හිස්කබල සිහිවටනයක් ලෙස තබාගත් අපරාධකාරිය

“අපරාධය කරලා ඉවර වුණාට පස්සේ ක්‍රිස්ටා හිතුවේ එයා මාර වැඩක් කළා කියලා. 

එයා ඒ මරාපු කොලීන්ගේ හිස්කබලේ කෑල්ල අනිත් අයට පෙන්ව පෙන්ව ඒ ගැන පුරසාරම් දෙඩෙව්වා. සාමාන්‍ය මනුස්සයෙක්ට හිතන්නවත් බැරි තරම් දරුණු විදිහට, තමන් කරපු ඒ මහා සාහසික අපරාධය ගැන එයා යාළුවෝ ඉස්සරහා පුරසාරම් දෙඩුවේ හරියට ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ.

හැබැයි ඒ මෝඩකම නිසාම දින කිහිපයකින් ක්‍රිස්ටා ඇතුළු පිරිස පොලිසියට කොටු වුණා. 1996 දී නඩුව ඇහුවාම, ඒ ඉදිරිපත් වුණු සාක්ෂි දැකලා මුළු උසාවියම හිරිවැටිලා ගියා. අවුරුදු 18ක කෙල්ලෙක් මෙච්චර දරුණු විදිහට තව කෙනෙක්ව වධ දීලා මරයි කියලා කවුරුත් හිතුවේ නැහැ”

කඩා වැටුණු ලෝකයක තනිවුණු පුංචි ක්‍රිස්ටා

අධිකරණයේ විනිසුරුවරුන් ඉදිරියට යන්න කලින්, මරණ වරෙන්තු අතට ගන්න කලින්, බටහිර වර්ජිනියාවේ පාරවල්වල කිසි පරිස්සමක් නැතිව ඇවිදන් ගිය පුංචි කෙල්ලෙක් හිටියා.

1976 අවුරුද්දේ ක්‍රිස්ටා ඉපදුණේම ප්‍රශ්න පිරුණු ගෙදරක.

 එයාගේ අම්මයි තාත්තයි අතර තිබුණේ අමුතුම සම්බන්ධයක්. දවසක් ආදරේ කරනවා, දවසක් රණ්ඩු වෙලා වෙන් වෙන්න හදනවා. ඒ ගේ ඇතුළේ ආදරය කියන වචනයට වඩා අස්ථාවර බව රජ කළා. අම්මාගේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න, අනියම් සබඳතා සහ කිහිප වතාවක්ම දිවි නසාගන්න කරපු උත්සාහයන් මැද ක්‍රිස්ටාගේ ළමා කාලය නිකම්ම නොසලකා හැරීමකට ලක් වුණා. එයාට දැනුණේ මුළු ලෝකෙම තමන්ව අමතක කරලා දාලා වගේ.

නෑදෑයෝ පවා පස්සේ කාලෙක කිව්වේ ඒ ගෙදර මහා මූසල එකක් කියලා. ක්‍රිස්ටාගේ හිතට පොඩි හරි සහනයක් ගෙනාවේ එයාගේ තාත්තාගෙ පැත්තේ ආච්චි විතරයි. ඒ හෙවනැල්ල යට විතරයි ක්‍රිස්ටාට ආරක්ෂාව කියන දේ පොඩ්ඩක් හරි දැනුණේ. හැබැයි 1988දී ඒ එකම රැකවරණයත් ක්‍රිස්ටාට අහිමි වුණා. ඒ ආච්චිගේ මරණයත් එක්ක, වයස අවුරුදු 12ක ඒ පුංචි දරුවාගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණ වගේ වුණේ අන්න එදා.

ආදරේ කරන්න කවුරුත් නැති වුණාම ක්‍රිස්ටා තමන්ගේ වේදනාව පිට කළේ ප්‍රචණ්ඩත්වයෙන්.

එයා කිහිප වතාවක්ම තමන්ගේ පණ නසාගන්න හැදුවා. මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්තා, විවිධ ඖෂධ පාවිච්චි කළා. නිතරම ඉන්න ගෙවල් සහ ඉගෙන ගන්න ඉස්කෝල මාරු වුණා.

ක්‍රිස්ටාගේ යොවුන් වියේදී එයා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණා වගේම එයත් ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන්න ගත්තා. ගුටිබැට හුවමාරු සහ අසාමාන්‍ය හැසිරීම් නිසා අවසානයේ 10 වැනි පන්තියේදී එයාව ළමා නිවාසයකට යවන්න වුණා. ඇත්තටම ඒක එයාගෙ ජීවිතය වෙනස් කරන්න හේතුවෙච්ච ලොකුම තැනක්.

එතැනදී තමයි එයාට Job Corps වැඩසටහන ගැන දැනගන්න ලැබෙන්නෙ. අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් දීලා ජීවිතය දිනවන්න හදපු වැඩසටහනක් තමයි ඒක. ක්‍රිස්ටා මාර උත්සාහයකින් ඉගෙන ගත්තා, විභාග පාස් වුණා. එයාගෙ  එකම හීනය වුණේ හෙද සහයිකාවක් වෙලා අනුන්ගේ ජීවිත සුවපත් කරන්න.

ඒ වෙලාවේ හැමෝටම හිතුණේ මේ අඳුරු අගාධයෙන් ක්‍රිස්ටා දැන් එළියට ඇවිත් කියලා. එයාත් එයාගෙ අනාගතය ලස්සනට දැක්කා. හැබැයි දෛවය එයා වෙනුවෙන් ලියලා තිබුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, අතිශය ම්ලේච්ඡ අවසානයක්.

නොක්ස්විල් වලදි මොකද වුණේ?

 ක්‍රිස්ටා තමන්ගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න හිතාගෙන ටෙනසිවල තියෙන මේ පුහුණු මධ්‍යස්ථානයට ඇතුළත් වෙනවා. එතකොට එයාට වයස අවුරුදු 18යි. නීතියෙන් වැඩිහිටියෙක් වුණාට, හිතින් තාමත් එයා නොමේරූ තරුණියක්.

ඔය අතරේ තමයි එයාට තමන්ට වඩා අවුරුද්දක් බාල ටැඩරිල් ෂිප් මුණගැහෙන්නේ. මේ දෙන්නා අතරේ ඇති වුණේ සාමාන්‍ය ප්‍රේම කතාවක් නෙවෙයි; වාර්තාවලට අනුව මේ දෙන්නා අද්භූත බලවේග සහ සාතන් ඇදහීම වැනි අඳුරු දේවල් ගැන ලොකු උනන්දුවක් දක්වන්න ගත්තා.

අන්න ඒ අඳුරු මානසිකත්වය ඇතුළට තමයි ඊර්ෂ්‍යාව කියන විසකුරු සර්පයා රිංගුවේ.

ක්‍රිස්ටාගේ හිතේ ලොකු සැකයක් ඇති වුණා එතැනම ඉගෙන ගත්ත 19 හැවිරිදි කොලීන් ස්ලෙමර් තමන්ගේ කොල්ලව පැහැරගන්න හදනවා කියලා. කොලීන්ගේ යාළුවෝ මේක බොරුවක් කියලා දිවුරලා කිව්වත්, ක්‍රිස්ටාගේ ලෝකය ඇතුළේ ඒ සැකය මාරාන්තික ඇත්තක් වුණා.

1995 ජනවාරි 12 රෑ 

එදා රෑ ක්‍රිස්ටා, ෂිප් සහ තවත් ශිෂ්‍යාවක් වෙච්ච ශැඩෝලා පීටර්සන්, කොලීන්වත් එක්කගෙන නේවාසිකාගාරයෙන් පිටතට යනවා. එයාටා කොලීන්ට කිව්වේ අපි මේ රණ්ඩු නතර කරලා යාළුවෝ වෙමු කියලා. හැබැයි ඒක මර උගුලක් කියලා කොලීන් දැනගෙන උන්නෙ නෑ. මෙයාල කොලීන්ව රවට්ටලා ටෙනසි විශ්වවිද්‍යාලය අසල තියෙන පාළු, හුදෙකලා තැනකට එක්කගෙන ගියා.

ඊළඟට සිද්ධ වෙච්චදේ ඇහුවම අදටත් මිනිස්සුන්ගේ ඇඟ හිරිවැටෙනවා.

උසාවි සාක්ෂිවලට අනුව, මෙයාලා කොලීන්ට අමානුෂික විදිහට පහර දීලා වධ දෙන්න පටන් ගත්තා. ඒ ම්ලේච්ඡ වධහිංසාව විනාඩි තිහකට වඩා වැඩි කාලයක් සිද්ද වෙලා තියෙනවා. අවසානයේදී, ක්‍රිස්ටා පාරේ තිබුණු තාර කෑල්ලක් අරගෙන කොලීන්ගේ හිස්කබල කුඩු වෙනකම්ම පහර දීලා කොලීන්ව ඝාතනය කරනවා.

මිනී මරලා ඉතුරු කරගත්ත සිහිවටනෙ

මේ මිනීමැරුම දරුණුයි, ඒක ඇත්ත. හැබැයි පොලිස් නිලධාරීන්ව වඩාත්ම තිගැස්සුවේ අපරාධයෙන් පස්සේ ක්‍රිස්ටා කරපු දේ. ක්‍රිස්ටා ඒ තමන් මරලා දාමු කොලීන්ගේ හිස්කබලෙන් කැඩුණු කෑල්ලක් තමන්ගේ ජැකට් එකේ සාක්කුවේ දාගෙන ආවා. එයාට ඕන වුණා තමන් ජයග්‍රහණය කරපු යුද්ධයක සිහිවටනයක් විදිහට ඒක තියාගන්න.

හැබැයි මේ සාහසික අපරාධය හංගන්න එයාලට පුළුවන් වුණේ පැය 36ක් විතරයි. නේවාසිකාගාරයේ පොතේ සටහන් වෙලා තිබුණා හතර දෙනෙක් එළියට ගියත් ආපහු ආවේ තුන් දෙනයි කියලා.

පරීක්ෂණ පවත්වපු ඩිටෙක්ටිව්ලාට ක්‍රිස්ටාගේ ජැකට් සාක්කුවේ තිබිලා අර බිහිසුණු හිස්කබල් කැබැල්ල හම්බුණා. කිසිම ගැලවීමක් නැති තැන ක්‍රිස්ටා තමන් කරපු හැමදේම පාපොච්චාරණය කළා.

නොක්ස්විල් නඩු විභාගය මුළු ඇමරිකාවම කැළඹූ එකක් වුණා. 1996 මාර්තු මාසයේදී පැය කිහිපයක කෙටි සාකච්ඡාවකින් පස්සේ ජූරි සභාව තීන්දු කළා ක්‍රිස්ටා පයික් පළමු පෙළ මිනීමැරුම් සහ කුමන්ත්‍රණය යන චෝදනාවලට වැරදිකාරිය කියලා.

ඒ වෙද්දි ඇමරිකාවේ මරණ දණ්ඩනය නියම වූ ළාබාලතම කාන්තාව බවට පත් කරමින්, ක්‍රිස්ටාව විදුලි පුටුවේ තබා මරණයට පත් කිරීමට නියෝග කෙරුණා. හැබැයි එයාගෙ පෙම්වතා වුණු ෂිප්ට ලැබුණේ පසුව සමාව ලැබිය හැකි ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක්. අනිත් ශිෂ්‍යාව වුණු පීටර්සන් රජයේ සාක්ෂිකාරියක් වුණු නිසා එයාට ලැබුණේ ලිහිල් දඬුවමක්.

සිරගෙදර ගෙවුණු අසීරු දශක කිහිපය 

මරණ දණ්ඩනය නියම වුණාට පස්සේ ක්‍රිස්ටාගේ ජීවිතය ටෙනසි ප්‍රාන්තයේ දැඩි ආරක්ෂිත සිරගෙදරකට සීමා වුණා. හැබැයි සිරගෙදර ඇතුළෙදිත් එයා සාමකාමී වුණේ නැහැ.

2001 අගෝස්තු මාසයේදී ක්‍රිස්ටා තවත් සිරකාරියක් වුණු පැට්‍රීෂියා ජෝන්ස්ව සපත්තු ලේස් එකකින් හිර කරලා මරන්න උත්සාහ කළා. සිරගෙදර නිලධාරියෙක් සහ තවත් පිටස්තර පුද්ගලයෙක් එක්ක එකතු වෙලා ක්‍රිස්ටා 2012දී හිරෙන් පැනලා යන්න ලොකු ප්ලෑන් එකක් ගැහුවා. හැබැයි අන්තිම මොහොතේ ඒක අහු වුණා. මේ නිසා එයාට තවත් අමතර චෝදනා සහ සීමා පැනවුණා.

දශක තුනකට ආසන්න කාලයක් ක්‍රිස්ටා පයික් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනකම් බලාගෙන ඉන්නවා. අදටත් එයාගේ නීතිඥයෝ උත්සාහ කරන්නේ එයාගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කරගන්න. එයාලා කියන්නේ:

අපරාධය කරද්දී ඇය අතින් වුණේ දරුණු වැරද්දක් වුණත්, ඇය දැන් වෙනස් වෙලා කියලා.

ඇයට කුඩා කාලයේ පටන් තිබුණු බරපතළ මානසික රෝග ගැන සලකා බලන්න කියලා.

නමුත් මියගිය කොලීන්ගේ පවුලේ අය අදටත් කියන්නේ ඔවුන්ට සැනසීමක් ලැබෙන්නේ ක්‍රිස්ටාට නියමිත දඬුවම ලැබුණු දවසට විතරයි කියලා.

ඇත්තටම ක්‍රිස්ටා පයික්ගේ කතාව කියන්නේ ලස්සනට ගෙවෙන්න තිබුණජීවිතයක් වැරදි තීරණ නිසා විනාස වෙලා ගිය හැටි. පුංචි කාලේ ලැබිය යුතු ආදරය අහිමි වීමත්, තරුණ කාලේ ඇතිවුණු පාලනය කරගත නොහැකි ඊර්ෂ්‍යාවත් එකතු වුණාම, මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරන්න හීන දැකපු කෙල්ලෙක් අන්තිමට මිනීමරුවෙක් විදිහට ඉතිහාසයට එකතු වුණා.

 මේකෙන් අපිට දෙන ලොකුම පණිවිඩය තමයි, අපේ හිතේ ඇතිවන කෝපය සහ වෛරය කියන හැඟීම් වෙලාවට පාලනය කරගත්තේ නැත්නම්, ඒ එක මොහොතේ වැරැද්දෙන් අපේ මුළු අනාගතයම සදහටම අඳුරේ ගිලී යන්න පුළුවන් කියන එක.

Related Articles

Don't Miss


Latest Articles