ළතෙත් ආදර හැඟුම් ගංගා – 51

*නාද්‍යා සොනාලි සල්වතුර*

“තමුසෙ මගෙ දරුවව නැති කරේ නැද්ද ඒ කියන්නේ?” කියාගෙන ගයාන් කාන්ති අක්කලගෙ ගෙදර දොර ඉස්සරහා ඉද්දි ඇත්තටම මං උන්නෙ කරකියාගන්න දෙයක් නැතුව. ගයාන් උන්නෙ පිස්සෙක් වගේ. මිනිහා මං ගෙදර ආව පික් මී එක ෆලෝ කරලා මං ඉන්න තැන හොයාගෙන ඇවිත් කියන එක දැක්කම තමයි මට තේරුණේ ගයාන් මේ ඇවිත් ඉන්නෙ තව මොකක් හරි වනචර කතාවක් කියන්න නෙවෙයි කියන එක. මං හොඳටම බය උනේ අන්න ඒ හැඟිමට. ගයාන් ඊළඟට මොකක්ද කියන්න හදන්නෙ කියන එකට.

“මගේ දරුවා? ගයාන් මේ තමුන්ගෙ දරුවෙක් මෙහෙ නෑ හරිද?” කියලා කිව්වට මම මේ වචන කිව්වෙ හරිම හෙමින්. හෙමින් කිව්වත් මම ඒක කිව්වෙ දත් මිටි කාගෙන හන්දා මට මං හිතන්න ගයාන්ට පෙන්නන්න පුළුවන් උනා මම ඉන්නේ ඌත් එක්ක කොච්චර තරහකින්ද කියන එක. අනික දැන් සෑහෙන කාලයක් තිස්සෙ මම ජීවත්වෙන්නෙ මේ වත්තෙ උනත් තාම මගෙ ඇඟ ඇතුලෙ තැනක මම ඉපදිච්ච හැදිච්ච වැඩිච්ච පවුලෙන් ආව වැදගත්කමේ, ලැජ්ජ බයේ අංශු මාත්‍ර හැංගිලා තිබ්බ හන්දම මාලු කඩේ වගේ කට ඇරගෙන මහ හයියෙන් ගයාන් එක්ක රණ්ඩු වෙන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.

ඒ හන්දම මං කිව්ව හැමදේම කිව්වෙ හරිම හෙමින් හැබැයි කියන්නෝන හරිම තරම් තදට.

“නාද්‍යා උඹ මට බොරු කියන්නෙපා. උඹ දැන් අද කිව්වා ඒ දරුවා එක්ක මට අදටත් තියෙන එකම ප්‍රශ්නෙ ඒ දරුවගෙ ඇඟේ තමුසෙ වගේ වනචරයෙක්ගෙ ලේ දුවන එක විතරයි කියලා. 

තමුසෙ ඒ කිව්වෙ මොන ළමේක් ගැනද? මේ අවුරුදු එකහමාරට දෙකට තමුසෙට වෙන ළමේක් හම්බෙන්න විදියක් නෑනෙ. තමුසෙ ඒ ළමයා නැති කරේ නැද්ද? කතාකරනවා නාද්‍යා. තමුසෙ ගාව ඉන්නෙ මගේ ළමයා නේද?’ කියලා ගයාන් තව අඩියක් ඉස්සරහට ආවා. ගයාන්ගෙ නළල දිගේ දාඩිය බේරෙන විදියයි, මිනිහගෙ ඇස් අස්සෙ පත්තුවෙන හිතේ ගින්දරයි මං ඒ නිසාම ළඟ ළඟ දැක්කා. මං බය වුනේ අන්න ඒ දේට. මට මගේ ජීවිතේ ආයෙ කවදාවත් ඇහින් දකින්න උවමනා උනේ නැති මනුස්සයෙක්ව ආයෙ වතාවක් එච්චරට ලඟට දකින්න වෙච්ච එක ගැන..

“කියපං මට උඹ මොකක්ද කෙරුවේ? මගේ දරුවට මොකක්ද වුණේ? තමුසෙ ඒ දරුවව අයින් කරලා දැම්මා කිව්වා නේද? කතා කරනවා, නාද්‍යා!” කියද්දි ගයාන්ගෙ කටහඬේ මෙච්චර වෙලා තිබ්බ තරහව, කෝපෙ කැඩිලා බිඳිලා ගිහින් එයා මාරම ඉමෝශනල් වුනා නේද කියන එකත් මට ඒ වෙලාවෙ පෙණූනා. මිනිහාගෙ කටහඬ විතරක් නෙවෙයි මිනිහා උන්නෙත් කැඩිලා බිඳිලා ගිහින්. 

“ඒ මගේ දරුවා නේද? මට ඇත්ත කියන්න නාද්‍යා ඔයා ඒ කිව්වෙ මගෙයි ඔයාගෙයි දරුවා ගැන නේද? කෝ ඒ දරුවා? කෝ මට පෙන්නන්න, නාද්‍යා මට එක වතාවක් ඒ දරුවව බලන්න දෙන්න”

ඒ වචන එක්ක මට මොහොතකට දැනුනෙ මේ මුලු ලෝකේ සම්පූර්ණයෙන්ම නිශ්චල වුණා වගේ. හුළං හමන එක පවා නතර වුණා වගේ.

තමුසෙ වැරදියි කියලා කෑ ගහන්න මට ඕන වුණා. තමුසෙ කියන දේ තමුසෙවත් දන්නේ නෑ කියලා කියන්න මට ඕන වුණා. ඒත් මගේ උගුර තිබ්බෙ හිර වෙලා වගේ. මගේ මුළු ඇඟම සීතල වෙලා යනවා දැනෙද්දිත් මට පුලුවන්කම තිබ්බා එතන හිටගෙන ඉන්න. මගේ පිටිපස්සේ තිබුණු පොඩි ගේ ඇතුළේ නිදි හිටිය ඒ දරුවා කියන්නෙ මගේ හැමදේම වගේ උදුරගෙන ගිය ලෝකෙක මට ඉතුරු වුණු එකම බැඳීම, එකම දේ කියන එක මට ඒ වෙලාවෙත් මතක් වුණා. ඒ දරුවව එපා කියපු මිනිහම දැන් මෙන්න මෙතන මගේ ඉස්සරහා හිටගෙන ඒකත් උදුරගන්න හදනවා කියන සිතුවිල්ලම මෙච්චර වෙලා ගයාන් ඉස්සරහා ඉමෝශනල් වෙන්න ඔන්න මෙන්න ඉඳපු නාද්‍යාව ආයෙ එයාගෙ අම්මා ලෙවල් එකට ඇදලා දැම්මා.

කාන්ති අක්කා පිටිපස්සෙ කාමරේ දොර රෙද්ද ඇරලා එබිකම් කරනවා මට ඒ එක්කම පෙනුනා. එයාගේ මූණ තිබ්බෙ සුදුමැලි වෙලා. ඒක හරියට දේවල් කොයි මොහොතේ හරි වෙනස් වෙන්න, පිස්සු නටන්න පුළුවන් කියලා එයා දැනගෙන හිටියා වගේ ෆීලින් එකක්. ඒත් මට මූව් වෙන්න පුලුවන් උනේ නෑ. මං උන්නෙ අඬන්නවත් බැරුව. 

සමහර වෙලාවට වේදනාව කොච්චර ගැඹුරුද කියනවා නම්, ඒක අපිව මාර සයිලන්ස් කරන්න හේතුවෙනවා කියන එක මං තේරුම්ගත්තෙ එවෙලේ.

ඒ සයිලන්ස් එකේදි මට එකක් තේරුණා. ඒ තමයි මගේ ඉස්සරහා හිටගෙන ඉන්න මේ මනුස්සයා මම කලින් දැනගෙන හිටිය ගයාන් නෙවෙයි කියන එක. මාත් එක්ක නිදාගත්ත, අන්තිමේ ළමයෙක් හම්බෙන්න ඉද්දි මාව දාලා ගිය ගයාන් නෙවෙයි. දැන් මගේ ඉස්සරහා ඉන්නෙ තමන්ගේම තරහා, තමන්ගේම අසාර්ථකකම අත්හරින්න බැරිවෙච්ච පිස්සෙක්. තමන් අතීතෙ කරපු වරදක් දැන් හරිගස්සගන්න හදන පිස්සෙක්.

“ගයාන් තමුන් මේ මොනවා හිතුවත් තමුන් සහ මම අතර මොකක් හරි සම්බන්ධයක් තිබ්බා නම් ඒක මෙතනින් ඉවරයි කියන එක කරුණාකරලා මතක තියාගන්න. කරුණාකරලා මෙතනින් යනවා. තමුන් මගේ ජිවීතේ අවුරුදු ගානක් විනාස කරා කියන එක තමුන්ට අමතක උනත් මට අමතක නෑ කියන එක හොඳට මතක තියාගන්නවා” කියලා මම ෆුල් ඩම් එක දාලා දොර වහන්න හැදුවට ගයාන්ගේ අත ඇවිත් ඒ දොරට හරස් වුනේ මාව ෆේල් කරලා.

මේක අවසානය නෙවෙයි කියලා මට තේරුනේ අන්න ඒ වෙලාවේ. ගයාන් වගේ උන් කවදාවත් සද්ද නැතුව යන්නෙ නෑ කියන එකත් උන් එන්නෙත් යන්නෙත් ඉන්නෙත් කුණාටුවක් වෙලා කියන එකත් මම තේරුම්ගත්තෙ ඒ වෙලාවේ.

“ඔයා මගේ දරුවාව නැති කළාද නැද්ද?” කියලා ගයාන් ඇහුවෙ හරිම හෙමින්. හරියට අඬන්න වගේ. ඒත් ගයාන් වගේ පිරිමියෙක්ට එහෙම වෙන්න පුළුවන්ද කියන එක මට ඒ වෙලාවෙත් හිතුණා.

එක මොහොතකට, මම හුස්ම ගත්තෙවත් නෑ. මුළු ලෝකෙම කිසි සද්දයක් නැතුව තියෙද්දි, වත්තෙ කොහේ හරි තැනක බල්ලෙක් හීන් සැරේ බුරනවා ඇහෙද්දි, මම දොරකඩ ළඟ හිටගෙන, හෙලවෙන්න බැරුව, මගේ ඇඟිලි දොර අද්දර තද කර ගෙන ගයාන් දිහා බලාගෙන උන්නා. හැබැයි ගයාන්ගෙ ඇස් මග ඇරගෙන එපිට බලාගෙන.

“මට උත්තර දෙනවා, නාද්‍යා!” උඹ හිතනවද මෙතන හැංගිලා ඉන්න පුළුවන් කියලා? මට ඒක හොයාගන්න බැරි වෙයි කියලා උඹ හිතනවද?” කියලා ගයාන් ආයෙ ඇහුවා.

“කරුණාකරලා, තමුන්ගෙ සද්දෙ අඩුකරගන්න හොඳේ. ඔයාට මේ ඇවිල්ලා සද්ද දාන්න මේක මේ තමුන්ගෙ තැනක් නෙවෙයිනෙ කියන එක මතක තියාගන්න හොඳේ. අනික අපිට තව කතාකරන්න දේවල් ඉතුරු වෙලා තියෙනවා කියලා මම හිතන්නෙ නෑ” 

“කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ? තමුන් කොහොමද කියන්නෙ කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියලා? මං තමුසෙගෙන් ඇහුවෙ එක දෙයයි. කෝ මගේ ළමයා? නාද්‍යා මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්නෙපා. මට ඇත්ත කියනවා. තමුසෙ ඒ දරුවව නැති කරාද නැද්ද?”

“ගයාන් මේ…” කියලා මම කිව්වට මට ඒ කතාව කියන්න ඉඩ හම්බුනේ නෑ. මොකද ගයාන්ගෙ වචන ඊට ඉස්සර වෙච්ච හන්දා.

“උඹ අහපන් මම කියන දේ. මට කියපං උඹ ඒ දරුවට මොකද කරේ? මට කියපං. තෝ ඒ ළමයට මොකද කරේ?.” කියලා ගයාන් දත් මිටි කාගෙන මගේ උරහිස් වලින් අල්ලලා හොල්ලද්දි මං උන්නෙ ඒ අත් දෙකෙන් ගැලවෙන්නෙ කොහොමද කියල කල්පනා කරද්දි. ගයාන්ගෙ අත් දෙකෙන් ගැලවෙන්න ගත්ත උත්සහයෙදි තමයි මාව තල්ලු වෙලා ගිහින් බිම වැටුණෙ.

කාන්ති අක්කා “අයියෝ නංගියේ, මේ මොන විනාසයක්ද මේ?” කියලා කෑගහගෙන ආවෙත් ගයාන් ගේ මැද්දෙම හිටගෙන උන්නෙත් එවෙලෙ. 

ඒ  උනාට මං බය වුණේ, තිගැස්සුණේ ඒ වෙලාවෙ මං වැටිච්ච එකටවත්, ගයාන් ගේ මැද්දෙ හිටන් උන්න එකටත් නෙවෙයි.

අපි තුන්දෙනා අතර තිබ්බ නිස්සද්දෙ බිඳගෙන ආව අහස්ගෙ ඇඬුමට.

ඒ ඇඬුම එක්ක ලොකු වෙච්ච ගයාන්ගෙ ඇස් මං දිහාවට හැරෙද්දි.

ඉන්පස්සෙ ගයාන්ගෙ කකුල් දෙක ඔටෝමැටිකලි අහස්ගෙ ඇඬුම ආව දිහාවට ඇදෙද්දි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles