” ජීප් එක ඇතුළේ තියන බෑග්ස් ටික අරන් එමුද සචින්ද්‍ර ..?”
තම අත අල්ලාගනිමින් හඬා වැටුණු තරුණියගේ හිස මත අතක් තබා ඈ සැනසූ නෙත්‍යා ඉන්පසුව සචින්ද්‍ර දෙසට හැරුණාය.
” ඒ බඩු ගත්තේ මැඩම්ට නෙමෙයිද ?”
” මට මොකටද සචින්ද්‍ර බඩු ? ඒ ඔක්කොම ගත්තේ ඔය දෙන්නට. රාදී ඇවිත් තියෙන්නේ ඇඳන් ඉන්න ඇඳුම පිටින්නේ. එයාට වොශ් එකක් දාගන්න දෙන්න. මහන්සියෙනේ ඉන්නේ. ඕන කරන ඔක්කොම ඒවා බෑග්ස් වල ඇති .
නෙත්‍යා එසේ පවසමින් හිඳ සිටි අසුනෙන් නැඟිට ජීප් රථය වෙත යාමට හැරුණු අතර මිදුලට වී සිටි මනුහස් තමා පසුපස සිටගෙන සිටිනාකාරය දැක මඳක් තිගැස්සී ගියාය. නමුත් එය නොපෙන්වා ජීප් රථය අසලට ගිය නෙත්‍යා එහි තිබූ බඩු මළු කිහිපය නිවස තුළට ගෙන ඒමට සචින්ද්‍රටත් , රාදීටත් උදව් වූවාය. පළමු වරට හමු වූ දින වුවද තිදෙනා කලක පටන් දන්නා අඳුනන අයවලුන් ලෙසට මිතුරු වී සිටියහ.
පුංචි ගෙයක් , ලස්සන මිදුලක් වැනි කතා කියමින් සචින්ද්‍ර හා කතා බස් කරමින් සිටි නෙත්‍යා පැවසූ සියල්ල මනුහස් පසුපස සිටගෙන අසා සිටියේය. ඈ දිව්‍යලෝකයක් යැයි පවසනා දෑත් , ඈ දැන් ගත කරනා ජීවිතයත් එකිනෙකට කෙතරම් වෙනස් දැයි මනුහස් තනිවම කල්පනා කළේය . නෙත්‍යාගේ හැසිරීමේ දිග පළල තවමත් හරිහැටි වටහාගත නොහැකි වූ ඔහු කනස්සලු සිතින් දුම්වැටියක් ගෙන දල්වා පානය කරන්නට පටන් ගත්තේය. රාදී සමඟ යළි නිවස තුළට ඒමට හැරුණු නෙත්‍යා මනුහස්ගේ අතේ තිබූ දුම්වැටිය දැක ඔහුගේ මුහුණ දෙස කෙලින් බැලුවේය. අහංකාරයා ඇගේ දෑස මඟ හැර ඇයට පෙනෙන්නටම දුම් වැටිය පානය කරමින් සිටියේය.
” මං යන්න ඕනේ රාදී.. දැනටම ටිකක් පරක්කුයි. “
සියල්ල පිළිවෙළට සකසා දුන් නෙත්‍යා අවසානයේ රාදීගේ අතින් අල්ලා කීවාය.
” ආයේ ආයේ අක්කට පින් “
රාදීගේ නෙතින් නැවතත් කඳුළක් කඩා වැටුණේය.
” සචින්ද්‍ර ..!”
” මැඩම්..?”
” රාදීව හොඳට බලාගන්න. “
” මං මැඩම්ව ගිහින් දාන්න එන්නං “
” ඕන්නෑ සචින්ද්‍ර , මං බුකින් එකක් දාගන්නං “
” සචින්ද්‍ර ..!”
“සර්..! “
සචින්ද්‍ර වහා මනුහස් දෙස බැලුවේය.
” මාත් යනවා බං . උඹට මොනාහරි ඕන උනොත් මට කෝල් එකක් දියන් . ගිහින් එන්නං රාදී. සතුටින් ඉන්න. උඹ මාර ලකී එකෙක් බං . ගෑනු ගොඩක් වෙලාවට දන්නේ ආදරේ කරන්න විතරයි. උන්ට අයිතිකරගන්න තේරෙන්නෑ. මිනිස්සු උනාම ජීවිතේ හීන දැකලම හරි යන්නෑ. ඒවා හැබෑ කරගන්නත් ට්‍රයි එකක් දෙන්න ඕනේ. ඒ අතින් රාදී ග්‍රේට්. එයා උඹ ගැන හිතුවා , විශ්වාස කළා. ඒ විශ්වාසේ සමහර ගෑනු ලඟ නෑ බං. “
මනුහස් දෙතොළ තද කරගෙන ඉවත බලා ගත්තේය .
” සර්..! සර්.. ඉන්නේ අවුලකින්ද ?”
” නෑ.. බං පිස්සුද ? මට මොනවට අවුල් වෙන්නද බං ? කවුරු නිසා මං අවුල් වෙන්නද කියහන්කෝ “
නෙත්‍යාගේ දෑසින් එක දිගට කඳුළු කඩා වැටුණේය. උගුරෙන් ආ ඉකිය පිට වීමේ අසාර්ථක උත්සාහයක යෙදුණු ඈ එක් අතකින් මුව වසාගෙන අනෙක් පස හැරුණේය.
” මිසිස් මල්දෙණියට කියහන් වාහනයක් දාගන්න අමාරු නං මාත් එක්ක යන්න පුලුවන් කියලා. “
අතේ තිබූ දුම් වැටියේ අවසන් උගුරද පානය කොට අවසානයේ ජීප් රථය දෙසට අඩි තැබූ මනුහස් හැරී සචින්ද්‍ර දෙස බලා පැවසුවේය.
” මැඩම් , වාහනයක් දාගන්න බැරි උනාද ? “
“ආ.. ඔව් සචින්ද්‍ර .. , තාම බැරි උනා. “
” සර්ත් දැන් යනවා මැඩම්. මැඩම්ව ඇරළවගෙන ගියහැකි. “
නෙත්‍යා නැවතත් දුරකතනය දෙස බැලුවාය. වාහනයක් සොයා ගැනීම ඉතා අසීරු බවක් පෙනෙන්නට තිබුණේය . ඈ කිසිවක් නොපවසාම පැමිණ ජීප් රථයේ පසුපස අසුනට ගොඩ වූවාය.
” කොහෙටද දාන්න ඕනේ කියලා අහපන් “
මනුහස් සෙමින් පැවසුවද නෙත්‍යාට එය හොඳින්ම ඇසුණේය.
” මාව ගත්තු තැනින්ම ඩ්‍රොප් කළානං හරි සචින්ද්‍ර ..”
ඉදින් ජීප් රථය සචින්ද්‍රගේ නව නිවසින් පිටව ගියේය. පසුපස අසුනට බර වී සිටි නෙත්‍යා වරින් වර නෙතට උනන කඳුළු පිස දමමින් ඉවත බලා සිටි අතර මනුහස් නිහඬවම සුක්කානම කරකවමින් සිටියේය . විනාඩි තිහක පමණ කාලයක් පුරාවටම ජීප් රථය තුළ පැවතියේ දැඩි නිහඬබවකි. සැදෑ අඳුරට අභියෝග කරමින් දිවා කළ මෙන් ආලෝක වර්ශාවෙන් නැහැවුණු කොළඹ නගරය තද බදය තුළින්ම අඳුර වැළඳ ගනිමින් සිටියේය.
තමා උදෑසන ජීප් රථයට නැඟුණු ස්ථානය අසලම නතර කරනු ලැබූ ජීප් රථයෙන් බැසීමට නෙත්‍යා මල්දෙණිය උකුළ මත තිබූ අත් බෑගය අතට ගත්තාය.
” ඉන්න !”
එය ඉල්ලීමකට වඩා විධානයක් බඳු වූයේය. එකී කටහඬෙහි කිසිදු දුකක් හෝ සතුටක් තැවරී නොතිබුණු අතර එහි තිබුණේම උඩඟු බවක් තැවරුණු මඳ කෝපයකි.
මනුහස් ජීප් රථයේ තිබූ කුඩා පොතක කුමක් හෝ ලියා එහි කොළය කඩා පසුපස නොබලම නෙත්‍යා දෙසට දිගු කළේය.
” මගෙ නම්බර් එක . ගෙදට්‍ට ගියාට පස්සේ ගියා කියලා කෝල් එකක් දෙන්න. ආ.. නෑ.. මැසේජ් එකක් දැම්මත් ඇති. “
ඔහු ඉදිරියේ දැල්වී ඇති නොයෙක් වර්ග වල විදුලි බුබුළු දෙස බලමින් කීවේය.
” මං ලඟ නම්බර් එක තියනවා. “
” ඒක මගෙ ප්‍රයිවට් නම්බර් එකක් නෙමෙයි. ඒක තියෙන්නේ සචින්ද්‍ර ලඟ. මං මිනිහට කිව්වා දවස් දෙක තුනක් නිවාඩු දාන්න කියලා . තමන්ගේ හැමදේම අතෑරලා දාලා , විශ්වාස කරලා ආපු කෙල්ලව ඌ දැන් බලාගන්න ඕනේ. ඒ කෙල්ලට මෙහෙ ටිකක් හුරු වෙනකන් තනියම දාලා එන්න බෑනේ . “
නෙත්‍යා අත දිගු කර මනුහස්ගේ අතෙහි තිබූ කොළය අතට ගත්තාය.
” මං යන්නං “
නැවත වතාවක් නෙත්‍යාගේ කටහඬ තැවුලෙන් බර වී තිබුණේය.
” පරිස්සමින් මිසිස් මල්දෙණිය , රැල්ලට පුංචි පුංචි හීන දැක්කට ගෑනුන්ට පුංචි පුංචි දේවල් වලින් සෑහෙන්න බෑ වගේම තමා ඔය සමහර සල්ලිකාරයොත්. පෙන්නන්නේ එකක්. හැබැයි වෙලා තියෙන්නේ කවදාවත් හිතන්නැති දෙයක්. “
” මොකද්ද කිව්වේ..? “
නෙත්‍යා කුතුහලයෙන් මනුහස් දෙස බලා සිටියාය .
” නෑ මං කිව්වේ කොච්චර ඇහැට පෙනුණත් සමහර දේවල් සිද්ධ වෙලා තියෙන්නේ අපි කවදාවත් හිතන්නැති විදිහට . ඒකයි “
” නෑ මිස්ටර් විජේවර්ධන , මං ඇහුවේ ඊට කලින් මොකද්ද කිව්වේ කියලා. රැල්ලට හීන දකිනවා කිව්වේ ?”
” ආහ්.. ඒකද ? ඒක එච්චර හිතන්නෙපා. මං කිව්වේ ගෑනු කොච්චර පණ දෙන්න වගේ හිටියත් සල්ලි දැක්කම වෙනස් වෙනවා. සුරංගනා කතා වල වගේ හරි සරලව අර කන්දක් උඩ ලී ගේක ජීවත් වෙන්න ඕනෙ කියලා හීන දැක්කට ජීවත් වෙන්න ගියාම උන්ට ඒවා මදි වෙනවා. උන්ගේ හීන වලට ආස කරපු මිනිස්සු අන්තිමට අතරමං වෙනවා. අපිට පේන අනිත් දේවලුත් ඒ වගේ තමා. හැමදේම අපි මවාගෙන ඉන්න තරම් සුන්දර , සරල ඒවා නෙමෙයි. ගොඩක් දේවල් අපිට මවලා පෙන්නනවා විතරයි. ඉතිං අපි රැවටෙනවා. අපිට තේරෙන්නෑ තිරේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක අපි තේරුම් ගනිද්දි අපි රැවටෙන්න ඕන උපරිම සීමාවෙනුත් එහාට රැවටිලා ඉවරයි. “
” මනූ….!”
නෙත්‍යා වේගයෙන් ඇසිපිය ගැහුවාය. අවුරුදු ගණනාවකට පසු ඇසුණු අකුරුදෙකක එක් කුඩා වචනයක් මනුහස්ගේ මුළු සිරුරම අඩපණ කර දමා තිබුණේය.
නෙත්‍යාගේ දෑසින් එක දිගට කඳුළු කඩා හැළෙන්නට පටන් ගත් අතර ඈ මුවට ආ තවත් වචන කිහිපයක් අපහසුවෙන් ගිලගෙන දෑස පිසදා ගත්තාය.
” ඔයා හරි මිස්ටර් විජේවර්ධන . සිද්ධ වෙලා තියෙන දේවල් අපිට පේන දේවල් නෙමෙයි තමයි. හැබැයි වරද කොතනද දන්නවද අපි සිද්ධ වෙච්ච දේට එහා දෙයක් ගැන හොයලා බලන්නැති එක. තමන්ට පේන දේ විතරක් විශ්වාස කරන එක. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නේ අඩු තරමේ ඇයි එහෙම උනේ කියලාවත් හොයලා බලන්නැතුව ඔක්කොම වැරදි අනිත් මිනිස්සුන්ගෙ පිට දාලා උන්ටම බැන බැන ඉන්න තියන ආසාවට. ඒ කරලා තමන්ගේ අතේ කිසිම වැරැද්දක් නෑ කියලා තමන්ටම පෙන්න ගන්න එක. ඒක මහ කුහක වැඩක්. “
නෙත්‍යා වහා ජීප් රථයෙන් බැස දඩාස් හඬින් දොර වසා දැම්මාය.
වේගයෙන් නිවසට පැමිණි මනුහස් තවත් පැයක් පමණ වතුර මල යටට වී හිස අල්ලාගෙන සිටියේය. දරාගත නොහැකි ශෝකයකිනුත් , කෝපයකිනුත් හදවත පිරී යද්දී නන්නාඳුන අංකයකින් කෙටි පණිවිඩයක් පැමිණ තිබුණේය.
I ‘m at home ,
Mrs. Maldeniya .
” හහ්..”
මනුහස් ඇද කර සමච්චල් සිනහවක් පෑවේය.


