චායා නින්දෙන් ඇහැරෙන විට, විහඟි උන්නේ නැත. ඕ කාමරය තුලද දෑස් කරකවා බැලුවාය. තනි සුදු බිත්ති මතට ඉර එළිය වැටී ඇත. ඕ අසීරුවෙන් විවර කර ගත් දෑස් ජංගම දුරකථනය සොයා යැව්වාය.
” යකෝ.. නවයත් වෙලා..”
චායා යහනෙන් පැන්නාය. යලි යමක් සිහිවී මෙන් වට්සැප් ගිණුමට පිවිසියාය. සස්මිත ගැන කිසියම් පණිවිඩයක් අද දිනයේද නොලැබෙනවා නම්, සියල්ල අසීරු අඩියකට වැටෙන්නේය.
සස්මිතගේ මිතුරාගෙන් පණිවිඩයක් තිබුණි.
” කෝල් එකක් දෙන්න …”
චායා ඔහුට ඇමතුමක් ගත්තේ, වෙවුලන අතැඟිලි වලිනි. හදවතේ ගැස්ම ඉතා තදින් ඇසුණි. ඕ එක් අතකින් ඇඳ ඇතිරිල්ල ගුලි කරගත්තාය.
“හෙලෝ බං..”
“සස්මිත කතා කලාද ?”
“ඔව් ඔව්… කතා කලා…”
“දෙය්යනේ….”
චායා ට හැඬුණි. ඒ හැඬුම හා වූයේ සැනසුම් සුසුමක සැහැල්ලුවය. ඇතැම් විට හැඬුම් සැනසුම් සුසුම් ලෙසින් එලි බහින්නේය. එකත් එකටම ඔහු කිනම් හෝ කරදරයක පැටලී සිට්න්නට ඇත. නොඑසේනම්, මෙතෙක් කල්, එවන් ගින්නකට තමා දමන්නේ නැත.
” මොකක්ද හලෝ කිව්වේ..? කොහෙද ඉන්නවා කිව්වේ ?..”
” කතා කරන වෙලේ නම් ඌ එයාර්පෝර්ට් යන ගමන් හිටියේ බං…මේ වෙද්දී ෆ්ලයිට් එකේ වෙන්න ඕනි…”
සස්මිතගේ මිතුරා කිසිඳු තෙතක් නොපෙන්වාම කියා දැම්මේය. චායාගේ හදවතෙහි වූ සැනසුම් සුසුම ලෙහුණි. ඒ සැනසිම උඩු හුළඟට මුසු වුණි. මිතුරා පැවසූයේ කුමක්දැයි ඕ යළි යළි සිතන්නට උත්සාහ කලාය. ඇතැම් විට මිතුරාට යමක් පැටලුණාදැයි විමසන ලෙස යටි හිතෙන් නැඟුණු පණිවිඩය සිතා බැලීමකින් තොරවම එලි බැස්සේය.
” විහිලු කරන්නෙපා…. “
ඇය මදක් දැඩි හඬින් කීවාය. ඇමතුමේ අනෙක් පසින් හඬක් නැඟුනේ නැත.
” මේක කෝලම් කරන්න වෙලාවක් නෙවෙයි බිලාල් …. “
“මං සිරාවටම කිව්වේ බං… අක්කාගේ ඔපරේෂන් එක කරන්න විදියක් සෙට් වෙලා… ඒකට උන් ෆැමිලි එක පිටින්ම යනවා කිව්වා.. අවුරුද්ද ක් විතර එහෙ ඉන්න පුළුවන් විදියට ඔක්කොම හදාගත්තා කිව්වා… අම්මලා ආයේ ආවත්, ඌ ආයෙම එවෙන්නේ නැති වෙයි කිව්වා.. උඹ හිත හදාගනින් පැංචි…. ඌට මේක උඹට කියාගන්න බැරි වෙන්න ඇති.. උගේ තාත්තා ගේ රිලේෂන් කෙනෙක්ගෙන් සෙට් වෙලා තියෙන්නේ….. “
චායා එය සිතාගන්නට නොහැකිව නිහඬ වූවාය. මිතුරාගෙන් කිසිවක් අසන්නට හෝ වචන නොගැලපෙන බව වැටහෙද්දී ඕ ඇමතුම විසන්ධි කලාය. සියල්ල අඳුරුව යන බව දැනෙයි. බිලාල් එහෙමට ව්හිලු කරන අයෙකු නොවන බවද සිහිවෙයි. බිලාල්ගේ වදන් වල වූ තද ගතියද සිහිවෙයි.
“මං සිරාවටම කිව්වේ බං… අක්කාගේ ඔපරේෂන් එක කරන්න විදියක් සෙට් වෙලා… ඒකට උන් ෆැමිලි එක පිටින්ම යනවා කිව්වා.. අවුරුද්ද ක් විතර එහෙ ඉන්න පුළුවන් විදියට ඔක්කොම හදාගත්තා කිව්වා… අම්මලා ආයේ ආවත්, ඌ ආයෙම එවෙන්නේ නැති වෙයි කිව්වා.. උඹ හිත හදාගනින් පැංචි…. ඌට මේක උඹට කියාගන්න බැරි වෙන්න ඇති.. උගේ තාත්තා ගේ රිලේෂන් කෙනෙක්ගෙන් සෙට් වෙලා තියෙන්නේ….. “
බිලාල්ගේ වචන ම චායාට යලි ඇසෙන්නටද ගත්තේය. ඕ දෑතින්ම හිස බඳාගෙන යහනේ පෙරලුණාය. සස්මිතට එවැන්නක් කර හැකි වූයේ කෙසේද ? ඔහුට තමා මෙතරමින් මුලාවක හෙල්ලන්නට අවැසි වූයේ කුමන කාරණාවක් නිසාද ? ඔහුට විදෙස්ගතවන්නට සිදුවන බව පවසා, යලි එනතුරු සිටින්න යැයි තමාට පවසා යන්නට ඔහුට නොහැකි වූයේ කිනම් කාරණාවක් නිසාද ? මෙවන් අකාරුණික හැර යෑමක් ලැබෙන එකම විකල්පයද ?
චායා හඬා වැටෙන්නට උත්සාහ කලද, කඳුලු ගල් වී තිබුණි. සස්මිතගේ ස්පර්ශයද, ඔහුගේ ස්වරයද දැනෙන්නට, ඇසෙන්නට ගත්තේය. ඇයට දැනෙමින් තිබුණේ ගත තුලින් ඇවිලෙන ගින්නක් සියොළඟම දවාලමින් පැතිරෙන බවය. ඉන් තමාට මිදීමක් නැති බවය.
අම්මාද, තාත්තාද්, අය්යාද පසෙකට කර තමා විශ්වාසයෙන් අල්ලා ගත් හිත වූයේ සස්මිතය. මේ ගෙවුන ජීව්ත කාලය පුරාවටම ඔහුය. පිටස්තර පිරිමියෙකු ට බැඳී, ඇලී, වගවී විශ්වාස කලා නම් ඒ ඔහුමය. එහෙවු ඔහු මෙවැන්නක් සිදු කිරීම චායාට දරාගන්නට තබා සිතාගන්නටවත් නොහැකිය.
ඕ යහනේ ඒ මේ අත පෙරලුණාය. අංගාර පුපුරු වලින් ගින්න තමා තුළම දැඩිව පැතිරෙන බව චායා අත් දැක්කාය.
විහඟි කාමරයට ආවේ චායා ඇහැරවාගන්නට සිතමිනි. දිනයේ කල යුතු බොහෝ දෑ ගැන සිතමිනි. එහෙත් දුරු දසුනින් ඕ තිගැස්සී ගියාය. වහා කාමරයේ දොර වසා දැම්මාය. තේ කෝප්ප දෙක පසෙක තැබුවාය. යහන මතට පැන්නාය.
” චායා.. රත්තරනේ…?”
විහඟි ගේ හඬින් චායා වහා යහනේ කෙලින්වී හිඳ ගත්තාය. ඇගේ වතෙහි වූයේ සුදුමැලිව ගිය භයංකර බවකි. විහඟිගේ සිත තුළ නැඟුනේද එක් නමකි.
සස්මිත ….
විහඟි වහා මිතුරිය වත්තන් කරගත්තාය. ඇය වෙවුලමින් සිටින බව විහඟි ට දැනෙන්නේය. විහඟි කිසිවක් නොවිමසාම මිතුරිය ඉතා තදින් තමා වෙත නතු කරගත්තාය.
” අනේ…අනේ..සස්මිත ගිහිල්ලලූ.. මාව දාලා ර්ට ගිහිල්ලලූ… ආයේ එන්නේ නෑලු.. මට බලන් ඉන්නෙපාලු.. අක්කගේ ඔපරේෂන් එක නිසා ගිහිල්ලලූ… දැන් මෙහෙ නෑලු එයා… පාන්දර ගිහිල්ලලු මෙහෙන්… මට කියන්නෙවත් නැතුව ගිහිල්ලාලූ… අනේ.. අනේ.. විහා.. අනේ විහා… සස්මිත ගියා කියලා බිලාල් කියනවා… මට තේරෙන්නේ නෑ… මොකක්ද ඒ කියන්නේ කියලා.. කොහොමද එහෙම කියන්නේ කියලා… විහිලුවක් නෙවිලූ.. ඇත්තටම ලු….අනේ…අනේ.. මාව මැරිලා යාවි දෙය්යනේ….”
විහඟි ට කිසිවක් වටහාගන්නට උත්සාහ කරන්නටවත් ඉඩක් නොදී චායා එක හුස්මටම කියවමින් උන්නාය. විහඟිගේ සිතට දැනුනේ ඇගේ හුස්ම සිරවි යාවිදැයි බියය.
” චායා… මේ බලන්නකෝ.. බලන්නකෝ..”
“අනේ .. මට බෑ දෙය්යනේ… කොහොමද මට මෙහෙම කලේ රත්තරන්… ඇයි සස්මිත…. මොකක්ද මමකල වරද ? මගෙන් වුන අඩුව ?…
චායාගේ හඬ උස්ව නැගෙද්දී විහඟි ගේ සිත තවත් කලබල වෙන්නට ගත්තේ ය. නිවැසියන්ට මේ හඬ පැහැදිලිව ඇසීම යනු තවත් ගැටලු පෙරහැරකි.
විහඟි වහ වහා ඒ බව චායාට පැහැදිලි කිරීම ප්‍රමුඛ කාර්‍ය බවට පත් කරගත්තාය. චරක අයියාගේ ගමනට බාධා නොවිය යුතු බව සිහි කරවන්නට උත්සාහ කලාය. එහෙත් ඉන් චායා පියවි සිහියට පිවිසෙන බවක් පෙනුනේ නැත. ඕ උස් හඬින් ඇයට වූයේ කුමක්දැයි විමසමින් රළු හැඩිල්ලක් පෑවාය.
” චායා… අනේ හෙමින් මැණිකේ.. ඉන්නකෝ.. ඉන්නකෝ… මට බිලාල් ට ගන්න දෙන්නකෝ…. මම අහන්නම් මොකද්ද ඇත්තටම වුනේ කියලා… ඉන්නකෝ..”
චායා ඉන් නව පණක් ලැබුවා සේ එක්වරම කෙලින් වූවාය.


