අංගාර – 20

0
1177

BYD  රිය තුල වූයේ සිව් දෙනාටම දරාගත නොහැකි නිහැඬියාවකි. ඉන් වඩා රිදී තිබුනේ සස්මිතටය. ඇය මෙවෙනි දවස් කීයක් නම් පසු කරාදැයි තමාට සිතා ගන්නටවත් නොහැකි බව හේ සිතුවේය. සුක්කානම මත වූ දෑත් දරදඬුව තිබුණි.

විහඟි චායාව තමාවෙත නතු කරගෙන ඇගේ හිස පිරිමදිමින් උන්නාය. චායා වේදනාව කෝපය ලෙසින් මුදා  හැරි බව විහඟිට නොවැටහෙනවා නොවේය. එහෙත් ඒ කරුණු කාරනා පැහැදී කර ගැනීමට මේ වේලාව නොවේය. තම ස්වාමි පුරුෂයා වන චරක විතාරණ නම් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිනව රියැදුරා ලෙසින් පැමින සිටින්නේ චායා ප්‍රාණය සේ ගෙන , හදවතෙහි රකින සස්මිතම බව විහඟිට සැක නැත. ඒ හඬද, ඒ බැල්මද වෙනස් නැත. මුහුණ පුරා වවාගත් රැවුල සහ මදක් කඩා හැලෙන සේ වැවී ඇති හිස කේ  සස්මිතට අතීතය සගවා ගන්නට ඉඩක් නොදෙයි.

” හයිවේ දාපං …”

විනාඩි කිහිපයකට පසු චරක එලෙස පවසන තුරුම සස්මිත වුන්නේ  දියවී වැක්කෙරෙන හදවත නවතා ගන්නට උත්සාහ කරමිනි. ඇය සියල්ලන් මැද තනිව සිටින්නට ඇත. ඇය කිසිවෙකුට කිසිවක් නොපවසා තනිව සියල්ල දරා ගන්නට ඇත. චරකගේ ඇණුම් පද, බැණුම් වලට ඇය ගොදුරක් වන්නට ඇත.  වෙහෙසී කරන රාජකාරිය හැරුණු කොට, ඇය ජීවිතයේ සැනසීමක් නොවිඳින්නට ඇත.

සස්මිත රිය හරවා ගත්තේය.

” මාව මෙහෙන් දාලා යන්න කියපං විහඟි …”

චායා විහඟිගෙන් මිදී උස් හඬින් එලෙස කීවාය. එහෙත් සස්මිතට කිසිලෙසකින්වත් එලෙස කරන්නට අවැසි වූයේ නැත. ඇය   රියෙන් බැස නවතිනවා නම්, රැකියාව පසෙක දා ඇය සමඟ බැස ගන්නා බව සස්මිත සැනින් තීරණය කර තිබුනේය. සස්මිත චරක දෙස බැලුවේය. චරක සස්මිත දෙස බැලුවේ හෝ නැත. සස්මිත වාහනයේ අයිතිය තමා සතු බව වටහාගෙන රිය ධාවනය කලේය.

” කරුණාකරලා මාව දාලා යනවා… නැත්නම් පනිනවා මම …”

චායා වඩා උස් හඬින් කෑ ගැසුවාය.

” නවත්තපං ..”

චරක ඇය පරයා යන හඬකින් කෑ ගසා කීවේය. සස්මිතට කිසිලෙසකින්වත් චරකට එකඟ වෙන්නට හෝ ඔහුට අවනත වන්නට අවශ්‍ය වූයේ නැත. ඔහු නොනවත්වාම ධාවනය කලේය.

” ඕක නවත්තපං අයින් කරලා…”

එවර චරක ගේ හඬ අවධාරණය කරන සුලු අනකට  මාරු වූයේය. සස්මිත වාහනය නැවැත්වූයේය. චායා බැස්සේ නම්, තමාද බහින බව ඉටා ගත්තේය. එහෙත් වහා වාහනයෙන් බැස්සේ චරකය. සස්මිත ආපස්සට හැරී බලන විට චරක චායාට වාහනයෙන් බසින්නට තිබූ ඉඩ අහුරාගෙන වාහනයේ පිටුපස අසුනට ගොඩ වූයේය. චායාගේ දැඟලිල්ල සහ විරෝධය නොතකා හේ චායා ඉතා තදින් තමා වෙත නතු කරගත්තේය.

” සොරී චූටි … සොරි . මට කේන්ති ගියානේ ඕයි … මං තමුසෙට කොච්චරක් ආදරෙයිද කියලා තමුසේ දන්නවානේ නංගී … මට තමුසේව කරුමයක් වෙන්නේ කොහොමද ?.. මගේ වාසනාව නේ තමුසේ … නංගී .. මේ බලනවකෝ .. අයියාට කියනවකො .. මොකක්ද  ඔය හිතේ තියාගෙන විඳවන්නේ කියලා… අයියා ළඟ ඕනේ ප්‍රශ්නේකට උත්තර තියෙනවානේ ඕය් .. ම්ම්ම් … කෝ ..කෝ..”

සස්මිත දෑස් තද කරගත්තේය. ඇය සියල්ල දරා සිටින්නට ඇත්තේ තනිව බවට මොහොතකට පෙර නැඟුණු සිතුවිල්ල තහවුරු විය. සුක්කානම වූයේ සස්මිතගේ දෑඟිලි අතර  තදවය.

” දඟලන්නෙපා ඕයි .. රිදෙනවා.. අර විහඟිගේ ඇඟෙත් වැදෙනවා…”

චරක තුරුම්පුවක් දමා ගැසුවේය.  චායා විහඟි දෙස හැරී බලා චරකට විරුද්ධ වීම වලකා නිසොල්මන් වූවාය. විහඟිද  ඇගේ හිස පිරිමැද්දාය.

” අර යන්න ඕනි කීව වැඩේට යන්න ඕනි නැද්ද ?…”

චරක  ඉවසීමෙන් විමසුවේය. ඇයට කිසිඳු කාර්‍යයකට සහභාගී විමට අවශ්‍ය නොවන බව සස්මිත තීරණය කර තිබුණි. ඔහු රිය පණ ගැන්වූයේ චායාගේ පිළිතුර නෑසීමය. චායා කිසිවක් නොපවසා චරකගේ උරිස්සේ හිස තබා උන්නාය. චරක පවා සස්මිතට කිසිත් පැවසූයේ නැත.

”  අපි ගිහිල්ලා කතා කරමු ..ම්ම්ම් … අයියාට ඔක්කොම දේවල් කියලා ඉවර කරන්න ඕනි … කරන්න පොඩි කරි ඉඩක් තියෙනවා නම්, අයියා ඒක කොහොමම හරි කරනවා…. තේරුනානේ ?… එහෙම ඉඩක් නැති දෙයක් නම්, නංගි මේ ගෙවන ජීවිතෙන් ඉස්සරහට යන විදියක් බලන්නෝනා… තේරුනාද ?..”

චායා හිස සැලුවාය. ඔහු දැන් සිටින්නේ තමා ඉදිරියේ බව විශ්වාස කරගන්නට නොහැකිව මෙන් පිටුපස අසුනේ මැද හිඳ ඉදිරිපස කණ්ණාඩිය දෙස බැළුවාය. ඔහුගේ දෑස් වූයේ කණ්ණාඩියේ නොවේය.

දකින්නේ සිහිනයක් නොවන බව වටහා ගන්නට චායාට අවැසි විය. ඕ විහඟිගේ අතින් තදින් අල්ලා බැළුවාය. විහඟිද පෙරලා චායාගේ අත තදින් මිරිකුවාය.

නිහැඬියාවට රජකම දෙන්නට සිව් දෙනාම කටයුතු කලේ එකිනෙකා හා එකඟතාවයකින් නොවේය. එහෙත්, ඉබේම එකඟතාවය ඇති වි තිබුණි.

” සර් .. හයිවේ දාන්න හදන්නේ.. ඉස්සරහට ආවා නම් හරි ..”

සස්මිත වාහනය නවතා එලෙසින් පවසද්දී චරක නිහඬවම එයට එකඟ වූයේය. චායාට පිටුපස අසුනේ කොන හිමි විය. සස්මිත දෙස ඉතා පැහැදිළි ඇසක් දවටා ඉන්නට ඉඩ හිමි වුනා යැයි කීම වඩා නිවැරදිය. එක්වරම සස්මිතව දුටු මොහොතේ ඕ උන්නේ පියවි සිහියෙන් එපිටය. ඔහුමදැයි තහවුරු කර ගැනීම පවා පහසු වූයේ නැත. දැනුනේ මහා ආගාධයක් තුලට ඇදී යමින් උන් තමාව, එක්වරම කිසිවෙකු අල්ලා ගත් බවය. එහෙත් ඒ අල්ලා ගත් අත විශ්වාස කරගන්නට නොහැකිව තමා අරගල කල බවය.

දැන් මද වේලාවක් ඉක්ම ගොසිනි. සිත මදකින් සන්සුන් ය. පැමිණ සිටින්නේ ඔහු බවට සැක නැත. ඒ හඬ කිසිදිනෙක අමතක වන්නේම නැත.

 චායා අත් බෑගයේ වූ ජංගම දුරකතනය ගෙන විහඟිට පණිවිඩයක් යැව්වාය.

” එයා නේද ඒ?…”

චායා ජංගම දුරකතනය අතට ගනිද්දීම කිසිවෙකුට නොදැනෙන්නට මෙන් විහඟිද උන්නේ ජංගම දුරකතනයේ ඇස් අලවාගෙනමය.

” නම හරිනේ ?..”

විහඟි පෙරලා ඇසුවාය.

” සස්මිත තමයි නේද විහඟි ?…”

චායා යළි ඇසුවාය.

” ඔව් …”

විහඟි පිළිතුරු දෙද්දී චායාගේ නෙත් කෙවෙනි වල කඳුලු පොර කන්නට පටන් ගෙන තිබුණේය.

” කොහොමද විහඟි මෙහෙම ?..”

” මට තේරෙන්නෙත් නෑ.. දඟලන්නේ නැතුව හිටහං .. අයියාට තේරුනොත් මරලා දාවි …”

විහඟි වැඩි වෙලා නොගෙනම මෙතැන් පටන් වන අවධානම සිහිපත් කලේය. චායාගේ ඇඟිලි අග්ගිසි වල වූ සීතල  සැනින් හදවතටද දැනුනේය. අයියා, අම්මා, තාත්තා සියල්ලන්ම සිහිව ආවේය.

” මට තේරෙන්නේ නෑ.. ඇයි මෙහෙම ?..”

” මට තේරෙන්නේත් නෑ චායා .. පොඩ්ඩක් ඉවසලා බලමු … දැන් ඕනිවට වඩා නර්වස් බව පෙන්නන්නේ නැතුව ඇස් දෙක පියාගෙන ඉන්න …”

” මේක හීනයක් නෙවෙයි කියන්න විහඟි..”

” පිස්සුද බං .. හීනයක් වෙන්නේ කොහොමද ?.. අපි යන්නේ  තාත්තාගේ BYD  එකේ.. ඉස්සරහ ඒක ඩ්‍රයිව් කරන්නේ සස්මිත … ඌ ඇවිල්ලා ඉන්නේ චරක පතිරණයේ ඩ්‍රයිවර් වෙන්න .. තේරුනා නේ ?.. හීනයක් නෙවෙයි .. දැන් මෙතන නාට්‍ය හදන්නේ නැතුව දෙය්‍යනේ කියලා සයිලන්ට් වෙයං ..”

චායා දෑස් පියාගත්තාය. සස්මිත ඉදිරි කණ්ණාඩියෙන් ඇය දෙස බැලුවාය. ඕ මීට වසර දොළහකට දහතුනකට පෙර උන් කුඩා කෙල්ලම බව සස්මිතට පෙනෙන්නේය.  එහෙත් ඒ කුඩා කෙල්ල ආත්මයක බර තනිව දරමින් වේදනා ඉහිලූ වග ඔහු දන්නේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here