BE SILENT – 18

0
709

මඳ වේලාවක් නිහඬව සිටි ඈ යළිත් කතාව ආරම්භ කළාය .

” මොනවහරි වැදගත් දෙයක් මතක් උනොත් කියන්න කියලා කියපු නිසයි ඔය ෆොටෝ එක මං අරන් ආවේ. අනික ඔය ෆොටෝ එකේ ඉන්න විසි හත් දෙනාගෙන් දැනට අවුරුදු එකහාමාරක් ඇතුළත මගෙ හස්බන්ඩ් එක්කම මේ වෙනකොට හතර දෙනෙක් නැති වෙලා තියනවා. “

සචින්ද්‍ර වහා හිස හරවා මනුහස් දෙස බැලුවේය.  තව දුරටත් නිහඬව සිට මෙම කටයුත්ත සිදු කිරීම කෙසේවත් කළ නොහැකි බව වටහා ගත් මනුහස් දෑසේ තිබූ අව් කණ්ණාඩිය ගලවා ඉවත් කළේය. 

” නැති වෙලා කියලා කිව්වේ ?” 

නෙත්‍යා මල්දෙණිය ජීප් රථයට ගොඩ වූවාට පසු ඇසුණු පළමු පිරිම් ස්වරය එය වූයේය. නමුත් එකී කටහඬෙහිද දැඩි උඩඟුබවක් හා කෝපයක් ගැබ් වී ඇති බව නෙත්‍යාට හොඳින් තේරුම් ගියාය. 

” නැති වෙලා කිව්වේ මැරිලා. මයන් නැති වෙන්න මාසෙකට වගේ කලින් තමයි තුන්වෙනියට නැති උනු කෙනා නැති උනේ. ඒකත් සුයිසයිඩ් එකක්. “

එය මෙතෙක් නොඇසූ ආගන්තුක කතාවක් බව මනුහස්ට වැටහුණේය. 

” ඒකත් සුයිසයිඩ් එකක් කියලා කිව්වේ ? ඇයි තව කවුද සුයිසයිඩ් කරන් තියෙන්නේ ?” 

නෙත්‍යා තිගැස්සී තමා දෙස බලන අයුරු මනුහස් ඉදිරිපස කණ්ණාඩිය තුළින් ඇස් කොනින් බලා සිටියේය . 

” ඊට කලින් දෙන්න නැති උනෙත් සුයිසයිඩ් කරගෙන. ඇයි එතකොට මයන් ? ඒක සුයිසයිඩ් එකක් නෙමෙයිද ? “

” ඒක සුයිසයිඩ් එකක් කියලා කවුද කියන්නේ මිසිස් මල්දෙණිය ?” 

මනුහස් හිතා මතාම මිසිස් මල්දෙණිය කියන වචන ද්විත්වය මඳක් බර කොට පැවසුවේය. 

” මං දැනන් හිටියේ එහෙම. මයන්ගේ මරණේ සිද්ධ වෙලා තිබුණයි කියන්නේ වතුරෙ ගිලිලා. අනික ප්‍රශ්න කිරීමකට කියලා මාව අරන් ගියෙත් එයා සුයිසයිඩ් කරගන්න හේතු උනේ මං කියලා හිතාගෙනනේ ? “

මෙතෙක් වේලා අසරණ බවක් කැටිව තිබූ නෙත්‍යා මල්දෙණියගේ කටහඬෙහි එවර මඳ කෝපයක් තැවරී තිබුණේය. 

” ඔව්. එහෙම හිතලා තියෙන්නේ මිස්ටර් මල්දෙණියගෙම ඊමේල් එකක් නිසානේ. “

” ඒක ඔෆිස් එකේ ලැප් එකක් මිස්ටර් විජේවර්ධන . ඒවා යූස් කරන්න ඕන කෙනෙක්ට ඇක්සස් තියනවා. කවුරු එහෙම ඊමේල් එකක් කාට යවන්න ට්‍රයි කළාද කියලා හොයන්නේ නැතුව ඒක මයන්ම කළා කියලා හිතපු එක හරි මෝඩ වැඩක්. අනික ඔය ඔෆිස් එකේ ලැප් ටොප් , කම්පියුටර්ස් එකසිය ගාණක් තියනවා. ඒ එකසිය ගාණෙම තියන ඒවා මයන් කළා කියලා කියන්න බෑනේ ? අනික මයන් ප්‍රයිවට් යූස් කරන ලැප් එක තාම තියෙන්නේ මං ගාව. “

නෙත්‍යාගේ කෝපය තව දුරටත් වැඩි වී තිබුණේය .

” මුළු රටම කතා වෙන මරණයක් වෙච්ච මයන් මල්දෙණියගේ මරණේ ඩෙඩ් බොඩි එක හම්බුණේ අඳුරගන්න බැරුව. අතේ කරේ තිබ්බ දේවලුයි , එයාගේ පර්සනල් බඩු කීපෙකුයි තිබ්බා කියලා කිසිම ඩීඑන්ඒ රිපෝට් එකක්වත් නොගෙන ඒ මයන් මල්දෙණියමයි කියලා තහවුරු කරන එකට වඩා නං ඊමේල් එක චෙක් කරපු එක මෝඩ වැඩක් නෙමෙයි. “

නෙත්‍යා හිස ඔසවා ඉදිරිපස කණ්ණාඩිය දෙස බැලූ අතර එතෙක් තම උඬඟු දෑසින් කණ්ණාඩිය තුළින්  ඈ දෙස බලා සිටි මනුහස් වහා තම දෑස ඉන් ඉවතට ගත්තේය. 

තවත් මිනිත්තු කිහිපයක්ම නිහඬව ජීප් රථය තුළ ගෙවී ගිය අතර එකී නිහඬබව දරමින්ම ජීප් රථය ඉදිරියට ඇදෙමින් තිබුණේය. මඳ වේලාවකින් ජීප් රථයේ නිහඬ බව බිඳෙමින් සචින්ද්‍රගේ ජංගම දුරකතනය නාද වූයේය. 

” එක්ස්කියුස් මී…!” 

එසේ පැවසූ ඔහු ඉක්මනින් එය කනේ තබා ගත්තේය .

” මොකක් ..?  පිස්සු හැදිලද දෙයියනේ…?” 

සචින්ද්‍රගේ පමණට වඩා උස් වූ කටහඬත් , කලබලයත් මනුහස්ගේත්, නෙත්‍යාගේත් සිව් දෑසම ඔහු සතු කර ගත්තේය. 

” දැන් .. දැන් කොහෙද ඉන්නේ ? ශිට්….” 

සචින්ද්‍ර දුරකතන ඇමතුම විසන්ධි කොට මනුහස් දෙස බැලුවේය. ඉන් පසුව නැවත නෙත්‍යා දෙස බැලුවේය. 

” විනාඩියකට ජීප් එක නවත්තන්නද මැඩම් ?” 

” ආ.. හා.. කමක් නෑ..”

” මොකද බං ? මොකද්ද අවුල ?” 

” සර් .. රාදී…”

“කවුද රාදී.. ?” 

” මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් සර්..”

” ආ.. ඔව්..  හරි ඉතිං ? “

” ගෙදරින් ඇවිල්ලා “

” ගෙදරින් ඇවිල්ලා කියන්නේ ? “

” අර බිස්නස්කරන එකෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ඇවිත් කිව්වේ , මිනිහව මැරි කරන්න කියලා ගෙදර මිනිස්සු ඊයේ රෑ රණ්ඩු කරලා. ඉතිං මෙයා ගෙදරින් ඇවිල්ලා. කොටුව ස්ටේශන් එකේලු සර් දැන් ” 

” අන්න කෙල්ලෝ…!”

මනුහස් පමණට වඩා උස් හඬින් එසේ පැවසූ අතර නෙත්‍යා දෙතොළ තද කරමින් ඉවත බලා සිටියාය. 

” දැන් ඉතිං ගිහිල්ලා කෙල්ලව එක්කන් වරෙන්. “

” ඒ උනාට සර්..?” 

” ඒ උනාට කියන්නේ ? ඇයි යකෝ ඒ කෙල්ල අම්මා ,  තාත්තා , ගම රට දාලා උඹව හොයන් ආවම උඹ මොකද මේ පස්ස ගහන්නේ ?  උඹට තනියම යන්න බැරිනං යමන් මාත් එන්නං . ඔහොම කෙල්ලෝ ලේසියෙන් හම්බෙන්නෑ බං “

මනුහස්ගේ වචන ඉඳිකටු තුඩු මෙන් නෙත්‍යාගේ හදවත පාරවමින් තිබුණේය. 

” ඔයාගේ නම මොකද්ද කිව්වේ ?” 

නෙත්‍යා සචින්ද්‍ර දෙසට දෑස් හරවමින් ඇසුවාය.

 ” ස.. සචින්ද්‍ර මැඩම්…”

” මිස්ටර් විජේවර්ධන කියපු කතාව හරි සචින්ද්‍ර , තමන් ආදරේ කරන මනුස්සයා වෙනුවෙන් හදපු වඩපු අම්මා අප්පච්චී වගේම හැමදේම දාලා එන්න හැම කෙල්ලටම බෑ. එයා ඇවිත් තියෙන්නේ එයාගේ මුළු ලෝකෙම අතෑරලා දාලා. එයාව එක්කන් එන්න සචින්ද්‍ර . ඕනෙ නං මාත් එන්නං “

මනුහස්ගේ ඔද වැඩී තිබූ හදවත නෙත්‍යාගේ වචන හමුවේ සුළු මොහොතකින් විනාශ වී ගියේය. කිසිවක් නොපැවසූ සචින්ද්‍ර කෘතඥපූර්වක බැල්මකින් නෙත්‍යා හා මනුහස් දෙස බලා ජීප් රථය නැවත පණ ගැන්වූයේය. 

*************************************

” ඩ්‍රයිවින් සීට් එක මට දියන් “

අත රැඳි කුඩා අත් බෑගයක් සමඟ බියෙන් මෙන්ම බොහෝ වෙහෙසකාරී මුහුණකින් සචින්ද්‍ර පසුපස වැටී ආ තරුණිය දුටු මනුහස් ,  සචින්ද්‍ර අත තිබූ යතුර ගෙන රියදුරු අසුනට ගොඩ වූයේය . පසුපස අසුනේ හිඳ සිටි නෙත්‍යා ජීප්‍ රථයේ දොර විවර කරමින් තරුණියට එයට ගොඩ වීමට ඉඩ සැලැස්වූවාය. මනුහස් ජීප් රථය මාර්ගයට ගෙන මඳ දුරක් එන තුරුත් රියදුරු අසුනට යාබද අසුනට බර සිටි සචින්ද්‍ර සිටියේ දිගු කල්පනාවකය. 

” මොකද බං ? “

සචින්ද්‍ර තිගැස්සී මනුහස් දෙස බැලුවේය . 

” අයියේ .. ! අකමැති මනුස්සයෙක්ව කසාද බැඳලා ජීවිත කාලෙම දුක් විඳින්න මට බෑ. මට අයියට බල කරන්න බෑ මාව කසාද බඳින්න කියලා. මට පුලුවන් නං ඉන්න තැනක් හොයලා දෙන්න. දවසකට දෙකකට. ඊට පස්සේ මං වෙන මොකක් හරි පිළිවෙළක් කරගන්නං “

සචින්ද්‍ර කෝපාවිශ්ට වූ දෙනෙතින් පසුපස හැරුණේය . 

” මං පඹයෙක් වගේ පේනවද රාදී..? සොරි මැඩම්…”

සචින්ද්‍ර තරුණියට ගෝරනාඩු කිරීමට ගොස් ඈ අසලම හිඳ සිටින නෙත්‍යා දෙස බලා ආයාසයෙන් කෝපය මැඩ පවත්වා ගත්තේය. 

” ගහෙන් ගෙඩි එන්න වගේ ගෙදරින් ඇවිල්ලා කසාද බඳිනඑක සෙල්ලමක් කියලා හිතුවද ?”

තරුණියගේ දෑසින් උණු කඳුළු පේළියක් රූරා වැටුණේය . 

” සචින්ද්‍ර …!” 

” මැඩම් ?” 

” ඔය ඉස්සරහා තියන පේස්ට්‍රි ශොප් එකෙන් පොඩ්ඩක් නතර කරන්න “

රියදුරු අසුනේ සිටි මනුහස් මුවින් කිසිවක් නොපවසාම නෙත්‍යා පෙන් වූ අවන්හල අසලින් ජීප් රිය නතර කළේය. 

” මුලින්ම මේ ළමයට කන්න මොනාහරි ගෙනත් දෙන්න සචින්ද්‍ර . එයාව වෙව්ලනවා. “

සචින්ද්‍ර නැවතත් හැරී රාදී දෙස බැලුවේය . එවර ඔහුගේ දෑසේ තිබූ කෝපය මඳකට දුරු ව ගොස් තිබුණේය. ඉදිරිපස කණ්නාඩියෙන් නෙත්‍යා දෙස බැලූ මනුහස් ඇගේ දෑස තමන් මත වැටෙන්නට පෙරම එය ඉවත් කර ගත්තේය. 

සචින්ද්‍ර නිහඬවම ජීප් රියෙන් බැස්සේය. 

 ” සචින්ද්‍ර …!” 

” මැඩම් ?” 

අඩි කිහිපයක් ඉදිරියට ගිය සචින්ද්‍ර නැවතත් හැරී ආපසු ජීප් රිය වෙත ආවේය .

” හොට් චොක්ලට් එකකුත්  ගේන්න. “

පිටව යන සචින්ද්‍ර දෙස බලා සිටි නෙත්‍යා නැවතත් රාදී වෙතට හැරී ඇගේ අතකින් අල්ලා ගත්තාය. 

” අන්තිමට කෑවේ කොයි වෙලාවෙද නංගි ? “

” ඊයේ දවල් “

නැවතත් ඇයට ඉකි ගැසුණු අතර නෙත්‍යාගේ හදවත වේදනාවෙන් පිරී ගියේය . ඈ සෙමින් හිස ඔසවා ඉදිරිපස කණ්ණාඩියෙන් රියදුරු අසුනේ සිටි ඔහු දෙස බැලූ අතර එවර ඔහුට ඇගේ දෑස මඟ හැරීමට කාලය මදි වූයේය. 

” මොකද බං මේ උඹ පුප්ප පුප්ප ඉන්නේ ? දැන් දවසකට දෙකකට උඩින් උඹම නේද කෙල්ලව කසාද බන්ඳන්න යනවා කියලා හූල්ල හූල්ල හිටියේ . දැන් ඒ කෙල්ලම උඹ ලඟට ඇවිල්ලා තියන එකේ මොකද්ද ප්‍රශ්නේ ? “

” කසාද බඳිනව කියන එක මෙහෙම ලේසියෙන් කරන්න පුලුවන්ද සර් ? “

” මොකද බං බැරි ? අර අපේ සෙනෙවිරත්න  මහත්තයා ඉන්නේ . එතනට ගියා බැන්ඳා. එච්චරයි. “

” ඊට පස්සේ මොකද්ද සර් කරන්නේ ? මං ඉන්නේ බෝඩිමක. එතන ඉන්නේ කොල්ලෝ විතරයි. මං මෙයාව කොහෙටද එක්කන් යන්නේ ? “

වේගයෙන් ධාවනය කරමින් තිබූ ජීප් රථය මාර්ගයෙන් පසෙක සෙවණකට කොට නතර කෙරූ මනුහස් , සචින්ද්‍ර දෙසට හැරුණේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here