පිට බල බල ඉද්දි ඈතක ඉඳන් ටේබල් එකකට වාඩිවෙලා මං දිහාම බලන ගමන් ඩ්‍රින්ක් එකක් දාන අවුරුදු හතලිහකට කිට්ටු වෙච්ච මනුස්සයෙක් ඉන්නවා දැකලා මම හිනා උනේ ඒ මනුස්සයා එක්ක මට කන්ටැක්ට් එකක් හදාගන්න ඕන වෙච්ච හන්දා. එයා ග්ලාස් එක උස්සලා චියර්ස් කරද්දි මං හිනා උනාට වෙනදා වගේ එයා ළඟට ඇවිදගෙන යන්න උවමනාවක් මට තිබ්බෙ නෑ. මට ඕන උනේ එයාව මං ළඟට ගෙන්න ගන්න.
“පිරිමි කැමති තමන් ළඟට එන ගෑණුන්ට නෙවෙයි තමන්ව ළඟට ගෙන්න ගන්න ගෑනුන්ට” කියලා හරිම ගොං කතාවක් ඊට කලින් දවසක ෆේස්බුක් එකේ කියලවා තිබ්බ මතකෙත් එක්ක මට ඕන උනේ ඒ වෙද්දි ගයාන් කියලා දැනගෙන උන්නෙ නැති ඒ මනුස්සයව මං ලඟට අද්දවගන්න. කුරුමිණියන්ව තමන් ලඟට අද්දවගන්න බාඳුරා මලක් වගේ එයාවත් මං ලඟට අද්දවගන්න.
“ඔයා කවුද? මං මීට කළින් දැකලා නෑ” කියාගෙන ගයාන් හරිම ලස්සන හිනාවක් එක්ක මං ලඟට එද්දි මං ගයාන්ව දැක්කෙ බාඳුරා මල ලඟට ආව කුරුමිණියා වගේ. ඒත් කවදහරි දවසක ඒ දෙපැත්ත මාරුවෙලා මම කුරුමිණියෙක් වෙලා බාඳුරා මලේ අඬු පඬු අස්සේ තැලිලා පොඩිවෙලා යාවි කියලා මට ඒ වෙලාවෙ කීයටවත් හිතුනෙ නෑ.
“මං නම් මීට කලින් මෙතනට ඇවිත් තියෙනවා. හැබැයි ඔබතුමා නම් ලඟකදි ඇවිත් නැති පාටයි. මොකෝ එහෙම ආවා නම් මාව නොදැක ඉන්න විදියක් නෑ” කියලා කියන ගමන් මම සුපුරුදු විදියටම මගේ ඇස් ගයාන්ගෙ පැත්තට යැව්වෙ නටව නටව. ඒ නැටවිල්ලෙ අස්සෙ ගයාන් මගේ ඇස් රැහැනට අහුවෙයි කියන බලාපොරොත්තුවත්, අනිත් අය වගේම මුලින්ම ඇහේ පැටලැවිලා, ඉන්පස්සෙ අතේ පටලැවිලා, මිනිහගෙ පොකට් එකෙන් බර ගාණක් මං ලඟට ඒවි කියලා මං බලාපොරොත්තු උනා.
“ඔව් ඔව් ඔයා කියන කතාවත් ඇත්ත වෙන්නැති. මං ඇත්තටම මාස කීපෙකට පස්සෙනෙ ආවෙ. ඔයා එහෙනම් ඔය කියන විදියට ලඟදි ජොයින් වෙන්න ඇත්තෙ නේද?” කියලා ගයාන් ආයෙ මගෙන් ඇහුවෙ මං වෙනුවෙන් තව ඩ්‍රින්ක් එකක් ඕඩර් කරන ගමන්මයි.
“මොනවද බොන්නේ? වොඩ්කා?”
“අපෝ මං හාඩ් ලිකර් බොන්නෙ නෑ. බියර් එකක් ඕකේ”
“අප්පා ගිනි සිලුව වගේ ඉද්දි මං හිතුවා ඕන එකක් හොඳට ගහනවා කියලා”
“නෑ නෑ මං දන්නවා මගේ ලිමිට් එක” කියලා එදා මං මහ ලොකුවට කිව්වට මටම නේද ඒක අමතක උනේ කියලා මතක් වෙද්දි ආයෙ අතීතෙට ගිහින් ඒ හැම තප්පරයක්ම වෙනස් කරලා එන්න පුලුවන් උනා නම් කොච්චර හොඳද කියන පසුතැවිල්ල මගේ හිතේ ආය ආය මතුනොවුනෙ නෑ.
“ශාහ් දැට්ස් මයි ගර්ල්. මං හරි ආසයි කෙලින් කතාකරන, තමන්ගෙ ලිමිට් එක දන්න කෙල්ලන්ට. ඉතින් කියන්නකො බලන්න මට ඔයාගෙ විස්තර” කියලා එදා පටන් ගත්ත කතාව නොහිතපු විදියට දුර යන්න හේතු උනේ ඉනුත් දවස් කීපෙකට පස්සෙ මන්දාරාගෙ මොඩ්ලින් ස්කූල් එකේදි ගයාන් මන්දාරා එක්ක කතා කර කර උන්නා දැක්ක එකෙන්.
කොච්චර ලස්සන උනත් ඒ වෙද්දි කිසිමාකාරෙක කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබ්බෙ නැති මාව ගයාන්ගෙ පරිණත, මැචුවර්ඩ් ලස්සන ඇස් අස්සේ ගැස්සිලා යනවා කියන එක මට තේරුණා. මොකද්දෝ හේතුවකට මං ඒ ගැස්සිල්ලට ආස කරා. මන්දාරා එක්ක කතාකර කර ඉද්දිත් ගයාන්ගෙ ඇස් හීන් සැරේ පාවෙලා නිරන්තරේ මං දිහාවට එනවා කියලා දකිද්දි I was over the moon.
මන්දාරා එක්ක කතාකරලා ඉවර කරපු ගයාන් මගෙ ලඟට ඇවිදගෙන එද්දි මගෙ හිත වෙනදට වඩා වේගෙන් ඩිග් ඩිග් ගාලා ගැහෙනවා මට දැනුනා. කිස් බාර් එකේදි වගේ වශී කරගන්න බැල්මකින් ගයාන් දිහා බලන්න ඇත්තටම මට කන්ෆිඩන්ස් තිබ්බෙ නෑ. මගෙ හිත තිබ්බෙ වෙනම ලෙවල් එකක. අලුත්ම වෙනස්ම ලැජ්ජාවක එතිලා. මට උන්නෙ මගෙ හිතේ බර මටම දරාගන්න බැරි තැනක. ඒ බර එන්න එන්න වැඩි උනේ, ගයාන් මං ලඟටම ඇවිල්ලා බිමට පහත් කරගෙන උන්න මගෙ ඇස් අස්සට එබිලා “එදා චණ්ඩියා වගේ කතාකරාට අද මොකෝ මේ සද්ද නැත්තෙ?” කියලා අහද්දි මට කරන්න පුලුවන් වෙච්ච එකම දේ කවදාකවත් මගේ තොල් මත්තට ආවෙ නැති ලැජ්ජාව පිරිච්ච හිනාවක් ගයාන්ට පෙන්නන එක විතරයි.
“එහෙම දෙයක් නෑ” කියලා ඇදලා පැදලා කිව්වට එහෙම දෙයක් තිබ්බ විත්තිය මගේ හිත දැනගෙන උන්නා.
“ඔයා කොහොමද මන්දාරාව අඳුරන්නේ?” කියලා මං ඇහුවේ මගේ හිතේ තිබ්බෙ awkwardness එක නැති කරගන්න හිතාගෙන වගේ කෙලින්ම ගයාන්ගෙ ඇස් දිහා බලාගෙන. ඒත් ඒ ඇස් උන්නෙ මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බලාගෙන නෙවෙයි වෙන කතාවක් කියන ගමන් කියලා තේරිච්ච හන්දම මං ආයෙ මගේ ඇස් පල්ලෙහට හරෝගත්තා. ඒත් එහෙම කරලත් ඇස් කෙලෝරකින් “ගයාන් ඉන්නෙ මං දිහාවම බලාගෙන” කියලා මං තේරුම්ගත්තා.
“මන්දාරාව මං සෑහෙන කාලයක් තිස්සෙ දන්නවනෙ ළමයො. මන්දරා මට ගොඩක් ගර්ල්ස්ව ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා” කියලා ගයාන් කියද්දි මගේ හිත ආයෙ වතාවක් ඩිග් ඩිග් ගාලා ගැහුනෙ “මන්දාරා ඇයි ගයාන්ට කෙල්ලන්ව ඉන්ට්‍රඩියිස් කරලා දුන්නේ?” කියන සැකේ හිතේ තිබිච්ච හන්දා.
“ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා? ඒ මොකටද?” කියලා මං අහපු ටෝන් එකේම ඒ සැකේ ගෑවිලා තිබ්බ බව මට තේරුණේ ඒ ප්‍රශ්නෙ එක්කම ගයාන්ගෙ මූණෙ ඇඳිච්ච “මං හොරේ අල්ලගත්තා” කියන හිනාවත් එක්ක.
“මොකෝ අවුල් උනාද මන්දරා මට ගර්ල්ස්ලව ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා කිව්වම? මන්දාරා මට ගෑනු ළමයින්ව අඳුන්නලා දුන්නෙ වෙන දේකට නෙවෙයි මගේ වැඩවලට”
“මොන වැඩවලට ද?”
“මං ටෙලි ඩ්‍රාමාස් කරනවනෙ ළමයො. ඒවට ඔය රඟපාන්න ගෑනු ළමයි හොයාගන්න ඕන උනාම මන්දාරා මට සෑහෙන්න සපෝට් කරලා තියෙනවා. ඒ උනාට ඉතින් මන්දාරා මට මේ පාර කරේ නම් හෙන කැත වැඩක්”
“මොකද්ද ඒ?”
“මෙච්චර ලස්සන කෙල්ලෙක්ව හංගන් ඉඳලා මේ මට වෙන වෙන පොඩි පොඩි සිප්පි කැලි සෙට් කරපු එක තමයි ඉතින්” කියලා ගයාන් ආයෙ අර මනමාල හිනාවයි බැල්මයි දාලා කියද්දි මං ආයෙ වතාවක් මගෙ ඇස් බිමට හරවගත්තෙ ගයාන්ගෙ ඒ වචනයි බැල්මයි දරාගන්න අමාරු හන්දමයි.
කොච්චර හිත හයිය ගෑනියෙක්ගෙ උනත් හිත දියකරලා දාන්න, කොච්චර කෙළින් බලන්න පුළුවන් ගෑනියෙක්ගෙ උනත් බැල්ම සරෙන්ඩර් කරන්න පිරිමියෙක්ගෙ එක වචනෙකට, එක බැල්මකට පුළුවන් කියන කාරණාව මම මුලින්ම එක්ස්පීරියන්ස් කරේ ගයාන් ළඟදි. ගයාන් මගෙ හිත විදගෙන ඇතුළට ආවෙ හරියට ගුල්ලෙක් ලීයක් සිදුරු කරගෙන ඇතුළට යනවා වගේ. හැබැයි ගුල්ලෙක් විද්ද ලීයක වටිනකම අඩු වෙනවා වගේම, ගයාන්ලා වගේ මිනිස්සු විද්ද හිත්වල, ජීවිතවලත් වටිනකම අඩුවෙනවා කියන කාරණාව එවෙලෙ මට ඇත්තටම හිතුනෙ නෑ.
එහෙම හිතුනත් සමහර විට ගයාන්ගෙ වචනවල මෝහනය වෙලා උන්න මෝඩ මම එවෙලෙ ඒක පිළිනොගන්නත් ඉඩ තිබ්බා.
ගයාන් මගේ ජීවිතේට චුට්ට චුට්ට ආවේ ඇත්තටම දාහක් පොරොන්දු දිදී. බලාපොරොත්තු දිදී.
“මං කවදහරි ඔයාව ලංකාවෙ ටොප් මොඩ්ල් කෙනෙක් වගේම ටොප් ඇක්ට්‍රස් කෙනෙක්වත් කරනවා” කියලා ගයාන් දුන්න පොරොන්දු අස්සේ “කට්ටිය ලඟ වාඩිවෙලා උන්නට අපි උන් එක්ක නිදාගන්න යන්නෙ නෑනෙ” කියලා හිතපු මම ගයාන් එක්ක නිදාගන්න එකත් “ආදරේ වෙනුවෙන් මොනාද කරන්න බැරි” කියලා සාධාරණීකරණය කරන තැනකට වැටුණා.