BE SILENT – 26

0
135

”  සර්..! , සර් ඉතිං ඇයි ලොක්කාට කිව්වේ නැත්තේ මල්දෙණියගෙ අම්මා සර්ට එන්න කියලා පහුවෙලා භාර දීපු වැඩේ ගැන “

සචින්ද්‍රගේ පැනය හමුවේ මනුහස් විසල් හුස්මක් අත හැරියේය. 

” මං දන්නෑ බං , මට ඒක කියන්න හිතුන්නෑ “

” සර් තාම ඉන්නේ ලොක්කා කියපු දේ විශ්වාස කරගන්න බැරුව. ඒකයි ඔය. “

” ලොක්කා කියපු මොකද්ද ?” 

මනුහස් සචින්ද්‍ර දෙස නොබලාම ඇසුවේය. ඔහුගේ හදවත බොහෝ සෙයින් බර වී තිබුණේය. 

” ලොක්කා කිව්වේ මල්දෙණියකාරයා ගහපු ගේම ගැන අනිවාර්‍යෙන්ම පවුලේ අය දැනගෙන ඉන්න ඕනේ කියලා ? සර් ඉන්නේ තාම ඒක විශ්වාස කරගන්න බැරුව. විශ්වාස කරන්න ඉඩ කඩ තිබ්බත් සර් ඉන්නේ ඒක පිළිගන්න අමාරුවේ “

” උඹට මොකෝ හිතෙන්නේ ?” 

මනුහස් පිළිතුරු දෙනු වෙනුවට පෙරළා සචින්ද්‍රගෙන් ප්‍රශ්න කළේය. 

” අමාරු උනත්  මට හිතෙන්නෙත් ලොක්කා කියපු එක හරි.. මයන් කාරයගේ අම්මා නං අනිවා මේ කේස් එක මුල ඉඳන් දන්නවා. ඒ ගෑනි මුල ඉඳන් මේ ප්ලෑනේ ඉන්නවා. නෙත්‍යා මැඩම් ගැන මට එහෙම හිතන්න අමාරුයි . ඒත්.. අපි හරියටම දන්නෑනේ සර්. ඒ මැඩම්ගේ ගෙදරනේ සර්. පිට ඉඳන් බලන අපිට ඒ ගේ ඇතුළෙ වෙන දේවල් ගෙස් කරන්න බෑනේ ? නෙත්‍යා මැඩම් අපිට බොරු කරා කියලා මට හිතෙන්නෑ.. ඒත්.. මැඩම්ගේ සිටුවේශන් එක අපි හරියට දන්නෙත් නෑනේ සර්..”

සචින්ද්‍රගේ කටහඬ පෙරට වඩා මන්ද්‍ර ස්වරයක් ගෙන තිබුණේය. 

” අපි මේක කරමු සර්. හැබැයි ඕනෑවට වඩා කලබල වෙන්නයි ඉමෝශනල් වෙන්නයි තියා නොගෙන. ලොක්කා කිව්වා වගේ මේ වැඩේ අපිට කරන්න වෙන්නේ කොහොමත් සද්ද බද්ධ අඩුවෙන්. අපි මේක ලොකුවටම කරන්න ගියොත් ආයේ මොකක් හරි හේතුවක් උඩ අපිට ඉන්වෙස්ටිගේශන් නවත්තන තැනට වැඩ හැදෙන්න පුලුවන් . “

” ෂියා එනවා “

සචින්ද්‍ර පැවසූ දෙයට පිළිතුරු නුදුන් මනුහස් පාරෙන් අනෙක් පස සිට ඔවුන් දෙසට පැමිණෙන ෂියෝනා දෙස බලා සිටියේය .

“පරක්කුවක් නෑනේ ? “

ඈ එසේ පවසමින් ජීප් රථයට ගොඩ වැදුණාය. 

” මොකෝ හදිස්සියේ මට කතා කළේ ?” 

පළමු පැනයට පිළිතුරු නොලැබුණු තැන ෂියා දෙවන පැනයද විමසුවාය.

” ගෑනු කෙනෙක් එක්ක කතා කරන්න යන්න තියෙන්නේ . ඒකයි “

” කාත් එක්කද ?”

” ටෙහාන් මෙන්ඩිස්ගේ වයිෆ්. මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නේ .”

” ටෙහාන් මෙන්ඩිස් කිව්වේ අර සුයිසයිඩ් කේස් එකේ පළවෙනියා නේද ? “

” හ්ම්ම්…” 

” ඒ ..ඒ.. පොඩ්ඩක් නවත්තහන්..”

ජීප් රථය පණ ගැන්වූ සචින්ද්‍රගේ උරහිසට තට්ටුවක් දමා එසේ පැවසූ ෂියෝනා යළි මනුහස් දෙසට හැරුණාය. 

” මොකෝ ?” 

” ඔයාට මේක කරන්න ඕනෙමද මනූ ?” 

ෂියෝනාගේ පැනයට පිළිතුරු දෙනු වෙනුවට මනුහස් ඉවත බලාගෙන සිටියේය. 

” කතා කරනවකෝ.. මේක කරන්නම ඕනෙද ? අපි මේ කරන්නේ කුණු ගොඩක් අවුස්සගන්නවා වගේ වැඩක්. අනිත් එක ගිය පාර වගේ මහන්සි වෙලා මහන්සි වෙලා අතර මැදදි මේක නතර කරලා දාන්න උනොත් මොකද කරන්නේ ?” 

” එහෙම උනත් මං මේක කරනවා. මේක කරගන්න බැරි උනොත් රස්සාවත් දාලා මං ගෙදර නවතිනවා. එච්චරයි. “

තවදුරටත් ඔහු හා වාද කිරීමෙන් ඵලක් නොවන බව තේරුම් ගත් ෂියෝනා විසල් හුස්මක් අත හැර ආසනයට බර වූවාය. 

සචින්ද්‍ර නිහඬවම ජීප් රථය ඉදිරියට පදවාගෙන ගියේය. විජේරාම මංසන්දියෙන් වම් පසට හරවා අතුරු පාරක් දිගෙහි ජීප් රථය පැදවූ ඔහු ලැබී තිබූ ලිපිනයට අදාල නිවස ඉදිරියෙන් ජීප් රථය නතර කළේය. 

” මේකද බං ගේ ?” 

” ඇඩ්‍රස් එක නං මේක තමා. “

ෂියෝනාගේ පැනයට පිළිතුරු දුන් සචින්ද්‍ර රියදුරු අසුනේ දොර විවර කරමින් බිමට බැස්සේය. කිසිවක් නොපැවසූ මනුහස්ද ඔහු පසුපසින් ෂියෝනාද ජීප් රථයෙන් බැස නිවසේ ගේට්ටුව අසලට ගොස් සීනුව නාද කළේය. 

මොහොතක් ගත වුණේය. අවුරුදු හැට පහක , හැත්තෑවක පමණ වයසක් පෙනෙන නිවසේ සේවිකාව ලෙස හඳුනාගත හැකි කාන්තාවක් ගේට්ටුව අසලට පැමිණ එහි එක් පියනක් විවර කළාය .

” මිසිස් මෙන්ඩිස් ඉන්නවද ? “

” නෝනලා කවුද ?” 

ෂියෝනා ඇසූ පැනයට පිළිතුරු දෙනු වෙනුවට සේවිකාව පෙරළා ඇගෙන් ප්‍රශ්න කළාය. 

” පොලීසියෙන් කියලා පේන්නැද්ද ? “

ෂියෝනාගේ තරවටු කතාවට අපහසුවෙන් කෙළ පිඬක් ගිල දැමූ කාන්තාව නැවතත් නිවස දෙස බලා යළි ෂියෝනා දෙස බැලුවාය.

” නෝනා ගෙදර නෑ..”

” මේ වෙලාවේ වෙන කවුද ගෙදර ඉන්නේ ? “

” කවුරුවත්ම නෑ . මං විතරයි ඉන්නේ “

” නෝනා කොහෙ ගිහිල්ලද ? “

” ගිය තැනක් දන්නෑ. බබාත් එක්කමයි ගියේ “

ෂියෝනා පසු පස හැරී මනුහස් දෙස බලා කුමක් හෝ පැවසීමට උත්සාහ කළද ඈ එය මඳකට නතර කොට තමන් දෙසට පැමිණෙන සුඛෝපභෝගී මෝටර් රථය දෙසට දෑස යොමු කළාය.

නිවස ඉදිරියටම පැමිණි මෝටර් රථය ඒ ආසන්නයෙන්ම නතර කළ අතර කිසිසේත්ම එවැනි මොහොතක එවැනි ස්ථානයක බලාපොරොත්තු නොවූ ආකාරයට නෙත්‍යා මල්දෙණිය ඉන් පිටතට බැස්සාය. බලාපොරොත්තු නොවූ ආකාරයට පොලිස් නිලධාරීන් මුහුණට මුහුණ හමුවූ ඇගේ උවනද කුතුහලයෙන් පිරී ගොස් තිබුණේය. මෝටර් රථයෙන් බැස තමන් ඉදිරියට ආ නෙත්‍යා මල්දෙණිය මඟ හැරි මනුහස් මෙන්ම ෂියෝනාද ඈ නුදුටුවාක් මෙන් ඉවත බලාගෙන සිටියාය. 

” මැඩම් , මේ කොහෙ යන ගමන්ද ?” 

මඳ සිනහවක් මුහුණට නඟා ගත් සචින්ද්‍ර නෙත්‍යා අසලට පැමිණ ඇසුවේය. 

” මම උමායා අක්කා මීට් වෙන්න ආවේ. “

නෙත්‍යා නිවස දෙසට අත දිගු කොට පැවසුවාය. 

” ඔයාලා මොකද මෙහෙ ?”

” උමායා කිව්වේ මිසිස් මෙන්ඩිස්ටද ?” 

සචින්ද්‍රගේ පැනයට නෙත්‍යා හිස සලා ඔව් යැයි කීමට පිළිතුරු දුන්නාය. 

” ගෙදර කවුරුත් නෑ මැඩම් . අපිත් මේ කට උත්තරයක් ගන්න කියලා ආවේ. “

” එහෙමද …?” 

නෙත්‍යාගේ මුහුණ එකවරම පුදුමයෙන් පිරී ගියාය. ඒ සමඟම ඇගේ අතේ තිබූ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ආ අතර ඈ එය දෙස බලා නැවත සචින්ද්‍ර දෙස බලා මඳ සිනහවක් නැඟුවාය .

” මාත් එහෙනං ඇවිත් තියෙන්නේ වැරදි වෙලාවක . “

” මැඩම් මිසිස් මෙන්ඩිස්ව අඳුරනවද ?” 

” ඔව්.. නැති වුණු ටෙහාන් මෙන්ඩිස් වගේම උමායා අක්කත් මගේ හස්බන්ඩ්ගේ ක්ලාස්මේට්ස්ලා. ඒ හින්දා අපි ටිකක් ලඟින් අඳුරනවා. “

නෙත්‍යාගේ කතාවත් සමඟම මනුහස්ගේ දෑස තිගැස්සී ගියද ඔහු බොහෝ ආයාසයක් දරා එකී දෑස නෙත්‍යා දෙසට විතැන් වීම නතර කරගෙන සිටියේය .

” අපි යං “

නෙත්‍යා දෙසට බැල්මක් හෝ නෙහෙළූ මනුහස් ෂියෝනාගේ කර වටා අතක් දමා ඈ සමඟ ගොස් ජීප් රථයට ගොඩ වූයේය. මනුහස්ගේ ක්‍රියාව දුටු නෙත්‍යාගේ මුහුණ අඳුරු වී යන ආකාරය සචින්ද්‍ර හොඳින්ම දුටුවේය. 

” අපි ගිහින් එන්නං මැඩම් “

” හොඳයි සචින්ද්‍ර “

” මැඩම් ඉඩ කඩ තියන වෙලාවක කොට්ටාව කිට්ටුවට ආවොත් ඒ පැත්‍තට ඇවිත් යන්න එන්න. රාදී නිතරම මැඩම්ව මතක් කරනවා. “

සචින්ද්‍රගේ කතාවෙන් නෙත්‍යාගේ මුවගේ ලෙංගතු සිනහවක් ඇඳී ගියේය .

” එදා කලබලේට මට රාදීගෙ නම්බර් එකවත් ගන්න බැරි උනා සචින්ද්‍ර .”

” මාත් ඕක රාදිගෙන් ඇහුවා මැඩම්. මැඩම් ගෙදර රෙන්ට් එක ගෙවලා තිබුණා. ඒක නං බලාපොරොත්තු නොවිච්චම දෙයක් මැඩම්. ඒත් ඒ වෙලාවේ කරපු උදව්ව ගැන කතා කරලා ස්තූති කියන්නවත් මැඩම්ගේ කන්ටැක් නම්බර් එකක් තිබ්බේ නෑ. අර මැඩම්ලගේ සෙකට්‍රි කතා කරන නම්බර් එකට කතා කරන එකත් හරි නෑ කියලා හිතුණා. “

නෙත්‍යා නැවතත් මඳ සිනහවක් නැඟුවාය .ඉන් පසුව දුරකතනය මත දෑඟිලි එහා මෙහා යවා එය සචින්ද්‍ර වෙත දිගු කළාය . 

” රාදිගෙ නම්බර් එක ඩයල් කරලා දෙන්න සචින්ද්‍ර . මං කෝල් එකක් දෙන්නං “

නෙත්‍යාගේ දුරකතනය අතට ගත් සචින්ද්‍ර වහා රාදිගේ දුරකතන අංකය එහි සඳහන් කොට නැවත එය නෙත්‍යා හට දිගු කළේය. 

” ගිහින් එන්නං මැඩම් “

” හොඳයි සචින්ද්‍ර ..”

ජීප් රථයට ගොඩ වුණු සචින්ද්‍ර එය නැවත හරවා නෙත්‍යා පසු කර ඈතට පදවාගෙන ගියේය . ඈ අසලින් ජීප් රථය ඇදී යන අවස්ථාවේදී  ඇගේ පස සිටි ආඩම්බරකාරයාගේ දෑස ඇගෙන් ඉවතට යොමු වී තිබුණේය. වැරදීමකින්වත් ඒ දෑස ඈ වෙතට නොවැටුණේය .

පොලිස් ජීප් රථය නොපෙනී යන තුරු බලා සිටි නෙත්‍යා යළි දුරකතනය ගෙන පෙර කෙටි පණිවිඩයක් පැමිණි අංකයට නැවත ප්‍රති පිළිතුරක් යොමු කළාය. ඒ සමඟම මෙන්ඩිස් නිවසේ ගේට්ටු පියන් ද්විත්වයම විවර වූ අතර වහා මෝටර් රථයට ගොඩ වූ නෙත්‍යා එය ගේට්ටුවෙන් ඇතුළට ධාවනය කළ අතර ඈ එහි ඇතුළු වූ වහාම ගේට්ටුවේ පියන් ද්විත්වය යළි වැසී ගියේය. 

” උඹ මොනවද අරයා එක්ක ඔච්චරම කතා කලේ ?” 

සචින්ද්‍රගේ උරහිසට පහරක් ගැසූ ෂියෝනා ඔහු දෙස බලා ඇසුවාය. 

” වයිෆ් ගැන ඇහුවා.. “

” බලන් ගියාම මං ඇරෙන්න මුළු ලෝකෙම උන් දන්නවා උඹ කසාද බැන්ඳා කියලා. “

ෂියෝනා එසේ පවසමින් මුව ඇද කර ජීප් රියෙන් ඉවත බලා ගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here