BE SILENT – 34

0
796

” මනුහස් දන්නවද රෙඩ් චිලී එක . ? මවුන්ට් ලැවීනියා වල තියෙන්නේ . ටැමී මේ දවස්වල ඉන්නේ ඒ නයිට් ක්ලබ් එකේ කියලා මට පොඩි ආරංචියක් ආවා. “

උමායාගේ දුරකතන ඇමතුම කනේ තබා ගත් මනුහස් එයට පිළිතුරු බඳිමින් සිටියේය. 

” මං දන්නවා උමායා තැන. “

” මනුහස් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. ටැමී කියන්නේ සාධාරණ මිනිහෙක් නෙමෙයි. මිනිහට පොලිස් කේසස් ගොඩක් තියනවා. මං හිතන්නේ මේ වෙද්දි නඩු දෙක තුනකුත් තියනවා. මනුහස් අයිපී කෙනෙක් නිසා ටිකක් පරිස්සමින්..”

මනුහස්ගේ මුවට සමච්චල් සිනහවක් නැඟුණේය. 

” පරිස්සම් වෙන්න කිව්වේ මටද උමායා ?” 

මනුහස් එසේ පවසනවාත් සමඟම ඇඹුල් කරගත් මුහුණින් යුතුව ෂියෝනා ඔහුගේ නිල කාමරයට ඇතුළු වූවාය. 

” නෑ මනුහස් , ටැමී කියන්නේ ලේසියෙන් කාටවත් නැමෙන මනුස්සයෙක් නෙමෙයි. මනුහස්ට අපි එක්ක හොඳින් කතා බහ කළා වගේ ටැමී එක්ක කතා කරන්න බැරි වෙයි. මං ඒකයි එහෙම කිව්වේ . “

” හ්ම්ම්.. මං ඒ ගැන බලාගන්නම් උමායා. “

මනුහස් ඉදිරියේ තිබූ පුටුව ඇද හිඳගත් ෂියෝනා දෑස බිමට බර කරගෙන මනුහස්ගේ කතාවට හොඳින් සවන් දී සිටියාය .

” මනුහස් , මට තව දෙයක් ඔයාගෙන් අහන්න තියනවා “

” අහන්න උමායා “

ෂියෝනා දෙස නෙත් කොනින් බැලූ මනුහස් ඇගේ සවන ඇත්‍තේ ඇමතුමෙහි බව හොඳින් දැන ගත් අතර පරීක්ෂාවෙන් වචන හැසිරුවේය. 

” ටෙහාන්ට ඇවිත් තිබිලා මට හම්බුණු ෆොටෝ එකේ හිටියේ නම දෙනෙක් විතරක් උනාට මයන්ටයි , ඇමැන්ඩ්‍රාටයි ඇවිත් තියන ෆොටෝස් වල අපි ඔක්කොම ඉන්නවා. ටෙහාන්ටත් ඒ විදිහෙම ෆොටෝස් ඊට කලින් ආවද කියන්න මං දන්නෑ. ඒත්.. මට ඔයාට කියන්න මඟ ඇරිච්ච දෙයක් තිබුණා. මං මෙහෙන් ගියේ මාසෙකින් වගේ ආයේ එන්න බලාගෙන. ඒත් ටෙහාන්මයි මං එන එක නැවැත්තුවේ . එයා කෝල් එකක් ගත්තු හැම වෙලාවකම කිව්වේ මාස තුනම ඉඳලා එන්න කියලා. ඒ වගේම ඒ ගෙවිච්ච කාලේ ඇතුළේ ටෙහාන් කලින්ට වඩා ගොඩක් වෙනස් කියලා මට දැනුණා. එයා නිතර නිතර කෝල් එකක්වත් ගත්තේ නෑ. වීඩියෝ කෝල් වලට ආවෙම නැති තරම්. මගේ ලොකු අම්මා අන්කල් නැති වෙච්ච ගමන් සෑහෙන්න අසනීප උනා. මට එයාගේ වැඩත් එක්ක ටෙහාන්ගේ වෙනසට හේතුව හොයාගන්න බැරි උනා. ටෙහාන් නැති උනේ මං ගිය එකට දුකින් කියලා දැනගත්තම මට මුලින්ම දැනුණේ කේන්තියක්. මොකද හීනෙකවත් තිබුණේ නැති දෙයක් ඒක.  ටෙහාන්ගේ පවුලේ අය මායි , ටෙහානුයි ගැන දන්න නිසා හොඳට ගියා. නැත්තන් ඒ මිනිස්සුත් මං ගැන වැරදියට හිතනවා. “

උමායා මඳකට කතාව නතර කළාය. ඇගේ කටහඬ වෙව්ලන ස්වරයක් මනුහස්ට දැනුණේය. 

” ලස්සනට ජීවිතේ ගොඩදා ගෙන තිබ්බ මනුස්සයට එක පාරට උනේ මොකද්ද කියලා මට තාම හිතාගන්න බෑ. ඒත්.. ඔයා ඊයේ ඇවිත් ගියාට පස්සේ මට හිතෙනවා ඇත්තටම මේ දේවල් සිද්ධ වෙන්නේ අපේ ඉස්කෝලේ , අපේ ක්ලාස් එකේ හිටපු අය වටේ විතරද කියලා ? සමහරවිට ටෙහාන්ටත් මයන්ටයි , ඇමැන්ඩ්‍රාටයි ආවා වගේ අපේ ගෲප් ෆොටෝ එකේ ෆොටෝ එකක් එන්න ඇති. ඒකෙන් මොකක් හරි හානියක් වෙනවා කියලා දැන ගත්ත නිසා එයා ඒක අයින් කළා වෙන්නත් පුලුවන් . එයාට වගේම මටත් ඒකෙන් ත්‍රෙට් එකක් වෙයි කියලා බයට එයා මං එන එක පරක්කු කළා වෙන්න බැරිද ? මේ වෙන දේවල් වෙන්නේ අපේ ක්ලාස් එකේ අය වටා නං ඒ ත්‍රෙට් එක මටත් එන්න පුලුවන් නේද ?” 

මනුහස් නිහඬවම ෂියෝනා දෙස බැලුවේය. ඈ එවර තම ජංගම දුරකතනය වෙත දෑස අලවා ගෙන සිටියාය. 

” උමායා .. , මං කියන දේ හොඳට අහගන්න. ඔයාට ඕනම දෙයක් ඕනෙම වෙලාවක මාත් එක්ක කතා කරන්න පුලුවන් . පොඩි හරි සැකයක් , විශේෂ දෙයක් , අලුත් දෙයක් දැනගත්තු ගමන් හරි , මතක් උනොත් හරි ඔයා ඒ වෙලාවෙම මට ඒක කියන්න ඕනේ. ඒක කොච්චර නරක දෙයක් උනත් කමක් නෑ. අපි මේ වෙන දේවල් පුලුවන් ඉක්මනට නතර කරන්න බලමු.   ඔයාට මං ගැන සම්පූර්ණ විශ්වාසය තියන්න පුලුවන් . අයිම් විත් යූ.. ඩෝන්ට් වොරි..” 

” තැන්ක් යූ මනුහස් , තැන්ක් යූ සෝ මච්..!” 

” ඕකේ.. උමායා බායි…!” 

” බායි මනුහස් , ගෝඩ් බ්ලෙස් යූ…!” 

දුරකතනය පසෙකින් තැබූ මනුහස් ඉදිරියේ හිඳ සිටින ෂියෝනා දෙස බැලුවේය . ඈ කිසිදු වෙනසක් නොමැතිව දුරකතනයට මුහුණ බර කරගෙන සිටියාය . මනුහස් තවත් මොහොතක් ඈ දෙස බලා සිටි අතර ඈ සෙලවීමකුදු නොමැතිව දුරකතනය දෙසටම ඇලී සිටියාය. ෂියෝනාගේ අසලට අත ගෙන ගිය මනුහස් සෙමින් මේසයට තට්ටු කළේය. නමුත් ඈ මඳකට හෝ හිස නොඔසවා දිගටම මුහුණ දුරකතනය වෙතම තබා සිටියාය. හිඳ සිටි පුටුවෙන් මඳක් ඉදිරියට ආ මනුහස් ෂියෝනාගේ අතින් අල්ලා ගත්තේය. 

“ෂියා … මොකෝ…?” 

ඈ එවරද කිසිවක් නොපවසා හිටි වනම සිටි අතර තවත් ඉදිරියට ආ මනුහස් ඇගේ නිකටින් අල්ලා තමා දෙසට මුහුණ හරවා ගත්තේය. ෂියෝනාගේ දෑස කඳුළින් පිරී ගොස් තිබූ අතර ඒ දුටු මනුහස්ගේ දෑස පුදුමයෙන් වෙළී ගියේය . 

” ෂියා.. මොකෝ.. කියනවකෝ.. තමුසෙට කවුරුහරි මොනා හරි කිව්වද ?” 

නැත යන්නට හිස සෙළ වූ ෂියෝනා සුරුස් ගා නාසය උඩට ඇද්දාය .

” ඔයා ඊයේ කොහෙද ගියේ ?” 

” මං ගිය තැන කියන්න කලින් තමුසෙ අඬන්නෙ මොකද කියනවකෝ..?” 

” කවුද අනේ ඇඬුවේ ? පිස්සුද ඔයාට ?” 

මනුහස් රෞද්‍ර බැල්මක් මුහුණට නඟා ගෙන ෂියෝනා දෙස බලා සිටියේය. 

” ඊයේ කොහෙද ගියේ මනූ? ” 

” වැඩකට “

” එතකොට දැන් කතා කළේ කවුද ? බලන්න ගිය මනමාලිද ?” 

මනුහස් එවර රෞද්‍ර බැල්ම පසෙකලා මුව ඇද කළේය .

” නෑ ඉතිං. බය වෙන්නෙපා, මං ඕන දේකට ඉන්නවා කියලා කිව්වේ. ඒකයි ඇහුවේ “

මනුහස් දෑස ඉවතට ගෙන මේස ලාච්චුවේ හැර එහි තිබූ ලිපි ගොනුවක් නිහඬවම මේසය  මතින් තැබුවේය. 

” ඊයේ මීටින් එකේදී දසනායක ලෙඩ ගොඩක් ඇද්දා ඔයා නැති නිසා. “

” ඌ තමුසෙට මොනවද කිව්වේ ? ” 

” මට මොනා කියන්නද  ? ඒ යකා වැරදි කිව්වේ ඔයාගේ. කවදාවත් වෙලාවකට මීටින් එකකට එන්නෑ. කරන ඉන්වෙස්ටිගේශන් මොනවද කියලා දන්නෑ. කොයි මොහොතකවත් ස්ටේශන් එකේ නෑ..”

ෂියෝනා දිගටම කතා කරමින් සිටි අතර මනුහස් ලිපි ගොනුවට දෑස බර කරගත්තේය. 

” ඇත්තටම ඔයා මොනවද මනූ මේ කරන්නේ ? දැන් කාලෙක ඉඳන් ඔයා යන තැනක් නෑ  , එන තැනක් නෑ. ඔයාලා මටත් හොරෙන් මොකක් හරි කේස් එකක් කරනවද ?”

” මොන කේස් එකක්ද ?” 

” නිකන් බොරු කියන්නෙපා. ඊයේ අච්චර දසනායකකාරයා ඔයාට විරුද්ධව දේවල් කියද්දි ලොකු සර් එක වචනයක් කිව්වේ නෑ. ඔක්කොම ටික අහන් ඉඳලා අන්තිමට දසනායකට කිව්වා මනුහස් දැන් ඉන්න තැන මං දන්නවා. මනුහස් කරන්නේ මොනවද නැත්‍තේ මොනවද කියන්න මම දන්නවා. දසනායක මනුහස් කියන කරන දේවල් ගැන ප්‍රශ්නයක් හදාගන්න එපා කිව්වා. ඒක ඇත්ත නං ඔයාලා මටත් හොරෙන් මොකක් හරි ඉන්වෙස්ටිගේශන් එකක් කරනවා. මං හරිනේ..?” 

 ” ෂියා.. , නිකන් බොරුවට පැනික් නොවී ඉන්න. හංගලා කරන්න තරං දෙයක් නෑ..”

” නෑ.. නෑ.. නෑ.. මොනවමහරි තියනවා. එක්කෝ අර ඊයේ බලන්න ගිය මනමාලී කියන්න ඇති අර පොලිස්කාරී එක්ක වැඩිය ඇයි හොඳයි තියාගන්න එපා කියලා. “

මනුහස් වහා ෂියෝනා දෙස බැලූ අතර ඇගේ මුහුණ රත් පැහැ ගැන්වී තිබුණේය. 

” විකාර කියවන්නෙපා ෂියා.. මගේ ජීවිතේ අරක කරන්නෙපා , මේක කරන්නෙපා කියලා අණ දෙන මිනිස්සු නෑ. ඉස්සරහටත් එහෙමයි. මොනාද මේ කියවන්නේ ? නිකන් ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් වගේ..?” 

ෂියෝනා රතු කරගත් මුහුණින් දිගටම ඉවත බලා සිටියාය. මනුහස් ඉදිරියේ තිබූ ලිපි ගොනුව වසා දමා එක දිගට ෂියෝනා දෙස බලා සිටියේය.

” ෂියා.. කෑවද ?”

මනුහස්ගේ පැනයට පිළිතුරක් නොලැබුණේය. 

” ෂියා.. කෑවද ?” 

ඔහු යළිත් දෙවන වරටත් පළමු පැනයම ඇසුවේය. 

” නෑ.. “

ෂියෝනාගේ පිළිතුර ඉවත බලාගෙනය. 

“යං කන්න , බඩගිනියි. “

මනුහස් එසේ පවසා දුරකතනයද සාක්කුවේ රුවා ගනිමින් හිඳ සිටි අසුනෙන් නැඟී සිටියේය. 

” ඕන්නැ . මට බඩගිනි නෑ..”

” ඒ උනාට මට බඩගිනියිනේ. මං කනකන් ලඟට වෙලා වාඩි වෙලා ඉන්නවා. “

මනුහස් එසේ පවසා ෂියෝනාගේ අතින් අල්ලා ඈව බලෙන් මෙන් නැඟිටුවාගෙන නිල කාමරයෙන් පිටතට යෑමට දොර හැරියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here