BE SILENT – 04

0
954

මනුහස් අවසන් වූ දුම්වැටි කොටස ඉවතට විසි කර යළිත් තවත් දුම්වැටියක් දල්වා ගනු පිණිස එය මුවේ රුවා සාක්කුවේ තිබූ ලයිටරය සෙව්වේය. සැණකින් ඉදිරි අසුනට එබුණු ෂියෝනා මනුහස් දෙතොළට තද කර සිටින දුම්වැටිය උදුරා ගත්තාය. 

” පිස්සුද බං ?” 

ජීප් රථයෙ පසුපස අසුන වෙතට හැරුණු මනුහස් ගෝරනාඩු කොට ෂියෝනාගේ අතේ තිබූ දුම්වැටිය උදුරා ගන්නට තැත් කළද ඇය එය පසෙකට කළාය. 

” මමනේ අහන්න ඕනේ පිස්සුද කියලා ?  මේ බොන පස්වෙනි එක. මොකක් වෙලාද අප්පා ? මිනිහා මැරිච්ච ගෑනි වගේ මූණත් මොකද්ද කරගෙන එකක් ඉවර වෙන්න එකක් අදිනවා. “

” ඒක නං ඇත්ත සර් , මාත් මේ බලන් හිටියේ. සර් ඊයේ ඉඳන් ඉන්නේ ලොකු අවුලක . මොකද්ද සර් ප්‍රශ්නේ ?”

රියදුරු අසුනේ සිටි සචින්ද්‍ර මාර්ගයෙන් දෑස ඉවතට නොගෙනම පැවසුවේය. 

” මොන මඟුලක්වත් නෑ බං. ෂියා ඕක දෙනවා මෙහාට.. “

නැවතත් පසුපස අසුන වෙත අත දිගු කළ මනුහස් ගෝරනාඩු කළද ෂියෝනා ඉවත බලා ගෙනම සිටියාය. ෂියෝනාගෙන් දුම්වැටිය ලබා ගැනීමට නොහැකි වූ මනුහස් ඊට තවත් උත්සාහ නොකොට ජීප් රථයේ ඉදිරිපස කොටසේ තිබූ දුම්වැටි පැකට්ටුව අතට ගත්තේය. නමුත් ඔහුටත් නොදැනීම ඔහු එහි තිබූ සියල්ලම ඒ වන විටත් පානය කර අවසන් කර තිබුණේය. පැකට්ටුව හිස් බව දුටු ෂියෝනා චිරිස් ගා සිනහ වුවද මනුහස්ගේ කෝපාවිශ්ට දෑසට හසු නොවී වහා ජනේලයෙන් ඉවත බලා ගත්තාය. 

” ෂියා ඕක මට දෙනවා…”

” සර්.. අපි ලඟට ආවා…”

ප්‍රභූ පැළැන්තියේ යැයි පමණක් සැළකෙන විසල් නිවාස ගණනාවකින් සමන්විත මාර්ගයකට අවතීර්ණ වූ පොලිස් ජීප් රථය මාර්ගය පුරා තිබූ රථ වාහනද , සුදු වතින් සැරසුණු මිනිස් සමූහයාගෙන්ද බොහෝ අපහසුවෙන් ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තේය .

” බැහැලා යන්න වෙයි වගේ ඒ තරම් සෙනඟ. “

” වෙන්න එපැයි , රටේ ඉන්න බිලියනර් කෙනෙක්නේ මේ මැරිලා ඉන්නේ. අපි ඕගොල්ලො වගේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි “

ෂියෝනා එසේ පවසමින් ජීප් රථයෙන් පිටතට බැස්සාය. තවමත් ජීප් රථය තුළට වී හිඳ සිටින මනුහස් දුටු ඈ නැවතත් ප්‍රශ්නාර්ථයක් දෑස මත රඳවා ගෙන ඔහු අසලට ළං වුණාය. 

” බහිනවකෝ වදේ …”

” ෂියා.. ඔයාට බැයිද තනියම යන්න ..? “

ෂියෝනාගේ පමණක් නොව සචින්ද්‍රගේද විසල් වූ සිව් දෑස මනුහස් දෙසට යොමු වුණේය .

” දැන් මේ ඉන්වෙස්ටිගේශන් එක මගෙද  ? විජේවර්ධන මහත්තයගෙද ? ” 

ෂියෝනාගේ පැනයට පිළිතුරු ලබා නුදුන් මනුහස් ජීප් රියේ සිටම දකුණතේ දැඟිලි මතින් තදින් නළල තෙරපවා ගත්තේය . 

” යමන් …”

එක් වරම අසුනෙන් පිටතට බට ඔහු ” දඩාස් ” හඬින් ජීප් රථයේ දොර වසා දැමුවේය. 

” මිසිස් මල්දෙණියව මුණ ගැහෙන්න ඕනේ. අපිට කට උත්තර කීපයක් තියනවා ගන්න. “

මල්දෙණිය සමූහ ව්‍යාපාරයේ වැඩ බලන සහ අවමංගල උත්සවයේ වැඩ කටයුතු මෙහෙය වන පුද්ගලයෙක්ට තම හැඳුනුම්පත පෙන්වූ ෂියෝනා තමන් පැමිණි කාරණය වහා පැවසුවාය. 

” පොලීසියෙන් සැරයකුත් ඇවිත් මැඩම්ගෙන් කට උත්තර ගත්තනේ ?” 

” අපි කරන්නේ ස්පෙශල් ඩියුටි එකක් ” 

” සමාවෙන්න මිස්. වෙච්ච දේවල් එක්ක අපිත්  සෑහෙන්න කලබල වෙලා ඉන්නේ. මිස්ලා දන්නවනේ අපේ ලොකු සර් කාටවත් කරදරයක් නැති හරි ගුණගරුක මනුස්සයා. අපි බොහොම මහන්සි වෙලා තමා ෆියුනරල් එකේ මේ වැඩ රාජකාරි සිද්ධ ……”

” අපිට මිසිස් මල්දෙණියව මුණ ගැහෙන්න පුලුවන්ද ? “

සම්බන්ධීකරණය උදෙසා සිටි පුද්ගලයාගේ කට කියවීමට වහා මැදිහත් වූ ෂියෝනා මඳක් තදින් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියාය. 

” පු… පුලුවන් මිස්.. එන්න.. “

ඔහු දෙස රවා බැලූ ෂියෝනා පසෙකට වී සිටි මනුහස් හා සචින්ද්‍ර දෙස බලා සංඥා කරමින් පෙර පුද්ගලයා පසු පස වැටී තරප්පු පෙළක් නඟින්නට පටන් ගත්තාය. 

” ශ්‍රියානී… ! මේ මිස්ලා පොලීසියෙන්. අපේ මැඩම්ව මුණ ගැහෙන්න ඕනේලු. “

තරප්පු පෙළ නැඟ දෙවන මහල කරා ගිය පුද්ගලයා එහි සිටි තවත් කාන්තාවක් අමතා ෂියෝනාව පෙන්වමින් පවසා සිටියේය. 

” එන්න මිස්…”

පෙර පුද්ගලයා සේ කිසිවක් නොඇසූ හෝ නොපැවසූ කාන්තාව ෂියෝනාට මඟ පෙන්වමින් දෙවන මහලේ කොරිඩෝවක් හරහා ඇවිද යන්නට පටන් ගත්තාය. පිළිවෙළින් ඈ පසුපස ෂියෝනාත් , සචින්ද්‍රත් , ඔවුන් දෙදෙනාටම පසුපසින් මනුහසුත් ගමන් කළේය. 

කොරිඩෝවේ වම් පස තිබූ නිදන කාමරයක දොරක් අභියස නතර වූ කාන්තාව එයට සෙමින් තට්ටු කළාය. විවර වූ දොරින් පිටතට හිස යොමු කළේ තරුණියකි. 

” ඇයි ශ්‍රියානී…?” 

” පොලීසියෙන් ඇවිත් නෝනා. අපේ නෝනාව මුණ ගැහෙන්න ඕනෙලු. “

” මිස් බොතේජුද ? “

කාමරයෙන් පිටතට හිස දැමූ තරුණිය ෂියෝනා දෙස බලා විමසා සිටියාය. 

” අ.. ඔව්…”

” එන්න මිස් ඇතුළට…”

තරුණිය දොර හොඳින් විවර කර ෂියෝනාට ඇතුළට ඒමට ආරාධනා කොට ආපසු හැරී ගියාය. තරුණිය ගිය විගස ෂියෝනා මනුහස් දෙසටත් , සචින්ද්‍ර දෙසටත් හැරුණාය.

” මේ ඉන්වෙස්ටිගේශන් එක බාර ඔයාටනේ ? හරි නං අහන්න ඕනේ මිස්ටර් විජේවර්ධනද කියලා  ? කවුද මෙතනට මගෙ නම දුන්නේ ? ” 

” ආපු වැඩේ මුලින්ම කරලා ඉමුද ? “

ෂියෝනාගේ පැනය මායිම් නොකළ මනුහස් නිදන කාමරය දෙසට දෑස යොමු කරමින් පැවසුවේය. කිසිවක් නොදෙඩු ෂියෝනා පළමුව නිදන කාමරය තුළට පිවිසි අතර දෙවනුව සචින්ද්‍ර ඇතුළු වූයේය.

බැලූ බැල්මට අධි සුඛෝපභෝගී නිදන කාමරයක ලක්ශණ පෙන් වූ එහි පසෙකින් විසල් නිදන යහනක් තිබූ අතර ඊට විරුද්ධ දෙසින් අසල තිබූ බැල්කනියට ආසන්නව විසල් සෝපාවක් තිබුණේය. නිදන කාමරයට පසෙකින් එයටම අළලා තිබූ බැල්කනිය තුළ විශාල නාන තටාකයක් තිබෙන බව විවර කර තිබූ වීදුරු ජනේල අතරින් පොලිස් නිලධාරීන් දුටුවහ. එකී බැල්කනිය ආසන්නයේ රෝද පුටුවක සිටින වයස්ගත කාන්තාවක් හා කතා කරමින් සිටි තරුණියක් පොලිස් නිලධාරීන් හට පසු පස හරවා ගෙන  සිටි අතර පසෙක  ටීපෝවක් මත තිබූ වතුර වීදුරුවක් ගෙන වයස්ගත කාන්තාවගේ අතට දුන් ඈ බැල්කනියේ සිට නිදන කාමරය තුළට පිවිස ෂියෝනා දෙස බලා යන්තමින් සිනාසුණාය. 

” මිසිස් මල්දෙණිය…? ” 

” අර ඉන්නේ නැති වුණු මයන් මල්දෙණියගේ අම්මා. මම මයන්ගේ වයිෆ්. ඔයාලට කාවද මුණ ගැහෙන්න ඕනේ. ? “

ඈ සිහින් හඬින් ෂියෝනා දෙස බලා ඇසුවාය. 

” අපිට ගොඩක්ම කතා කරන්න ඕනේ මැඩම් එක්ක. “

” ඒක හොඳයි.. අම්මා ඉන්නේ ටිකක් අසනීපෙන්. වාඩි වෙන්න… “

ඈ අසල තිබූ සෝපාව පෙන්වමින් ෂියෝනාට අත දිගු කළාය. 

“ශ්‍රියානී…!” 

” හොඳයි නෝනා..” 

ඈ සේවිකාවට ඇඟවූ වදන වහා තේරුම් ගත් සේවිකාව විගසින් නිදන කාමරයෙන් පිටව ගියාය. 

” මිස් බොතේජුද ? “

” ඔව්..  මං ෂියෝනා බොතේජු. “

එසේ පැවසූ ෂියෝනා මයන් මල්දෙණියගේ බිරිඳ හට අතට අත දුන්නාය. 

 මේ ඉන්නේ සචින්ද්‍ර. එතකොට අර ඉන්නේ  මේ කේස් එක හැඩ්ල් කරන….”

ෂියෝනා තම ඉහල නිලධාරියා වූ මනුහස්ව හඳුන්වා දීමට පසුපස බැලුවද ඔහු ඒ වන විටත් නිදන කාමරය තුළට ඇතුළු වී නොතිබීම ෂියෝනාගේ සිතේ කෝපයක් ඇති කිරීමට සමත් වූයේය. නමුදු ඇයත් , මේ වන විට මිය ගොස් සිටින මයන් මල්දෙණියගේ බිරිඳත්  බලා සිටින විට සෙමින් සෙමින් අඩි තබමින් නිදන කාමරය තුළට ඇතුළු වූ  පොලිස් නිලධාරී මනුහස් විජේවර්ධනගේ රුව දුටු මල්දෙණිය බිරිඳගේ හදවත මොහොතකට නතර වූ සෙයක් ඇයටම දැනුණාය. 

” මේ ඉන්නේ අපේ හෙඩ් මනුහස් විජේවර්ධන “

ඉදිරියට ආ මනුහස් , මයන් මල්දෙණියගේ බිරිඳට අතට අත දුන් අතර ඈ එක දිගට ගල් ගැසී ඔහු දෙස බලා සිටියා විනා දශමයක හෝ සෙළවීමක් සිදු නොකළාය.

” නෙත්‍යා… ! “

 තිගැස්සුණු නෙත්‍යා මල්දෙණිය වහා තමා ඇමතූ නැන්දණිය දෙස බැලුවාය.  

” අම්මා..!” 

” මං මගේ රූම් එකට යනවා. ඔයත් පොඩ්ඩක් දැන් නිදාගන්න. “

පැමිණි සිටි පොලිස් නිලධාරීන් පිළිබඳව කිසිදු තැකීමක් නොකළ කාන්තාව ඇගේ උදව්වට පසෙකින් සිටි තරුණිය සමඟ රෝද පුටුවෙන් තල්ලු වෙමින් කාමරයෙන් පිටතට ගියාය. 

” හො.. හොඳයි අම්මා..!” 

මෙතෙක් වේලා නොතිබුණු කඳුළු වැල් කිහිපයක් නෙත්‍යා මල්දෙණියගේ දෑසින් කඩා වැටී දෙකම්මුල් දිගේ ගලා ගිය අතර , ඈ වෙත දිගු කර සිටි තම දකුණු අත නැවත ගෙන සාක්කුවේ දමා ගත් මනුහස් ඈ වෙත බැල්මක් හෝ නොහෙළා බැල්කනියෙන් පිටත ඇති නාන තටාකය දෙසට දෑස යොමා සිටියේය. මඳ වේලාවකින් එළැඹි සිහියෙන් යුක්තව දෑස් අගින් ගලා ගිය කඳුළු පිස දැමූ නෙත්‍යා නැවත වතාවක් තමා ඉදිරියේ ඇති සෝපාවේ අසුන් ගන්නා ලෙස ෂියෝනාටත් , සචින්ද්‍රටත් අත දිගු කරමින් ඈ අසල තිබූ සෝපාවේ හිඳ ගත් අතර ඈ අනුව ෂියෝනාත් , සචින්ද්‍රත් ඔවුන් අසල තිබූ  සෝපාවට බර වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here