අංගාර – 13

0
836

 අසේලගේ තත්වය යහපත් අතට හැරෙමින් තිබුණි. චරකගේ පියාගේ මිතුරෙකු සහ පවුලේද හිතවතෙකු මාර්ගයෙන් චරකගේ රියැදුරු තනතුරට තරුණයෙකු සොයාගෙන තිබුණේ චරකගේ පියා විසින්මය.

” විජේසිරි අංකල් රෙකමන්ඩ් කරනවා කියන්නේ ආයේ අපිට හොයලා බලන්න දෙයක් නෑ ..පුතාගේ වැඩ කටයුතු වලට ඒ විශ්වාසේ තියෙන්නම ඕනි .. අනෙක චායා, විහඟි දෙන්නාටත් සුදුසු ආරක්ෂාවක් තියෙන්න ඕනිනේ…”

සැදෑ සමයට එලැඹුණා යැයි කියා දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගෙන නොතිබූ චරකගේ පියා අවශ්‍ය කටයුතු සකසා දෙමින් කීවේය.

” විජේසිරි අංකල් මට කතා කලා …”

” අංකල්ට ඔයා ලවා අර යූත් ප්‍රොජෙක්ට් එක ෆන්ඩ් කරගන්න ඕනි කිව්වා පුතේ …”

” ඒක ඒ තරම් කොලිටි නෑ තාත්තේ .. මම ඒක හැදෙන්න ඕනි විදිය ගයිඩ් කරවන්න කියලා චායාට කිව්වා.. එතනින් හොඳ අවුට් පුට් එකක් ආවොත් බලමු … නිකන් නිරපරාදේ කෝටි ගානක් ඉන්වෙස්ට් කරලා, ඕක ෆේල් වුනොත් ඒකේ අවුල යන්නේ මගේ පිටින්‍ නේ..”

” නෙගටිවිටි එක එක්ක වැඩේට බහින්න එපා … චායාට කියන්න ඒක අංකල් එක්ක එකතු වෙලා ටිකක් ෆෝර්වර්ඩ් කරලා හදලා ගන්න කියලා.. ඒ මනුස්සයා ඔයාට කරපු උදව් අමතක කරන්න බැහැනේ…”

” අංකල් කරපු උදව් මට අමතක කතාවක් නෙවෙයි තාත්තේ මම කියන්නේ…  මට ඒවා හොඳට මතකයි .. ඒ දේවල් මතක නිසා මම අංකල්‍ට අවධානම් අරගෙන කොයි තරම් දේවල් කරාද ?… මේකයි තාත්තේ, මට දැන් මේක ඇති වීගෙන යන්නේ… ක්‍රිකට් බෝර්ඩ් එකේ ප්‍රශ්න ටික විසඳලා, ඇත්ලටික්ස් වල මගේ ප්ලෑන් ටික ඉම්ප්ලිමන්ට් වෙන එක මේ අවුරුදු තුනේදි මට කරගන්න පුලුවන් වුනොත්, ආයේ පාර්ලිමන්ට් ඉල්ලන්නේ නෑ මම … මම මේ තාත්තට කියන්නේ, ආයෙ ඔනිවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා කියනෙක මතක් කරන්න …  චාය වුනත් පිරිමියෙක් වගේ මේක මත්තෙම නැහෙන එකේ ඉවරයක් තියෙන්න ඕනි තාත්තේ ..”

චරකගේ පියා නිහඬවම පසෙකට වූයේය.  චරක ගැන අසීමාන්තික දේශපාලන හීන තිබූ බව සැබෑය. එහෙත්, චායාගේ ජීවිතය ගැන වූයේ මෙවැනි සැලැසුම් නොවේය. උපාධිය අවසන් කරගත් පසු, ඇයට ගැලපෙන තරුණයෙකු හා විවාහ කරවා , ව්‍යාපාර වලින් සෑහෙන කොටසක් පවරා දෙන්නට සිතා උන්නේය. එහෙත්, ඕ කඩාගෙන බිඳගෙන තෝරාගත්තේ වෙනමම ලෝකයකි. ඒ ලෝකයෙන් ඕ ගලවා ගන්නට දැරූ එකඳු උත්සාහයක්වත් සාර්තක වූයේ නැත.  තවම ඇය ඒ වයසේ ගැහැණු ළමයෙකු ප්‍රාර්තනා කරන ලෝකය වෙත පිය මනින්නට සූදානම් වගක් පෙන්වන්නේ නැත. චරකගේ පෞද්ගලික ලේකම්වරිය සේම මාධ්‍ය ලේකම්වරිය ලෙසද සෑහෙන්නම කාර්‍යබාරය ඉටු කරන්නීය. ඒ අතරේ ගවේෂණශීලී මාධ්‍යවේදියක ලෙසින්ද ඕ යම් කාර්‍ය්‍යයන්හී නියැලෙන බව විතාරණ මහතා දන්නේය.

චරක කාමරය තුළට වූයේ යම් කලකිරීමක් එක්කය. සාම්ප්‍රදායික ව්‍යාපාරකරණය ඉක්මවන අදහස් ගොන්නක් සිත තුල විය. එහෙත්, එක් දවසක විනාඩි කිහිපයකට විශ්වාස කල මිතුරෙකු නිසා සියල්ල කණපිට හැරුනේය. ඉන් පසුව වසර දෙකක්ම සිටින්නට වූයේ විදෙස්ගතවය. බලාපොරොත්තුව තිබූ ව්‍යාපාරයේ වටිනාකම ක්ෂයව ගියේ, එය දියත් කෙරුණු ස්වරූපයේ දියාරු බව නිසාය. ඒ වෙනුවෙන් පියාට හෝ අන් කිසිවෙකුට දොස් පවරන්නට චරක සිතන්නේ නැත. ඉන් පසුව ආරම්භ කරන්නට උත්සාහ කල කිසිවක් රට තුල පිහිටුනේ නැත. පියාගේ සිහිනයට අඩිය තැබුනේද ඒ හිත් වේදනා, කඩාවැටීම් සහ බලාපොරොත්තු බිදවැටිම් සමඟ සිටියදීය.  විහඟි අනවසරයෙන්ම තම ජීවිතයට පිවිසීමද ඒ කාලයේම සිදු විය. ඇය ට ඉඩ නොදී සිටින්නට හැකි වූයේද නැත. අවසානයේ දේශපාලනය ජීවිතයම විය. සිහින මිය ගියේය. සැලසුම් වලට සිහින ආරූඩ කරමින් රට තුල යම් වෙනසක් සහ පලදායී ක්‍රියාවලියක් දියත් කිරීම වගකීම බව සිතන්නට තමා කටයුතු කල බව චරක කල්පනා කලේය.

”  එක වෙලාවකට හිතෙනවා … මම මේ ගෙවන්නේ, මට  හීනෙකින්වත් ගෙවන්න අවශ්‍ය වුන ජීවිතේ නෙවෙයි නේද කියලා…  ඒත් දැන් මට මෙතනින් රිංගන්නවත් ඉඩක් නෑ … සමහර වෙලාවට මට මාරම වෙහෙසක් දැනෙනවා විහඟි … අපේ තාත්තා ,  ඔය අංකල්ලාගේ එක එක වැඩ කියනකොට තමයි මට ආයේ අනෙක් අවුල දැනෙන්නේ … පොඩිවත් අඩුවක් නොවෙන්න ඔව්වා ෆලෝ නොකලොත් ෆේල් මිනිහා වෙන්නේ මමනේ …”

කිසිඳු පිවිසීමක් නැතිව චරක එසේ කියවාගෙන යන විට විහගි පුදුමයෙන් බලා උන්නාය. ඔහුගේ හිස පිරිමැද්දාය.

” මේ වතාවෙන් පස්සේ, ඔය ඔක්කොගෙන්ම අයින් වෙලා අයියා ආස ජීවිතේ හදාගන්න අපි උත්සාහ කරමු .. දැන් අයියාට එක්ස්පීරියන්ස් තියෙනවා …. ඉස්සරට වඩා වැඩක් ඇනලයිස් වෙනවා…”

චරක විහඟිගේ පිටි අල්ල ඉම්බේය.

” අයියා අයියා ගාලා එපා වෙන්නේ නැද්ද බං ?…”

” ඉතින් ඔයා මට කියන්නේත් නංගි කියලානේ… චායා එක්ක ඉන්න වෙලාවට, මම ඔයාගේ ටෝන් එකෙන් තමයි කතා කරන්නේ කාටද කියලා තේරුම් ගන්නේ?..”

”  ආහ් .. එහෙමත් එකක්ද ?…”

චරක ඕ උකුල මතින් හිඳුවා ගත්තේය.

” ආහ් මැණිකේ ..”

” ම්ම් …”

විහඟි මදක් ආපස්සට හැරී චරක දෙස බැලුවේය.

” නංගී ගැන තවම ඔයාට මට කියන්න මුකුත්ම නැද්ද ?..”

” ඒ කිව්වේ අයියේ ?…”

” ඒකිට දැන් තිස් තුනක් මැණිකේ.. තිස් තුනට උඹ කසාද බැඳලා ළමයෙකුත් හදාගෙන … නංගි තවම ඉන්නේ හැඟීමක් දැනීමක් නැති ගානට .. කොයි කාලේද එයා ඒ තීරණේ ගත්තේ?.. මං මෙහෙ නොවුන්න අවුරුදු දෙකේ  මොකක්ද වුනේ ?…”

” ඔයා ඕක අහන්නේ සිය දහස් වෙනි වතාවට ..”

” ඒ වුනාට මට හරි උත්තරයක්  හම්බෙලා නෑ…”

” චායා එහෙම මැරේජ් එකක් නොහිතනවා කියලා එකක් නෑ අයියේ .. එයාගේ ඔලුවේ තියෙන්නේ ඉතින් වෙනම වැඩ ටිකක්නේ… “

” නංගිට මොනවගෙන්ද අඩු .. සල්ලි, පෙනුම, තත්වේ… එහෙම වෙලත් ඒකිට කොල්ලෙක් සෙට් නොවෙන්නේ, ඒකි ඒකට උනන්දු නැති නිස නෙවෙයිද ?..”

” මම ආයේ චායා එක්ක කතා කරන්නම් ..”

” කතා කරන්න දෙයක් නෑ .. එයාට කියන්න, එයාගේ එහෙම අෆෙයාර් එකක් තියෙනවා නම් මට කියන්න කියලා…. එහෙම නැත්නම් , මම ගැලපෙන කෙනෙක් හොයන්න ගන්නවා…”

” ඒත් අයියේ ..”

” ආයේ අහන්න දෙයක් නෑ… ඒක තමයි මගේ වචනේ…”

විහඟි සුසුමක් හෙලුවාය. සස්මිත යැයි කෙනෙක් නැතුවා සේ උන්නාට චායාගෙ සිත තවම පේවී සිටින්නේ ඔහුම වෙනුවෙන් බව විහඟි දනී. ඇය ඇතැම් දිනවල සාංකාවෙන් මෙන් ඉන්නේ සස්මිතව අතොරක් නැතිව සිහිවිම නිසා බවද ඕ දනි.

සස්මිතගේ උපන්දිනය දාට ඇය කරන පිංකම් ගැන දන්නේ ඇයත් තමාත් පමණය. මේ සියල්ල දැන දැනම චරකගේ තීරණය ඇයට පවසන්නේ කෙලෙසද ?.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here