සැකය

කසුන්ගෙ හිතේ පවනි ගැන පවනි ගැන ඉස්සර වෙලාම සැකයක් ඇති කලේ පවනිගේ හොඳම යාළුවා කිව්වට වරදක් නැහැ. පවනිත් එක්ක ඉස්කෝලෙ කාලේ  ඉඳගෙනම හොඳම යාළුවා විදියට හිටපු කාවින්දි විවාහයෙන් පස්සෙත් පවනිගේ ගෙදර යන එන පුරුද්ද අඩු කරේ නැහැ.

 ඒ හින්දම පවනිගේ  ස්වාමිපුරුෂයා වුන කසුන් එක්කත් කාවින්දිගේ  හිතවත්කමක් තිබුණා. 

කාවින්දි පවනි ගැන කසුන්ට කිව්වේ කේළම් කියන විදිහට නෙවෙයි. ඇඟට පතට නොදැන එන්න හරි මිත්‍රශීලි  විදිහට තමයි පවනි ගැන කතන්දර කසුන්ගෙ ඔළුවට දැම්මේ. 

“පවනිට ඉතින් ඔෆිස් එකේ සෑහෙන්නම යාළුවෝනේ.. නිමන්තලා එහෙම පවනි එක්ක සෑහෙන්නම ෆිට්.. අපි එක්ක වගේ නෙවි.. අපි එක බ්‍රාන්ච් එකේ උනාට පවනි එක්ක තමයි ඉතින් සෙට්… නිමන්තගේ කසින් කෙනෙක් පහුගිය දවස් වල රට ඉඳලා ආවානේ, පවනිට තමා ලස්සනම හෑන්ඩ් බෑග් එක ගෙනල්ලා දුන්නේ…”

එහෙම කියනකොට කසුන්ගේ ඔලුවේ හීන් හිරියක් යනවා වගේ දැනුනා. මීට කලිනුත්, කාවින්දි එක්ක කතා බස් වලදි නිමන්ත කියන නම නිරාවරණය වෙලා තිබුණ බව මතක් වුනා

” නිමන්ත කියන්නේ සෙක්ශන් හෙඩ් ද?.”

“ඔව් ඔව්ව්… හැන්ඩියා… අපි ඔක්කොමලා ඇහැ දාගෙන ඉන්නේ…ගිය සතියේ බී වය් ඩී එකකුත් ගෙනාවා…”

කාවින්දි එහෙම කිව්වම කසුන්ගේ හිත සතියක ඈතට ඇදිලා ගියේ හැල්මේ.

” කසුන් … අපි වෙහිකල් එක මාරු කරන්නේ නැද්ද ?.”

පවනි එහෙම අහපු බව මතක් වුනා. 

” ඇයි ඒ ?”

“බී වයි ඩී එකකට යමුකෝ… ඒක මාර සැපයි අනේ.. දැනෙන්නේ නැ යනවා…”

ඒ ගැන එදා තමන් ගණනකට නොගෙන හිටියා වුනත් , ඒ වෙද්දි ත් තමන් ඉඳලා තියෙන්නේ අඳුරේ බව කසුන්ට තේරුණා. කාවින්දිගෙන් වැඩි විස්තර අහන්න උවමනා කමටම , කසුන් පවනි සූදානම් වෙලා එනකල්, කවින්දි එක්ක කතාව දිග්ගැස්සුවා. 

අන්තිමේ දි එදා තුන්දෙනා එක්ක පාසැල් මිතුරියගේ විවාහ උත්සවයට යනකොට,  කසුන් ගේ හිතේ පවනි ගැන සැකයේ බීජය රෝපණය වෙලා ගහක් වගේ වැඩෙන්නත් පටන් අරන් ඉවරයි. 

එදා රෑ කසුන් වෙනදා පිළිවෙලට නැතුව හුදෙකලා වුනා. පවනි ඒ ගැන විමසුවම පවා මුනිවත ලැබුනේ. 

පහුවෙනිදා පවනි සූදානම් වෙන අතරෙදි, කසුන් පිටත්වෙලා ගියේ පවනිට කාර් එක තියලා.

” මම කාර් එකක් දාගෙන යනවා..  ඔයා කාර් එක අරන් යන්න.. මට වේලාසන යන්න ඕනි.”

“මට විනාඩි දහයයි ඕනි. ඉන්න…”

පවනි එහෙම කියනකොට, කසුන් පිටත් වෙලා ඉවරයි. සූදානම් වෙලා නිවසින් පිටත්වෙන්න හදනකොට තමයි, පවනි දැක්කේ කසුන් දවල් කෑම එක වගේම වතුර එකත් දාලා ගිහින් කියලා. ඒ ගැන කියන්න ඇමතුමක් ගත්තාට පිළිතුරු ලැබුනෙත් නැහැ.

” මොකක් වෙලාද මෙයාට … ඔෆිස් එකට ගිහින් කෑම එක දීලම යනවා…”

පවනි එහෙම හිතාගෙන ඔෆිස් එකට ගියත්,පවනිට කසුන්ගේ ඔෆිස් එකෙන් ලැබුනේ හිතාගන්නවත් බැරි උත්තරයක්. යන්තම් එතන අවස්ථාව කලමණාකරනය කරගෙන පවනි කාර්‍යාලයට ආවේ හිත පුදුමාකාර කලබලයක් එක්ක. කාවින්දි එක්ක මේ ගැන කියන්න කාවින්දිව හෙව්වත්, ඇයත් නිවාඩු බව පවනි දැනගත්තේ පස්සේ. 

එදා හවස් වෙනකල්ම කසුන්ගෙන් පිළිතුරක් ලැබුනේ නැහැ. පවනි වෙනදාට වඩා වේලාසනින් නිවසට එන්න පිටත් වුනා.

ගේට්ටුවෙන් ඇතුලු වෙනකොටම පවනි දැක්කා, කසුන් ඇවිල්ලා ඉන්නේ කියලා.

” කසුන් …?”

” ඇයි ?..”

“ඔයා මේ බීලද ?…”

කසුන් කලේ සරදම් හිනාවක් පෑව එක. 

” ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ කසුන් ….උදේ මාවත් දාලා, පරක්කු වෙනවා කියලා කොහේද් ගියේ ඔයා… ඔෆිස් නෙවෙයිනේ ගියේ..?”

පවනි උන්නෙත් කලබලෙන්. 

කසුන් මහ සද්දෙට හිනා වුණා.

” ඔව්… ඔෆිස් නෙවෙයි ගියෙ… ඔෆිස් එකට ගිහිල්ලා මගේ හොර අල්ලන්න හැදුවා වගේ නෙවෙයි, මම ඔය අනෙක් අයගේ හොර අල්ල ගත්ත දවසට තමයි මෙතන දෙකෙන් එකක් විසඳෙන්නේ…. ආදරෙයිනේ හිතලා විශ්වාස කරාම, අපිට කරන්නේ මෙහෙම….”

බීමත්ව උන්න නිසා කසුන්ගේ කටෙන් වචන ඔහේ ලිස්සුවා.  පවනි ඒ වචන වලින් තුවාල වෙලා  ලේ බේරෙන හදවතත් දරාගෙන ලඟම තිබුණ අසුනකට වාරු වුනේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.

” මොකක්ද ඔයා කියන්න හදන්නේ කසුන් ?”

” කසුන් කියන්න හදන දේවල් නොකියා ඉන්න තරමට තමයි හොද…. මේවා කියවෙන්න ගත්තොත් මටත් එක්කමයි පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ …”

“කියන දෙයක් තේරෙන්න කියනවද කසුන්…. උදේ පාන්දරම ගිහින්.. ඒ මදිවට බීගෙන ඇවිල්ලා මෙතන ….”

” නොබී කොහොමද ඕයි මම මේ වෙන දේවල් දරාගෙන ඉන්නේ… කොහොමද ?”

කසුන් අඩි පොලවේ හප්පලා ඇහුවා. පවනි කලේ නිහඬවම බලාගෙන උන්න එක. ඇස් වලින්

 බේරුණ කඳුලු අසීරුවෙන් පිහදාගත්ත එක.

සතියක්   විතර යනකොට දෙන්නා අතරේ තිබ්බේ ගිණි විතරයි. කාවින්දි ගිනි ඇවිලුම්කාරක ගානට එකතු කරමින් උන්නේ, කාටවත්ම නොදැනෙන්න. 

අන්තිමේදි ඒ ගින්න දෙන්නාවම වට කරගෙන පැතිරෙන දවසත් ආවා. 

” නිමන්ත කියන එකාද එතකොට හොර මිනිහා…”

කසුන් ඇහුවේ පවනිගේ දිහාවට මුලු ගින්නම විසි කරලා. පවනි ඒ චෝදනාවට දෙන්න ඕනි උත්තරේ හිතාගන්න බැරිව බලාගෙන හිටියා.

” කතා කරනවා පවනි….. මට අනුන්ගේ ගෑණුන්ට නම් දෙන්න ඕනි නෑ.. යන්න ඕනි නම්..කියලා යනවා.. යන දේවාලෙක.. මාව රවට්ටන්න තියාගන්න එපා..”

පවනිට දැනුනේ මුලු ලෝකෙම කැරකෙනවා වගේ. සියලුම දේ අඳුරු වෙලා යනවා වගේ.

පැය දෙකකින් ආයේ ඇස් අරිනකොට, පවනිට පෙනුනේ කසුන්ගේ බය පුරෝගෙන උන්න ඇස් දෙක. 

 දවස් දෙකකින් පවනිව රෝහලෙන් නිදහස් කලා. කවින්දි ඇවිල්ලා පවනිගේ සුව දුක් බලලා ගියා. ඒ යද්දීත් නිමන්ත ගැන ගින්නක් තියලා යන්නත් අමතක කරේ නැහැ 

”  පවනි … නිමන්ත කෝල් කරා ආන්සර් කරන්න කිව්වා.. එයා අවුට් ස්ටේෂන් නේ…”

කසුන් ඉවසීමෙන් අහගෙන හිටියා. පවනි කසුන් දිහා බලලා කවින්දිට ඔලුව වැනුවා.

” බෙහෙත් බීලා ඉන්න පවනි…”

“මට බෙහෙත් එපා.. “

“ඩොක්ටර් කීව ඒවා ඇහුනානේ….”

“මට තියෙන්නේ ඔය බෙහෙත් වලින් සනීප වෙන ලෙඩක් නෙවෙයි ….   ඔයා.. මෙතනින් ඉඳගන්නකෝ  ….. ප්ලීස්…”

කසුන් ටික වෙලාවක් නිහඬව බලාගෙන හිටියා. ඊට පස්සේ,  පවනි ලඟ ඉදගත්තා.

” ඔයා ඇයි . එහෙම ඇහුවේ.. නිමන්ත අය්යා මගේ… හොර මිනිහාද කියලා….ඒක ඔලුවේ තියාගෙන නේ ඔයා මේ දවස් ටිකෙම..ඉන්නේ… ඇයි .කසුන් ඒ…. කොහෙන්ද  ඔයා ඒම හිතාගත්තේ ?…”

කසුන් නිහඬවම හිටියා. යම් පසුතැවීමක් දැනෙන්න ගත්තා. 

” කියන්නකෝ.. නිමන්ත අය්යාව ඔයා නොදන්න කෙනෙක් නෙවිනේ..”

අන්තිමේදි කාවින්දිගේ නම ඈඳුණා. කසුන් හැමදේම කිව්වා.  පවනි අහගෙන හිටියේ කිසිම දෙයක් විශ්වාස කරගන්න බැරිව. තමන්ගේ හොදම යාලුවෙක් එහෙම වෙන්නේ කොහොමද කියලා අදහගන්න බැරුව

පවනි ජංගම දුරකථන අරගෙන නිමන්තට ඇමතුමක් ගත්තේ කසුන්ටත් ඇහෙන්න.

” අඩෝ… මොකෝ   …. බං වුනේ…. “

“දන්නේ නෑ නිමන්ත අය්යේ.. ෆේන්ට් වෙලා මම ….

“කසුනා ඉන්නවානේ..?”

“ඔව් ඔව්ව්..එයා ඇඩ්මිට් කරලා තියෙන්නේ මාව…”

“ඒ බං..න්ංගී…කාවින්දි මට කතා කරලා වද දෙනවා උඹව බලන්න යන්න යන්න කියලා.. උඹට කෝල්  කරන්න කිය කියා….. ඒකිට ඒ මොකක් වෙලාද බං… උඹට කියන්න ඒකි සොහාන්ට කියලා, මම වාහනේ බලන්න ගියේ උඹ එක්ක කියලා…. මං ඒකිට දෙකක් කියනවා ආවම නං නංගි ඈ…. “

පවනි කසුන් දිහා බැලුවා. කසුන්ට  කරන්න පුළුවන් උනේ පවනිව බඳාගෙන සමාව ඉල්ලන්න විතරයි. 

More Stories

Don't Miss


Latest Articles