BE SILENT – 21

0
752

” ගුඩ් මෝනින් සර්..!” 

” මං උඹට දවස් දෙක තුනක් නිවාඩු දාන්න කිව්වා නේද ? “

මනුහස් කෝප සහගත බැල්මකින් සචින්ද්‍ර දෙස බැලූ අතර සචින්ද්‍ර මඳ සිනහවකින් ඔහු දෙස බැලුවේය.

” අවුලක් නෑ සර්. “

” දැන් එතකොට රාදී ..?” 

” ශේප්…”

” ගෙදර යනවා සචින්ද්‍ර . ගිහින් ඒ කෙල්ල එක්ක පොඩ්ඩක් ඉන්නවා. මනුස්සයෙක්ට මැරිලා ඉපදුණා වගේ හැමදේම අලුතින් පටන් ගන්න එක ලේසි නෑ. අනික ඒ කෙල්ල මහා ලොකුවට ලෝකේ දැකපු කෙල්ලෙකුත් නෙමෙයිනේ. “

” සර්..! “

” ම්ම්ම්..?” 

”  මං ඊයේ ගියා අර අපිට ගේ දීපු අයගෙ ගෙදරට. ගෙයි රෙන්ට් එක මාසෙට 55ක්. බඩුත් ඔක්කොම එක්ක හින්දා. ඒක ඇහුණම මං හිතා ගත්තේ මාසයක් වගේ ඉඳලා ශේප් එකේ වෙන තැනකට යනවා කියලා. ඒ උනාට මිසිස් මල්දෙණිය ගෙයි රෙන්‍ට් එක අවුරුද්දකටම එක පාර ගෙවලා. අපෙන් සල්ලි ගන්න එපා කියලා “

මනුහස් මුව ඇද කර සිනහවක් නැඟුවේය. 

” සල්ලි වලට කරන්න දේවලුත් තියෙන්න එපැයි බං . ඕකටනේ ඉතිං දුවගෙන ගිහින් බැඳගත්තේ..”

මනුහස් අවසාන වාක්‍යය කීවේ මඳක් සෙමිණි. 

” සර්..! මුකුත් හිතන්නැත්තං දෙයක් අහන්නද ?” 

“හ්ම්ම්…” 

” ඒ මිසිස් මල්දෙණිය නේද ? “

” මොකද්ද ?” 

” සර් එදා කැන්ඩි ගිය වෙලේ මාත් එක්ක කිව්වේ හිටපු පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන. ඒ මිසිස් මල්දෙණිය නේද ?” 

මනුහස් තිගැස්සී ලිපි ගොනුවෙන් දෑස ඔසවා සචින්ද්‍ර දෙස බැලුවේය. වහා නැවත ලිපි ගොනුවට මුහුණ ඔබා ගත් මනුහස් අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලේය. නැවත වතාවක් සචින්ද්‍ර දෙස බැලීමට අපහසුවක් ඔහුට දැනුණේය.

” සර්ට හිතෙන්නැද්ද සර් දකින දේට වඩා දෙයක් එතන තියෙන්න ඇති කියලා. ?” 

” ඒ කිව්වේ…?”

මනුහස්ගේ ස්වරයේ පෙර තිබූ ගාම්භීර බව පහත වැටී තිබුණේය. 

” නෑ සර් , මං කියන්නේ ඇත්තටම ….”

” එක්ස්කියුස් මී සර් …!” 

සචින්ද්‍රට තම කතාව අවසන් කරගත නොහැකි වූයේය. දොරට තට්ටු කරමින් පැමිණි කොස්තාපල්වරයෙකු මනුහස්ගේ නිල කාමරයට ඇතුළු වූයේය.

” මොකෝ නලින්ද ?”

” සුයිසයිඩ් කේස් එකක් සර්. බෙල්ලේ වැල දාගෙන. ලොකු සර් අහලා කියන්න කිව්වා සර්ට පොඩ්ඩක් ගිහින් බලන්න පුලුවන්ද කියලා “

මනුහස් මුව ඇද කළේය.

” ඇයි බං ඔහොම එකකටවත් යන්න එකෙක් නැද්ද ?” 

” දසනායක සර් නං ඉන්නවා “

“ඉතිං ?” 

” පෙරේදා සාන්තිපුරෙන් ගෑනියෙක් ගෙනාවා සර්  පොඩි රේඩ් එකකට ගිහිල්ලා අල්ලන්න එකියක් නැතුව වගේ අල්ලන් ඇවිල්ලා. ගෑනි ලඟ මුකුත් තිබිලත් නෑ. කියද්දි කියද්දි ඊයේ උසාවි දැම්මා. ජජ් ඉස්සරහා බලු උනා සර්. ඊට පස්සේ මෙතන ඇවිල්ලා ලොකු සර්ගෙනුත් පට්ට පතුරු යන්න සුද්ධ සිංහලෙන්ම අහගත්තා. දැන් ඉන්නවා නිකන් දකින දකින එකාට ගොරෝ ගොරෝ හරියට ඔක්කොම අපි කළා වගේ. සර් පුලුවන් නං ගිහින් පොඩ්ඩක් මේ කේස් එක බලන්න සර්.. “

කොස්තාපල්වරයාගේ ඇඹුල් කරගත් මුහුණින් බලා සිටියේය. 

” හ්ම්ම්.. කොහෙද ලොකේශන් එක ? “

” අරලිය මාවතේ..”

” සුයිසයිඩ් වලින් විතරද බං දැන් මිනිස්සු මැරෙන්නේ ? ඇහෙන්නෙම සුයිසයිඩ් විතරයි “

මනුහස් එසේ පවසමින් හිඳ සිටි පුටුවෙන් නැඟී සිටි අතර සචින්ද්‍රද ඔහු අනුව සිනහවක් නඟමින් හිඳ සිටි අසුනෙන් නැඟී සිටියේය. 

**********************************************

මිනිත්තු දහයකටත් වඩා අඩු කාලයකදී අදාල නිවසට ආ මනුහස් හා පොලිස් නිලධාරී කණ්ඩායම වහා පොලිස් පරීක්ශණ ආරම්භ කළේය. මියගොස් සිටියේ හතළිස් දෙහැවිරිදි කාන්තාවක් වූ අතර ඇය පළමු විවාහයෙන් වෙන්ව තම දොළොස් හැවිරිදි දරුවා සමඟ මිය ගොස් සිටි තම නිවසේ ජීවත්ව සිටියාය. රාත්‍රී නිදන ඇඳුම පිටින්ම නිදන කාමරයේ සිවිලිමේ කඹයක ආධාරයෙන් එල්ලී සිටි ඇය ඒ වන විටත් මිය ගොස් පැය ගණනක් ගත වී තිබුණේය. 

” සුයිසයිඩ් නෝට් එක “

පරීක්ශණ අරඹා මඳ වේලාවකින් සචින්ද්‍ර විසින් මිය ගොස් සිටි කාන්තාව විසින් ලියා තබා තිබූ කුඩා සටහනක් මනුහස් වෙතට ලබා දුන්නේය. 

” මම ඇමැන්ඩ්‍රා නටාලි පෙරේරා ,

මගේ ජීවිතේ ගෙවුණෙම මහ නරක විදිහට. කොච්චර මිල මුදල් , සැප සම්පත් තිබ්බත් මට කසාද ජීවිතේ හරියට ගෙවාගන්න බැරි උනා , හොඳ ළමා කාලයක් ගෙවන්න බැරි උනා , හොඳ පාසල් ජීවිතයක් ගෙවන්න බැරි උනා , මගෙ දරුවට හොඳ අම්මෙක් වෙන්න බැරි උනා. මට මේ ජීවිතේ එපා වෙලා. තව දුරටත් මෙහෙම ජීවත් වෙලා තේරුමක් නෑ. මගෙ මරණේ මගෙ කැමැත්තෙන් කරගන්න දෙයක්. මගේ මරණෙට හේතු උනේ මගෙම වැරදි. ඒකට කිසිම කෙනෙක් සම්බන්ධ නෑ. 

                    මම ,

                 ඇමැන්ඩ්‍රා.

කෙටි සටහනක් වූ ලියුම අවසානයේ ඇගේ අත්සනද යොදා තිබූ අතර නිවසට දිනපතා පැමිණෙන සේවිකාවගේ පෞද්ගලික තොරතුරු සටහන් කර ගත් කාන්තා පොලිස් නිලධාරිනියක් ඈ කැටුව මනුහස් අසලට පැමිණියාය. 

” සර් , මේ මෙහෙ වැඩට ඉන්න ගෑනු කෙනා. මෙයා තමයි මුලින්ම බොඩි එක දැකලා තියෙන්නේ. “

” හ්ම්ම්.. කීයට විතරද සිද්ධිය දැක්කේ ?” 

” මං අද ආවේ උදේ අටහාමාරට විතර මහත්තයා. “

” හැමදාම එන්නේ ඒ වෙලාවටද ? “

” නෑ.. සතියෙ දවස් වලට බබා ඉන්නවනං උදේ හය වෙද්දි වගේ එනවා. සමහර දවස් වලට හතට. හැමදාම උදේට එන වෙලාවක් හරියටම නෑ. නෝනා තමයි උදේට එන්න ඕනේ වෙලාව කලින් දවසේ කියන්නේ . “

” බබා ඉන්නවනං කිව්වේ දරුවා ඉන්නේ මෙහෙ නෙමෙයිද ?”

” ගොඩක් වෙලාවට නෝනාගේ අයියා ඇවිල්ලා බබාව එක්කන් යනවා මහත්තයා. අපේ නෝනාට උදේට අවදිවෙන වෙලාවක් නෑ. රෑ තිස්සෙත් ගෙදර නෑ. එතකොට බබාට ඉස්කෝලේ ගමන වත් හරියට වෙන්නෑ කියලා ඒ මහත්තයා ගොඩක් දවස් වලට බබාව අරන් යනවා. “

” මිසිස් පෙරේරාගෙ අයියා ඇවිල්ලද ඉන්නේ ? “

මනුහස් එවර නැවතත් කාන්තා කොස්තාපල්වරිය දෙසට හැරුණේය. 

” ඉන්නවා සර්. එළියේ ඉන්නවා. “

” දැන් එතකොට අද එද්දි කවුද ගෙදර හිටියේ ? “

” කවුරුත් නෑ මහත්තයා. මං දොර ඇරගෙන ගේ ඇතුළට ඇවිල්ලා කෙලින්ම ගියේ කුස්සියට. හැමදාම එහෙමයි. “

” එතකොට කවුද දොර ඇරියේ ? “

” මං ලඟ ගේට් එකෙයි , දොරෙයි යතුරක් තියනවා මහත්තයා. මං හැමදාම එන්නේ ඒ විදිහට දොර ඇරගෙන. ගොඩක් දවස්වලට මං එන වෙලාවට නෝනා නිදි. ඒ නිසා මං හිතුවෙ අදත් කාමරේ නෝනා නිදි ඇති කියලා. පැයක් විතර ගියාට පස්සෙත් නෝනා ආපු නැති නිසා සාලෙත් අතු ගාලා අස් පස් කරලා ඉවර වෙලා , කාමරේ අස් කරන්න ඕන නිසා මං කාමරේට ගියා. එතකොටයි දැක්කේ.. “

කාන්තාව අතේ තිබූ කුඩා ලේන්සුවක් මුවට තද කර ගත්තාය. 

” මිසිස් පෙරේරාගෙ අයියට කතා කරන්න “

මනුහස්ගේ විධානයත් සමඟ කාන්තා පොලිස් නිලධාරිනිය විසින් සේවක කාන්තාව පසෙකට යවා මිය ගිය කාන්තාවගේ සහෝදරයාට පැමිණෙන ලෙස දැනුම් දුන්නාය.

” ගුඩ් මෝනින් සර් “

” ගුඩ් මොනින්..!” 

” මං කොලින් පෙරේරා සර්. නැති වෙලා ඉන්නේ මගෙ නංගි . “

” හ්ම්ම්… නංගි මොනා හරි කරදරවලද හිටියේ ? “

” එයාම හදාගත්තු කරදර ඇරෙන්න එයාට පිටින් කවුරුවත් කරදර කරන්න ආවේ නෑ සර්. “

” හ්ම්ම්…. මිසිස් පෙරේරාගේ හස්බන්ඩ් එතකොට ?” 

” මිනිහා ඉන්නේ ඩුබායි වල සර්. ඒ මනුස්සයත් ඉන්න පුලුවන් උපරිමේ වෙනකන් මෙයත් එක්ක ඉහ ගහගෙන හිටියා. බැරිම තැන තමා යන්න ගියේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලා දවස ගාණේ ප්‍රශ්න දාගත්තා. ඒ දවස්වල අපේ ඩැඩීලටත් හොඳට සල්ලි තිබ්බා . එකම කෙල්ල කියලා ඉල්ලන ඉල්ලන දේ දුන්නා. හැබැයි මම නං දැනගෙන හිටියේ ඉතා  ඉක්මනින් මෙයා මෙහෙම දෙයක් කර ගනී කියලා. එකාතකට මෙහෙම දෙයක් වෙච්ච එක හොඳයි සර්. දැන් අර කොල්ලට දෙයියනේ කියලා උගන්න ගත්තහැකි. මෙයා ලඟ කොල්ලා ඉන්නකන් ඌට පිළිවෙළකට ඉස්කෝලේ යන්න තියා හරියට කන්න කෑම ටිකවත් නෑ. මං ඇවිල්ලා රණ්ඩු කරලා ළමයව අරන් යන්නේ. ඊට පස්සේ ටික දවසක් ගිහින් ආයේ එනවා. ඇවිල්ලා ආයේ මා එක්ක රණ්ඩු කරලා දරුවව අරන් එනවා. රෑට රෑට අරහෙ මෙහෙ ගිහිල්ලා බීලා එනවා. කොල්ලා ගෙදර තනියම. බලන් ඉන්න බැරිම තැන මං මේ ගිය සතියෙ ඇවිල්ලා කෑගහලා කෑගහලා කොල්ලව අරන් ගියේ. මෙයා එක්ක හිටියනං ඌත් නාස්ති වෙනවා “

පිරිමි පුද්ගලයා හදවතේ ඇති වේදනාව සහ නැගණිය පිළිබඳව උපන් ශෝකය කෝපයෙන් වචන වලට පෙරළුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here