මං නරක ගෑනි කියන්නෙපා!

“ඔයාට නම් තියෙන්නෙ අනේ හරිම ලස්සන ලයිෆ් එකක්. තිමිර අනේ මාරම හොඳයි නෙ නේද?”

“ඔන්න දෝණි ඔයා නම් හරිම වාසනාවන්තයි. තිමිර වගේ පිරිමි ළමේක් හම්බෙන්නෙ නෑනෙ ලේසියෙන් කාටවත්”

“තිමිරයියා වගේ කොල්ලෙක්ව තමා අක්කි මාත් හොයන්නෙ. බලන්නකො එයා අක්කිට කොච්චර ආදරේද කියලා?”

ඔන්න ඔය වගේ තමයි මගේ විවාහ ජීවිතේ ගැන අනිත් මිනිස්සු කිව්වේ. ඇත්ත ඒ මිනිස්සු කිව්වෙ කිසිම දෙයක් බොරු නෙවෙයි. තිමිර කියන්නෙ පුදුමාකාර හොඳ මනුස්සයෙක්. කියන්න කිසිම වරදක් නොතිබ්බ මනුස්සයෙක්. ඔය වෙන මිනිස්සු වගේ බීලා කෑගහන, ස්පා ගානෙ රිංගන, ගෑනුන්ට අවලං කතා කියන වගේ තුට්ටු දෙකේ ගති නෙවෙයි අඩුම මේ වාහනේ ඕනවට වඩා වේගෙන් ඩ්‍රයිව් කරනවත් මනුස්සයෙක් නෙවෙයි තිමිර කියන්නෙ.

“තිමිර හොඳ මනුස්සයෙක්” කියලා කියන මිනිස්සුන්ගෙ කටින්ම මම ගැන එහෙම නැත්තම් තිමිරගෙ වයිෆ් වෙච්ච මාධුවී ගැන මිනිස්සුන්ට නම් කියන්නෙ තිබ්බෙ “තිමිර හොඳ හන්දා හොඳයි” වගේ නිකන් රෝන් ටෝන් කතා තමයි. මිනිස්සු එළිපිට ඕනම දෙයක් කියන, එක එක ජාතියේ ඇඳුම් අඳින, ගෑනු පිරිමි බේධයක් නැතුව ආස්‍රේ කරන මාව දැක්කෙ කොහොමත් “නරක ගෑනියෙක් විදියට”

මිනිස්සුන්ට අනුව අපේ කසාදෙ පරිස්සම් වෙලා තිබ්බෙ තිමිරගෙ හොඳ කම හන්දා. තිමිරගෙ ඉවසීම හන්දා. තිමිර මාව ඉවසුව හන්දා. ඒ උනාට ඔය තිමිර ඉවසන, තිමිරගෙ හොඳ ගැන මට ඇත්තටම කියන්න තිබ්බෙ වෙනම විදියක කතාවක්.

“තිමිර හොඳ මනුස්සයෙක් වෙන්නැති හැබැයි එයා කවදාවත් හොඳ හස්බන්ඩ් කෙනෙක් උනේ නෑ” 

මං ඕක මුලින්ම මගේ හොඳම යාලුවෙක් වෙච්ච භානුට කිව්ව දවසෙ ඒකි මට බැන්නා “උඹ නං මහ ගොං බඳින කනුවක්. මෙච්චර දෙයියෙක් වගේ හොඳ මිනිහෙක් ලැබිලත්, හැමදේටම උදව් කරන, කිසිම දෙයකදි උඹව තනි නොකරන මිනිහෙක් ලැබිලත් ඒකෙ වරදක් හොයන්න යන්නෙ” කියලා. ඒ උනාට ඔය භානුම කිව්ව තිමිරගෙ හැමදේටම උදව් කරන, කිසිම දේකදි මාව තනි නොකරන ගති තියෙනවා නේද අන්න ඒවම තමයි මට තිමිරව එපා කරවන්න හේතු උනේ.

මට ඕන උනේ නෑ හැමදේම කරන්න කාගෙවත් උදව්, මට ඕන උනේ නෑ හැමදේකදිම කවුරුහරි මං ලඟ නිකන් ගොලුබෙල්ලෙක් වගේ ඇලිලා ඉන්නවට.  දෙයියනේ මාත් ගෑනියෙක්, මාත් මනුස්සයෙක්. පොඩි එහෙකුත් නෙවි මං අවුරුදු තිස් ගාණක ගෑනියෙක්. එහෙම ගෑනියෙක්ට හැමදාම පැය විසි හතරෙම තමන්ගෙ හැමදේම කරගන්න තව කෙනෙක් ඕන කියලා මේ ලෝකෙ ඉන්න එවුන් හිතන්නෙ ඇයි කියන හිතුවිල්ලම මට මහ මානසික වදයක් වුණා.

මාව දන්න මිනිස්සු හැමෝම මං නරක ගෑනියෙක් කියලා කිව්වත් ඒ නරක ගෑනිය ඇතුළේ හිටපු, තනි වෙන්න ආස කරපු, හුස්ම ගන්න පොඩි ඉඩක් හෙව්ව මනුස්සයාව කාටවත් පෙනුණේ නැහැ. මිනිස්සු දැක්කේ තිමිර මාව බලාගන්න විදිය. “මාධුවී වාසනාවන්තයි” කියලා හැමෝම කියද්දී මට දැනුණේ මම ලස්සනට හදපු, රත්තරන් පාට ගෑවිච්ච හිරගෙයක හිරවෙලා ඉන්නවා වගේ. තිමිරගේ ඒ පුදුමාකාර හොඳකම මාව හුස්ම හිර කරලා මරන්න හදනවා කියන එක කාටවත් තේරුණේ නැහැ.

මට ඕන වුණේ මම වැටුණොත් මගේම හයියෙන් නැගිටින්න මිසක්, මම වැටෙන්න කලින් කවුරුහරි මාව අල්ලගන්න එක නෙවෙයි. ඒත් තිමිර මට වැටෙන්නවත් ඉඩක් දුන්නේ නැහැ.

මෙන්න මේ නිසා තමයි මම රෙහාන් එක්ක යාළු වුණේ. රෙහාන් කියන්නේ තිමිරට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත. එයා මාව තඹ සතේකට ගණන් ගත්ත මිනිහෙක් නෙවෙයි. රෙහාන්ට ඒ කාලේ කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ල හැමදාම ඔෆිස් එකට එන්නේ අඬාගෙන. “රෙහාන් මාව ගණන් ගන්නේ නැහැ, මම මැසේජ් එකක් දැම්මත් පැය ගාණකින් බලන්නේ, එයාට මාව මතකත් නැහැ” කියලා තමයි ඒකි හැමෝටම ඇහෙන්න විලාප තිබ්බේ. ඒකිට ඕන වුණේ තිමිර වගේ රෙහානුත් ඒකිගේ ඇඟේ ඇලවිලා, ඒකිගේ පස්සෙන් එනවා දකින්න.

හැබැයි මම රෙහාන් ළඟින් හෙව්වේ ඒ කෙල්ල අඬන්න හේතුවෙච්ච ඒ “නොසලකා හැරීම” කියන එක කවුරුහරි දැනගත්තා නම් මාව කවුන්සලින් එක්කරන් යනවා මට පිස්සු කියලා. රෙහාන් මගේ පස්සෙන් ආවේ නෑ. මම කොහේ ගියත්, මොනවා කළත් එයා ඒ ගැන හෙව්වේ නෑ. මම එයාට මැසේජ් එකක් දැම්මත් එයා රිප්ලයි කළේ එයාට නිදහසක් ලැබුණු වෙලාවක විතරයි. අන්න ඒ නොසලකා හැරීම අස්සේ මම අවුරුදු ගාණකට පස්සේ නිදහසේ හුස්ම ගත්තා. මට ඕන වුණේ මාව පාලනය කරන, මගේ හැම හුස්මක්ම මනින දෙයියෙක් නෙවෙයි, මාව නිකන් හරි මඟ අරින සාමාන්‍ය මනුස්සයෙක්ව. රෙහාන් එක්ක ඉන්නකොට විතරයි මට දැනුණේ මම තිමිරගේ සෙල්ලම් බඩුවක් නෙවෙයි, මගේම කියලා හුස්මක් තියෙන තනි මනුස්සයෙක් කියලා.

තිමිරට ඇත්තටම ලැජ්ජාවක් නැහැ කියලා මට හිතුණේ මම මගේ පපුවේ හිරවෙලා තිබ්බ ඒ මහා බර නිදහස් කරපු දවසේ. මට තවදුරටත් මේ මෙගා නාට්ටියෙ රඟපාන්න බැරිම තැන, මම රෙහාන් එක්ක තියෙන සම්බන්ධෙ ගැන හැමදේම තිමිරට කිව්වා. මම හිතුවේ ඒක ඇහුවම තිමිර මං එක්ක රණ්ඩු කරයි, මට බනියි, අඩුම ගානේ මගේ මූණවත් බලන්නේ නැතුව යන්න යයි කියලා. මට ඕන වුණේ ඒ මනුස්සයා මාව පිළිකුල් කරලා මගෙන් ඈත් වෙනවා දකින්න. එතකොටවත් මේ මනුස්සයා “අනේ මට ඔයා එක්ක ඉන්න අමාරුයි, අපි ඩිවෝස් වෙමු” කියන කතාව මං අවුරුදු ගාණක් කිව්වත් ඒක තේරුම්ගත්තෙ නැති හන්දා මම දැන් එයාට චීට් කරා කියලා හිතලා හරි මාව ඩිවෝස් කරාවිනෙ කියලා.

හැබැයි මේ මිනිහා කිව්වේ මොකක්ද දන්නවද? 

මම හැමදේම කියලා ඉවර වුණාම, මගේ අත් දෙකත් අල්ලගෙන එයා කිව්වා, “මැණික… මම ඔයාට සමාව දෙනවා. අපි රෙහාන්ව අමතක කරමු. මම දන්නවා මගේ අතින් මොකක් හරි අඩුපාඩුවක් වෙන්න ඇති ඔයා මෙහෙම දෙයක් කරන්න. අපි ආයෙත් මුල ඉඳන් ලස්සනට පටන් ගමු. මං ඉන්නවනෙ හැමදේටම” කියලා.

මට අන්න ඒ වෙලාවෙ හයියෙන් කෑගහන්න ඕන උනා “තමුසෙ හැමදේටම ඉන්න එක තමයි මට ගහපු හෙණේ” කියලා.

 දෙයියනේ… මට ඕන වුණේ උගේ ඒ කෙහෙල්මල් සමාව නෙවෙයි! 

මට ඕන වුණේ රෙහාන්ව අමතක කරලා ආයෙත් තිමිරගේ පණ නැති රූකඩයක් වෙන්නත් නෙවෙයි.

මට ඕන වුණේ තිමිර මට වෛර කරලා එයාගෙ ඒ perfect හිරගෙදරින් ගැලවෙන්න. මට ඕන වුණේ අඩුම ගානේ සතියේ එක දවසක් හරි මමත් මගේම තීරණ ගන්න පුළුවන්, මටත් මගේම කියලා ලෝකයක් තියෙනවා කියලා හිතන තනි මනුස්සයෙක් වෙන්න. ඒත් තිමිර මගේ ඒ ලොකුම වැරැද්දටත් “සමාව” කියන ලේබල් එක ගහලා මාව ආයෙත් එයාගේ හිර ගේ අස්සටම ගන්න හදද්දී මට දැනුණේ මගේ බෙල්ල කවුරුහරි හිර කරනවා වගේ. තිමිරගේ “හොඳකම” මගේ නිදහස මරලා දාන වස කුප්පියක් විදියට මම දැක්කෙ. එයා මට සමාව දුන්නේ මට තියෙන ආදරේට වඩා, මාව එයාගෙන් ගැලවිලා යන්න තියෙන ඉඩ අහුරන්නයි කියලා මට හිතුණා. මං ගියොත් එයාට ඇලවිලා ඉන්න surface එකක් නැති වෙන එකට තිමිර බය වුණා කියලයි මම හිතුවෙ.

මිනිස්සුන්ට අනුව නං තිමිර පුදුම ඉවසීමක් තියෙන මිනිහෙක්. “බලන්නකෝ මාධුවී කරපු දේටත් තිමිර සමාව දුන්නනේ, මාර මිනිහෙක්නේ” කියලා මිනිස්සු එයාට ගරු කරද්දී, මම ඒ “හොඳකම” අස්සේ පණ ඇද ඇද හිටියේ. මට එදා තේරුණා තිමිර කියන්නේ හොඳ මනුස්සයෙක් වෙන්න ඇති, හැබැයි එයා කවදාවත් මට ගැලපෙන “හස්බන්ඩ්” කෙනෙක් නෙවෙයි කියලා. මට ඕන වුණේ මාව තේරුම් ගන්න පිරිමියෙක් මිසක්, මාව හැමදාම පොඩි දරුවෙක් වගේ හිතාගෙන මගේ පස්සෙන් එන බොඩි ගාඩ් කෙනෙක් නෙවෙයි.

මට ඕන වුණේ නිදහසක්. මම කඩේට ගියත් තිමිර එතන. මම සැලෝන් එකට ගිහින් යි බ්‍රෝස් හදාගෙන, ෆේශල් එකක් දාගෙන එන්න පැය දෙකක් හිටියත්, තිමිර එළියේ වාහනේට වෙලා මං එනකල් බලන් ඉන්නවා. මම මගේ යාළුවෙක්ව හම්බෙන්න ගියත්, “ඔයා කතා කරලා ඉවර වෙලා එනකම් මම එළියට වෙලා ඉන්නම්” කියලා “දැන් මොකද කරන්නෙ, කෑවද, මොනවද එයා කියන්නෙ? කෑම හොඳද?” කියලා විනාඩි දහයෙන් දහයට මැසේජ් එනවා. මට මගේම කියලා හුස්මක් ගන්න, තනියම හිතුවිල්ලක අතරමං වෙන්න ඉඩක් තිබ්බේම නැහැ. මේ හෙවනැල්ල වගේ පැය විසිහතරෙම පස්සෙන් එන මනුස්සයාගෙන් මිදෙන්න මම ගත්තු හැම උත්සාහයක්ම එයා එයාගේ “ආදරෙන්” සහ “හොඳකමෙන්” පරාද කළා.

තිමිර හිතුවේ එයා මාව පරිස්සං කරනවා කියලා. ඒත් ඇත්තටම එයා කළේ මගේ වටේට ලොකු තාප්පයක් බැඳපු එක. මම කැමති ඇඳුමක් ඇඳලා පාරේ යද්දී මිනිස්සු මාව “නරක ගෑනියෙක්” විදියට දකිද්දී, තිමිර ඒ හැමෝටම හිනා වෙලා මාව බේරගන්න හැටි දැක්කම මට ඇති වුණේ ලොකු තරහක්. මිනිස්සු මං අඳින පලඳින විදිය ගැන මොන මගුල කිව්වත් මට අවුලක් නෑ. උන් කියන කියන විදියට අඳින්න මොකෝ මං ඇඳුම් ගන්නෙ උන්ගෙ සල්ලිවලින්ද? නෑනෙ. අනික මේ මිනිස්සු මට කියන ඒව ගණන් ගන්නෙ නැති මට ඒවයින් මගේ හිත රිදෙයි කියලා හිත සනසන්න “ඔයා ඕව හිතන්න එපා, ලස්සනයි ඔයාට ඕවා” කියලා මාව පරිස්සම් කරන්න හදන මිනිහෙක්ව කොහොමටවත් ඕන උනේ නෑ. මට ඕන වුණේ මට එන ගල් පාරවල් වලට තනියම ෆේස් කරන්න. මට ඕන වුණේ මගේ ජීවිතේ මට ඕන විදියට වැරදි කර කර හරි ජීවත් වෙන්න. ඒත් තිමිර මට ඒ වැරදි කරන්නවත් ඉඩක් දුන්නේ නැහැ. එයා හැමතිස්සෙම මගේ ඉස්සරහින් හිටියා. “මං ඔයාව පරිස්සං කරනවා” කියල මහ ලොකුවට කියාගෙන.

මම ඇයි රෙහාන්ව තෝරගත්තේ කියලා දැන්වත් තේරෙනවද? 

ඒ රෙහාන් මගේ පස්සෙන් ආවේ නැති හන්දා. රෙහාන් ළඟ මට “මාධුවී” කියන මාව හම්බුණා. තිමිර ළඟ මම හිටියේ නිකන් පණ තියෙන සෙල්ලම් බඩුවක් වගේ විතරයි. තිමිර වගේ හෙවනැල්ලක් පැය විසිහතරෙම පස්සෙන් ඉන්නකොට දැනෙන ඒ හුස්ම හිරවීම, ඒ මානසික පීඩනය මේ ලෝකේ කාටවත් තේරෙන්නේ නැහැ. මිනිස්සු දකින්නේ එළියෙන් පේන ලස්සන විතරයි.

මිනිස්සුන්ට මම තවමත් “නරක ගෑනියෙක්” වෙන්න ඇති. ගෙදර දෙයියෙක් වගේ මිනිහෙක් ඉද්දි, මාව රත්තරනින් නාවන මිනිහෙක් ඉද්දි, පිට මිනිහෙක් පස්සෙ ගිය වැරදිකාරියක් වෙන්න ඇති. හැබැයි ඒ නරක ඇතුළේ තිබ්බේ මගේ හුස්ම ටික රැකගන්න මම දරපු අන්තිම උත්සාහය විතරයි කියන එක දැනං උන්නෙ මං විතරයි. මට ඕන වුණේ මැරෙන්න කලින් එක දවසක් හරි තිමිරගේ හෙවනැල්ලෙන් මිදිලා, මගේම කියලා නිදහස් හුස්මක් ගන්න.

 ඒ හුස්ම ගන්න මට නරක වෙන්න වුණා.

ඉතින් මගේ කතාව අහලා ඉවර වෙලා, මං දිහා අනුකම්පාවෙන් බලන්නවත්, මට බනින්නවත් එපා. 

මං නරක ගෑනියෙක් කියන්නත් එපා. 

මොකෝ මං මේ තාම නරක් වෙන්න පටන් ගත්තා විතරයි!

More Stories

Don't Miss


Latest Articles