දෑත දරා – 36

0
527

සාරතී ව නිවසින් ඇරලවාගෙන මනුජ සහ සින්දූපා ත් දියණියත් කොළඹ බලා පිටත් වූයේ හත හමාරට පමණය.

” දෙන්නට කෝපි හදලා ඕං මේ බෝතලේ… සැන්ඩ්විච් හැදුවා..බබාගේ පෙට්ටියේ බබාට.. බබාගෙර් කිරි එකත් ඇති… මදි පාඩුවක් වුනොත් කෙසෙල් ගෙඩි ඇති… ඔය රතු පාට පෙට්ටියේ මම නූඩ්ල්ස් එකකුත් දැම්මා.. මඟ තැන තැන නැවතෙන්නේ නැතුව යන්න මහත්තයා…. හීන් සීරුවේ වාහනේ අරගෙන යන්න….. “

සාරතී නැන්දාට මෝටර් රියෙන් බහින්නට පෙර උපදෙස් මාලාව දිග හැරියාය. සින්දූපා  සිනාසෙමින් අසා උන්නාය. දියණිය සින්දුපාගේ උකුලේ සුව නින්දේම  උන්නාය. 

මනුජ  සේම සින්දූපා ද නිවසට පැමිණෙන බව අම්මලාට පවසා තිබුනේද නැති නිසා දෙදෙනාට මඟට ඇති තරම් වෙලා තිබුණි.

කිලෝමීටර් එකසිය අසූවකට ආසන්න දුරක්, පැය පහක් ඉක්මවන ගමනක් තිබුණි.

” ඔයාට මහන්සි වුණාම මට දෙන්න … මම ඩ්‍රයිව් කරන්නම් …”

“මට මහන්සි නෑ.. මේ මම යන එන රූට් එක …”

“මාත් ඉතින් යනවා එනවානේ…”

“ඇත්තටම මෙච්චරකල් රෑටද ගමන් ආවේ ගියේ ?”

“හ්ම්…  හැමදාම නෙවෙයි … ඉඳලා හිටලා…”

මනුජ සින්දූපා දෙස තරවටු බැල්මක් හෙලුවාය. ඕ මින් පෙර පැවසුවේ රාත්‍රී ගමන් අනිවාර්‍යෙන්ම වන පුරුද්දක් ලෙසිනි. එය ඇය එලූ ඇමකි. තමා එයට හසුව ඇත.

සින්දූපා නොපෙනෙන්නට සිනා සුනාය. පැය දෙකක් ඉක්ම යද්දී මනුජ ආහාර ගැනීම සඳහා අවන්හලක් අසල නැවැත්වූයේය. සාරතී නැන්දාගේ ආහාරද අපතේ යැවිය නොහැක කියා ඉන් පාර්සලයක්ද දිග හැර ගන්නා ලෙස සින්දූපා ට පවසමින් මෝටර් රථයෙන් බැස්සේය.

” දෙන්නාටම මම සී ෆුඩ් එකක් ගත්තේ… මට ගොඩක් කන්න බෑ කොහොමත් නින්ද යනවා…”

“අපරාදේනේ වියදම් කලේ..  මටත් එහෙමටම බඩගින්නක් නෑ.. ශේප් කරගන්න ඕනිවටත් වඩා මේ තියෙන දේවල්…”

මනුජ ඇස් ඔසවා තරවටු බැල්මකට විශ්මය මුසු කලේය.

” කෝටිපති තාත්තා කෙනෙක්ගේ එකම දුව කියන කතාවක්ද ඒ.. රුපියල් එක්දාස් අටසීයේ සී ෆුඩ් එකකට…”

සින්දූපා එයට හඬ නඟා සිනාසුණේ දියණිය නින්දේ සිටින බවද අමතක කරමිනි. සැනින් ඕ සිනහව ගිලගෙන පියවි ලොවට පිවිසියාය.

” තාත්තා නේ කෝටිපති… දුව නෙවෙයිනේ.. !.”

“කියනකොට බාගදා වෙලාවට තමයි ඔය කතා… එදා නම් කිව්වේ කින්ග්ස් එකේ ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ පුටුවක් තියෙනවා.. කියලා…”

මනුජ මෝටර් රියෙන් බැස, සින්දූපා ගේ උකුලේ උන්  දියණියව පිටුපස අසුනේ සුවපහසුව වැතිරෙන්නට සැලසුවේය. යලි මෝටර් රියට ගොඩ විය.

“කින්ග්ස් ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ එක පුටුවක් නෙවෙයි… පුටු එකොළහක්ම තියෙනවා…”

සින්දූපා ගණනකට නැති  සෙයින්  කීවාය. මනුජට නැගුණේ හිතුවක්කාර සිනහවකි. ජීවිතය මෙතරම් සුන්දරද ?

” අහ්.. කාලා ඉන්න…”

මනුජ ආහාර ඇසුරුම දිග හැර සින්දූපා වෙත පෑවේය.

” දෙන්නම කමු ඉතින් … බබාට මෙව්වා දෙන්නේ නෑනේ…?”

“නෑ.. එයා ඔය නින්දෙම යද්දෙන්…ඇහැරුනොත් කෑම තියෙන්වානේ..”

“අර සාරතී ආන්ටිගේ නූඩ්ල්ස් එක අපරාදේ….”

මනුජ එයට කිසිත් නොපවසා සී ෆුඩ් ආහාර ඇසුරුම සින්දූපා ගේ උකුල මත තැබුවේය. ඇය දෙස හැරී සුවපහසුව  හිඳගත්තේය.

” මෙතන කාර් එක පාර්ක් කරන් උන්නට අවුලක් නෑ ?”

“”නෑ…”

සින්දූපා ආහාර බඳුනට පසෙකින් වූ හැන්ද ගෙන, එය ආහාර වලින් පුරවාගත්තාය. මනුජ දෙස යන්තමින් බලා, හැන්දට යටින් අනෙක් අත තබාගෙන එය මනුජගේ මුවට ළං කලාය. කොහොමටත් මනුජ එය බලාපොරොත්තුවෙන් උන්නේය.

නිර්ධා .., ඇය නිරන්තරයෙන්ම තමාගෙන් ඒ සැලකීම බලාපොරොත්තුව උන්නාය. එකල එය වෙනසක්ව නොදැනුනද, මෙකල මෙය පිරීමක් සේ දැනෙයි. තමා පිළිබඳව වන සැලකීම මහ බරින් දැනෙයි.

මනුජ හැඳි කිහිපයකින් ආහාර ගැනීම නැවැත්වූයේය. කෝපි දමා තිබූ උණුසුම්බෝතලය ගෙන  ඉන් උගුරු කිහිපයක් පානය කලේය. සින්දූපා ආහාර බඳුනම අවසන් කලාය.

” පුරුද්දක් විදියට, මම බෙදාගන්න කෑම එක ඉවර කරනවා… කෑම විසි කරන්න කැමතිම නෑ මම… අපි ක්ලිනික්ල් ඉන්නකොට, කෑම නැතිකම නිසාම මිනිස්සුන්ගේ දුක් වේදනා ගැහැට අනේක අප්‍රමාණ දකිනවානේ…”

මනුජ එය පිළිගෙම හිස සැලුවේය. සින්දූපා ගේ උකුල මත වූ හිස් ආහාර බඳුන ගෙන කවරයකට දමා, පසුපස බිමින් තැබුවේය . හැන්ද වෙනමම කවරයකට දැම්මේය.සින්දූපා එය දැක්කා වුවත්, නොදැක්කා සේ උන්නාය.

” බය නැද්ද ?”

මනුජ එක් වරම විමසුවේය.

සින්දූපා විමතියෙන් මෙන් ඔහු දෙස බැලුවාය. එහෙත් කිසිවක් නොවිමසාම උන්නාය.

” මං කොහොම මිනිහෙක්ද කියලා නොදැන, මෙහෙම ගමනක් යන්න ඉස්සර වුනා වැඩි නැද්ද ?…”

සින්දූපා සිනාසුණාය. ඇස් උස්සා ඒ සිනහව දෙඟුණකර පෙන්වූවාය. මනුජගේ හදවත තුළ වියැලී ගොස් තිබුණ නහර වල පණ පොදක් හුස්ම ලන බව දැනෙන්නට ගත්තේය. ජීවිතේ එහෙමය. ඇතම් විට එක් සිනහවම සියල්ල කණපුට ගසන්නේය.

” මම ටූ මච් කියලාද කියන්නේ ?”

සින්දූපා ඒ සිනහව සමඟින්ම විමසුවාය.

මනුජ කෝපයක් මවාගත්තේය. ඇතැම් විට ගැහැණු වඩා අපහසු වචනයකින් අල්ලා ගන්නේ ප්‍රේමයම බලාපොරොත්තුවෙනි.

“නෑ මම ඇහුවේ… දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක් එක්ක මෙහෙම ගමනක් ..මේ රෑ.. එන්න මම ටූ මච් ෆෝර්වර්ඩ් කියලා ඔයාට හිතෙන්නත් පුලුවන් නිසා…”

සින්දූපා සිනහව ක්ෂය එන්නට නොදීම කීවාය.

මනුජ එයට කිසිත් නොපවසා මෝටර් රියෙන් බස දියණියව ගෙන, යළි ඇය සින්දූපා ගේ උකුල මත තැබුවාය.

” මෙයාව ඇහැරවලා කිරි එක පොවන්නද ?”

මනුජ එයට කිසිත් කීවේ නැත . සාරතී නැන්දා දියණියගේ කුස පිරී ඇති බව  පැවසූ නිසා මනුජ කොහොමටත් දියණිය ඇහැරවන්නට උත්සාහ කලේ නැත. සින්දූපා දියණියගේ අපිලිවෙල හිස ඒ පිලිවෙලට සැකසුවාය. මනුජ දෙසද බැලුවාය.

” පුපුරන්න දෙයක් කිව්වේ නෑ මම… තමන්ට තමන් විශ්වාස නම්, අහන්න ඕනි කතාවක් නෙවෙයි නේ ඔයා ඒ ඇහුවේ…. එහෙම අහන්න වෙන්නේ  තමන්ට තමන්ගේ හැසිරිම් විශ්වාස නැත්නම් …”

සින්දූපා මනුජ දෙස ඍජුවම හැරී කීවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here