” මට ආරංචියක් ආවා ඔයා මැරි කළා කියලා ?”
තමන් ඉදිරියේ තිබූ සෝෆාවේ හිඳගත් ජාන්වී දෙස බැලූ මනුහස් සිහින් සිනහවක් නඟමින් ඇසුවේය . මනුහස්ගේ පැනයට පිළිතුරු දීමට පෙර ජාන්වීද මඳ සිනහවක් නැඟුවාය .
” හ්ම්ම්.. ඒ උනාට ඒක වැඩි කාලයක් තිබ්බේ නෑ.. “
” ඔහ්.. සොරි ජාන්වී මං එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ. “
” නෑ.. ඒකේ ප්‍රශ්නයක් නෑ… මං මැරි කළේ ප්‍රපෝසල් එකකින්. මැරි කරපු ගමන් කැනඩා ගියා. ඒවා මහ තොරොම්බල් රටවල් මනූ. මිනිස්සුත් එහෙමයි පිටට පේන මිනිස්සු නෙමෙයි ඇතුළින් ඉන්නේ. මං එහෙ හිටියේ අවුරුද්දයි. ඊට පස්සේ මගෙ නැන්දා කෙනෙක් ඉන්නවනේ නිව්සීලන්ඩ් වල. මං එහෙ ගියා. ගිය අවුරුදු පහම මං හිටියේ එහේ. මගෙ මැරේජ් එක ආරංචි වෙච්ච ගොඩක් අයට මං ඩිවෝස් උනා කියන එක ආරංචි උනේ නැත්තේ ඒකයි. “
ජාන්වී නැවතත් මඳ සිනහවක් නැඟුවාය.
” එතකොට ලංකාවට ආවේ .. ? “
” ගිය මාසේ. අප්පච්චි ලෙඩින් මනූ. අයියත් මෙහෙ නෑනේ. අප්පච්චි ලෙඩ උනෙත් මං ගැනම කල්පනා කරලා. තවත් රට රට වල ඉඳන් හම්බ කරලා තේරුමක් නෑ කියලා හිතිච්ච නිසා මං ආයේ ආවා. “
සචින්ද්‍ර පසෙකට වී ජංගම දුරකතනයට මුහුණ ඔබා සිටියේය .
” ඔයා ලඟදිම මැරි කරනවද ?”
” කවුද ..? මං .. ?”
මනුහස් විසල් වූ නෙතින් ජාන්වී දෙස බලා සිටියේය .
” ඔව් .. ඇයි .. ? අර ලේඩි ඔෆිසර්ව නේද මැරි කරන්න ඉන්නේ ?”
මනුහස්ගේ දෑස තව දුරටත් විශ්මයෙන් ඇළලී ගියේය .
” මොන ලේඩි ඔෆිසර්ද ? “
ජාන්වී කුතුහලය පිරි දෑසින් මනුහස් දෙස බලා සිටියේය .
” ඇයි අර මිස් බොතේජු ?”
” කවුද ෂියෝනා .. ?”
පසෙක සිටි සචින්ද්‍ර මහ හඬින් සිනහවක් නැඟූ අතර මනුහස් , ජාන්වී දෙදෙනාම හැරී ඔහු දෙස බැලූහ.
“සොරි සර්.. මට හිනාව නතර කරගන්න බැරි උනා. “
සචින්ද්‍ර තව දුරටත් සිනහවෙමින් පැවසුවේය. සචින්ද්‍රගේ සිනහව දුටු මනුහස්ගේද මුහුණ මත සිනහවක් ඇඳී ගියේය .
” කවුද ජාන්වී ඔය වගේ විහිළු කතා කියන්නේ ?”
” මට නෙත්‍යා කිව්වේ ? ඇයි එහෙම එකක් නැද්ද ?”
” පිස්සුද ? එහෙම කිසිම දෙයක් නෑ. දැන් එයා හිතන් ඉන්නෙත් එහෙමද ?”
” ඔව් ඉතිං .. ඔයා හැසිරිලා තියෙන්නේ එහෙමනේ. මිනිස්සුන්ට පෙන්නන දේ තමයි ඉතිං මිනිස්සු දකින්නේ “
දෙවන වරටත් සචින්ද්‍රගේ මුවින් සිනහවක් පිට වූ අතර මනුහස් හිස ඔසවා ඔහු දෙස ඔරවා බැලුවේය.
” ඔයා නේද අර මේ ඊයේ පෙරේදා යන එන ගමන් මැරි කළේ ..?”
ජාන්වී සිනහවක් මුව තබාගෙනම සචින්ද්‍ර දෙසට හැරුණාය.
” ආ.. ඔව් මිස්.. අපේ සර්රුයි , නෙත්‍යා මැඩමුයි නැත්තං ඒක යන එන ගමන්වත් කරගන්න වෙන්නෑ. “
” ආරංචියි.. ආරංචියි… “
ජාන්වී සචින්ද්‍රගෙන් දෑස ගෙන නැවත මනුහස් දෙසට හරවා ගත්තාය.
” දැන් එතකොට මෙහෙ ඉන්නේ ජාන්වී විතරද ?”
” ඔව්.. මේක මල්දෙණිය ගෲප් එකේ ටිකක් ලොකු පොසිශන් වල ඉන්න අයට දෙන ගෙයක් . මං ලංකාවට එන්න කලින් නෙත්‍යාට කිව්වේ මට කොහෙන්හරි පොඩි ඇනෙක්ස් එකක් හොයලා දෙන්න කියලා. ඒ උනාට ඒකි මට මේ ගේම දුන්නා. “
” හ්ම්ම්.. තියන සල්ලි වලට කරන්න දේවලුත් තියෙන්න එපැයි. “
” ඔයා අදටත් ඉන්නේ තරහෙන් මනූ…”
මනුහස් අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලේය .
” හිත හිත සන්තෝස වෙන්න පුලුවන් දේවල් නෙමෙයිනේ ජාන්වී මට ඉතුරු උනේ ”
” අපිට පේන හැමදේම ඇත්ත නෙමෙයි මනූ… ඔයා හිතනවද නෙත්‍යා හොඳින් ඉන්නැති කියලා ? “
” ඇයි නැත්තේ ? එයා ඒක තෝරගත්තේ එයාට හොඳ හින්දනේ ? එයා තෝරගත්තේ එයාට ඕන ජීවිතේ.. හැමදේම අතෑරලා දාලා යන්න ගියේ ඒකනේ ? එක දවසක් .. මං කියන්නේ එක දවසක් මං ගැන හිතුවනං එයා එහෙම යයිද ජාන්වී ? ඔයාට මං ගැන තේරුම් ගන්න පුලුවන්ද ? “
මනුහස්ට වේගයෙන් සුසුම් හෙළුණේය . අතීත තුවාල යළි යළි පාරා ගැනීමෙන් සිදු වන්නේ වේදනාව තව තවත් උග්‍ර වීමය. ඔහු වහා හිඳ සිටි පුටුවෙන් නැඟිට්ටේය .
” යමං…!”
” නෙත්‍යාගේ අප්පච්චි හිටියේ ලොකු අමාරුවක මනූ.. නෙත්‍යාට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.. “
යන්නට එසවූ අඩිය නැවත ආපස්සට ගත් මනුහස් ජාන්වී දෙසට හැරුණේය.
” ඒ මොකද්ද ඒ..?”
” ඔයාට මතකද එදා අපි ඔක්කොම කතා කර කර ඉන්න වෙලාවක නෙත්‍යාගෙ අප්පච්චි ඇවිල්ලා නෙත්‍යාව අරන් ගියා ? “
මනුහස් කිසිවක් නොපවසා එක දිගට ජාන්වී දෙස බලා සිටියේය.
” කාලයක් තිස්සේ නෙත්‍යාගේ අප්පච්චිගෙ බිස්නස් කඩන් වැටිලා , බැංකු වලින් නඩු දාලා තිබිලා තියනවා. නෙත්‍යා ඒවා දැනගෙන තියෙන්නේ අන්තිම මොහොතේ. බිස්නස් මීටින් එකකට කැන්ඩි ආපු වෙලාවක මයන් නෙත්‍යාව දැකලා තියනවා. ඒ දවස්වලමයි නෙත්‍යා ගැන අහලා ප්‍රපෝසල් එකක් ගෙදරට ඇවිත් තියෙන්නේ. ඒත් නෙත්‍යා දිගින් දිගටම ඒකට බෑ කියපු නිසා නෙත්‍යාගෙ අප්පච්චි ගේ ඇතුළෙම බෙල්ලෙ වැළ දාගන්න ගිහින්. බොහෝම අමාරුවෙන් බේරන් තියෙන්නේ. රටට ලෝකෙට ගෙවාගන්න බැරි ණය ගොඩකට හිර වෙලා හිරේ වැටිලා ලැජ්ජ වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා නෙත්‍යාගේ අප්පච්චි කියලා. ඔයා දන්නවනේ නෙත්‍යාට මල්ලි කෙනෙකුයි , නංගි කෙනෙකුයි හිටියා. දැන් නං ඒ දෙන්නම ලංකාවේ නෑ. ඒ හැමෝගෙම ජීවිත හොඳින් තියන්නයි මනූ නෙත්‍යා මයන්ව කසාද බැන්ඳේ. නැතුව ඔයා හිතන විදිහට මයන්ගේ සල්ලි වලට කෑදර කමේ නෙමෙයි. ඒ කෙල්ල ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කළා. ඒක කවුරු නැතත් මං දන්නවා. මේ ලෝකේ අපිට ඇස් වලට පේන හැමදේම ඇත්ත නෙමෙයි මනූ.. අද නෙත්‍යාගේ අප්පච්චි සෑහෙන්න ලොකු බිස්නස්මන් කෙනෙක්. ඒත් ඔයා දන්නවද කසාද බැඳලා කැන්ඩි වලින් ආ දා ඉඳන් නෙත්‍යා අද වෙනතුරු අප්පච්චිගෙ මූණ බලලා නෑ. මයන්ගේ මරණෙන් පස්සෙත් නෙත්‍යාගේ අප්පච්චි සෑහෙන්න දත කෑවා නෙත්‍යාව මෙහෙන් අරන් යන්න. ඒත් .. නෙත්‍යාමයි මෙහෙ නතර උනේ. “
මනුහස්ගේ දෑත මිට මෙළවී තිබුණේය. දෙකම්මුල් නළියමින් තිබූ අතර දෑත නහර පවා ඉලිප්පී තිබුණේය . ඔහු වැරෙන් අසල තිබූ බිත්තියට මිට මොළවා පහරක් ගැසුවේය .
” මනූ…!”
” සර්..!”
ජාන්වී මෙන්ම සචින්ද්‍රද වහා හිඳ සිටි පුටු වලින් නැඟිට්ටහ.
” යමං… !
මඳ වේලාවක් නොසෙල්වී සිටි මනුහස්ගේ වචනය ගිලිහුණු සැණින් සචින්ද්‍ර නිවසින් පිටතට බැස ජීප් රථය කරා ගියේය .
” මනූ…!”
සචින්ද්‍ර පණ ගන්වන ලද ජීප් රථයට ගොඩ වූ පසුවද ජාන්වී පැමිණ එහි එල්ලුණාය.
” මේ ලෝකේ අපිට පේන හැමදේම ඇත්ත නෙමෙයි මනූ.. ඔයා ඒක කවදහරි තේරුම් ගනියි. “
පොලිස් ජීප් රථය නොපෙනී යන තුරුම බලා සිටි ජාන්වී විසල් හුස්මක් අත හැරියාය.
**********************************************
මහල් නිවාස සංකීර්ණයේ තිබූ පොලිස් නිලධාරියාගේ නිවසේ බැල්කනිය තුළ පෙරළී ගිය හිස් මත්පැන් බෝතලයකි. ඒ හා සමානවම එහි බිම ඇති තවත් මත්පැන් බෝතල් කිහිපයකි. දැවී ගිය , අඩක් දැවී ගිය , නොදැල්වුණු දුම්වැටි කිහිපයකි. ඒ සියල්ල මැද පමණට වඩා බීමත්ව අසිහියෙන් බිම වැටී සිටිනා තරුණයෙකි .
. උසස් අධ්‍යාපන ආයතනයේ අරලිය මල් ගස් මැදින් වැටුණු පඩිපෙළ දිගෙහි සිහින් අත් පටි සහිත කෙටි ගවුමක් හැඳ උඩ පනිමින් දිව එන කුඩා බටු කෙල්ලෙකුගේ දර්ශනය අසිහියෙන් බිම වැටී උන් තරුණයාගේ හදවත තුළ වරින් වර වරින් වර දිගහැරෙමින් තිබුණේය.
” මනූ… ! මනූ…!”
වේගයෙන් දිව ආ තරුණිය ඔහුගේ අතෙහි එල්ලී මුව පුරා සිනහ වූවාය. ඇගේ වටකුරු බෝල දෑස ඔහුගේ රුව සිත් පුරා විඳිමින් දිළිසෙමින් තිබුණේය.
” කොහොමද දන්නේ මං මෙතන කියලා ?”
ඔහුගේ ප්‍රශ්නය මතු වූයේද උතුරනා ආදරණීය හැඟීමක් සමඟමය.
” ඔයා ගැන මං ඇරෙන්න වෙන කවුද දන්නේ මනූ..? “
ඈ තව දුරටත් ඔහුගේ අතෙහි එල්ලී සිනහ නඟන්නට වූවාය.
නමුදු එක් වරම හාත් පස අඳුරු වී ගියේය. එතෙක් අහස පුරා පැතිර ගොස් තිබූ හිරු කිසිවෙකු විසින් හෝ සොරකම් කර තිබුණේය . වේගයෙන් පැමිණි මෝටර් රථයක් තරුණියත් , තරුණයාත් අසල නතර කළේය. ඉන් බැස ගත්තේ දැඩි වංශක්කාරී පුද්ගලයෙක්ය. ඔහු වේගයෙන් ඇවිද විත් නෙත්‍යාගේ අතින් අල්ලා ගත්තාය. ඈ විලාප තබා කෑගැසුවාය.,
” අනේ මනූ.. මාව බේර ගන්න… මාව බේර ගන්න…!”
ඇසිල්ලකින් ඈ ඇද ගොස් නංවා ගත් මෝටර් රථය නොපෙනී ගිය අතර ඒ දෙස බලා කිසිවක් කර ගැනීමට නොහැකිව ගල් ගැසී සිටි තරුණයා ක්ෂ්ණිකව බිමට කඩා වැටුණේය.
අසිහියෙන් බීමත්ව බිම වැටී හුන් පොලිස් නිලධාරියාගේ දෑස එක්වරම විවර වූ අතර ඔහුගේ ළැම වේගයෙන් ඉහළ පහළ ගියේය.


