ඉඩෝරයක මල් වැස්සක් – 34

දෙදෙනා සවස ගංගාරාමය විහාරස්ථානයට පැමිණියේත් ඉසුරිගේ කැමැත්තටය. ඔහු සමග කියව කියවා සිටින විට කාලය ගතවනවා දැනෙන්නේ නැත. එය එතරම්ම සැහැල්ලුවකි. යුවතිය තම ජංගම දුරකථනය අතට ගත්තේ පන්සල් භූමියෙන් නික්මවිත් සීමා මාලකය දෙසට ඇවිද යද්දීය.

“තාත්තගෙන් මිස් කෝල්  පහක් තියෙනවා බිනර ඇයි දන්නේ නෑ.”

“ඔයා ෆෝන් එක සයිලන්ට් කරගෙනද හිටියේ.”

“ඔව් සුලක්ෂා මැඩම් ගාවදී මම ෆෝන් එක සයිලන්ට් කරගත්තා.” 

“කතා කරලා බලන්නකෝ..හදිසියක්ද දන්නෙ නෑ.”

යුවතිය සිය ජංගම දුරකථනය කන තබා ගත්තේ බියපත්වය. ඔහු සාමාන්‍යයෙන් අවේලාවෙහි තමා අමතන්නේ නැත.

“ඉසුරි ඔයා තාම ඔෆිස් එකේද.?”

“ඔව් තාත්තා ඇයි..”

ඒ හඬ වෙව්ලමින් තිබිණ. බිනර සමග හෝ මෙවන් ගමනක් පැමිනීම වරදක්යැයි ඒ සිතට දැනෙන්ට වූයේ එවේලෙහිය.

“මං කීප පාරක්ම ගත්තා.”

“මම ෆෝන් එක සයිලන්ට් කරලා තාත්තා තිබුණේ.”

“කලබල වෙන්න එපා පුතේ ලොකු අයියට පොඩි කරදරයක් වෙලා.”

“ඇ…ඇයි තාත්තේ..”

“නෑ… නෑ කලබල වෙන්න දෙයක් නෑ. ලොකු පුතා මේ  පාරෙදී කාත් එක්ක හරි පොඩි දේකට රණ්ඩු වෙලා. හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා පුතේ. නැද්ද මට කතා කරලා කිව්වේ දෙකට විතර.”

“ලොකු අයියට අමාරුද තාත්තේ….”

“නෑ..අත වැලමිට ළඟින් චුට්ටක් ට්‍රැක් වෙලා කියලා කිව්වා. මම මේ ඒකට බැන්ඩේජ් එකක් ගන්න ආපු ගමන්. ඔයා හොස්පිට්ල් එක ළඟට ආවොත් මට පුළුවන් හවස ගෙදරට ඇරලවන්න.” 

“මං දැන් එන්නම් තාත්තා.”

“ඇයි මොකද වෙලා තියෙන්නේ?”

බිනර ඇසුවේ යුවතිය දුරකථනය විසන්ධිකර  ඔහු දෙසට හැරුනාට පසුවය.

“ලොකු අයියා…”

“ඔව්..”

“එයා කා එක්කද රණ්ඩුවක් ඇතිකරගෙන එයාට ගහලලු. හොස්පිට්ල් ඇඩ්මිඩ්  කරලා. තාත්තා එතනට ඇවිල්ලා ඉන්නේ කියලා මට එන්න කිව්වා.”

“එයාට අමාරුද..”

“නෑ කියල තමයි කිව්වේ…”

“ඔයා එහෙනම් යන්න ඉසුරි හොඳ නැහැනේ. ඉන්න මම ටැක්සි එකක් දාලා දෙන්නම්. මම එන්නද ඔයා එක්ක තනියම යන්න පුළුවන්ද?”

“එපා බිනර. පිරිමි යාළුවෙක් කියන එක එයාලා කොයිතරම් දුරට තේරුම් ගනීද කියන්න මම දන්නෙ නෑ. හිත් රිදෙන දෙයක් වෙයි බිනර.”

“ඔව් ඒක හරි..මොන ප්‍රශ්නය උනත්  හැමතිස්සෙම ඔයා එක්ක මම ඉන්නවා. ඔයාගේ අතේ සල්ලි තියෙනවද?”

“තියෙනවා බිනර. ඔයාට ගොඩක් තෑන්ක්ස් අද දවසේ මගේ ලඟට වෙලා මෙහෙම හිටියට. මම මේ ඇත්තමයි කියන්නේ. කවදාවත් මට මෙහෙම යාළුවෙක් ඉඳලා නෑ. හොඳ යාළුකමක් කියන්නේ අනිත් කෙනාගේ හිනාව දකින එක කියලා මම තේරුම් ගත්තෙ ඔයාගෙන්. මට බය ඒ සතුට ආයෙ මගේ ළඟින් පැනල දුවයි කියලා.”

“එහෙම වෙන්නේ නෑ ඉසුරි. ආයෙ එහෙම වෙනවනං හොඳම යාළුවෙක් ඉන්න එකේ තේරුමක් නෑනේ.”

බිනර දුරකථනයෙන් ඇණවුම්කල  කුලීරිය පැමිණියේ දෙදෙනා පාර අයිනට වී එසේ කතා කරමින් සිටියදී. අවසන ඔහු දිගු සුසුමක් මුදා හැරියේ ඇය රැගත් කුලීරිය නික්ම ගියාට පසුවය. ඔහුටත් නොතේරුම් වූ කුමක්දෝ ලෝබකමක් ඒ සිත වසා පැතිර යමින් තිබිණ. පැය ගණනක්ම ගෙවී ගියේ තත්පර කිහිපයක් සේ වේගයෙන්ය. පැයෙන් දෙකෙන් ආපසු කාර්යාලයට යන්නට අවසර පතා නික්ම ආ බිනර අවසන හංසිකාට කෙටි පණිවිඩයක් යැවුවේ මිතුරෙකුට වූ  හදිසියක් නිසා යළි කාර්යාලයට නොපැමිණෙන බවය. තාත්තාව ශේප් කරන්නයැයි  ඔහු පැවසූයේත් ඇයටමය. 

රෝහල අසලින් ත්‍රී රෝද රථයෙන් බැසගත් ඉසුරි වටපිට බැලුවේ තාත්තා හෝ නැන්දලාගේ නිවසෙහි අයකු සොයන්නටය. ලෙඩුන් බලන වේලාව නිසා සියල්ලෝම රෝහල් සංකීරණය තුළට ඇවිද ගියේ යුහුසුළුවය. සිතෙහි වූ හදිසිය නිසා තාත්තාගෙන් වාට්ටුවේ අංකයවත් අසාගන්නට නොහැකි විය. ඉසුරි  යළිත් සුරංගට ඇමතුමක් ලබාගත්තේ එනිසාය. 

“ඔහොම ඉන්න ඉසුරි මම ඉස්සරහට එන්නම්….”

සුරංග ජංගම දුරකථනයත් කන තබාගෙනම ඉදිරියට පැමිණියේ ඉසුරි රෝහල් කොරිඩෝවෙහි නතර වී සිටියදීය. 

“ලොකු අයියට දැන් කොහොමද තාත්තේ…”

“ඒ හැටි අමාරුවක් නැහැ. අතනම් ටික කාලයක් පරිස්සම් කරගන්න වෙයි.” 

“අපරාදෙනේ නිකං මොකටද ඉසුරි කරදර වුනේ..කවුද එයාට කිව්වේ”

පාරින්ද  ඇසුවේ යුවතියව දුටු හැටියේමය.

“මොකද වුනේ ලොකු අයියේ..”

“ආ.. ඒක මේ පොඩි සිද්ධියක්.”

“අත කොහොමද….”

“අවුලක් නෑ.

“ඔය ළමයා ඔෆිස් එකේ ඉඳලමද ආවේ?”

එසේ ඇසුවේ පාරින්දගේ පියාය. 

“ඔව් මාමේ…”

“අනේ මන්ද මේවා හින්දා කසාදෙට දා ගත්ත දිනය කල් දාන්න වෙයිද මන්දා. නැකැත් බලාගෙන ආපු ගමන් මෙහෙම දෙයක් සිද්ධ වෙච්ච එක අසුභයි කියලා මගේ හිත කියනවා.”

“නෑ…නෑ.. ඒක එදාට වෙනවා. මට ඇවිද ගන්න බැරි වෙලාවත් රෝද පුටුවකට වැටිලාවත් නෙමෙයිනේ.”

“ඒ වුනාට ලොකු පුතේ මං හිතුවේ ආයේ සැරයක් මඩවල ගුරුන්නාන්සේවත් හම්බවෙලා හඳහන් දෙක ගලපන්න කියලා.” 

“ආයෙ මොනව ගලපන්නද..ඒවා ඒ දා ගතපු දිනවලට එහෙමම කෙරෙනවා. ආයෙ ඒ ගැන කතා කරන්න එපා.”

“ලොකු පුතත් එහෙම කියනවනම් මොකටද අක්කේ  ඔය මනස්ගාත හිතේ තියාගෙන ඉන්නේ. දරුවෝ දෙන්න කතා කරලා හෙඳ තීරණයක් ගනියි. ඉස්සර වෙලා අපි ලොකු පුතා ගැන බලන්න එපැයි.”

“උඹත් ඒ කාලේ මෙයා වගේම තමයි. හඳහන් විශ්වාස කලෙත් නෑ අපි කියන දෙයක් විශ්වාස කළෙත් නෑ. රාජිනී මත්තෙම මැරුණ මිසක්කා. අන්තිමට මොකද්ද උනේ..මට ඉන්න එක කොල්ලයි. මං කැමති නෑ ඒ කොල්ලටත් එහෙම වෙනවාට.”

එවේලෙහි ඈ පැවසූයේ සුරංග සේම පාරින්දවත් නිහඬ කරමින්ය. යුවතියකේ දෑස්මුල කඳුලක් විත් නතර වූයේ ඉබේටමය. බිනර පැවසූ සේ සියල්ලටම හිනැහී  බලා සිටීමේ හැකියාවක් ඇයට වූයේ නැත. 

“හැම මඟුලටම ඇස් දෙකේ කඳුළු පුරවා ගන්න එපා හලෝ. උදේ පාන්දරත් මම තමුසෙට කිව්වා මුස්පේන්තුකමට අඬන්න එපා කියලා. බලනවා වෙච්ච දේ.”

පාරින්ද ඉවතට හැරුනේ මදක් උස් හඬින් එසේ පවසමින්ය. අම්මා පිළිබඳව උපන් කෝපයත් පිටව ගියේ ඈ මතින්ය. ඌයි.. අහ්… යනුවෙන් වේදනාත්මක හඬක් ඒ මුවින් පිට වූයේ ඉවත හැරීමත් සමගමය. 

“අනේ පුතේ..රිදෙනවද…උදේ මොනවා හරි සිද්ධ වෙලා තියෙනවා. ඒ නරක තමයි මේ බලපෑවේ. මං කිව්වේ..මට ඒක දැණුනා”

ඉසුරි තමා අසල උන් සුරංගගේ  අත්ල මිරිකා ගත්තේ නැන්දා තමා දෙස බලා කෝපයෙන් එසේ පවසද්දීය. “මුස්පේන්තුකමට ඉන්න එපා…” යැයි උදෑසන ලොකු අයියා පැවසූ බව ඉසුරිට මතකය. මේ සියල්ල සිදුව ඇත්තේ තමාගේ වරද නිසායැයි  ඔහු සිතනවා ඇත. යුවතියට දැනුනේ පිරිස ඉදිරිපිට පොළොව පලාගෙන යාමට තරම් ලැජ්ජාවකි. ඒ ලැජ්ජාව දෙගුණ තෙගුණ වූයේ පාරින්දගේ නැගණිය සනුලි  අවඥා සහගත  සිනහවක් ඈ දෙසට හෙළුවාට පසුවය. 

“අනේ අම්මේ.. මෙතනට ආවානම් කට පියාගෙන ඉන්නවද. වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියලා මම බලාගන්නම්.”

“මං පුතේ  උඹට හොඳක් කරන්න හැදුවේ….”

ඈ එවර  පැවසූයේ හැඬුම්  මුසුවය. සුරංග පාරින්ද දෙසත් ඉසුරි දෙසත් බලා සිටියේ විමසිල්ලේය. යුවතියට යළිත් දැනෙමින් තිබුණේ මහා හිස් හැඟීම් ගොන්නකි. උදෑසන සිට විඳි සතුටත්  සැහැල්ලුවත් අතුරුදහන් වන්නට ගත වූයේ තත්පර කිහිපයකි. 

“තාත්තේ අපි එළියට යමුද…..”

ඉසුරි තමා අසලම උන් තාත්තාගෙන් ඇසුවේ මද හඬකින්ය. ඇයට එකඟව හිස වැනූ සුරංග පාරින්ද අසලට ලං වූයේ ඉසුරිගේ අතින් අල්ලා ගෙනමය. 

“මම ඉසුරිත්  එක්ක එළියෙන් ඉන්නං. අක්කල කතා කරලා එන්නකෝ. ලොකු පුතා එහෙනම් අපි යනවා. උවමනාවක් වුණොත් මට කෝල් එකක් දෙන්න. ඩොක්ට කියපු විදිහටනම්  හෙට හරි අනිද්ද හරි ගෙදර යන්න පුළුවන් වෙයි.”

“මම යන්නම් ලොකු අයියේ…”

අවසන ඉසුරි එසේ පැවසූයේ හඬන්නට ආසන්න වූ ස්වරූපයකින්ය. 

“ඉසුරි  ආපහු එන්න ඕනෙ නෑ හෙට ටිකට් කපයි. දැන් රෑ වෙලානේ තනියම යන්න බෑ අම්මලත් එක්ක යන්න.”

“අම්මලා කතා කරල එයි  ලොකු පුතා මම එළියෙන් ඉන්නවා. මං අම්මලට ත්‍රී වීලර් එකක් කතා කරල දෙන්නම්…යමු ඉසුරි අපි එළියට….”

සුරංග ඉස්සර වූයේ එසේ පවසමින්ය. අවසන තාත්තාත්, දුවත් අසුන් ගත්තේ රෝහල් කොරිඩෝවේ කෙළවරක වූ බංකුවකය. 

“ඔයාට බොන්න මොනවා හරි ගෙනත් දෙන්නද?”

“එපා තාත්තා….”

“උදේ මොනවද ඉසුරි උනේ…”

“මොකුත් නෑ…”

“එහෙනම් ඔයා ඇඬුවේ?  ලොකු පුතා බැන්නේ?  ඒ මොකටද..හංගන්නෙ නැතුව මොනවා හරි දෙයක් තියෙනවානම් කියන්න ඉසුරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒවා විසඳ ගන්න ඕනේ. ප්‍රශ්න, හිත් රිදීම් අරගෙන අලුත් ජීවිතයකට යන්න බෑ. කියන්න මට මොකද වුණේ…”

“ලොකු අයියට කේන්ති යන්න, නොයන්න හේතුවක් නෑ තාත්තේ. සමහර වෙලාවට ලොකු අයියා මට හරියට සැර වෙනවා. අම්මා ගැන තාත්තා ගැන කියලා හිත රිදවනවා. සමහරවිට තාත්තා මේක දන්නවත් ඇති. ලොකු අයියා උදේ කිව්වා අපේ එන්ගේජ්මනට්  එකට අම්ම එන එක එයාට ලැජ්ජාවක් කියලා.  මට ඒකට දුක හිතුණා තාත්තේ. මොනවා උනත් ඔයාලා දෙන්නා මගේ අම්මයි තාත්තයි කියන එක මට අමතක කරන්න බෑ. අනිත් එක මට හිතාගන්න බැහැ ඇයි නැන්දයි, අයියයි හැමතිස්සෙම අම්මගේ නරක විතරක් දකින්නේ කියලා. අම්ම අපි වෙනුවෙන් ගොඩක් දේවල් කළා තාත්තේ. සමහර වෙලාවල් තිබුණා මමත් අම්මා කරන කියන හැම දෙයක්ම වැරදියට දැකපු.”

“ඕක වෙනම කතාවක් පුතේ..”

යුවතිය දෑස් විසල්කර සුරංග දෙස බැලුවේ ඔහු දිගු සුසුමක් මුදා හරිමින් එසේ පවසද්දීය. 

“ඔය උවමනාව ලොකු පුතාට වඩා තියෙන්නේ අපේ අක්කට. එයා මාත් එක්ක මේ ගැන කතා කළා. එයා හිතන් ඉන්නවා පුතේ රාජිණි එයාගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා සමාව ගන්න ඕනේ කියලා.”

“ඇයි තාත්තේ අම්ම එහෙම කරන්නේ. අම්ම වරදක් කර ගත්තනම් ඒ වරද කරගත්තේ තමන්ගේ ජීවිතයට. ඇයි අම්මා නැන්දගෙන් සමාව ගන්න ඕනේ.”

“අපිට මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑ ඉසුරි. ඔයාගේ නැන්දට  වගේම අම්මටත් යමක් කියලා තේරුම් කරවන්න පුළුවන් වෙච්ච මිනිස්සු නෙමෙයි. හැබැයි ඉතින් ලොකු පුතා කවදාවත් මේ දේවල් ඔයාලගේ ජීවිතත් එක පටලවා  ගනියි කියලා මම හිතුවේ නෑ.”

“ඇත්තටම තාත්තේ මට මම  ගැන බයයි. මගේ ජීවිතේ ගැන බයයි මගේ අනාගතය ගැන බයයි. මගේ නංගි මල්ලි ගැන බයයි. ඇත්තමයි ලොකු අයියා මං දැකපු ලස්සනම පිරිමියාවත් හොඳම පිරිමියාවත් නෙමෙයි තාත්තේ.”

“පුතේ…..”

සුරංග තම දියණිය දෙස බැලුවේ පුදුමයෙන්ය. ඈ මේ ජීවිතයේ කවදාවත් තමාට ගතු කේලාම් කියූ යුවතියක නොවේ. ඇගේ දෙකොපුල් හරහා කඳුළු වැල් දෙකක් රූටා වැටෙමින් තිබිණ. ඉසුරි  මේසා අහිංසක කමක් දරා උපන්නේ කෙලෙසකදැයි සුරංග පවා පුදුමයෙන් සිතූ වාර ගණන අනන්තය. එසේ වී තිබියදීත් පාරින්දට ඇගේ සිත රිදවීමට තරම් හේතු තිබුණායැයි සිතීමම පුදුමයකි. මේ කතාව මෙතනින් නැවතිය හැකි එකක් නොවන බව ඔහු විශ්වාස කළේය. එහෙත් කොරිඩෝවේ කෙළවරෙන් සොයුරියත්,  දියණියත්,  මස්සිනාත් මතු වෙද්දී  සුරංග යුවතියගේ  පිටට තට්ටුකර නැගී සිටියේය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles