අදාල කාරණාවට අමතරව තවත් දෑ උමායාගෙන් පිටවීම තමන්ගේ සැලැස්ම සාර්ථක බව මනුහස්ගේ සිත දිගින් දිගටම ඔහුට ඒත්තු ගන්වමින් සිටියේය .
” මගේ ආන්ටි කෙනෙක් ඉන්නවා එයා ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්. එතන බියුටි ට්‍රීට්මන්ට්ස් කරනවා. මං එතනටත් ප්‍රඩක්ට්ස් දැම්මා. ඒ කාලේ තමා ආයේමත් මට ටෙහාන්ව මීට් උනේ. ටෙහාන් නිතර නිතර ඔලුවේ කැක්කුමක් ගන්නවා කියලා ආන්ටිගෙන් ට්‍රීට්මන්ට්ස් ගන්න ඇවිත් හිටියා. ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු දහයකට , දොළහකට පස්සේ ටෙහාන්ව ඒ විදිහට මට හම්බුණේ. ඒ වෙනකොට එයා ජොබ් එක කරන්න පටන් අරන් තිබ්බ මුල. ඊට මාස පහ හයකට පස්සේ අපි මැරි කළා. මට ටෙහාන් ගැනවත් , ටෙහාන්ට මං ගැනවත් අමුතුවෙන් හොයන්න බලන්න දේවල් තිබ්බේ නෑ. අපි පොඩි කාලේ ඉඳලම හොඳට දන්නවා. අපේ පවුල් වල අය උනත් ඒ කාලේ ඉඳන් හොඳටම දන්න කියන අය . ඒ නිසා අපිට දැන අඳුරගන්න කියලා අමුතුවෙන් කාලයක් ඕනෙ උනේ නෑ.. “
මනුහස් නිහඬවම උමායාගේ කතාව අසමින් තේ කෝප්පය තොළ ගෑවේය.
” මිස්ටර් මෙන්ඩිස් ඉස්කෝලේ යන කාලේ කොහොම චරිතයක්ද ?”
” එයා හරි නිශ්ශබ්ද කෙනෙක් මනුහස්. මයන්ලා , ක්‍රිශාන්ලා , ජේඩ්ලා හැමෝම හරි ඇක්ටිව් කොල්ලෝ. ඒ ගොල්ලෝ හැමදේම කළා. හැම ස්පෝර්ට් එකක්ම කළා. ක්ලාස් රූම් එකේ හිටියෙම නැති තරම්. ඒ වගේම ඒ දවස්වල ඉස්කෝලේ මොනාහරි කේස් එකක් ගියොත් ඒකේ මුලම ඔය සෙට් එක හිටියා. මයන්ගේ කොච්චර හොඳ යාලුවෙක් උනත් ටෙහාන් කවදාවත් මයන්ලා තරම් ඇක්ටිව් කෙනෙක් උනේ නෑ. එයා කවදාවත් පීරියඩ්ස් කට් කරලා නෑ. අපි අර හරි හොඳ ළමයෙක් කියන්නේ. ටෙහාන් අන්න ඒ වගේ. එයා මාර බ්‍රයිට්. හොඳට ඉගෙනගන්න පුලුවන් . ඉස්කෝලෙන් අවුට් වෙලා හැමෝම වගේ කාගෙ කාගෙහරි සපෝර්ට් එකෙන් ගොඩ ගියාට ටෙහාන් එහෙම නෑ . ටෙහාන් ඉගෙනගත්‍තා. කැම්පස් ගියා. ඩිග්‍රි එක ගත්තා. එයා අඩුම එයාගේ තාත්තගෙන්වත් , අයියාගෙන්වත් සපෝර්ට් එකක් ගත්තේ නෑ. ටෙහාන් නැති වෙද්දි අපි හිටිය අපාර්ට්මන්ට් එක පවා එයා තමන්ගෙම සල්ලි වලින් ගත්තු එකක්. “
උමායා අතේ තිබූ හිස් තේ කෝප්පය ටීපෝව මත තැබුවාය. ඈ සිටියේ බොහෝ දුර ඈත මතකයන් නැවත නැවත අවුස්සා උඩට ගැනීමේ බලවත් ප්‍රයත්නයකය.
” ඉස්කෝලේ කාලෙදි මේ කට්ටිය එකතු වෙලා කරපු මොකක් හරි දෙයක් , එහෙම නැත්තන් උමායලගේ ක්ලාස් එකේ අය එකතු වෙලා කරපු මොකක් හරි වැරදි දෙයක් වගේ මතකයක් තියනවද ?”
” අනේ එහෙම දේවල් නෑ මනුහස්. ඒ ඒ කාලේදි ඒ ඒ වයස් වල කොල්ලො කෙල්ලො කරන දේවල් ඇරෙන්න අපෙන් එහෙම වැරදි දේවල් වෙලා නෑ. මනුහස් ඇයි එහෙම අහන්නේ ? මේ වෙන දේවල් වලට ඉස්කෝලේ කවුරුහරි සම්බන්ධයි කියලා හිතනවද ?”
” මං එහෙම්මම හිතන්නෑ උමායා. හැබැයි මට සැකයක් තියනවා. ඔයාලගේ ක්ලාස් එකේ හිටපු අයගෙන් මේ වෙද්දි පස් දෙනෙක්ම නැති වෙලා. ඒ මරණ පහම සුයිසයිඩ් . හ්ම්ම්….! මිස්ටර් මෙන්ඩිස් නැති වෙන්න කලින් මොනාහරි ෆොටෝස් , ලියුම් වගේ දේවල් මිස්ටර් මෙන්ඩිස්ට ඇවිත් තිබුණද ?”
උමායා එක දිගට මනුහස් දෙස බලා සිටියාය.
ටෙහාන් නැති වෙන්න මාස තුනකට කලින් මං ඕස්ට්‍රේලියා ගියා මගේ අම්මගේ අක්කා ගාවට. ඒ කියන්නේ මගේ ලොකු අම්මා. මගේ ලොකු අම්මා මැරි කරලා හිටියේ එහෙ කෙනෙක්ව. ඒ අන්කල් හදිසියේ නැති උනා. ලොකු අම්මට දරුවො නෑ. ඒ නිසා මම පුතා එක්ක එයා ගාවට ගියා. මට හිතුණා ටෙහාන්වත් එහෙට ගෙන්නගෙන දිගටම එහෙ ඉන්න විදිහක් හදාගන්න . ඒත්.. එයාට ඒකට වැඩි උනන්දුවක් තිබ්බේ නෑ. “
මනුහස් දෑස සිහින් කරමින් උමායා දෙස බැලුවේය.
” මිස්ටර් මෙන්ඩිස් තමන්ගේ අයියට යැව්ව කියන වට්ස්ඇප් මැසේජ් එකේ තියෙන්නේ එහෙම කතාවක් නෙමෙයි නේද ?”
උමායා යටිතොල් පට සපා ගනිමින් බිම බලා ගත්තාය.
” ඒ මැසේජ් එකේ තියෙන්නේ මොනාද කියලා මම දන්නෙත් නෑ මනුහස්. එයා ඒකේ කියලා තියෙන්නේ මං එයාගෙන් වෙන්වෙලා දරුවා අරන් රට ගියා කියලා. අපි දෙන්නා අතරේ කවදාවත් එහෙම දෙයක් ගැන කතා බහක්වත් ඇති වෙලා නෑ. ටෙහාන් කියන්නේ හොඳ මනුස්සයෙක්. එයාගෙන් මටවත් , මට එයාගෙන්වත් කිසිම වරදක් වෙලා නෑ. යන්තං හරි අපි දෙන්නාගේ අදහස් නොගැලපුණේ මං එයාට ඕස්ට්‍රේලියා යන්න කතා කරපු ගමනේ විතරයි. එයා කිව්වේ එයාට ලංකාවේ ඉන්න ඕනේ කියලා. ඒ කතා බහ උනත් දවසක් දෙකක් ඇරෙන්න ඊට වඩා දුර ගිහින් නෑ. මට තේරෙන්නෑ මං දරුවා අරන් එයාවත් දාලා ගියා , ඒ දුකටයි එයා සුයිසයිඩ් කරගන්නේ කියලා එයා මොන හේතුවකට කිව්වද කියලා ?”
උමායාට ඉකි ගැසුණාය. ඇගේ දෙනෙතින් කඳුළු වැල් පේළියක් ගලා ගිය අතර නෙත්‍යා වහා ඇගේ අතකින් අල්ලා ඈ සැනසවීමට උත්සාහ දැරුවාය.
” මනුහස්…!”
මඳ වේලාවක් ගත වන තුරුම කඳුළු හෙළූ ඈ හදිසියේ යමක් මතක් වූ පරිද්දෙන් හිස ඔසවා මනුහස් දෙස බැලුවාය.
” ඔයා ෆොටෝස් වගයක් ගැන ඇහුවේ මොනවද ?”
” මං ඇහුවේ මිස්ටර් මෙන්ඩිස් නැති වෙන්න ළං වෙලා එයාට හරි උමායාට හරි ඉස්කෝලේ කාලේ ෆොටෝස් හරි , ඉස්කෝලේ කාලේ සම්බන්ධ ලියුම් හරි මොනා හරි ලැබුණද කියලා ? ”
” ටෙහාන් නැති වෙන්න මාස තුනකට කලිනුයි මං මෙහෙන් ගියේ . මං මෙහෙට ආවෙත් ටෙහාන්ගේ මරණේ දැනගෙන. මං දැනුවත්ව එහෙම… “
උමායා කතාව මඳකට නවතා වේගයෙන් ඇසිපිය ගැසුවාය.
” මට ටූ මිනිට්ස් දෙන්න මනුහස්…”
” ශුවර්..!”
ඈ වහා හිඳ සිටි සෝෆාවෙන් නැඟිට තරප්පු පෙළ දිගේ ඉහළට ගියාය. මනුහස් නැවතත් තේ කෝප්පය මුවට ළං කරමින් නෙත්‍යා දෙස බැලුවේය. උමායා ගිය දෙස බලා සිටි නෙත්‍යාගේ දෑස මනුහස් වෙත එක්වරම විතැන් වුවද තමා දෙස එක එල්ලේ බලා සිටින තරුණයාගේ උවනින් දෑස වහා ඉවතට ගත් නෙත්‍යා වෙනතක් බලා ගත්තාය. තේ කෝප්පයේ අන්තිම උගුරත් බී අවසන් කළ මනුහස් එය නැවත ටීපෝව මතින් තැබුවේය .
” ඊයේ රෑ බීපු බකාඩියෙවත් මෙච්චර මත් ගතියක් තිබ්බේ නෑ. “
නෙත්‍යා නැවතත් තිගැස්සී මනුහස් දෙස බලා වහා ඉවත බලා ගත්තාය.
” මනුහස් …!”
ජායාරූප ඇල්බම් කිහිපයක් අතේ රැගෙන පැමිණි උමායා වහා මනුහස් අසල සෝෆාවේ ඉඳ ගත්තාය.
” ටෙහාන් නැති උනාට පස්සේ මං ආයෙම ලොකු අම්මා ගාවට ගියා. අයියා අපාර්ට්මන්ට් එක විකුණන්න දැම්මා. මං ආයේ ආවේ මගේ බිස්නස් එක මෙහෙ බලා ගන්න හරියට කෙනෙක් නැති නිසා. දැන් මාසෙකට විතර කලින් අපි අපාර්ට්මන්ට් එකේ තිබ්බ බඩු වගයක් ආපහු අරන් ඇවිත් ඒ ටික අස් කරනකොටයි මට මේ ෆොටෝ එක හම්බුණේ. ඕක තිබ්බේ ටෙහාන්ගේ බඩු එක්ක. “
ඇල්බම් අතර තිබූ කහ පැහැ කවරයක් උමායා මනුහස් දෙසට දිගු කළ අතර මනුහස් එය තුළ තිබූ ජායාරූපයක් අතට ගත්තේය. එය පෙර පරිදිම පාසල් සමයේ ගත් ජායාරූපයකි. නමුදු මෙහි සිටියේ නම දෙනෙකු පමණි . පළමුව මයන් මල්දෙණියගේ හා ඇමැන්ඩ්‍රා පෙරේරාගේ නිවසින් ලැබුණු සමූහ ජායාරූපයේ පාසල් ළමුන් විසි හත් දෙනෙකු සිටියද මෙහි සිටින්නේ නම දෙනෙකු පමණක් වීම නැවත වතාවක් මනුහස්ගේ කුතුහලය වැඩි කර දැමුවේය.
” ඇයි උමායා මේ ෆොටෝ එක විශේෂයි කියන්නේ ?”
” ඔය ෆොටෝ එක මට හම්බුණේ ටෙහාන්ගේ බඩු ගොඩක් ඇතුළෙදි කියලා කිව්වනේ. සාමාන්‍යයෙන් අපි ෆොටෝස් දාන්නේ ඇල්බම් වල. අපි දෙන්නගෙම ඉස්කෝලේ කාලේ ගත්තු ෆොටෝස් තියෙන්නේ මේ ඇල්බම් එකේ. “
උමායා එසේ පවසමින් ඇල්බමයක් මනුහස් ඉදිරියේ තිබූ ටීපෝව මත තැබුවාය.
” මේක ටෙහාන් ඇල්බම් එකකින් ගලවලා ගත්තු එකක්ද කියලා බලන්නත් එක්ක මං ඇල්බම් එක බැලුවා. ඒත් ගලවපු තැනක් මට හොයාගන්න උනේ නෑ. අනික මං ගියාට පස්සේ ජීවිතේ නැති කරගන්න තරම් ස්ට්‍රෙස් එකක එයා හිටියානං මේ පරණ ෆොටෝස් බල බල ඉන්න කාලයක් එයාට තියෙන්න නැතුව ඇති. අනික ඕක තිබ්බෙත් ටෙහාන්ගේ ඔෆිස් රූම් එකේ. ඒ නිසා මං හිතන්නේ මනුහස් අහපු දේට ඕක ගැලපෙනවා. “
” ඒ කියන්නේ මිස්ටර් මෙන්ඩිස් නැති වෙන්න කිට්ටුවයි මේක ලැබිලා තියෙන්නේ ? “
උමායා මනුහස් ඇසූ පැනයට ඔව් යැයි කීමට හිස සැලුවාය.


