ඉඩෝරයක මල් වැස්සක් – 26

මුල් දින කිහිපයේම සහන් ඉසුරිව මගහැර සිටියේ උවමනාවෙන්මය. සිතෙහි කෝපයක් සේම ඈ වැනි යුවතියක මගහැරී යාමේ වේදනාවක් ඔහුට විය. සතර දෙනා එක්ව කෑමට යන වේලාවල් වලදී පවා ඔහු හිතා මතාම ඒ අවස්ථාව මඟ හැරියේ අවසන් කලයුතු වැඩක් ඇතැයි පවසමින්ය.  ඉසුරි ඒ පැවසූයේ සත්‍ය කතාවක්ම ද යන්න ඔහට තහවුරු කර ගැනීමට උවමනා වූයේ ඉන් පසුවය. සමහර කෙල්ලන් තමාට කොල්ලෙක් සිටිනවායැයි පවසන්නේ බොරුවටය. සහන් ඉසුරිට ඒ අයුරේ යෝජනාවක් ගෙන ආවේ ඇය පිළිබඳව විමසිල්ලේ බලා සිටියාට පසුවය. කාර්යාලයේ පෙම්වතුන් සිටින කිහිප දෙනෙකුම ඔහු දැක තිබේ. ඔවුන් උදෑසනට සවස ට යන්නේ එන්නේ තම පෙම්වතුන් සමඟය. දවසකට තුන් හතර වතාවක් දුරකථන ඇමතුම් වරදින්නේ නැත. එහෙත් ඉසුරිට වූයේ අතිශය සාමාන්‍ය දින චර්‍යාවකි. අඩු ගණනේ ඈ මහ මගදීවත් තරුණයෙකු හමු වූ⁣යේ නැත.

එනිසාම ඉසුරි  ගැන සොයා බලන්නට ලොකු උවමනාවක් සහන්ට විය. අවසන ඔහු පෙර තමා සමඟ එක්ව සේවය කළ තරුණයෙකුට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ඔහු ඉසුරිගේ ගමේ අයෙකුයැයි තවත් මිතුරෙකු පැවසුවාට පසුවය. 

“මචං මට උඹව ඒ තරම් මතක නෑ. සමහර විට දැක්කොත්නම් අඳුරගන්න පුළුවන් වෙයි.”

“මට අකලංක තමයි බං මේ නම්බර් එක දුන්නේ. අර උස මහත එකා. බොස්ගේ ළඟ හිටියේ..”

“මට මතකයි..ඌ හොඳට මතකයි බං. උඹව තමයි එච්චර නිච්චියක් නැත්තේ.”

“මං ටික දවසයිනෙ බං හිටියේ..දැන් මං වැඩ කරන්නේ ජයවර්ධන කම්පැනි එකේ. එතන අවුලක් නෑ. වේකන්සි තිබුනොත් උඹට කියන්නම් මම”

“ඉතින් මචන් හදිසියේ…”

“උඹලගේ ගමේ ඉන්නවද ඉසුරි කියලා ගර්ල් කෙනෙක්. ජයවර්ධන කම්පැනි එකේ වැඩ කරන.”

“ඔව්..මං දන්න කෙල්ලෙක්. ඇයි මොනව හරි ලෙඩක් දා ගෙනද..”

“අනේ මචං.. මට ඒකි ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ. මට නෙමෙයි ඇත්තටම මගේ යාළුවෙක්ට”

“ඇයි බං හේතුව කියලා හිටහංකෝ”

“නෑ…මේ මගේ යාළුවෙක් ඒ කෙල්ල ගැන හොයනවා. ඒකිට ට්‍රයි කරනවා”

“අවුලක්නම් නෑ.. මේකි කැමතියිලුද..”

“උඹ ඒක කියපු විදිහේ මොනවා හරි අවුලක් තියෙනවා. තවම ඒකිගෙන් අහලා නෑ. ඌ ටිකක් වෙනස් විදිහට වැඩ කරන එකෙක්. බොරුවට කරන එකක් නෙමෙයි නිසා ඉස්සර වෙලා කෙල්ල ගැන හොයලා බලන්න ඕනෙලු”

“ඒකිගේ පවුල නම් එච්චර හරි නෑ බං. තාත්තා පොඩි කාලෙම දාලා ගිහිල්ලා. අම්ම ඉතින් දන්නවනේ මං උඹට කියන්න ඕන නෑ නේ. එකක් කියල නෑ. ඒකි  මැරි කරන්න ඉන්නෙත් මං අඳුරන කොල්ලෙක් තමයි. ඒක අවුරුදු ගානක එෆෙයාර් එකක්”

“එතකොට ඒ කතාව ඇත්තක්…”

“ඔව් ඒ ඉසුරිගේ නැන්දාගේ  පුතා. ඌත් ඒකිව බඳින්නෙ කරන්න දෙයක් නැතිකමට බං. සෑහෙන කාලයක් තිස්සේ ඌ එහේ එනවා යනවා. සෑහෙන්න දුරදිග ගිය සම්බන්ධයක් වෙන්න ඇති නේ. ඥාති නිසා කරන්න දෙයක් නැතුවත් ඇතිනේ. කෙල්ල නං ලස්සනයි අහිංසකයි තමයි. ඒ වුණාට බං ඉතින් ඔය වගේ කුණු ගොඩවල් වලට කවුද කර ගහන්න කැමති. උඹ යාළුවට කියහං තේරුමක් නෑ කියලා..”

“දැන් එතකොට උන් අනිවාර්‍යයෙන්ම මැරි කරනවද…”

“එහෙම වෙයි ගොඩක් දුරට. මං හිතන්නේ ඌට බේරිල්ලක් නෑ. ඌ නම් එච්චර ඉසුරිව කෙයාර් කරන්නේ නෑ. ඒ උනාට ඉතින් කාලාන්තරයක් තිස්සේ කතාබහ කරලා තිබුණු දේවල් වෙන්නැති නේ. පිස්සුද බං මුහුදේ ඉන්න එක මාළුවද. අනිත් එක උඹේ යාළුවට කියහං එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගන්න තරම් ඉසුරි කියන්නේ වටින කෙල්ලෙක් නෙමෙයි කියලා”

“තෑන්ක්ස්  බං උඹට…… මං ඌට මේ ටික පැහැදිලි කරලා කියලා දෙන්නම්. ඒකි අහිංසක තාලෙට ඉන්නේ, ඌ ඉතින් රැවටිලා.”

“අනේ මන්දා බං…පෙන්නගෙන  ඉන්න අහිංසකකම ඒකිගෙත් තියෙනවද කියන්න මං දන්නෙ නෑ ඉතින්. කොහොමටත් ඔය පත්තිනි අම්මලා වගේ ඉන්න ගෑනු තමයි විශ්වාස කරන්නම බැරි.”

“තැන්ක්ස් මචං උඹට මේ විස්තර ටික මට දුන්නට. මෙහෙම කෙනෙක් කතා කරලා ඒක ගැන හෙව්වා කියලා එයා දැනගන්න ඕන නෑ. මොනව උනත් අපි එක ඔෆිස් එකක වැඩ කරන්න ඕනනේ”

“අනිවාර්යයෙන්……එහෙම චීත්ත වැඩ මං ළඟ නෑ බං.”

කුමක්දෝ අහේතුක සතුටක් සහන්ගේ සිතුවිලි පුරා පැතිර තිබිණ. තමාට හිමි නොවූ ඇය ගැන මිනිසුන් අප්‍රසාදයෙන් කතා කිරීම ඒ සිත සතුටින් පුරවා තිබිණ.

“තව පොඩ්ඩෙන් මං  මාර අමාරුවක වැටෙනවනේ..”

අවසන ඔහු සිතුවේ එහෙමය. 

ඉන්පසුව ඔහු හැකි හෑම අවස්ථාවකම අශිකා හා එක්ව ඇයට කුමක් හෝ ඇනුම් පදයක් කියන්නට මාන බැලුවේය. සහන්ගේ මේ වෙනස යුවතියට වැටහුම් වුවත් ඇය ඒ ගැන ඕනෑවට වඩා සිතන්නට නොගියාය. ජීවිතයට විවිධ ආකාරයෙන් ඇතුළු වන මිනිසුන් පිටව යන්නේත් විවිධාකාරයේ හේතු සාදා ගෙනය. ඔහුත් එවැන්නෙකි. 

                                   *****************

ඉසුරි තාත්තාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ දින කිහිපයක්ම සිතා බැලුවාට පසුවය. අම්මා ගැන කතා කිරීමට සේම තමාගේත් ලොකු අයියාගේත් විවාහය ගැන හදිසි නොවන්නයැයි ඔහුගෙන් ඉල්ලන්නට ඇයට වුවමනා විය. 

“තාත්තා ඉන්නෙ කතා කරන්න පුළුවන් තැනකද….”

“මට චුට්ටක් සනීප නෑ ඉසුරි අද මං නිවාඩු. කියන්න.”

“ඇයි තාත්තා මොකක්ද අසනීපෙ?.”

“වෛරස් එකක්. කැස්සයි, හෙම්බිරිස්සාවයි  උණයි. මට ඒ හැටි අමාරුවක් නෑ ඉසුරි. නිවාඩුවත් ඉතුරු වෙලා තිබුණු හින්දා ගෙදරට වෙලා රෙස්ට් කරන්න හිතුවා. ඉසුරි කියන්න මට ඔයා එක්ක කතා කරන්න අපහසුවක් නෑ.”

“තාත්තේ අම්මා…..”

“ඔයා කියන්න හදන්නේ අම්මා පිටරටකට යන්න හදනවා කියලද?”

“ඔව් තාත්තට ඒ ගැන කිව්වද…..”

“මට කිව්වා. ඔයා ඒකට කැමති නෑ කියලත් කිව්වා. ඔයා වගේම මමත් ඒ තීරණයට කැමති නෑ. හැබැයි ඉසුරි දැන් මට අම්මට බලපෑම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අම්ම විශ්වාස කරනවා ඒ ගමන එයා යා යුතු එකක් කියලා. සමහර සාධාරණ හේතු තියෙනවා ඉසුරි ඒ තීරණයට” 

“තාත්තා කියන්නෙත් අම්ම එහෙම ගියාට කමක් නෑ කියලද..”

“ගියාට කමක් නෑ කියලා මං කියන්නේ නෑ ඉසුරි..යන්නම වෙනවනං අපිට එයා වළක්වන්නත් බෑ. ඔයාට නංගිවයි කිරි අම්මවයි බලා ගන්න පුළුවන් නේද. මං මල්ලි ගැන දෙයක් හිතලා තියෙන්නේ.”

“මට එයාලව බලාගන්න පුළුවන් තාත්තා ඒක නෙමෙයි ප්‍රශ්නය. අම්මා මෙහෙම ගිහිල්ලා අපිට එයාව සදහටම නැති වෙයි කියලා මට ලොකු බයක් තියෙනවා.”

“අම්මා ආයේ ඔයාලට  නැති වෙන්නෙ නෑ පුතේ. ජීවිතේ  සමහර දේවල් තියෙනවා අපි අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ  දොර වහනවා වගේ හදිසි තීරණ වලට නිදහසේ පසුතැවෙන. ඔයාලා තනි උනේ අම්මගේ වරදෙන් විතරක් නෙමෙයි. අම්මගේ මගේ දෙන්නගෙම වරදින්. මොන තරං අපි හිත සනසගන්න කතා කිව්වත් අපේ හෘද සාක්ෂියට බොරු කියන්න බෑ ඉසුරි. ඔයාගේ අම්මා වගේම මං වගේම සමහරවිට මධාරාත් යම් තැනකදි ඒ හෘද සාක්ෂියට එකඟව විඳවනවා ඇති.”

“තාත්තේ එතකොට…”

“අම්මට ඔය අවුරුදු තුන එයාගේ හිත හදාගෙන එන්න ඉඩ දෙන්න ඉසුරි. මං නැන්දට  ඊයේ කතා කළා. අද එයාලා ඔයාලා දෙන්නගෙ හඳහන් බලන්න යනවා.

“තාත්තෙ මට ඒ ගැනත් ටිකක් කතා කරන්න ඕනේ.”

“කියන්න ඉසුරි.”

“තාත්තේ…..අම්මා ආවට පස්සෙම අපිට එන්ගේඡ් වෙන්න බැරිද.”

“ඇයි ඉසුරි එහෙම කියන්නේ.”

“ඉක්මන් තීරණ ගන්න ගිහිල්ලා මගේ ජීවිතේ මට නැතිවෙයි කියලා බයයි තාත්තේ.” 

“ලොකු පුතා කියන්නේ  පොඩි කාලේ ඉඳලම වගකීම් දරපු පිරිමියෙක්. තව කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් වෙච්ච කෙනෙක්. ඉස්සර අම්මයි මමයි රණ්ඩු වෙනකොට ලොකු පුතා ඇවිල්ලා ඔයාව එයාලගේ ගෙදරට එක්කරගෙන යනවා. ඔයාට ලොකු පුතා තරම් හොඳ පිරිමියෙක් තවත් හම්බවෙන්නේ නෑ ඉසුරි. අම්මට ඔයාගේ ආරක්ෂාව ගැන බයක් හිතේ තියෙනවා. ඒ ඔයා ගැන අවිශ්වාසයක් නෙමේ. ලොකු පුතා උනත් පිරිමියෙක්. ඔයාට වැරැද්දක් වෙන්න වගේම වෙනස් වෙන්නත් එයාට තාම අයිතිය තියෙනවා. අම්මා මේ ගනිපු තීරණයට මමත් සීයට සීයක් එකඟයි. මේ හදන්නේ ලොකු පුතාට තවත් වගකීමක් දෙන්න. එයාගේ හිතට හිතෙනවනේ පුතේ දැන් මේ ගෙදර ඉන්නේ ගෑනුම තුන්දෙනෙක් මම ඒ අය ගැන ටිකක් හොයලා බලන්න ඕනේ කියලා. සමහර වගකීම් යුතුකම් තියෙනවා අපි කටින් කිව්වට වැඩක් නෑ. ඒක එයාලට දැනෙන්න දෙන්න ඕනේ. පවරලාම දෙන්න ඕනේ..

අම්ම ඇවිල්ලා ඔයාලගේ වෙඩින් එක ලස්සනට ගන්න එයා ප්ලෑන් කරනවා. මේ විදිහටම දවස් ගෙවිලා යාවි පුතේ.⁣ වෙනසකට තියෙන්නේ ඔයාලට නීතිමය බලයක් ලැබෙන එක විතරයි.  මං ලොකු පුතා එක්ක කතා කරන්නම්. ඔයා රස්සාවට ගිහිල්ලා ඔයාට කියලා දෙයක් හදාගන්න. එන්ගේඡ්මන්ට් එකක් කියන්නේ ජීවිතේ ලොකු වෙනසක් වෙන දෙයක් නෙමෙයි. අනිත් එක මේ ඔයා ආදරේ කරන විශ්වාස කරන පිරිමියා. තාත්තටයි අම්මටයි මෙහෙම උනාට හැම කෙනෙක්ගෙම විවාහ ජීවිතේ එහෙම වෙන්නේ නෑ. අනික අවුරුදු ගණනක් ඇසුරු කරලා ඔයාලා ලොකු තේරුම් ගැනීමක් එක්කයි ඒ ජීවිතේට යන්නේ”

ඔහු තවත් බොහෝ දේ පැවසූයේ ඉසුරිට උපදෙස් ලබා දෙමින්ය. තමාගේ සිතෙහි පාරින්ද පිළිබඳව වන අපැහැදීම වදන් වලට පෙරලන්නට ඇය එවේලෙහි අපොහොසත් විය. ජීවිතය මේ යැයි සිතා ඊට මුහුණ දෙන්නට සිදුවන බව දැන්  ඇයට විශ්වාසය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles