මයන් මල්දෙණියගේ මරණය පිටුපස ඔහුගේ බිරිඳ සිටිනා බවට සැකයක්..
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණයට සැකපිට තරුණ බිරිය අත් අඩංගුවට…
සැමියාගේ මිනිය භූමදානය කිරීමට කනත්තට ගිය බිරිය පොලිස් අත් අඩංගුවට…
මයන් මල්දෙණියගේ රූමත් බිරියගේ අනියම් සම්බන්ධයක් සියදිවි නසා ගැනීමට හේතුවද ?
“මගෙ වයිෆ් දරුවෙක් හදන්නෑ. මං මැරුණොත් වගකියන්න ඕනේ මගෙ වයිෆ්. ” මයන් මල්දෙණියගේ අන්තිම සටහන…
දෙපතුළින් පටන් ගත් හිරියක් පපුව මැදටම විත් නතර වූ ඇසිල්ලේම මනුහස් හිස ඔසවා නෙත්‍යා මල්දෙණිය වෙත එක එල්ලේ බැලුවේය . කොහේදෝ දුර කල්පනාවක වෙළී උන් ඇගේ කොපුලක් මත ගලා ගිය කඳුළකි. මනුහස්ට නොදැනීම ඔහුගේ අත මිට මෙළවී ගොස් තිබුණේය.
” සෝශල් මීඩියා වල ශෙයා වෙන දේවල් ගැන ලොකුවටම හිතන්න එපා මැඩම්. අපේ මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නේ සතියයි , දෙකයි. “
දැඩි නිහඬබව බිඳිමින් සචින්ද්‍ර පළමු වරට කටහඬ අවදි කළේය.
” ඒක නං එහෙම තමයි. මාත් ඒක හොඳට දන්නවා. ඒත්.. නෙත්‍යාගෙ අම්මලා අප්පච්චිලා එහෙම හිතන්නෑ මිස්ටර් විජේවර්ධන . ඒ මිනිස්සු හැදුවෙම නෙත්‍යව ආපහු අරන් යන්න. කසාද මනුස්සයත් නැති කරගෙන ලෝකෙන්ම අපවාද , කතන්දර අහගෙන ඇඬූ කඳුළින් ජීවත් වෙන දරුවා දිහා තවත් බලන් ඉන්න ඒ මිනිස්සුන්ටත් අමාරුනේ. මොන අම්මා තාත්තද කැමති තමන්ගේ දරුවො දුක් විඳිනවා බලන්න? තමන්ගේ දරුවෝ අපහාස විඳිනවා බලන්න. ? කොහොම උනත් නෙත්‍යා ගියොත් මං කොහොමත් තනිවෙනවා කියලා හිතපු නිසා එයා අම්මලා , අප්පච්චිලාට විරුද්ධ වෙලා මෙහෙ නතර උනා. “
වජිරා මල්දෙණිය හිස හරවා ලේලිය දෙස බැලුවාය . නෙත්‍යා හිමින්සීරුවේ දෙනෙතින් ගලා ගිය කඳුළු බිඳු පේළියක් තැවරී තිබූ කොපුලෙන් එය පිසදා ඉවත් කළාය .
” මට මගෙයි කියලා හිටියේ මයනුයි , නෙත්‍යායි විතරයි මිස්ටර් විජේවර්ධන . එක දරුවෙක්ට සාධාරණේ හොයන්න ගිහින් මට අනිත් දරුවට අසාධාරණයක් කරන්න බෑ. නැති වෙච්ච මයන් ගැන හොයන්න ගිහින් ජීවත් වෙලා ඉන්න නෙත්‍යාගෙ ජීවිතේ අපායක් කරන්න මට බෑ. මට මගෙ නැති වෙච්ච දරුවා ගැන හොයන්න ඕනේ. මගෙ දරුවට මොකද උනේ කියලා දැනගන්න ඕනේ. කිසිම අඩුපාඩුවක් , කිසිම ප්‍රශ්නයක් ගැටළුවක් නැතුව හිටපු මගෙ දරුවා සුයිසයිඩ් කරගත්තේ ඇයි කියලා දැනගන්න ඕනේ. මයන් සුයිසයිඩ් කරගත්‍තද ? නැත්තන් එයාට වෙන මොකක් හරි කරදරයක් උනාද කියලා මට දැනගන්න ඕනේ. හැබැයි ඒ නෙත්‍යාට කරදරයක් නොවී. පොලීසිය දිගින් දිගටම මේ ගැන හෙව්වනං නෙත්‍යාට දිගින් දිගටම පොලිසි ගාණේ රස්තියාදු වෙන්න වෙනවා. දිගින් දිගටම මිනිස්සුන්ගෙන් ජරා කතා අහන්න වෙනවා. කරදර සෑහෙන්න ගොඩකට මූණ දෙන්න වෙනවා. මට ඒ නිසයි මේ වෙලාවේ මිස්ටර් විජේවර්ධනගේ උදව් ඕනේ. “
නෙත්‍යා හිස හරවා කඳුළු පිරි දෑසින් නැන්දණිය දෙස බලා සිටියාය .
” මිසිස් මල්දෙණියට මගෙන් මොනවද වෙන්න ඕනේ ? “
බොහෝ වෙලාවකට පසුව මනුහස් කටහඬ අවදි කළේය.
” මට මගෙ දරුවට උනේ මොකක්ද කියලා රහසිගතව හොයාගන්න ඕනේ මිස්ටර් විජේවර්ධන . මේ කතා බහ සිද්ධ වෙන අපි අතරේ ඇරුණම මේක මෙතනින් පිටට යන්න බෑ. වෙන කිසිම කෙනෙක් මේක ගැන දැනගන්න බෑ. මයන්ට උනේ මොකද්ද කියලා මට හොයලා දෙන්න. මං මිස්ටර් විජේවර්ධන ගැන සෑහෙන්න දේවල් අහලා තියනවා. මිස්ටර් විජේවර්ධන කවදාවත් තමන්ට ලැබුණු කේස් එකක් විසඳන්නැතුව අතාරින්නෑ කියලා මං අහලා තියනවා. මං මිස්ටර් විජේවර්ධනට ඕනෙම ගාණක් වියදම් කරන්න ලෑස්තියි. ඒ කියන්නේ මිස්ටර් විජේවර්ධන ඉල්ලන්නේ කීයක්ද , ඒ ඕනම ගාණක් මං ගෙවනවා. මට මගෙ දරුවට උනේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ බොහොම රහසිගතව. මට මේ උදව්ව කරලා දෙන්න. “
වජිරා මල්දෙණිය බොහෝම බැගෑපත් ස්වරූපයෙන් මනුහස් හට පවසා සිටියාය.
මඳ වේලාවක් කල්පනාවේ නියැළී සිටි මනුහස් තමා ඉදිරියේ තිබූ තේ කෝප්පය අතට ගෙන තොළ ගෑමට පටන් ගත්තේය.
” මේක හරි ඉන්ට්‍රස්ටින් කේස් එකක් මිසිස් මල්දෙණිය. ඕනම ගැටළුවක ගැටළුකාරී ස්වභාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක විසඳන්න තියන උවමනාවයි , කැමැත්‍තයි වැඩි වෙනවා. මේකත් එහෙම එකක්. බොහොම රහසිගතව මේ වැඩේ කරන්න වෙනවා කියන්නේ අපිට මේකට දෙතුන් ගුණයක් වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම කාලේ. මේක පෞද්ගලික රහස් පරීක්ශක වැඩක් වගේනේ මිසිස් මල්දෙණිය. එතකොට මට කියන්න අමාරුයි හරියටම මේ කාලේ වෙද්දි මං මේක විසඳනවා කියලා. ඒ වගේම සපෝට් එක. මට මිසිස් මල්දෙණියගෙන් උනත් සෑහෙන්න සපෝට් එකක් ගන්න වෙයි. ඒ වගේම මට මොනා හරි දෙයක් දැනගන්න අවශ්‍ය උනොත් හරිම තොරතුරු කිසිම අඩුවකින් තොරව මට මිසිස් මල්දෙණියගෙන් දැනගන්නත් අවශ්‍යයි. “
මනුහස් අතේ තිබූ තේ කෝප්පය යළි මේසය මතින් තැබුවේය .
” මිස්ටර් විජේවර්ධන , මං කිව්වනේ මං මිස්ටර් විජේවර්ධනගේ මහන්සියට අසාධාරණයක් කරන්නෑ. මං මිස්ටර් විජේවර්ධනගේ මහන්සිය වෙනුවෙන් ඕනෙම වටිනාකමක් ගෙවන්න කැමතියි. ඒ වගේම මට කිසිම හදිස්සියක් නෑ. මිස්ටර් විජේවර්ධනට පුලුවන් කාලේ ඕන තරම් ගන්න. හරියටම නිවැරදිම දේ මට ලැබෙනවනං කොච්චර කල් ගියත් මට ඒකේ ප්‍රශ්නයක් නෑ. එතකොට සපෝට් එක. මිස්ටර් විජේවර්ධනට වෙන්න ඕනේ මොනවද , අන්න ඒ හැමදේම මට පුලුවන් උපරිමයෙන්ම වෙයි. “
වජිරා මල්දෙණියගේ කටහඬ ස්ථීර සාරය. එහි විශ්වාසයක් හා දැඩි එකඟතාවයක ස්වරූපයක්ද ගැබ් වී තිබුණේය .
” මිස්ටර් මල්දෙණියට හතුරො හිටියද ? “
” මට ඒකට නෑ කියන්න බෑ. මයන් කියන්නේ මේ රටේ ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්. මල්දෙණිය ගෲප් කියන්නේ රටේ පළවෙනි තැන් දෙක තුනේ තියන බිස්නස් එකක්. මයන්ට හතුරෝ හිටියා . අපි දන්න හතුරෝ වගේම අපි නොදන්න හතුරොත් එයාට ගොඩක් ඉන්න ඇති . හැබැයි මේ තරම්ම ජීවිත හානියක් කරන්න තරම් හතුරෙක් මයන්ට ඉඳිවී කියලා මට විශ්වාස කරන්න බෑ. “
” එතකොට මිස්ටර් මල්දෙණියගේ යාලුවෝ ?”
වජිරා මල්දෙණිය හිස හරවා ලේලිය දෙස බැලුවාය . බැලූ බැල්මට ඈ මෙවැනි ප්‍රශ්නයක් මනුහස්ගෙන් බලාපොරොත්තු නොවුණා විය හැකිය.
මයන්ට යාලුවෝ නං සෑහෙන්න හිටියා මිස්ටර් විජේවර්ධන. තමන්ට තරඟයක් වෙච්ච , තරහකාරයො එක්ක උනත් මයන් හොඳින් හිටියා. මං ඒකයි කලිනුත් කිව්වේ මයන්ට හතුරො හිටියා උනාට ජීවිත හානියක් කරන්න තරම් අය මයන්ට හිටියද කියලා මට සැකයි කියලා. මයන්ට බිස්නස් එක ඇතුළෙ වගේම ඒකෙන් පිටත් යාළුවෝ සෑහෙන්න ප්‍රමාණයක් හිටියා. එයා ඉස්කෝලේ කාලේ යාළුවන්ව උනත් හරි සන්තෝසෙන් ආස්‍රය කළේ. අවුරුදු ගාණකට පස්සේ සමහර යාලුවෝ දකිද්දි මයන්ගෙ හිතේ තිබ්බ සන්තෝෂේ මං මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා . මයන් නැති වෙන්න මාසෙකට විතර කලින් එයා එක්කම ඉස්කෝලේ ඉගෙනගත්තු කෙනෙක් බෙල්ල වැල දාගෙන නැති උනා. ඒ දවස් ටිකේ මයන් හිටියේ පුදුම දුකක. එයාට ඒ මරණේ දරාගන්න එක හරියට අමාරු උනා. “
” හ්ම්ම්… හොඳයි මිසිස් මල්දෙණිය මං මේ වැඩේ බාරගන්නවා. අර මං කලින් කිව්වා වගේ වැඩේ හරියට වෙන්න නං මට මල්දෙණිය ෆැමිලි එකේ සපෝට් එක හරියට ඕනේ. මට මොකක් හරි තොරතුරක් ඕන උනොත් ඒක හරියටම දැනගන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගැන මං මිසිස් මල්දෙණියගෙන් ඇහුවොත් මිසිස් මල්දෙණිය අදාළ කාරණාව ගැන සියළු දේ මට කියන්න ඕනේ. කිසිම දෙයක් නොදැන කළුවරේ අත පත ගානවා වගේ මේ වැඩේ කරන්න බෑ. “
” මට ඒක තේරෙනවා මිස්ටර් විජේවර්ධන. අපි අපේ උපරිම සපෝට් එක මිස්ටර් විජේවර්ධනට දෙනවා. “
මනුහස් හිස හරවා සචින්ද්‍ර දෙස බැලුවේය. මනුහස්ගේ බැල්ම හොඳින් තේරුම් ගත් සචින්ද්‍ර හිඳ සිටි පුටුවෙන් නැඟිට්ටේය.
අපි එහෙනං ගිහින් එන්නං මිසිස් මල්දෙණිය. “
” හොඳයි. මිස්ටර් විජේවර්ධන මට මිස්ටර් විජේවර්ධනගේ පේමන්ට් එක ගැන කිව්වේ නෑ..? “
” අපි ඒක වැඩේ ඉවර කරල කතා කර ගමු මිසිස් මල්දෙණිය. “
” හොඳයි.. “
” ගිහින් එන්නං “
” ගිහින් එන්නං මැඩම් , යන්නං මැඩම් “
මනුහස් අනුවම වජිරා මල්දෙණියටත් , නෙත්‍යා මල්දෙණියටත් සමුදුන් සච්න්ද්‍රද මනුහස්ගේ පසු පසින් පැමිණ කාර්‍යාල කාමරයෙන් පිටතට ආවේය.
තරප්පු පෙළ බැස නැවතත් පහත මාළයට පැමිණෙන විට එහි සිටි නර්මදා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනා දෙස ලෙංගතු සිනහවකින් මුව සරසා ගෙන බලා සිටියාය. තමන් පසුපස ආ දෑසක් තරප්පු පෙළ බසිනු ඇස් කොනින් දුටු මනුහස් අඩි දෙක තුනක් නර්මදා අසලට තැබුවේය.
” සර්ලා යන්නද ? “
ඇගේ මුහුණේ සිනහව එසේමය.
” ඔව්. , ඔයාගේ තේ එකට තෑන්ක්ස් . ඒක රසයි “
නර්මදාගේ මුව සිනහවෙන් පිරී ඉතිරී ගියාය. තමා දෙසට විතැන්ව ඇති වටකුරු දෑස දෙස හැරී නොබලාම මනුහස් නර්මදාගේ මුව දෙස පමණක් බලා සිටියේය.
” තෑන්ක් යු සර් !”
“බායි..!”
අතේ තිබූ අව් කණ්නාඩිය දෑසේ පැළඳගත් මනුහස් කුරිරු සතුටකින් සිත පිරී යද්දී මල්දෙණිය නිවසින් පිටතට පැමිණියේය.


