BE SILENT – 08

0
3016

බොහෝ අපහසුවෙන් වත්තන් කරගෙන ආ මනුහස්ට නිදන කාමරයේ යහන මත හිඳ ගැනීමට ඉඩ සැලැස්වූ සචින්ද්‍ර ඔහුගේ දෙපා වල තිබූ පාවහන් ගැලවීමට උත්සාහ කළේය. සචින්ද්‍රගේ ක්‍රියාව ඉව වැටුණු මනුහස් වහා දෙපා ඉවතට කොට සචින්ද්‍ර දෙස අපහසුවෙන් හිස ඔසවා බැලුවේය.

” උම්.. උම්ඹ.. හිතන්නේ සපත්තුවක් ගලෝගන්න බැරි තරමට මට වෙරි කියලද ? “

” නෑ.. නෑ… සර්.. මං එහෙම හිතුවෙ නෑ. සර් දැන් නිදාගන්න. අපි හෙට යන්නත් එපැයි. “

මනුහස් යහන මත හිඳගෙන දෙදණ මත දෑතම තබා බරවී හිස බිමට බර කරගෙන  සිටියේය. 

” සචින්ද්‍රයෝ… උඹ මගෙන් කෙල්ලෙක් ගැන ඇහුවා නේද ? “

මනුහස් සුරුස් හඬින් නාසය ඉහලට ඇද්දේය. පූර්ණ හිස බිමට බර කරමින් උන් මනුහස් හඬා වැටෙනවාදෝ සැකයෙන් සචින්ද්‍ර ඔහුගේ මුහුණ දෙස බැලුවද එය හරි හැටි නොපෙනුණේය. 

” මට කෙල්ලෙක් හිටියා බං. පොඩි බටු ඇටයක් වගේ සුදු බෝල කෙල්ලෙක්. මටත් වැඩිය මං කවුද කියලා තේරුං අරන් හිටපු කෙල්ලෙක් හිටියා බං. ඒ උනාට ඒකිව යාන්තන් දහාට ලබපු ගමන් උන්ගෙ මහ උන් සල්ලිකාරයෙක්ට බන්ඳල දුන්නා. ඒකිත් මාව දාලා යන්න ගියා බං. දැන් අවුරුදු ගාණක්. මට තාම ඒකිව අමතක කරගන්න බෑ බං “

මනුහස් නැවතත් සුරුස් ගා නාසය උඩට අඳිනු සචින්ද්‍රට ඇසුණේය. 

” දැන් නිදාගන්න සර්. අපි හෙට  උදෙන්ම මෙහෙන් යං. “

” ඒ අතින් උඹ ග්‍රේට් බං. උඹේ ඉස්කෝලේ කාලේ කෙල්ලව උඹ තාමත් උඹේ කරගෙන ඉන්නවා. ඒ අතින් උඹ පට්ට ලකී බං. අවුරුදු දහාටක කොල්ලෙක් වෙලත් එදා මං මුකුත් කරන්න හැදුව නැති එක ගැන වෙලාවකට මට මං ගැනම තරහයි බං “

මනුහස් කිසිවක් නොපවසා හැඳ සිටි කමිසය ගලවා විසි කොට යහන මත දිගා වුණේය. මඳ වේලාවක් ඔහු දෙස බලා සිටි සචින්ද්‍ර නිදන කාමරයෙන් පිටතට ඒමට දොර විවර කරන විටම පිටත සිට තරුණියක් ඔහු දැක කතා කළාය. 

” මාව එව්වේ ලොයිඩ්…”

ස්ත්‍රී නාරි දේහයේ සරාගික කම වඩ වඩාත් කැපී පෙනෙන ලෙස රත් පැහැ කෙටි ඇඳුමක් හැඳ සිටි ඈ පමණට වඩා සචින්ද්‍ර අසලට ළංව කීවාය  .

” ම… ම… මං නෙමේ… ස්..ස.. සර්… තමා එන්න කිව්වේ…”

සචින්ද්‍ර බොහෝ අපහසුවෙන් ගොත ගැසෙන වදන් වලින් සරාගී දෑසින් තමා ගිලගන්නට මෙන්  ළංව බලා හිඳින තරුණිය දෙස බලා පැවසුවේය. එක් වරම ඈ හිස කරකවා නිදන කාමරයට එබුණාය. 

” වා..ව්…!” 

තරුණ ජවසම්පන්න කඩවසම් සිරුරක් හිමි මනුහස් නිරුවත් උඩුකයින් යහන මත වැතිරී සිටි ආකාරය දුටු තරුණියගේ මුවින් නොදැනුවත්වම එසේ පිට වුණිද එය හොඳින්ම සචින්ද්‍රට ඇසුණේය.

” බායි…!”

වහ වහා නිදන කාමරය තුළට රිංගා ගත් තරුණිය සචින්ද්‍ර කිසිවක් පවසන්නට මත්තෙන්ම දඩාස් ගා දොර වසා දැම්මාය. 

*********************************************

නුවරට සමුදුන් පොලිස් ජීප් රථය කොළඹ කරා පැමිණෙන අතර තුරදී නතර කළ අවන්හලක් තුළ පොලිස් නිලධාරීන් දෙදෙනා කෝපි කෝප්ප ද්විත්වයක් තොළ ගාමින් සිටියහ. 

” මේක මහ පටලැවිල්ලක්නේ සර් ..?” 

” පටලැවිල්ලක් තමයි බං. මුල ඉඳන් බැලුවොත් විසි හය වෙනිදා මිස්ටර් මල්දෙණිය හොටෙල් එකට ගියා. විසි හය වෙනිදා රෑ එකොළහයි තිස් එකට මිනිහා ලිෆ්ට් එකෙන් එන්නෙ නැතුව පඩිපෙළ නැඟලා හතර වෙනි තට්ටුවෙ තියන තමන්ගේ රූම් එකට ආවා. රූම් එකේ ලොක් එක ඇරලා ඇතුළට යන්න මිනිහට ගිහින් තියෙන්නේ විනාඩියයි . “

මනුහස් තම ජංගම දුරකතනයට බා ගත කොට තිබූ සීසීටීවී දර්ශන යළිත් වාරයක් සචින්ද්‍ර වෙත පෙන්වමින් පවසා සිටියේය.

” මිස්ටර් මල්දෙණිය ඩිනර් අරන් තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ ඉඳන්. එතන ඉඳන් කීපදෙනෙක් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාලාත් තියනවා. ඊට පස්සේ ලිෆ්ට් එක තියෙද්දිත් , පඩිපෙළෙන් නැඟලා රූම් එකට එනවා. පඩිපෙළේදී මිස්ටර් මල්දෙණිය එන එක මූණත් එක්ක හොඳටම පේනවා. පඩිපෙළ ඉවර වෙන තැන ඉඳලා ඉමර්ජන්සි ඩෝ එක පහු කරලා රූම් එකට යන්න හරියටම විනාඩියක් ගිහින් තියනවා. පඩිපෙළයි , ඉමර්ජන්සි ඩෝ එකයි , ඒ ලඟම තිබ්බ මිස්ටර් මල්දෙණියගේ රූම් එකයි අතර පරතරේ අඩි හතරක් හෝ පහක්. 

මේ කියන ටික හොඳට ඔලුවට ගනින්.  

එක – වීඅයිපී රූම් ඒරියා එකේ කොරිඩෝ එක සම්පූර්ණයෙන්ම ලිෆ්ට් එක ලඟ තියෙන කැමරාවට අහු වෙනවා. මිස්ටර් මල්දෙණිය හිටපු රූම් නම්බර් 221 තමයි ඒ කොරිඩෝ එකේ කෙළවරම තිබ්බ රූම් එක. කොච්චර සීසීටීවී එකට අහු උනත් ඒ රූම් එක තමා සීසීටීවී එකට දුරින්ම තිබ්බ රූම් එක.  

දෙක – මිස්ටර් මල්දෙණියගේ  රූම් එකේ ඉඳලා පඩිපෙළට යන්න රූම් එක පහු කරලා වම් පැත්තට හැරෙන්න ඕනේ. එහෙම හැරිච්ච ගමන් සීසීටීවී කැමරාවට තත්පර තුන හතරකට වගේ ඒ හැරුණු කෙනා නොපෙනී යනවා. 

මෙතනදි මිස්ටර් මල්දෙණිය ආවේ තුන්වෙනි තට්ටුවෙ ඉඳලා. පඩිපෙළේ තිබ්බ සීසීටීවී එකේ මිස්ටර් මල්දෙණිය එකොළහයි තිස් එකට පඩිපෙළ පහු කරලා හතර වෙනි තට්ටුවට අඩිය තියලා තියනවා. පඩිපෙළේ ඉඳන් ආපු නිසා රූම් එකට යන්න මිස්ටර් මල්දෙණිය දකුණට හැරෙන්න ඕනේ. එතන ඉඳන් අඩි හතර පහක දුරක් මිනිහට තත්පර තුන හතරකින් වගේ රූම් එකට එන්න පුලුවන් . ඔන්න ඔය ඉඩේ තමයි ඉමර්ජන්සි ඩෝ එක තියෙන්නේ. 

තුන –  ඔන්න ඔය තත්පර තුන හතරෙදි , ඔන්න ඔය අඩි හතර පහේදි එන කෙනාව පඩිපෙළේවත් , ලිෆ්ට් එකේවත් සීසීටීවී වලට අහු වෙන්නෑ. “

හතර – තත්පර තුන හතරක් යන ගමනට මිස්ටර් මල්දෙණියට එදා විනාඩියක් ගිහින්. “

” සර් , කියන්නේ එතකොට මිස්ටර් මල්දෙණිය ඒ විනාඩිය ඇතුළත ඉමර්ජන්සි ඩෝ එකෙන් එක්සිට් උනා කියලද ? වෙන්න බෑ සර්. මිනිහා එකොළහයි තිස් දෙකට රූම් එක ඇතුළට යනවනේ. අනික ඒ විනාඩියෙදි මොනවද වෙන්න පුලුවන් . ?” 

මෙතෙක් වේලා නිහඬව මනුහස්ගේ පැහැදිලි කිරීම් අසා සිටි සචින්ද්‍ර මනුහස්ගේ පැහැදිලි කිරීම් වල කිසිදු ගැලපීමක් නොමැති බව නොකියා කීවේය. 

” මනුස්සයෙක්ට වෙන්න පුලුවන් දරුණුම දේ වෙන්න විනාඩියක් නෙමෙයි තත්පරයක් උනත් ඇති බං. අනික මට මේ මිස්ටර් මල්දෙණිය රූම් එක ඇතුළට යන වෙලාවේ පේන්න තියන විශේෂම දේ මොකද්ද කියලා මෙතනින් බලලා කියහන්. “

සචින්ද්‍ර විපරම්කාරී දෑසින් මල්දෙණිය කාමරය තුළට යන ආකාරය දෙස හොඳින් බලා සිටියේය. වතාවක් ,දෙවතාවක් එක දිගට නැවත නැවත රූප රාමු දෙස බලා සිටි ඔහු එක් වරම මනුහස් දෙස හිස ඔසවා බැලුවේය.

” මිස්ටර් මල්දෙණිය තුන්වෙනි තට්ටුවේ ඉන්න ෆුටේජස් වල හොඳටම මිනිහගේ මූණ පේනවා. තුන්වෙනි තට්ටුවේ ඉඳන් හතරවෙනි තට්ටුවට එන පඩිපෙළ දිගේ එද්දිත් මිනිහගේ මූණ හොඳටම කැමරා වල පේනවා. හැබැයි දොරේ ලොක් එක ඇරලා කාමරේ ඇතුළට යන ටිකට මිනිහගේ මූණ පේන්නෑ. ඒක නිකන් අනිත් හැමතැනදිම ඕන කමින්ම කැමරා වලට මූණ පෙන්නන් ඉඳලා කාමරේ දොර ලඟදි විතරක් මූණ ඕනකමින්ම හැංඟුවා වගේ. “

සචින්ද්‍රගේ විග්‍රහයත් සමඟ මනුහස්ගේ මුවෙහි හීන් සිනා රැල්ලක් ඇඳී ගියේය.

” අන්න හරි. උඹ මගේ එකා…”

සචින්ද්‍ර දෙසට දබරැඟිල්ල දිගු කළ මනුහස් පෙරටත් වඩා සිනහවක් මුවඟේ තවරාගනිමින් පැවසුවේය. 

” සර්.. සර්.. එතකොට මේ කියන්න හදන්නේ ? ” 

” විසි හත් වෙනිදා රෑ පඩිපෙළ දිගේ හතරවෙනි තට්ටුවට ආපු මිස්ටර් මල්දෙණිය නෙමෙයි දොර ඇරගෙන කාමරේ ඇතුළට ගියේ “

සචින්ද්‍ර ගල් ගැසී මනුහස් දෙස බලා සිටියේය. 

” එතකොට සර්…? “

” පඩිපෙළේ ඉඳන් රූම් එකට එන්න තිබ්බ තත්පර තුන හතරෙ දුරේදී මිස්ටර් මල්දෙණියව මාරු වෙනවා. මල්දෙණියගෙ ඇඳුමම ඇඳන් ඉන්න මල්දෙණියගෙ හැඩහුරුකම් තියන පොරක් දොර ඇරගෙන කාමරේ ඇතුළට යනවා. “

” එතකොට මිස්ටර් මල්දෙණිය ඉමර්ජන්සි ඩෝ එකෙන් එක්සිට් උනාද  සර් ?” 

” ඔව්. ඒක සීයට සීයක් ශුවර්. ඊයේ මායි , උඹයි , රණබාහු කාරයයි ඉමර්ජන්සි ඩෝ එකෙන් කා පාක් එක වෙනකන්ම ගියා. මතකනේ..?” 

සචින්ද්‍ර මතක බව ඇඟවීමට මනුහස් දෙස බලා හිස සැලුවේය.

” රණබාහුකාරයා ඉමර්ජන්සි ඩෝ එක අරින්න කිව්වම මුලින් බෑ කිව්වට ඌට සිද්ධ උනා අන්තිමේ ඒක අරින්න. එතකොට මතක් කරපන් අපි ඉමර්ජන්සි ඩෝ එකේ තිබ්බ පඩිපෙළෙන් බැස්සේ මොන අනුපිළිවෙළටද කියලා..?” 

” ම්ම්ම්.. මුලින්ම සර් , ඊට පස්සේ මම. අන්තිමට රණබාහුකාරයා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here