” මං මුලින්ම ඉස්සර උනේ හිතාමතාම. මොකද මට කලින් කවුරුමහරි එතනින් එක්සිට් වෙලා තියනවනම් ඒ ගැන මොකක් හරිම තොරතුරක් හොයාගන්න. එතකොට උඹට මතකද රණබාහුකාරයා කිව්වා අවුරුදු ගාණකින් ඉමර්ජන්සි ඩෝ එක ඇරලා නෑ කියලා. ? ඒ උනාට ස්ටෙයාකේස් හෑන්ඩ්‍රේල් එක අල්ලද්දි මට තේරුණා අරූ කිව්ව විදිහට හැමතැනම මකුළු දැලුයි , දුවිලියි තිබ්බට හෑන්ඩ්‍රේල් එකේ දූවිලි පාරවල් මැකිලා කියලා . ඒ කියන්නේ කවුරුහරි අපිට කලින් ස්ටෙයාකේස් එක පාවිච්චි කරලා. “
” එතකොට රූම් එක ඇතුළට ගියෙ කවුද සර් ? මිස්ටර් මල්දෙණිය නෙමෙයිද ? මොකා හරි රූම් එක ඇතුළට ගිය එකා ආයේ එළියට ගියා කියන්න සාක්ෂි නෑනේ. ? “
” ස්ටෙයාකේස් එකෙයි , රූම් එකේ ඩෝ එක අතරෙයි තියන ඉමර්ජන්සි ඩෝ එක ලඟදි මිස්ටර් මල්දෙණිය වෙනුවට වෙන එකෙක් මාරු උනා. ඌ තමා රූම් එක ඇතුළට ගියේ ”
සචින්ද්‍ර තව දුරටත් වික්ශිප්තව මනුහස් දෙස බලා සිටියේය.
” ඒ.. ඒක සර් කොහොමද හරියටම කියන්නේ ?”
මනුහස් සචින්ද්‍ර දෙස බලා කට කොනකින් සිනහ වූයේය.
” උඹට දැන් මම ඉස්සෙල්ලා රූම් එකේ ඩෝ එක ඕපන් කරන තැන වීඩියෝ එක හොඳට බලන්න කිව්වා නේද ? උඹ බලලා කිව්වා ඩෝ එක ඕපන් කරන්නේ කවුද කියලා හරියට මූණ පේන්නෑ කියලා. උඹ දැක්කේ එච්චරයි උනාට එතන තව දෙයක් තියනවා. හොඳට බලපන් ඔතන රූම් එකේ ලොක් එක අරින එකා ඒක අරින්නේ දකුණු අතින්. හැබැයි මිස්ටර් මල්දෙණිය කියන්නේ වමත්කාරයෙක්. “
සචින්ද්‍ර නැවත වතාවක් ජංගම දුරකතනයේ ඇති වීඩියෝව එහා මෙහා කරමින් , ළං කරමින් , ඈත් කරමින් කීප වතාවක්ම බැලුවේය . ඉන්පසු ප්‍රශ්නකාරී දෑසින් යළිත් මනුහස් දෙස බලා සිටියේය.
” අපි හිතමු මෙහෙම මිස්ටර් මල්දෙණියව කවුරුහරි කිඩ්නැප් කරා කියලා ? එහෙනං ඒක කරපු උන් මිස්ටර් මල්දෙණියට ලිෆ්ට් එක යූස් නොකර ස්ටෙයාකේස් එකෙන්ම උඩට එන්න සැලැස්සුවා. ඊට පස්සේ එතන ඉඳන් රූම් එක ලඟට එන අඩි තුන හතරෙදි හම්බෙන ඉමර්ජන්සි ඩෝ එක ලඟදි මිස්ටර් මල්දෙණියව කිඩ්නැප් කරලා ඒ වෙනුවට මිස්ටර් මල්දෙණිය වගේම හැඩ හුරුකම් තියන , ඒ වගේම ඇඳුමක් ඇඳ ගත්තු එකෙක්ව රූම් එක ඇතුළට යැව්වා.
මෙතන වෙන්න පුලුවන් පළවෙනි සිද්ධිය එහෙමයි කියල අපිට හිතන්න පුලුවන් . “
” එතකොට සර් , දෙවෙනි සිද්ධිය මොකද්ද ?”
සචින්ද්‍රට මනුහස් පවසන සිද්ධි දාමය පිළිබඳව දැනගැනීමේ දැඩි පිපාසාවක් ඇති වෙමින් තිබුණේය.
” දෙවෙනි සිද්ධිය තමයි බං , පලවෙනි එකටත් වඩා සිද්ධ උනා කියලා මට විශ්වාස කරන්න පුලුවන් . “
මනුහස් එසේ පවසා යටිතොළ මඳක් සපා ගත්තේය . ඉන් පසුව හිඳ සිටි පුටුවෙන් මඳක් ඉදිරියට විත් සචින්ද්‍ර දෙස එක එල්ලේ බැලුවේය.
” සිද්ධ වෙලා තියන හැමදේම පිළිවෙළට අරන් බැලුවොත් මිස්ටර් මල්දෙණිය මේ වෙද්දි දවස් දෙකක් තිස්සේ අතුරුදහන් වෙලා ඉඳලා , පස්සේ බොඩි එකත් හම්බෙච්ච මේ වෙද්දි මැරිච්ච මිනිහෙක්. හැබැයි මට අනුව මිනිහා තාම ජීවත් වෙනවා. “
සචින්ද්‍රගේ අතෙහි තිබූ කෝපි කෝප්පය ක්ෂණිකව ඔහු තුළ ඇති වූ තිගැස්ම හේතුවෙන් මේසය මත ඉහිරී ගියේය. ඔහු වහා මේසය මත තිබූ ටිෂූ කඩදාසියක් ගෙන එය පිස දමමින් මනුහස් දෙස කුතුහලයෙන් බලා සිටියේය.
” මිස්ටර් මල්දෙණිය ලිෆ්ට් එක පාවිච්චි නොකර හිතාමතාම ස්ටෙයාකේස් එකෙන් උඩට ආවා. ඊට පස්සේ කලින් ප්ලෑන් කරල තිබ්බ විදිහට ඉමර්ජන්සි ඩෝ එක ලඟදි මිනිහා වෙනුවට කවුරුමහරි රූම් එකට ගියා. මිනිහා එවෙලෙම ඉමර්ජන්සි ඩෝ එකෙන් පිටවෙලා කා පාක් එකට ඇවිත් හොටෙල් එකෙන් පිට වුණා. මං මිනිහා කිඩ්නැප් නොවී මිනිහම පැනලා ගියා කියන්න එක හේතුවක් කියන්නං. මිනිහව ඉමර්ජන්සි ඩෝ එක ලඟදි කවුරුහරි කිඩ්නැප් කරාමයි කියමු. ඒ කරලා ඉමර්ජන්සි ඩෝ එකෙන් පිට වුණා කියමු . රණබාහුකාරයා කිව්ව විදිහට ඉමර්ජන්සි ඩෝ එකේ ස්ටෙයාකේස් එක තනිකර දූවිල්ලෙන් පිරිලා , මකුළු දැල් බැඳිලා තිබ්බේ. මිස්ටර් මල්දෙණියව කිඩ්නැප් කළානං අනිවාර්‍යෙන් එතන දෙන්නෙක්වත් ඉන්නම ඕනේ. මොකද තමන්ව කිඩ්නැප් කරනව කියලා දැනගත්තම ඕනෙම මිනිහෙක් දඟලන්න , බේරෙන්න බලනවා. අනික මල්දෙණිය කියන්නේ ඇඟ පතින් උස මහත මිනිහෙක්. ඒ වගේ මිනිහෙක් ආන්බාන් කරන්න තනි මිනිහෙක්ට බෑ. එතකොට මල්දෙණිය කාරයාව කිඩ්නැප් කරලා ඉමර්ජන්සි එක්සිට් එකෙන් අරන් ගියා නං පොළොවෙ තිබ්බ දූවිලි උනත් ඔක්කොම ඇවිස්සිලා තියෙන්න තිබ්බා.
අපි හිතමු මල්දෙණියව සිහිනැති කරලා මොකක් හරි ක්‍රමේකින් ඉමර්ජන්සි එක්සිට් එකෙන් අරන් ගියා කියලා. එහෙනං බිම දිගේ ඇදගෙන ගිය සලකුණක්වත් තියෙන්න තිබ්බා. හැබැයි අපි ඉමර්ජන්සි එක්සිට් එක පාවිච්චි කරද්දි එහෙම කිසිම දෙයක් වෙලා තිබ්බේ නෑ. කවුරුහරි කෙනෙක් හෑන්ඩ්‍රේල් එක විතරක් අල්ලගෙන ස්ටෙයාකේස් එක දිගේ බැහැලා ගිහිල්ලා. එච්චරයි. “
” එතකොට සර් රූම් එකට ආපු එකා ?”
මනුහස් සචින්ද්‍ර දෙස බලා කට කොනකින් සිනහවක් නැඟුවේය.
” ඌ රූම් එකේ හිටියා. මල්දෙණියගේ සෙකට්‍රි ඇවිල්ලා කතා කරනකන්ම හිටියා. “
එවර සචින්ද්‍රගේ දෑස පමණක් නොව මුවද විසල්ව ගියේය.
” හොඳට බලහන් උදේ මල්දෙණියගේ සෙකට්‍රි රමිත කියන එකා ඇවිල්ලා රූම් එක ඉස්සරහා ඉන්න විදිහ , කතා කරන විදිහ. ඌ එන්නේ තනියම. ඌ ඇවිල්ලා ඩෝ එකට තට්ටු කරනකොට තව දෙන්නෙක් එතනට එනවා. ඊට පස්සේ තව තව කීපදෙනෙක්ම එනවා. රණබාහුකාරයත් එනවා. ඊට පස්සේ රණබාහුකාරයා තමා රූම් එකේ දොර අරින්නේ . ඒ වෙද්දි ඔතන දහ අට දෙනෙක් ඉන්නවා. ඒකෙන් දහ දෙනෙක් එන්නේ ලිෆ්ට් එකෙන් . අට දෙනෙක් එන්නේ ස්ටෙයාකේස් එකෙන්. සාමාන්‍යයෙන් කලබලයක් උනාම මිනිස්සු එතනට රැස් වෙනවනේ. ඔතන හිටපු සමහර අයගෙ මූණු කැමරාවට හොඳට පේනවා , සමහරුන්ගේ බාගෙට පේනවා. , සමහරුන්ගේ පේන්නෙම නෑ. රූම් එක ඇරපු ගමන් ඔය දහ අට දෙනාම රූම් එක ඇතුළට යනවා.”
මනුහස් වහා වීඩියෝව නතර කළේය.
” ගණන් කරහන් මට ආපු ගාණ හරිද කියලා බලන්න. “
සචින්ද්‍ර වහා වීඩියෝව දර්ශනය වන වේගය අඩු කරමින් කොරිඩෝවේ සිට මල්දෙණිය සිටි 221 නිදන කාමරය තුළට ඇතුළු වූ පිරිස ගණන් කරන්නට යෙදුණේය.
” හරි සර් , දහාටක්ම ඉන්නවා තමා..”
” කොරිඩෝ එකෙත් හතර පස් දෙනෙක් ඉන්නවා. දැන් ඕක තව ටිකක් ඉස්සරහට යවලා බලපන් රූම් එක ඇතුළෙ ඉඳන් සැරින් සැරේට කීදෙනෙක් එළියට එනවද කියලා ?”
සචින්ද්‍ර නැවත වතාවක් වීඩියෝ පටය දෙස බලමින් , නවත්වමින් , එය ළං කරමින් , ඈත් කරමින් බොහෝ වේලාවක් එය නරඹමින් සිටියේය.
” සර් , සෙකට්‍රි රමිතයි , රණබාහුයි එක්ක දහාට දෙනෙක් රූම් එක ඇතුළට යනවා. ඊට පස්සෙ තුන්දෙනෙක් එළියට එනවා. එතකොට ඇතුළෙ ඉන්නේ පාළොස්දෙනයි. ආයෙත් කොරිඩෝ එකේ හිටපු එකෙක් ඇතුළට යනවා. එතකොට ඇතුළෙ දාසයක් ඉන්නවා. ඊට විනාඩි තුනකට පස්සේ ආයෙම පස් දෙනෙක් එළියට එනවා. ඒ කියන්නේ ඇතුළේ ඉතුරු වෙනවා එකොළොස් දෙනෙක්. ආයේ විනාඩි දෙකකින් එළියෙ හිටපු දෙන්නෙක් ඇතුළට යනවා. එතකොට දහතුනයි. ඊට පස්සේ විනාඩි හතරකින් පස් දෙනෙක් එළියට එනවා. ඉතිරියි අටක්. ආයේ පස් දෙනෙක් එළියට එනවා. එතකොට ඉතුරු වෙන්න ඕන තුන් දෙනෙක්. විනාඩි දෙකකට පස්සේ තව දෙන්නෙක් එළියට එනවා. එතකොට රූම් එක ඇතුළෙ ඉන්නේ එක්කෙනයි. ඊට පස්සේ පොලීසියෙන් දෙන්නෙක් ඇතුළට යනවා. ඒ ගිහිල්ලා විනාඩි දහයකට පස්සේ පොලිසියෙ දෙන්නයි , රමිතයි , රණබාහුයි හතර දෙනෙක් ආයේ එළියට එනවා. ඈ… දැන් මං ඉස්සෙල්ලා කිව්ව විදිහට ඉතුරු වෙන්න ඕනේ එක්කෙනයිනේ ? පොලීසියෙ දෙන්නත් එක්කම එළියට එන්න ඕනේ අන්තිම තුන්දෙනා. “
සචින්ද්‍ර නැවත වතාවක් ගණනය කිරීමේ යෙදුණහ. නැත.. ඒ වතාවටත් ඔහු ගණනය කිරීමෙන් සෑහීමකට පත් වූයේ නැත. තවත් වතාවක් මුල සිට ඔහු ගණනය කිරීම සිදු කළේය. සචින්ද්‍රගේ ගණනය කිරීම් දෙස බලමින් මනුහස් අවසන් කෝපි උගුරත් බී අවසන් කළේය.
” සර්.. මේක කොහොමද වෙන්නේ ? ඇතුළට දහාට දෙනෙක් ගියත් , අන්තිමට කොහෙන් ගියත් දහනම දෙනෙක් එළියට එනවා. “
මනුහස් නැවතත් සිනහවෙමින් සචින්ද්‍ර දෙස බලා හිස් කෝපි කෝප්පය මේසය මතින් තැබුවේය .
” මේක මාස්ටර් ප්ලෑන් එකක් බං. මුල ඉඳන් ඔක්කොම තිතටම ප්ලෑන් කරලා. මේ බලහන්. “
මනුහස් නැවතත් වීඩියෝව ක්‍රියාත්මක කළේය.
” උඹට පේනවද මේ සුදුපාට ටීෂර්ට් එකක් ඇඳන් , කලු බොටමක් ඇඳල ඉන්න එකාව. අන්න ඌ තමයි කලින් දවසෙ රෑ මල්දෙණිය වගේ ඇඳගෙන රූම් එකට ගියේ. ඌ මෙතනදිත් උගෙ මූණ කැමරාවට කවර් කරන් ඉන්නේ “
” ඒ කියන්නේ සර් මේ ගැන රණබාහුකාරයා දැනගෙන හිටියද ? “
” ඌ විතරක් නෙමෙයි , රමිතත් දැනගෙන හිටියා. “


