බෙල්ලන්විල දෙස සිට පිළියන්දල දක්වා මාර්ගයේ පැමිණ අතුරු මාර්ගයකට පොලිස් ජීප් රථය හැරවූ සචින්ද්‍ර ගමනාන්තය ලෙස සඳහන් වී තිබූ දෙමහල් නිවසක් අසල ජීප් රථය නතර කළේය. පොලිස් ජීප් රථය නතර කරනවාත් සමඟම එහි ස්වයංක්‍රීය ගේට්ටු පද්ධතිය විවර වූ අතර මනුහස් දෙස බැලූ සචින්ද්‍ර ගේට්ටුවෙන් ඇතුළට ජීප් රථය දමා නතර කළේය. පසෙක තිබූ අව් කණ්ණාඩිය පැළැඳ ගත් මනුහස් ජීප් රථයෙන් බිමට බැස්සේය. ඔහු අනුව සචින්ද්‍රද බිමට බට අතර නිවස ඉදිරිපස දොරකඩ සිටි තරුණිය දුටු මනුහස්ගේ දෑස පුදුමයෙන් වෙළී ගියේය .
” ජාන්වී…!”
” එන්න ඇතුළට …”
ඈ ආපසු හැරී නිවස තුළට ගිය අතර මනුහස් හා සචින්ද්‍රද නිවස තුළට ගොඩ වැදුණහ.
” එන්න … මිස්ටර් විජේවර්ධන . වාඩි වෙන්න..”
ආලින්දයේ සුව පහසු සෝෆාවක් පෙන්වමින් මනුහස්ට හිඳ ගැනීමට ආරාධනා කළ වජිරා මල්දෙණිය ඒ අසලම නර්මදාට ඉඟි කරමින් රෝද පුටුව නවත්වා ගත්තාය.
” නර්මදා..! ඔයා එළියෙන් ඉන්න.. “
ඈ පසුපසින් රෝද පුටුව අල්ලාගෙන සිටි නර්මදාගේ දෑස එක දිගට මනුහස් වෙත විතැන් වී තිබුණු අතර වජිරා මල්දෙණියගේ කටහඬින් ඈ තිගැස්සී ගියාය.
” ඕකේ මැඩම් “
නර්මදා පිටව ගියේ කැමැත්තකින් නොවන බව යටැසින් දුටු සචින්ද්‍ර කට කොනකින් සිනහවක් පෑවේය.
” මිස්ටර් විජේවර්ධන..! මේ තියෙන්නේ මයන් එක්ක රෝයල් නයිට්ස් එකෙන් දෙදාහා අවුරුද්දේ එළියට ආපු ක්ලාස් එකේ හිටපු ස්ටුඩන්ට්ස්ලාගේ විස්තර ටික. “
වජිරා මල්දෙණිය තම උකුළ මත තිබූ ෆයිල් කවරයක් ගෙන මනුහස් දෙසට දිගු කළ අතර ඔහු එය අතට ගෙන එය දෙස නොබලාම ටීපෝව මතින් තැබුවේය.
” අපි ඉස්කෝලේට ගිය ගමන ගැන වැඩිය කිසි කෙනෙක් දන්නෑ මිසිස් මල්දෙණිය. අනික කොයි අවුරුද්දේ කාගේ විස්තරද ඕනෙ කියන එක මං කිව්වෙත් ප්‍රින්සිපල්ට විතරයි. “
මනුහස් පිළිතුරු බැන්ඳේ ඉවත බලාගෙනය. ඔහුගේ වචන වල ඇති නෝක්කාඩු ස්වරය වජිරා මල්දෙණියට හොඳින් වැටහුණාය.
” මිස්ටර් විජේවර්ධන , රෝයල් නයිට්ස් එක පෞද්ගලික පාසලක්. ඒක දුවන්නේ පාසලේ දෙමව්පියන්ගේ ආධාර මත. මල්දෙණිය පවුලේ වගේම අපිට සම්බන්ධ ගොඩාක් දරුවෝ ඉගෙනගත්තේ සහ දැනටත් ඉගෙනගන්නේ ඔය ඉස්කෝලේ. ඒ වගේම රටේ ගොඩක් ලොකු තනතුරු වල ඉන්න මිනිස්සුන්ගෙ දරුවෝ ඔතන ඉන්නවා. ඒ නිසයි දරුවන්ගෙ තොරතුරු පිටතට දෙන්න අමාරු. එහෙම කාටහරි ඕනෙ උනොත් ඒක පාසලේ අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් කරලා එතනින් අනුමැතිය ගන්න වෙනවා. ප්‍රින්සිපල් සර් මිස්ටර් විජේවර්ධනට ඒ ප්‍රොසිඩී එක ගැන පැහැදිලි කරන්න ඇතිනේ ?”
” ඒක නං මට කිව්වා. මට හිතාගන්න බැරි ඒක මිසිස් මල්දෙණිය දන්නේ කොහොමද කියලා ?”
නැවත වතාවක් මනුහස්ගේ කටහඬෙහි සියුම් කෝපයක් මෙන්ම සමච්චල් සහගත බවක් රැඳී ඇතැයි වජිරා මල්දෙණියට ක්ෂණිකව සිතුණාය.
” මිස්ටර් විජේවර්ධන , ප්‍රින්සිපල් සර් කියපු අධ්‍යක්ෂක මණ්ඩලේ සභාපති මම. ඉස්කෝලේ සිද්ධ වෙන හැමදේම මට ආරංචි වෙනවා.
මිස්ටර් විජේවර්ධන , මම මල්දෙණිය . වජිරා මල්දෙණිය. මම කාටහරි වචනයක් දුන්නොත් ඒක ආයේ මගෙ හුස්ම ටික ගියත් රකිනවා. මම මිස්ටර් විජේවර්ධනට වචනයක් දුන්නා මං ඔබතුමාට භාර දීපු වැඩේ සම්බන්ධව ඔබතුමාට ඕනෑම සහයෝගයක් දෙනවා කියලා.
ඇමැන්ඩ්‍රා පෙරේරාගේ මරණේ ගැන මට ආරංචි උනා. එතන පොලිස් ඉන්වෙස්ටිගේශන් සිද්ධ වෙන බවත් මට ආරංචි උනා. ඇමැන්ඩ්‍රා කියන්නෙත් මයන් එක්ක එකට එක ක්ලාස් එකේ ඉගෙනගත්තු දරුවෙක්. මේ හැමදේම කොහේ හරි කොනකින් එකකට එකක් සම්බන්ධ බව මට දැනෙනවා මිස්ටර් විජේවර්ධන . අන්න ඒ නිසයි මං මේ ඩොකියුමන්ට්ස් ටික ඔබතුමාට දෙන්නේ. ඒ ඇරෙන්න ඔබතුමාලා කරන කියන දේවල් ගැන මං රහසින් හොයා බලනවාවත් , ඔබතුමාලා ගැන ඔත්තු බලනවාවත් , ඔබතුමාලගෙ වැඩ වලට මදිහත් වෙනවා කියලවත් හිතන්න එපා.
මේ ඩොකියුමන්ට්ස් ඔබතුමාට අවශ්‍ය බව මං මීට කලින් දැනගෙන හිටියානං ඉස්කෝලෙට යන්න කලින්ම මං ඒවා ඔබතුමාට ලැබෙන්න සලස්වනවා. ආඩම්බරේකට , ලොකු කමකට කියනව කියලා හිතන්න එපා. ඒත්… සමහර වැඩ තියනවා අනිත් හැමෝටම වැඩිය මගෙ එක වචනෙකට , එක මැදිහත් වීමකට ලේසියෙන්ම කරගන්න පුලුවන් . “
මනුහස් නිහඬවම වජිරා මල්දෙණියගේ කතාව අසා සිටියේය.
” මිස්ටර් විජේවර්ධනට පුලුවන් ඕනෙම වෙලාවක මාව හරි නෙත්‍යාව හරි ඕනෙම දේකට සම්බන්ධ කර ගන්න. මිස්ටර් විජේවර්ධන අකමැති නැත්තන් මට දැනගන්න පුලුවන්ද ඇමැන්ඩ්‍රාගේ මරණේ ගැන වැඩි දුර පරීක්ශණ පවත්තන්න හේතුව ?”
නිහඬවම පැමිණි නෙත්‍යා මනුහස් ඉදිරියේ තිබූ ටීපෝව මත තේ කෝප්ප සහිත ට්‍රේ බඳුනක් තැබුවාය.
” මිස්ටර් මල්දෙණිය නැති වෙන්න කලින් මිසිස් මල්දෙණියගෙ නමට ලැබුණා කිව්ව මිස්ටර් මල්දෙණියගේ ස්කෝලේ කාලේ ෆොටෝ එක වගේම ෆොටෝ එකක් ඇමැන්ඩ්‍රා පෙරේරාටත් වතාවල් තුනකදි ලැබිලා තියනවා. එයාගේ සර්වන්ට් කියන විදිහට ඇමැන්ඩ්‍රා පෙරේරා ඒ ෆොටෝස් දැකපු දා ඉඳන් සෑහෙන්න කලබල වෙලා තියනවා. අපි විශ්වාස කරනවා මේ සුයිසයිඩ් වල පිටි පස්සේ මේ ෆොටෝස් එවන කෙනා වගේම මිස්ටර් මල්දෙණියගේ ක්ලාස් එකේ හිටපු ස්ටුඩන්ට්ස්ලාගෙත් මොකක්ම හරි සම්බන්ධයක් ඇති කියලා. “
” දෙයියනේ…!”
වජිරා මල්දෙණිය දෑතම පපුව මැද ගුලි කර ගත්තාය.
” ඒ .. එතකොට ඔය දරුවා කියන්නේ මේ ෆොටෝස් එවන කෙනා මේ දේවල් වලින් මේ දරුවන්ට මොකක් හරි බ්ලැක් මේල් එකක් කරලද ? තමන්ගෙම ජීවිතේ නහ ගන්න තරමට.. ?”
වජිරා මල්දෙණියට තමන් මෙතෙක් කලක් මනුහස්ව ඇමැතූ ආමන්ත්‍රණය පවා අමතක වී ගොස් තිබුණාය . එක් වරම ඇගෙන් පිටතට ආ වචනය ඇසුණු මනුහස් සේම නෙත්‍යාද තිගැස්සී ඈ දෙස බැලුවාය.
” ම.. මට සමාවෙන්න මිස්ටර් විජේවර්ධන , මං පොඩ්ඩක් කලබල උනා “
මනුහස්ගේත් , නෙත්‍යාගේත් බැල්ම දුටු වජිරා මල්දෙණිය නැවත පෙර පරිදිම සන්සුන් වන්නට උත්සාහ දරමින් සිටියාය.,
” ඒකට කමක් නෑ මිසිස් මල්දෙණිය. “
” මිස්ටර් විජේවර්ධනට පුලුවන්ද මේක ටිකක් තව පැහැදිලිව මට විස්තර කරන්න ..?”
මනුහස් කිසිවක් පැවසීමට පෙර එහි සිටි නෙත්‍යා දෙසත් , පසෙක සිටි ජාන්වී දෙසටත් දෑස විතැන් කළේය.
” ඒ ඉන්නේ නෙත්‍යාගෙ හොඳම යාලුවා ජාන්වී.. අපිට මෙතන ඕනම දෙයක් කතා කරන්න පුලුවන් මිස්ටර් විජේවර්ධන..”
මනුහස්ගේ බැල්ම තේරුම් ගත් වජිරා මල්දෙණිය වහා පිළිතුරු බැන්ඳාය.
” මෙහෙමයි මිසිස් මල්දෙණිය , මයන් මල්දෙණිය එක්ක එකට ඉගෙනගත්තු ටෙහාන් මෙන්ඩිස්ගේ ඉඳලා ඇමැන්ඩ්‍රා පෙරේරා වෙනකන් පස් දෙනෙක් මේ වෙනකොට නැති වෙලා තියනවා. ඒ මරණ ඔක්කොම වෙලා තියෙන්නේ සුයිසයිඩ් විදිහට. ඒ වගේම මයන් මල්දෙණියට වගේම ඇමැන්ඩ්‍රා පෙරේරාටත් මිය යන්න කලින් ඉස්කෝලේ පරණ ෆොටෝස් වගයක් කවුරු හරි එවලා තියනවා. “
“ඒ.. ඒක තමයි මං අහන්නේ කවුරුහරි මේ දරුවන්ව බ්ලැක් මේල් කරලද ?”
වජිරා මල්දෙණිය නැවත වතාවක් කලබල වී සිටියාය.
” මනුස්සයෙක්ට තව කෙනෙක්ව බ්ලැක් මේල් කරන්න ඕනේ නං ඒ කෙනා විශාල වැරැද්දක් කරලා තියෙන්න ඕනේ මිසිස් මල්දෙණිය. මට කියන්න බෑ මෙතන බ්ලැක් මේල් කිරීමක් වෙලා තියනවා කියලා. මොකද මේ ෆොටෝස් කතාව මං දැනගත්තේ මයන් මල්දෙණියගෙයි , ඇමැන්ඩ්‍රා පෙරේරාගෙයි කේස් දෙකේදි විතරයි. හැබැයි මට එක දෙයක් විශ්වාසයක් ඇතුව කියන්න පුලුවන් . මේ සුයිසයිඩ් කේස් පහටම මේ ඉස්කෝලේ හරි , ඒ කාලේ ඉගෙනගත්තු කාගෙම හරි සම්බන්ධයක් තියනවා. “
වජිරා මල්දෙණිය නැවතත් දෑතම ගුලි කර තබා පපුව මත තබාගෙන වේගයෙන් හුස්ම ඉහළ පහළ යැව්වාය.
” අම්මා..!”
වජිරා මල්දෙණියගේ අසලට ආ නෙත්‍යා ඇගේ උරහිසින් අතක් තැබූ අතර එය ඈ සන්සුන් කිරීමට උත්සාහ ගැනීමක් වූවාය.
” එතකොට කොහේ හරි සඳහනක් තියනවද මිස්ටර් විජේවර්ධන මීට කලින් නැති උනු ළමයින්ටත් ඔය ෆොටෝස් ලැබිලා කියලා ?”
” නෑ… ඒක නිසා තමයි මං කලින් කිව්වේ මං මේක අනුමාන කරන්නේ මිස්ටර් මල්දෙණියගෙයි , ඇමැන්ඩ්‍රා පෙරේරාගෙයි කේස් දෙකෙන් විතරයි කියලා . හැබැයි අපි අනිවාර්‍යෙන්ම මීට කලින් සුයිසයිඩ් කරගත්තු අයටත් මෙහෙම ෆොටෝස් මොනාහරි ලැබිලද කියලා හොයලා බලන්න ඕනේ. “
” මිස්ටර් විජේවර්ධනට එතනදි මගෙන් මොනාහරි වෙන්න තියනවද ?”
මනුහස් හිස හරවා වජිරා මල්දෙණිය දෙස බැලුවේය. ඔහුගේ දෑස දිළිසෙමින් තිබුණේය.


