මනුහස් වේගයෙන් අඩි තබා ප්‍රශ්න කිරීමේ කුටිය වෙත ගොස් එහි දොර බලෙන් විවර කරමින් ඇතුළට පිවිසියේය. කඳුළු පිරි දෙනෙතින් එහි තිබූ යකඩ පුටුවක් මත වාඩී වී සිටි නෙත්‍යා මල්දෙණියගේ දෑසින් කලබලයෙන් පැමිණි දේහදාරියා දුටු වනම කඳුළු බිඳුවක් රූරා කොපුලක් මතට වැටුණේය . එක් වරම ප්‍රශ්න කිරීමේ කුටිය වෙත කඩා බිඳ ගෙන පැමිණි මනුහස් දුටු ෂියෝනා වහා හිඳ සිටි පුටුවෙන් නැඟිට විශ්මයානුකුල දෑසින් ඔහු දෙස බැලුවාය.
තමා නොමැතිව මෙතරම් කාර්‍යක් සිදු කිරීම පිළිබඳව තම ඉහල නිලධාරියාගේ පැසසුම පමණට වඩා බලාපොරොත්තු වූ ෂියෝනාගේ දෑස ප්‍රීතියෙන් බරවී තිබුණේය.
” මොන හු##&ක්ද මේ කරන්නේ ?”
මනුහස්ගේ කෑගැසීමට ෂියෝනා පමණක් නොව අසරණව හිඳ සිටි නෙත්‍යා මල්දෙණියද තිගැස්සී ගියාය .
” මට එවිඩන්ස් එකක් හම්බුණා මනූ. අපිට දැන් මිසිස් මල්දෙණියගෙන් ප්‍රශ්න කිරීමක් කරන්න පුලුවන් . “
” තමුසෙට කවුද පර්මිශන් දුන්නේ මගෙන් අහන්නැතුව මෙහෙම දේවල් කරන්න ?”
ෂියෝනාගේ මුහුණ පුරා එක් වරම කළු වළාවක් පැතිර යන්නට පටන් ගත්තේය. ඈ හිඳ සිටින නෙත්‍යා මල්දෙණිය දෙසත් මනුහස් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. මීට පෙර වුවද මනුහස්ගේ උදහසට ලක් වී ඔහුගෙන් බැනුම් අසා ඇති වුවද පිටස්තර ගැහැනියක ඉදිරියේ මෙසේ ඔහුගෙන් චෝදනා ලැබීම ෂියෝනාගේ හදවත තව තවත් පෑරීමට සමත් වූයේය.
” ඔ.. ඔයා මට ඇක්සස් දුන්නනේ ?”
” මොනාටද මං ඇක්සස් දුන්නේ ? මෙහෙම මට ඉන්ෆෝර්ම් නොකර කාවවත් ස්ටේශන් එකට ගේන්න මං තමුසෙට ඇක්සස් දීලා නෑ ? “
මනුහස් වේගයෙන් නෙත්‍යා මල්දෙණිය දෙසට හැරුණේය.
” මිසිස් මල්දෙණිය දැන් යන්න. “
” ඒත් මනූ…?”
ෂියෝනා නැවත වතාවක් මනුහස්ට කතා කිරීමට උත්සාහ ගත්තද ඔහු දබරැඟිල්ල දිගු කොට නිහඬ වන ලෙස ඈට සන් කළේය. කෝපය , ලැජ්ජාව සියල්ල මුසු බැල්මකින් මනුහස් දෙස බැලූ ෂියෝනා ප්‍රශ්න කිරීමේ කුටියේ දොර වේගයෙන් විවර කරමින් ඉන් පිටතට ගියාය .
නෙත්‍යා මල්දෙණිය සෙමින් හිඳ උන් තැනින් නැඟිට මනුහස් ඉදිරියට අඩි තැබුවාය . අඩි හයක් පමණ උස දේහදාරියා ඉදිරියේ සිට හිස ඔසවා ඔහු දෙස බලන්නට උත්සාහ නොකළ නෙත්‍යා මල්දෙණිය පිටතට යෑමට අඩියක් තබා යළි මඳකට නැවතුණාය .
” තැන්ක් යූ…”
ඇගේ ස්වරය සිහින් වුවද මනුහස්ගේ හදවත තුළට එය දරාගත නොහැකි විසල් බරකින් ඇතුළු වූයේය .
” හ්ම්ම්…”
ඉවත බලා සිටි දේහදාරියාගෙන් පිට වූයේ එපමණකි. ඉදින් ඈ සෙමින් දොර විවර කරමින් ඉන් පිටතට අඩි තබා පිටව ගියාය . අසල තිබූ පුටුවක් තමා අසලට ඇද ගත් මනුහස් එහි අසුන් ගෙන වේගයෙන් හුස්ම ඉහල පහල හෙළුවේය.
***********************************************
මනුහස් පොලිස් අධිකාරී කාර්‍යාලයෙන් පිටව ආවේ දැඩි කළකිරීමකින්ය. කොහේ හෝ තැනක කුමක් හෝ වැරදී ඇති බව ඔහුට සක් සුදක් සේ විශ්වාසය. එසේම පිටට නොපෙනෙන කුමක් හෝ විසල් වරදක් තවමත් සිදු වෙමින් පවතින බව ඔහුට විශ්වාසය. නමුදු දැන් සෑම මාර්ගයක්ම අවහිර වී ඇත්තේය . යළි ආපසු හැරීමක් විනා ඉදිරියට යෑමක් නොමැති බව ඔහු කළකිරීමෙන් වුවද වටහා ගත්තේය .
ගාලු පාරෙහි දෙපස දැල්වෙන වීදී ලාම්පු එහා මෙහා වේගයෙන් ගමන් කරන රථ වාහන වලට ඉඩ දී මාර්ගය පසෙකට වී කල් මරමින් උන්නේය. නොනිදන නගරය යැයි පැවසුවාට වීදී ලාම්පු , වෙළඳ සැල් මත ඇති විදුලි ලාම්පු , ආලෝක පුවරු වැනි දෑ හැරෙන්නට කොළඹ නගරය ඒ වනවිටත් නින්දට වැටී තිබුණේය.
” සර් ..! සර් කැන්ඩි වල ඉඳන් ආවේ මේ ගැන ලොක්කට කියනවා කියලනේ ?”
බොහෝ වේලාවක් මුළුල්ලේ ජීප් රථයට වී කල්පනා නිමග්නව සිටි තම ඉහල නිලධාරියා දෙස බැලූ සචින්ද්‍ර ජීප් රථය පුරා පැතිර ගොස් තිබූ නිහඬ බව බින්ඳේය.
” පට්ට පතුරු යන්න කෑගහලා ඇඟට කඩාගෙන පැන්නම ඕවා කියන්න පුලුවන්ද බං. ? අනික පෝස්ට්මෝටම් රිපෝට් එකෙන් කියලා තියනවා මේක දිවිනසා ගැනීමක් බව පැහැදිලියි කියලා. තව දුරටත් ඇදගෙන යන්න උවමනාවක් නෑ කියලා කේස් එක වැහුවා. “
සචින්ද්‍ර පුදුමයෙන් මනුහස් දෙස බලා සිටියේය .
” එතකොට සර් මයන්කාරයා තාම ඉන්න බව ලොක්කා දන්නෙවත් නැද්ද ?”
මනුහස් කිසිවක් නොපවසා නැත යන්නට හිස සැලුවේය.
” දැන් සර් හදන්නෙත් මේක අතෑරලා දාන්නද ?”
” ඔව් ඉතිං , අපිට වැඩක් නෑනේ ? මයන් මල්දෙණිය කියන්නේ ලෝකෙට මැරිච්ච මිනිහෙක්. මිනිහගෙ නමට මරණ සහතිකේකුත් ලැබිලා ඉවරයි. උඹට හිතාගන්න පුලුවන්නේ මේකේ තියන බරපතලකම ? මැරිච්ච එකාට එහෙම්මම ඉන්න දෙනවා ඇරෙන්න ආයේ ඌව ගොඩගන්න අපිට බෑ. එහෙම කරන්න නං අධිකරණ වාර්තාවක් ඕනේ. නැත්තන් කවුරුහරි පැමිණිල්ලක් දාලා ආයේ ජජ්ගේ ඕඩර් එකක් අනුව මුල ඉඳන් ඉන්වෙස්ටිගේශන් පටන් ගන්න ඕනේ. උඹට මේවා මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ? “
නැවත වතාවක් ජීප් රථය තුළ නිහඬතාවයක් පැතිර ගියේය.
” සචින්ද්‍ර…!”
“සර්.. !”
” ෂියා මිසිස් මල්දෙණියව ප්‍රශ්න කරන්න එක්කන් ආවේ මොන හේතුවකට කියලද කිව්වේ ?”
” එහෙම හේතුවක් මං දන්නෑ සර් . සර්ට කිව්වේ නැද්ද ?”
මනුහස් දෑඟිලි මතින් තම නළලත තදින් පිරිමැද්දේය.
” දන්නෑ බං. එවෙලේ ඒක අහන්න තරම් සිහියක් තිබ්බේ නෑ. “
” සර්.. !”
සචින්ද්‍ර යමක් පවසන්නට ගොස් නැවත එය ගිල ගත්තේය.
” මොකද්ද උඹ කියන්න හැදුවේ ?”
” සර් , මුකුත් හිතන්නැත්‍තං දෙයක් කියන්නද ?”
” හ්ම්ම්…”
” හවස කලබල උනා වැඩියි කියලා හිතෙන්නැද්ද සර් ? “
මනුහස් හිස හරවා සචින්ද්‍ර දෙස බැලු අතර තම ඉහල නිලධාරියාගේ කෝපයේ දිග පළල හොඳින් තේරුම් ගෙන සිටි සචින්ද්‍ර වහා බිම බලා ගත්තේය .
” මොකද්ද උඹ කියන්නේ ? “
” නෑ.. සර් , මැඩම් ෂියෝනාට උනත් අච්චරම බැනපු එක ටිකක් හරි නෑ වගේ එකක් මට දැනුණා. මල්දෙණිය කියන්නේ ලොකු බිස්නස්කාරයෙක් තමා. මිසිස් මල්දෙණිය වෙනුවෙන් ලෝයර්ස්ලා ගොඩක් ඇවිත් හිටපු එකත් හරි තමා. ඒත් .. ඔයිට වඩා ලොකු ලොක්කෝ එක්ක උනත් සර් ඕනම දෙයක් ගාණට හැඩ්ල් කරනවා මං දැකලා තියනවා. “
” උඹ හිතන්නේ මං මල්දෙණිය ගෲප් එකේ ලෝයර්ස්ලට බය උනා කියලද ?”
” අයියෝ නෑ සර්. එහෙම එකක් කිව්වා නෙමෙයි. “
මනුහස් කිසිත් නොපවසා විසල් හුස්මක් අත හැරියේය . සචින්ද්‍ර පවසනා සියල්ල නිවැරදි බව හදවතේ කොනකින් නැඟෙන තර්කයත් සමඟ ඔහු බිඳ වැටී සිටියේය. කිසිම දිනක , කිසිවෙකු ඉදිරියේ හෝ මෙලෙසට කලබල වී නොමැති තමා අද ඒ තරමටම කලබල වූයේ මන්ද කියා ඔහුටද තේරුම් ගැනීමට නොහැකිය. වරින් වර වරින් වර මතකයට නැඟෙන වටකුරු දෑස මෙන්ම පෙර නුදුටු ලෙසට එහි තැන්පත්ව ඇති කඳුළු බිඳු තම හදවත යළි යළිත් පාලනය කර ගත නොහැකි ආකාරයට අවුළුවන බව ඔහුටද නොතේරුණේය.
” ෂියාට කෝල් එකක් ගනින්. “
සචින්ද්‍ර පිළිතුරු දෙනු වෙනුවට පළමුව මනුහස් දෙස බැලුවේය.
” ෆෝන් එක ඕෆ් සර්. මං දැන් ටිකකට කලිනුත් ට්‍රයි කළා “
මනුහස් කිසිවක් නොපවසා තම ජංගම දුරකතනයෙන් ෂියෝනා වෙත ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ත කරමින් දුරකතනය ක්‍රියා විරහිත වී තිබුණේය .
” යමං “
” දැන් කොහෙටද සර්.. ?”
” ෂියාගේ අපාර්ට්මන්ට් එකට “
කිසිවක් නොපැවසූ සචින්ද්‍ර වහා රාජගිරිය බලා පොලිස් ජීප් රථය ධාවනය කිරීමට පටන් ගත්තේය .
” ඌ මැරිලා.. කොහොම උනත් ඌ මැරිලා . “
මනුහස් ජීප් රථයේ පැති කණ්නාඩියෙන් පෙනෙන තම රුව දෙස බලා තනිවම සිතුවේය.
” නෑ.. ඌ මැරිලා නෑ. ඌ ඉන්නවා. “
පැති කණ්නාඩියෙන් පෙනෙන රුව මනුහස් හා සමච්චල් සිනහවක් නැඟුවේය.
” ඇයි ඌ මැරුණේ ? ඇයි මැරුණා වගේ රඟ පෑවේ ? “
තව දුරටත් තම ප්‍රතිබිම්බය දෙස බලා සිටි ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කළේය.
” මයන් මල්දෙණිය උඹ තාම ජීවත් වෙනවනං ගොඩක් දුරට මේ වෙද්දි රට ඇතුළෙ ඉන්න විදිහක් නෑ. “
” ඌව හොයා ගන්න පුලුවන් . මයන් මල්දෙණියගේ මරණේ සැක සහිතයි කිව්වොත් අනිවාර්‍යෙන්ම අධිකරණ නියෝගයකින් ඉන්වෙස්ටිගේශන් පටන් ගන්න පුලුවන් . රමිතව , රණබාහුව ඇරෙස්‍ට් කරලා ප්‍රශ්න කරන්න පුලුවන් . මේ දවස් කීපය ඇතුළත රටින් පිටවුණු හැම මනුස්සයෙක්ගෙන් ඩීටේල්ස් අරන් සැක සහිත අය ගැන බලන්න පුලුවන් . මයන් මල්දෙණිය රට ඇතුළෙ ඉන්නවද ? නැද්ද ? කියන එක ලේසියෙන්ම හොයාගන්න පුලුවන් . මේ දවස් කීපය ඇතුළත මල්දෙණිය ගෲප් එකේ එහෙට මෙහෙට ගණුදෙනු වෙච්ච එකවුන්ට් ඩීටේල්ස් ගන්න පුලුවන් . ෆෝන් ඩීටේල්ස් ගන්න පුලුවන් . මල්දෙණියලට අයිති ට්‍රාන්ස්පෝට් ගැන චෙක් කරන්න පුලුවන් . දේවල් කීයක්නං කරන්න පුලුවන්ද ? “
මනුහස් දිගටම ජීප් රථයේ පැති කණ්නාඩියෙන් පෙනෙන තම රුව දෙස බලා සිටියේය.
” කරන්න දේවල් දාහක් තියෙද්දි ඒ මුකුත්ම කරන්නැත්තේ මයන් මල්දෙණිය මැරිච්ච එකට නැත්තන් ඌ මැරුණා වගේ රඟපාන එකට උඹ බොක්කෙන්ම කැමති නිසා. උඹ මහ කුහක මිනිහෙක් “
පැති කණ්නාඩියෙන් පෙනෙන තමාගේ රුව තමාටම එලෙස පවසද්දී තව දුරටත් තම ප්‍රතිබිම්බය දෙස බලා සිටි මනුහස් තමන් වෙතටම සමච්චල් සිනහවක් පෑවේය.


