BE SILENT – 14

0
957

” ෂියෝනා මැඩම්ටවත් මේ ගමන ගැන කියන්නේ නැද්ද සර් ?” 

වට රවුම් මාර්ගයෙන් පොලිස් ජීප් රථය දකුණට හරවා 138 මාර්ගයේ මඳ දුරක් යමින් හිඳි සචින්ද්‍ර මාර්ගයෙන් දෑස ඉවතට නොගෙනම මනුහස්ගෙන් ඇසුවේය. 

” මුලින් ගිහින් බලමු බං. ඒ මනුස්සයා පෞද්ගලිකව මුණ ගැහෙන්න ඕන කිව්වේ මොකක් හරි ලොකු හේතුවක් තියන නිසානේ. මුලින්ම මොකද්ද කියන්නේ කියලා බලලා ඉමු “

” එතකොට ලොකු සර් ? “

” ලොක්කටද ?” 

මනුහස් තොල් පට මඳක් තද කර ගත්‍තේය. 

” ඕ…” 

” මේ ගමනින් පස්සේ අපි ඒක හිතලා බලමු . ලොක්කා මේක දැනගන්න ඕන දෙයක්නං මට මේ පණිවිඩේ එන්නේ ලොක්කා හරහනේ බං. “

සචින්ද්‍ර නිහඬවම ගෝල්ඩන් ඇවනිව් වෙත පොලිස් ජීප් රථය හැරෙව්වේය. 

දෙපසම පිහිටි විසල් නිවාස මැදින් ජීප් රථය රැගෙන ගිය සචින්ද්‍ර එය අවසානයේ මල්දෙණිය නිවස ඉදිරිපිට නතර කළේය. 

” කෝල් එකක් දෙන්නං නේ සර් ?” 

තමන් පැමිණි බව දැනුම් දීම සඳහා පෙර කතා කළ අංකයට ඇමතුමක් දීමට සචින්ද්‍ර දුරකතනය අතට ගත්තද සැණෙකින් මල්දෙණිය නිවසේ ප්‍රධාන ගේට්ටුව විවර වී ගියේ ඔවුන් එන පෙර මං බලා සිටියාක් මෙන්ය. 

” ගුඩ් ආෆ්‍ටර්නූන් සර්..!” 

” ගුඩ් ආෆ්ටර්නූන් !” 

මයන් මල්දෙණියගේ අවමඟුල් දා මල්දෙණියගේ මවත් , බිරිඳත් රැඳී සිටි නිදන කාමරයේ දොර විවර කරන ලද්දේද මෙකී තරුණියම බව මනුහස්ට මෙන්ම සචින්ද්‍රටද සැණෙකින් මතකයට නැඟුණහ. 

” අපි යමු සර් උඩට..”

කිසිවක්ම නොපැවසූ පොලිස් නිලධාරීන් දෙදෙනා තරුණිය පසුපසින් එහි දෙවන මහලට ගමන් ගත් අතර ඇය දොරක් විවර කරමින් කාමරයකට ඇතුළු වූවාය. බැලූ බැල්මට කාර්‍යාල කාමරයක් වූ එහි මේසයක් පෙන්වා අසුන් ගන්නා ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනාට පැවසූ තරුණිය නැවත ඉන් පිටව ගියාය.

මේසය මත ක්‍රියා විරහිත කරන ලද ලැප්ටොප් පරිගණකයක් , එකමත එක තැබූ ලිපි ගොනු දෙකක් , කුඩා ලිපි කවර බහාලනයක් , විසිතුරු බඳුනක් හා පසෙකින් මයන් මල්දෙණියගේත් , නෙත්‍යා මල්දෙණියගේත් ජායාරූපයක් තබා  තිබුණේය. ජායාරූපය ඇස ගැටුණු සැණින් ඉවත බලා ගත් මනුහස් තව දුරටත් වටපිටාවට දෑස යොමු නොකර ජංගම දුරකතනයට මුහුණ ඔබා ගත්තේය. 

” අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි මිස්ටර් විජේවර්ධන . මං ටිකක් ප්‍රමාද උනා. “

 නර්මදා විසින් විවර කරන ලද දොරෙන් ඇතුළට ආ  වැඩිහිටි කාන්තාව එසේ පවසමින් කාර්‍යාල කාමරය වෙත ඇතුළු වූවාය. ඇය රැගත් රෝද පුටුව තල්ලු කරමින් පැමිණි නර්මදා එය පොලිස් නිලධාරීන් දෙදෙනා ඉදිරියේ තිබූ හිස් අසුනට පසෙකින් ඔවුන්ට මුහුණලා නතර කළාය.

” ගුඩ් ආෆ්ටර්නූන් මිසිස් මල්දෙණිය “

” ගුඩ් ආෆ්ටර්නූන් මිස්ටර් විජේවර්ධන . මං විනාඩි පහක් පරක්කු උනා. පේනවනේ ඉතිං . මගෙ වැඩ කටයුතු කරගන්න තව කෙනෙක්ගෙ උදව්වක් ලැබෙන කන් ඉන්න ඕනේ. කොච්චර වෙලාවට වැඩ කරන්න උත්සාහ ගත්තත් සමහර වෙලාවට ඒක කරගන්න බැරි වෙනවා. “

” ඉට්ස් ඕකේ මිසිස් මල්දෙණිය “

මයන් මල්දෙණියගේ මළගම පැවැත්වූ දිනයක මල්දෙණිය නිවසට පැමිණි මොහොතේ කෙතරම් අපහසුකම් තිබුණද ඒ සියල්ල තම වංශක්කාර උඬඟුකමට යට කර ගත් මහළු කාන්තාව එදින තමන් දෙසට එක බැල්මක් හෝ නොහෙළා කාමරයෙන් පිටව ගිය ආකාරය මනුහස්ගේ මතකයට නැඟුණේය . එදා එවන් ආකාරයට හැසිරුණු ඈ අද මෙලෙස කුළුපඟවන්නේ කුඩා කාරණයකට නොවන බව ඔහුගේ යටි සිතට ඒත්තු ගොස් තිබුණේය .

” නර්මදා ..!” 

” මැඩම්..?” 

” නෙත්‍යා කෝ..?” 

” එන ගමන් මැඩම් “

මනුහස් විසල් හුස්මක් ගත්තේය. එසේ නම් මෙම කතාබහ මෙතැන් පටන් තමාට බොහෝ අසීරු වන බව ඔහු හොඳින් තේරුම් ගත්තේය. 

කාර්‍යාල කාමරයේ දොර නැවත වතාවක් විවර වූයේය. ඉන් කිසිවෙකු ඇතුළු වන හඬ ඇසුණද එයට පිටුපා සිටි මනුහස් හිඳ සිටි ආකාරයටම සිටියා විනා හිස ඔසවා හෝ බැලීමට උත්සාහ කළේ නැත. 

විවර  වූ කාර්‍යාල කාමරයේ දොරෙන් පළමුව නෙත්‍යා මල්දෙණියත් , දෙවනුව සේවිකාවන් දෙදෙනෙකුත් පැමිණි අතර ඔවුන් අත තිබූ දෑ මේසය මතින් තබන ලෙසට නෙත්‍යා අතින් සන් කළාය . 

” අපි මුලින්ම තේ ටිකක් බීලා ඉමු මිස්ටර් විජේවර්ධන “

වජිරා මල්දෙණියගේ හඬ නැවත ඇසුණු අතර පැමිණ සිටි සේවිකාවක් පොලිස් නිලධාරීන් දෙදෙනා ඉදිරියෙන්  විවිධ වර්ගයේ කේක් කැබලි කිහිපයක් හා රසකැවිලි කිහිපයක් අඩංගු සුදු පැහැ පිඟන් ද්විත්වයක් තැබුවාය . වජිරා මල්දෙණියගේ සංඥාවකට අනුව ඇගේ ලේකම්වරිය යැයි පැවසූ නර්මදා තේ පිළියෙළ කරන්නට පටන් ගත්තාය .

” ඉන්වෙස්ටිගේශන් වලට විජේවර්ධන කියලා ඔෆිසර් කෙනෙක් එයි කියලා දැනන් හිටියට මං හිතුවේ නෑ මේ තරම් තරුණ ළමයෙක් කියලා. එදා ෆියුනරල් එක දවසෙ උනත් මං හිතුවේ අදාල ඔෆිසර් එයාගෙ ඩියුටි එක කරන්න මේ අද ඊයේ ආපු ඇච්චො දෙතුන් දෙනෙක් එවලා කියලා . ඒකමයි මං ඔයාලට කිසි සපෝට් එකක් නොදී ගියේ. ඒකත් එක්කම මං එදා හිටපු මානසික මට්ටමත් එක්ක ආයේ ආයේ පුතා ගැන විස්තර මතක් කරන්න මට කැමැත්තක් තිබ්බේ නෑ. මං මුලින්ම එදා මං මඟ ඇරලා ගිය එකට සමාව ඉල්ලනවා. “

වජිරා මල්දෙණිය එසේ පැවසූ අතර සාදා පිළියෙළ කළ තේ කෝප්ප ද්විත්වයක් නර්මදා විසින් මනුහස් හා සචින්ද්‍ර ඉදිරියේ තැබුවාය. 

” තෑන්ක්ස් ..!” 

මනුහස්ගේ තුති පිදුමට මුව පුරා ලෙංගතු සිනහවක් පෑ නර්මදා තවත් මඳ වේලාවක් ඔහුගෙ දෑස දෙස බලා සිටියාය. 

” නර්මදා ..!” 

” මැඩම්..!” 

නර්මදා මොහොතකට තිගැස්සුණද ඈ එය සඟවා ගනිමින් නැවතත් වජිරා මල්දෙණිය දෙසට හැරුණාය. 

” අපිට පොඩි වෙලාවක් දෙන්න. “

” ඕකේ මැඩම්..”

ඒ අනුව නර්මදාත් , පැමිණි සේවිකාවන් දෙදෙනාත් කාර්‍යල කාමරයෙන් පිටව යනතුරු බලා සිටි වජිරා මල්දෙණිය නෙත්‍යා දෙසට හැරුණාය. 

” නෙත්‍යා.. දුව..! වාඩි වෙන්න. “

නැන්දණියගේ ඉල්ලීමත් සමඟ මෙතෙක් වේලා පසෙක සිට ගෙන සිටි නෙත්‍යා මල්දෙණිය වජිරා මල්දෙණිය පෙන්වූ මනුහස් ඉදිරියේ තිබූ පුටුව මත හිඳ ගත්තාය . බොහෝ ආයාසයක් දරා තම දෑස වජිරා මල්දෙණිය වෙතත් , ඇගේ පිටු පස තිබෙන සුදු පැහැ බිත්තියේ රඳවා ඇති රේඛා , හැඩතල කුමක්ද කියා හෝ නොදන්නා චිත්‍රය මතටත් විතැන් කරමින් සිටි මනුහස්ගේ කල්පනාව නැවතත් වජිරා මල්දෙණියගේ හඬින් බිඳී ගියේය. 

” මිස්ටර් විජේවර්ධන , මං දන්නවා මිස්ටර් විජේවර්ධනට සෑහෙන්න ගැටළුවක් ඇති මගෙ පුතාගේ මරණේ ගැන මිස්ටර් විජේවර්ධනලා මේතාක් කරගෙන ආපු ඉන්වෙස්ටිගේශන් නැවැත්තුවට පස්සෙත්  ආයේ ඇවිල්ලා මෙහෙම පෞද්ගලිකව මාව මුණ ගැහෙන්න කියලා කියපු එකට. අපි කෙලින්ම කාරණාවට එමු. මිස්ටර් විජේවර්ධන දන්නවනේ මේ දවස් ටිකේම ටීවී චැනල් වලයි , සෝශල් මීඩියා වලයි ලොකුම මාතෘකාව උනේ මගෙ දරුවගේ මරණේ. ඒ කිසි දෙයක් ගැන අපිට අවධානයක් යොමු කරන්න උනේ නෑ. මොකද අපි හිටියේ මේ වෙච්ච දේට මූණ දීගන්න බැරුව. මේ වෙච්ච දේ විශ්වාස කරගන්න බැරුව. මයන්ට ලඟම අය විදිහට ඉන්නේ මමයි , එයාගෙ වයිෆ් නෙත්‍යයි විතරයි. මයන් නැති උනු එකේ දුක , වේදනාව බෙදාගන්න අපි දෙන්නට හිටියේ අපි දෙන්නා විතරයි. “

වජිරා මල්දෙණිය එසේ පවසා මේසය මත තිබූ ටිෂූ කඩදාසියක් ගෙන දෑසින් වැගිරෙන කඳුළු පිස දැමුවාය. 

“වෙච්ච හැමදේම නෙත්‍යායි , මායි දරාගත්තට එදා මයන්ගේ මළගමේ අවසන් දවසේ පොලීසියෙන් ඇවිල්ලා නෙත්‍යව අරන් ගියාට පස්සේ අපි දෙන්නට තිබ්බ කරදරයි , වේදනාවයි තව වැඩි උනා. තව පොඩ්ඩෙන් මට මයන්ව විතරක් නෙමෙයි නෙත්‍යාවවත් සඳහටම නැති වෙනවා. “

මනුහස් තිගැස්සී තේරුමක් නොමැති චිත්‍රය මත තිබූ දෑස වජිරා මල්දෙණිය වෙතට විතැන් කළේය. 

වජිරා මල්දෙණිය බර සුසුමක් හෙළුවාය .

” මිස්ටර් විජේවර්ධන දකින්න ඇතිනේ මේ දවස්වල මයන්ගේ මරණෙත් එක්කම නෙත්‍යාව පොලීසියට ගෙනිච්ච එක නිසා සෝශල් මීඩියා වල යන කතා “

මනුහස් පිළිතුරක් දීමට පෙර සචින්ද්‍ර දෙස බැලුවේය. මනුහස් දෙස නොබැලූ සචින්ද්‍ර දෑස බිමට බර කරගෙන සිටියේය. සචින්ද්‍රගේ බැල්මේ මඟ හැරීමත් සමඟ එදා තමන්ගේ අනුදැනුමකින් තොරව ෂියෝනා විසින් නෙත්‍යාව පොලිස් ස්ථානයට රැගෙන යෑමේ සිද්ධියේ ප්‍රතිඵල තමා නොදන්නා බොහෝ ඉසව් හරහා පැතිර ගොස් ඇති බව මනුහස්ට තේරුණේය.

” සොරි මිසිස් මල්දෙණිය , මං වැඩිය සෝශල් මීඩියා පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මට ඒවට වෙලාව හොයාගන්න විදිහක් නෑ. “

වජිරා මල්දෙණිය යළිත් වතාවක් දිගු සුසුමක් හෙළුවාය. බොහෝ අසීරුවෙන් නෙත්‍යා මල්දෙණිය වෙත විතැන් වීමට දඟලන තම දෑස පාලනය කර ගත් මනුහස් වජිරා මල්දෙණිය දෙස බලා සිටියේය. පසෙක තිබූ ජංගම දුරකතනය අතට ගත් වජිරා මල්දෙණිය ඒ මත තම ඇඟිලි තුඩු වරක් දෙවරක් එහා මෙහා කරමින් එය මනුහස් දෙසට දිගු කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here