BE SILENT – 16

0
3038

” ඔන්න ඔය හරියෙන් අයින් කරලා නවත්තහන් “

“සර් …?” 

මාර්ගයෙන් ඉවතට කර නතර කෙරූ ජීප් රථයේ සිටි මනුහස් දෑසේ තිබූ අව් කණ්ණාඩිය ගලවා දමා විසල් හුස්මක් හෙළුවේය.

” මං නොදන්නවා උනාට ෂියා කරපු මෝඩ වැඩේ සෑහෙන්න දුර ගිහින්. ඔය වගේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා කියල දන්න නිසා තමයි කරන මඟුලක් මගෙන් අහලා කරන්න කිව්වේ. “

සචින්ද්‍ර කිසිවක් නොපවසා නිහඬව සිටියේය. ජංගම දුරකතනය අතට ගත් මනුහස් එහි තිබූ කාලයකින් ඇතුළු වී නොමැති තම සමාජ මාධ්‍ය ගිණුම වෙත පිවිසියේය. මල්දෙණියගේ මරණයත් ඒ හා සම්බන්ධව නෙත්‍යා මල්දෙණියගේ ප්‍රශ්න කිරීමත් සම්පූර්ණ සමජ මාධ්‍ය ජාලා කළඹවමින් තිබුණේය. බලන බලන අත නෙත්‍යා වෙනුවෙන් අපහාස සිදු කර තිබූ අතර බොහෝ තැන් වල සඳහන් වල සියළු තොරතුරු සාවද්‍ය ඒවා පමණක්ම විය. ඉවවහා ගිය කෝපය සමඟින් මනුහස් ෂියෝනාට ඇමතුමක් ගන්නට උත්සාහ කළේය. 

” සර්..!” 

” ෂියෝනා මැඩම්ට බැන්නා කියලා වැඩක් නෑ සර්. වෙච්ච දේවල් වෙලා ඉවරනේ . අනික ඔය සෝෂල් මීඩියා වල කතන්දර ඕන්නං සතියයි, දෙකයි. අනික ෂියෝනා මැඩම්ට බැනලා සර් කරන්නෙත් අනිත් පැත්‍තට එයාව නළවන එකනේ “

මනුහස් කෝපාවිශ්ට දෑසින් සචින්ද්‍ර දෙස බැලුවේය. පිට වූ වචනය යළි ගැනීමට නොහැකි බව හොඳින්ම දත් සචින්ද්‍ර මාර්ගයේ එහා මෙහා යන රථ වාහන දෙස එක එල්ලේ බලා සිටියේය .

” සර්..!” 

” සර්…!” 

” ආ.. ?” 

දුර ඈත කල්පනාවක වෙළී උන් මනුහස් පියවි සිහියට පැමිණියේ සචින්ද්‍ර දෙතුන් වතාවක්ම කතා කිරීමෙන් අනතුරුවය .

” සොරි  සර් ! ඒක මේ නිකන්ම කියවුණේ “

” ඒකට කමක් නෑ බං “

” සර්. ! සර් මොකක් හරි අවුලකද ඉන්නේ ?” 

” දැන් අපි මේ බාර ගත්තේ අවුලක් නෙමෙයිද කියහන්කෝ ?” 

” එහෙම එකක් නෙමෙයි සර්. “

මනුහස් යළිත් වතාවක් හිස හරවා සචින්ද්‍ර දෙස බැලුවේය.

” මෙහෙම අහන එක හරිද දන්නෑ.. සර් ඉන්නේ මීට වඩා ලොකු අවුලක කියලා තේරෙනවා. ඒකයි “

කිසිවක් නොපැවසූ මනුහස් විසල් හුස්මක් අතහැරියේය.

” දැන් මේ කේස් එක බාරගන්නවද සර් ?” 

” මොන ?” 

” මයන් මල්දෙණිය ගැන හොයන එක ? සර් මිසිස් මල්දෙණියට කියනවද මයන් මල්දෙණිය තාම ජීවතුන් අතර කියලා ?” 

” නෑ.. ඒක ඒ මිනිස්සුන්ට කියලා වැඩක් නෑ. ඒ මිනිස්සු අසරණ වෙලා තියන තරම හොඳටම ඇති . ඕක දැනගත්තොත් ඒ මිනිස්සු තවත් අසරණ වෙනවා බං. තමන්ගෙ දරුවෙක් නැති උනා කියලා හිතන් ඉන්න අම්මෙකුයි , තමන්ගෙ මිනිහා නැති උනා කියලා හිතන් ඉන්න ගෑ… කෙල්ලෙකුයි ඒ ඉන්නේ. “

මනුහස් වේගයෙන් ඉවත බලා ගත්තේය. තමන්ටත් නොදැනීම තමන්ගෙන් පිටවන වචන මේ තරම් ඈ අරඹයා පරිස්සම් වන්නේ ඇයි දැයි ඔහු නොදැන සිටියේය.

” මයන් මල්දෙණිය මැරුණා කිව්වට වඩා දුකක් ජීවත් වෙලා ඉඳලත් මැරුණා වගේ රඟපාලා ඌ ඒ මිනිස්සු දෙන්නවවත් රැවැට්ටුවා කියලා දැනගත්තම දැනෙයි. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා හරියටම හොයා ගත්තට පස්සේ ඒක ඒ මිනිස්සුන්ට කියමු. සමහරවිට මල්දෙණියකාරයා මෙහෙම මිසින් වෙලා ඉන්න එකට හොඳ සාධාරණ හේතුවක් තියෙන්නත් පුලුවන් . “

සචින්ද්‍ර එක දිගට මනුහස් දෙස බලා සිටියේය .

” මොකෝ උඹ ? පළවෙනි පාරට දැකපු එකෙක් වගේ බලං ඉන්නේ ? “

” සර්ව මේ විදිහට දකින්නේ නං පළවෙනි වතාවට තමා .”

” ඒ කිව්වේ ?” 

” නෑ.. නෑ.. මුකුත් නෑ.. “

” නෑ.. නෑ.. කියපන්. “

” ෂියෝනා මැඩමුත් ඊයේ කිව්වා මෙච්චර අවුරුදු ගාණක් එකට වැඩ කරපු සර් කිසිම කේස් එකක හැසිරිච්ච නැති විදිහටයි මෙතන හැසිරෙන්නේ කියලා . ඒක නං මටත් හිතෙනවා ඉතිං “

” දැන් උඹට එහෙම හිතෙන්නේ ඇයි ?” 

” නෑ ඉතිං සර්ට මතකද එදා හොටෙල් එකට ගිය ගමන ? එදා අපි ඉමර්ජන්සි ඩෝ එකෙන් හොයාගත්ත එවිඩන්ස් ටිකයි , අර සීසීටීවී ෆුටේජස් ටිකයි දැකපු ගමන් මං දන්න මනුහස් විජේවර්ධනනං එවෙලෙම රණබාහුවයි , අර මල්දෙණියගේ සෙකට්‍රිවයි දෙන්නවම ඇරෙස්‍ට් කරලා හොටෙල් එකත් සීල් කරලා එදා ඒ රූම් එකේ ඇතුළට ගිය එළියට ආව හැම එකාවම ඇරෙස්ට් කරලා කොහොමහරි කරලා මේ වෙද්දි මල්දෙණියව හොයාගෙනත් ඉවරයි. එහෙම නැතුව අපි ආපහු කොළඹ ගිහිල්ලා ලොක්කගෙන් පර්මිශන් අරන් එමු කිය කිය ඉන්නෑ. මං දන්න මනුහස් විජේවර්ධනට රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන්ස් තිබ්බේ නෑ. හිතුණේ මොකද්ද ඒක කළා. ඒක නීතියෙන් පිට උනත් තමන්ට ඕන්නං කළා. එච්චරයි. ඒ නිසයි සර්ට පොලීසියේ ඇතුළෙත් එක එක ජාතියේ තරහකාරයෝ ඉන්නේ. ඒ මොනා උනත් අදටත් ඕන ලොක්කෙක් උනත් සර් ලඟට ඇවිල්ලා කතා කරල , ඕන වැඩක් සර්ට බාර දෙන්නේ ආයේ දුන්නම තමා. ඒකේ හොයන්න බලන්න දෙයක් නැති නිසා. ඒත්.. මේ කේස් එක පටන් ගත්ත දා ඉඳන් මට සර්ව ඒ ඉස්සර විදිහට පෙනුණේ නෑ. “

සචින්ද්‍ර මනුහස්ගේ උවනින් දෑස ඉවතට ගෙනම සිටියේය. තම ඉහළ නිලධාරියාගේ රාජකාරී කටයුතු සේම ඔහුගේ කෝපයේ තරමත් හොඳින් දන්නා සචින්ද්‍ර  පැවසීමට ඇති සෑමදේම පවසා හිස බිමට බර කර ගත්‍තේය. නිවැරදි නම් මේ මොහොතේ මනුහස්ගේ මුවින් කන හැර අසා සිටිය නොහැකි අසභ්‍ය වචන පිට වී තමාට බැන කඩා වැදිය යුතුය. නමුදු නැත. ඔහු තව දුරටත් සිටින්නේ කෙළවරක් නොපෙනෙන මාර්ගය දෙස දෑස විතැන් කරමින් බර කල්පනාවකය. 

*******************************************

සචින්ද්‍රට සමුදුන් මනුහස් මහල් නිවාසය ඉදිරියෙන් බැස වේගයෙන් නිවස කරා පැමිණියේය. හැඳ සිටි ඇඳුම් සියල්ල උනා දැමූ ඔහු නාන කාමරය වෙත ගොස් වතුර මල යට සිට ගනිමින් හති ලෑවේය.

සචින්ද්‍ර පවසනා ආකාරයට ඔහුට පමණක් නොව ගත වූ දින කිහිපයේ තමාටද තමාගේ හැසිරීම පිළිබඳව වැටහීමක් නොතිබුණේය. සැලැස්මක් නොතිබුණේය. කිසිදු ක්‍රියාවකට සිත යෙදවීමට ශක්තියක් නොතිබුණේය. විටෙක හදවත තුළ පෙරළි කරන නීති ගරුක පොලිස් නිලධාරියා ඉදිරියට විත් සියල්ල මනාවට සැලසුම් කළද කොහේ හෝ සිට හදවතට එබෙන දඩබ්බරයෙක් ඒ සියල්ල අවුල් කළේය. 

 මයන් මල්දෙණියගේ අතුරුදහන් වීමත් , ඉන් පසුව තමා අනුමාන කළ පරිදිම ඔහුගේ මරණය පළමුව තමාට විමතියක් ගෙන ආවද ඉන් පසුව හදවතේ කොනක එකී මරණය පිළිබඳව සතුටක් ඉපදුණු ආකාරය ඔහුට මතකය . මයන් මල්දෙණියගේ අතුරුදහන් වීම පිළිබඳවත් , ඔහුගේ මරණය පිළිබඳවත් විමර්ශන කටයුතු තමාට බාර වූ අවස්ථාවේ සිට මල්දෙණිය නිවසට ගොඩ වදින තුරු පෙර හට ගත්තා වූ සතුට කිසිවෙකුට නොපෙනෙන්නට කෲර සතුටක් දක්වා දෙතුන් ගුණයකින් වර්ධනය වී තිබුණේය. 

නමුත් මයන් මල්දෙණියගේ අවමංගල්‍යය පැවති මල්දෙණිය නිවසට ගොඩ වී ආපසු පැමිණෙන විටදී පෙර හදවතේ හට ගෙන තිබුණා වූ කෲරතර  සංතුෂ්ඨිය කොහේ හෝ පළා ගොස් තිබුණේය. එසේ නම් සචින්ද්‍රටත් , ෂියෝනාටත් අනුව ඔවුන් සමඟ එකට රාජකාරි කළ මනුහස් විජේවර්ධන වෙනස් වූයේ එතැන් පටන් විය යුතුය. තමාට තමාවම සොයාගත නොහැකි ආකාරයට තමන්වම අවුල් වියවුලක් බවට පත් වී තිබුණේ එකී ගමනින් පසුව විය යුතුය. අවුරුදු ගණනාවකට පසු මුහුණට මුහුණ ඒ වටකුරු දෑස දුටුවාට පසුව විය යුතුය. 

” තමුසෙ මාව එක පාරක් නැති කළා සුදු බෝලේ. ආයේ තමුසෙට මාව නැති කරන්න මං ඉඩ තියන්නෑ. “

මනුහස් අත මිට මොළවා වේගයෙන් පහරක් නාන කාමරයේ බිත්තියට ගැසුවේය. 

පැයකට අධික කාලයක් වතුර මල යට හිස අල්ලාගෙන සිටි මනුහස් කෙටි තුවායක් පමණක් හැඳ තම නිදන කාමරය වෙතට පැමිණියේය. නිදන කාමරයේ විසල් කණ්ණාඩියෙන් පෙනෙන ජල බිඳු බේරී වැටෙන තම දේහදාරී සිරුර දෙස මඳක් බලා සිටි ඔහු පසෙක තිබූ ජංගම දුරකතනය අතට ගෙන කණ්ණාඩියේ ඉදිරියේ සිට ගෙන හිසකෙස් මතින් ජල බිඳු වෑහී ගලා යන තමාගේ උඩුකය නිරුවත් ජායාරූපයක් ගත්තේය. ඉන් මිනිත්තු තුනක් හතරක් ගත වන තැනදී ඔහු විසින් තමාගේ  සමාජ ජාලා ගිණුමට එකී ජායාරූපය උඩුගත කොට තිබූ අතර පසු දින අලුයම වන විට සරාගී දේහදාරී කඩවසම් පිරිමි රුව සමාජ ජාලා කළඹවමින් තිබුණේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here