BE SILENT – 36

0
2563

කිසිවෙකුගේත් හඬකට කන් නුදුන් නෙත්‍යා වහා සෝෆාවේ හිඳ සිටි මනුහස් දෙසට හැරුණාය. 

” ඔයාට අමාරුද ?” 

මනුහස් හිස සළා නැත යන්න පැවැසුවද ඔහුගේ දෑස වට කිහිපයක්ම නෙත්‍යාගේ කලබලයෙන් බර වී තිබෙන වටකුරු දෑසත්  , මුහුණත් අතර දිව ගියේය.

ඒ ක්ෂණයෙන්ම රැස්ව සිටි පිරිසට අත පය දිගු කර බැණ වදිමින් සිටි පුද්ගලයාද යළිත් පැමිණ මනුහස් අසල ළං වී ඇසුවේය.

” බොස් .. අවුලක් නෑනේද ? මේ අපේ උන් දන්නැද්ද ? මේ වගේ තැන් වලට එන්නෙම කරදරකාරයොනේ බොස්. දවස් ගාණේ එකෙක්ව සෙට් වෙනවමයි. ඒකයි පොඩ්ඩක් මේ.. අපේ උන් කලබල වෙලා තියෙන්නේ. “

ඔහු එසේ පවසා නැවතත් සේවකයන් පිරිසට අතින් පයින් යම් යම් දේ පැවසුවේය. ඔහුගේ විධාන ඇසුණු පිරිස කඩි ගුළක් ඇවිස්සුවාක් මෙන් එහා මෙහා දිව ගිය අතර එකෙකු ගෙනා අයිස් කැට සහිත කවරයක් ඔහු මනුහස්ගේ අතට දුන්නේය. ඔහු එය රැගෙන හිස පසුපසට වරින් වර තද කර  ගත්තේය .

” අවුලක් නෑ.. මේ ටැමීද ?” 

” ඔව් බොස්.. !” 

” මං ආවේ තමුන් හම්බෙන්න. “

” කියන්න බොස් , කියන්න. මල්දෙණියලා වෙනුවෙන් පපුව උනත් දෙන මිනිහෙක් මං. නංගි කොක්ටේල් එකක් ගේන්නද ? “

ඔහු මනුහස් දෙසින් වහා දෑස ඉවතට ගෙන නෙත්‍යා දෙස බැලුවේය. 

” එපා මුකුත් එපා..”

නෙත්‍යාගේ දෑස රැඳී තිබුණේ මනුහස් අසල වුවද ඇගේ කටහඬෙහි තිබූ කෝපය කලබල වී සිටි ටැමී හොඳින් වටහා ගත්තේය . ඒ අනුව ඔහු නැවත වතාවක් සේවක පිරිස දෙසට රෞද්‍ර බැල්මක් හෙළුවේය. 

 උඹලා පලයල්ලා දැන්… “

රැස්ව සිටි සේවකයන්ට එසේ පැවසූ ඔහු ඔවුන් අසල ටීපෝව මත තිබූ අධික මිලැති මත්පැන් බෝතලයක් විවර කළේය. ඉන් පසුව ඉක්මනින් එය වීදුරුවකට දමා මනුහස් වෙත පෑවේය. මනුහස් උගුරට දෙකට එය පානය කර හිස් වීදුරුව ටීපෝව මත තබා පසෙක අසුන් ගෙන සිටි නෙත්‍යා දෙසට බැල්මක් හෙළුවේය . මනුහස්ගේ අතින් මත්පැන් වීදුරුව ගත් ටැමී යළිත් එය පුරවමින් සිටි අතර ඒ ඇසිල්ලෙන් නෙත්‍යා දෙස බැලූ මනුහස් තොල් දෙක උල් කරමින් ඇයට හාදුවක් පා කළ අතර ” ආහ් ..” හඬක් නංවමින් නැවතත් පැළුණු දෙතොළ ඇයට පෙනෙන්නට මහපටැඟිල්ලෙන් පිරි මැද්දේය. ඇසිපිය හෝ ගැසීමට පවා සිහියක් නොමැතිව මනුහස් කළ ක්‍රියාවට ගල් ගැසී ගිය නෙත්‍යා වහා පියවි සිහියට පැමිණ ඉවත බලා ගත් අතර මනුහස් යළිත් ටැමී විසින් ඔහු වෙත පෑ මත්පැන් වීදුරුව අතට ගත්‍තේය . 

” මං මෙතන මිසිස් මල්දෙණිය ඉදියි කියලා බලාපොරොත්තු උනේ නෑ. “

මනුහස් දිගටම ඇය වෙත දෑස රඳවමින් මත්පැන් වීදුරුව තොළ ගෑමට පටන් ගත්තේය. 

” ඇත්තම කියනවනං මේ කල්බ් එක මයන්ගේ. ඒක වැඩිය කිසිම කෙනෙක් දන්නෑ. මං මේ මල්දෙණිය ආන්ටිගේ ලඟම හිතවතෙක් කිව්ව නිසයි , දැන් මෙතන නංගිත් ඉන්න නිසයි ඒ කාරණා දෙකම සලකලා ඒක කිව්වේ. නැත්තන් මේක මල්දෙණියලගෙ කියන කාරණේ අපි පිටට දෙන්නෑ. “

නෙත්‍යා වෙනුවට පිළිතුරු ලබා දුන්නේ ටැමීය. 

” නංගි මෙහෙට ලේසියෙන් එන්නෑ. හදිසි කාරණයකට මාව මුණ ගැහෙන්න ආවේ කියලා කිව්ව නිසා මොකද්ද කාරණේ කියලා අහන්න වාඩි උනා විතරයි මේ. “

ටැමී නෙත්‍යා දෙසත් මනුහස් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් එසේ පැවසුවේය. නෙත්‍යා පිළිබඳව තම හදවත තුළ වැරදි චිත්‍රයක් මැවීම වැළක්වීම සඳහා ටැමී බොහෝ සෙයින් උත්සාහ කරන ආකාරයක් මනුහස්ට දැනුණේය. 

කිසිවක් නොපැවසූ මනුහස් හිස් කළ මත්පැන් වීදුරුව නැවත ටීපෝව මතින් තැබුවේය. 

” මේ.. මං ආවෙත් .. මිස්ටර් විජේවර්ධන ආපු කාරණේටම තමා. “

ටැමී දෙස හෝ මනුහස් දෙස හෝ නොබලාම නෙත්‍යා මුහුණ බිමට බර කරමින් පැවසුවාය. 

” මිසිස් වජිරා මල්දෙණිය මේ වැඩේ බාර දුන්නේ මට. ඇයි මේ මිසිස් මල්දෙණිය මට මගේ රාජකාරිය කරන්න නොදී මෙහෙම අනවශ්‍ය ගමන් එන්නේ ?” 

” මං හිතන්නේ ඒක අනවශ්‍ය ගමනක් නෙමෙයි.  මයන්ගෙන් පස්සේ මේ හැමදේකම අයිතිය තියෙන්නේ නංගිට. කමක් නෑ .. කමක් නෑ.. දෙන්නම ආවේ එකම කාරණේට නං අපි ඒ කාරණේ ගැන කතා කරමු.  බොස් මොකටද මාව මුණ ගැහෙන්න ආවේ.. ?” 

ටැමී කල් නොගෙනම මනුහස් දෙසට හැරුණේය .

” මයන් මල්දෙණිය , ටෙහාන් මෙන්ඩිස් , ඇමැන්ඩ්‍රා පෙරේරා එතකොට ටැමී ඔයාලා ඔක්කොම එකම ක්ලාස් එකේ ඉගෙනගත්තු අය කියලා මං දන්නවා. මට ඒ කාලේ පොඩි විස්තර ටිකක් ඕනේ. “

” ඉස්කෝලෙන් අස් වෙලත් දැන් අවුරුදු විසි පහක් විතර වෙනවනේ.. ?” 

ටැමීගේ මුහුණේ ඇතිවූයේ නොරිස්සුමක් බව මනුහස් හොඳින් තේරුම් ගත්තේය . නමුත් ඒ බව නොපෙන්වූ ටැමී  ටීපෝව මත තිබූ රන් පැහැ කුඩා පෙට්ටියක් විවර කරමින් එය මනුහස් දෙසට දිගු කළ අතර මනුහස් එහි තිබූ දුම්වැටියක් ගෙන මුවේ රුවා ගත් අතර ටැමී වහා පසෙක තිබූ ලයිටරය ගෙන එය දැල්වූයේය . දුම්වැටියෙන් උගුරක් උරා බිව් මනුහස් ඉන් දුම් වළළු කිහිපයක් මුදා හැර යළිත් ටැමී දෙසට හැරුණේය. 

” ටෙහාන් මෙන්ඩිස් , ක්‍රිශාන් පීරිස් , අසංග සුදේශ් , මයන් මල්දෙණිය , ඇමැන්ඩ්‍රා පෙරේරා. මේ හැමෝම ටැමීලා එක්ක එකට ඉස්කෝලේ එක ක්ලාස් එකේ ඉගෙනගත්තු අය. මේ හැමෝම මැරුණේ සුයිසයිඩ් වලින්. ඒවා සුයිසයිඩ්ම නෙමෙයි , කවුරුහරි වක්‍රාකාරයෙන් කරපු මිනීමැරුම් කියලා මං කිව්වොත් ? ඉස්කෝලෙ කාලේ වෙච්ච මොකක් හරිම සිද්ධියක් මේ හැම මරණෙකටම සම්බන්ධයි කියලා මං ටැමීට කිව්වොත් ? “

තිගැස්සී ගිය ටැමී අතින් ඔහු පුරවමින් සිටි මත්පැන් වීදුරුව ටීපෝව මත හැළී ගියේය. 

” මො.. මොකද්ද බොස් කිව්වේ ..? අපේ හිටපු කීපදෙනෙක් නැති උනා තමයි.. එහෙමයි කියලා මේ.. ?”

” නිකමට හිතුන්නැද්ද ටැමී , මේ වෙන දේවල් වල සම්බන්ධයක් ඇති කියලා ? මිනිස්සු මැරෙනවා. ඒක හරි. හැබැයි එකම ඉස්කෝලේ එකම ක්ලාස් එකේ හිටපු හොඳම යාලුවෝ එකා දෙන්නා මෙහෙම සුයිසයිඩ් වලින් විතරක්ම නැති වෙනකොට නිකමට හරි සැකයක් හිතුන්නැද්ද ? අනික මේ මැරෙන වයසත් නෙමෙයිනේ. ?” 

ටැමී නිහඬවම මොහොතක් බලා සිටියේය. ඉන්පසුව වහා තමා වෙත පුරවා ගත් මත්පැන් වීදුරුව මුවේ හළා ගත්තේය. 

” මනුහස් බොස් හිතන්නේ කොහොමද ? ඇයි එහෙම වෙන්නේ ?” 

ටැමීගේ හඬ බාලය. එහි පෙර තිබූ ජවසම්පන්න ගතිය අඩු වී ගොසින්ය.

” ඒක තමා මාත් මේ හොයන්නේ… ? “

මනුහස් නැවතත් දුම්වැටියෙන් උගුරක් පානය කොට නෙත්‍යා දෙස බැලූ අතර ඈ යළිත් වහා ඔහුගේ දෑස මඟ හැර ඉවත බලා ගත්තාය .

” නංගිට ජූස් එකක්වත් ගෙනත් දෙන්නද ?” 

ටැමීගේ පැනයට හිස සළා එපා යැයි කියූ නෙත්‍යා දිගටම ඉවත බලා දැඩි කල්පනාවක වෙළී සිටියාය .

” මේක හොඳට අහගන්න ටැමී…”

මනුහස් එසේ පවසා හිඳ සිටි සෝෆාවෙන් ඉදිරියට පැමිණ දෙදණ මත දෑතම බර කරගත්තේය. 

” මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. මට කියන්න බෑ ඒක සිද්ධ වෙලා ඉවරයි කියලා. ඒක තව දුරටත් තව කී දෙනෙක් වටා සිද්ධ වෙයිද කියලා මට කියන්නත් බෑ. හැබැයි මේ සිද්ධ වෙන හැමදේම වෙන්නේ ටැමීලා එක්ක එකට ඉස්කෝලේ එක ක්ලාස් එකේ හිටපු අය වටේ. කවුරු හරි කෙනෙක් මොකක් හරි සිද්ධියක් නිසා එතන හිටපු කට්ටිය එකා එකා තමන්ගෙම ජීවිතේ නැති කරගන්න තැනට පත් කරගෙන යනවා. නිකමට හිතන්න , මොකෙක් හරි එකෙක් ඇවිල්ලා මිනිහෙක්ව මරලා දාලා යනවට වඩා භයානකයි ඒ මිනිහට තමන්ගේ ජීවිතේ තමන්ටම නැති කරගන්න තැනට වැඩ සිද්ධ කරන එක. මේ ලෝකේ මිනිහෙක් කන්නේ , බොන්නේ  , හම්බ කරන්නේ හැමදේම කරන්නේ තමන්ට ජීවත් වෙන්නනේ ? තමන්ගේ ජීවිතේ ඇරෙන්න මිනිහෙක්ට ඊට වඩා වටින වෙන දෙයක් නෑ. පිටස්තර එකෙක් මොනා හරි ක්‍රමේකින් එච්චර වටින ජීවිතේ තමන්ටම නැති කරගන්න සිද්ධ කරගන්නවා කියන්නේ මිනිහෙක්ට තමන්ගෙ ජීවිතේ ඊට වඩා මූණ දෙන්න සිද්ධ වෙන තවත් දරුණු දෙයක් නෑ. “

” බොස් කියන්නේ ඕක කරන්නේ අපිත් එක්කම එකට හිටපු එකෙක් කියලද ? “

මඳ වේලාවක් නිහඬව සිටි ටැමී කල්පනාබරිතව මනුහස් දෙස බලා එසේ ඇසුවේය. ඒ වන විට ඔහුගේ කටහඬෙහි තිබූ සම්පූර්ණ ජවසම්පන්න බව සිඳී අතුරුදහන් වී ගොස් තිබුණේය. 

” වෙන්න පුලුවන් . නොවෙන්නත් පුලුවන් . ඇමැන්ඩ්‍රා , ටෙහාන් , මයන් මේ තුන් දෙනාම සුයිසයිඩ් කරගන්න කලින් ටැමීලගේ ඉස්කෝලේ කාලේ ෆොටෝස් වගේම ලියුම් කිහිපෙකුත් ඒ අයට ලැබිලා තියනවා. ඒ තුන්දෙනා ලඟම තිබිලා අපිට ෆොටෝස් හම්බුණා. ඇමැන්ඩ්‍රාගේ සර්වන්ට් කියන විදිහට මුලින්ම ආපු ෆොටෝ එක එක්ක ලියුමක් ඇවිත්. ඇමැන්ඩ්‍රා ඉඳල තියෙන්නේ කොහොමත් ප්‍රශ්න ගොඩක. සර්වන්ට් කියන විදිහට ඒ ලියුමයි , ෆොටෝ එකයි දැක්කම ඇමැන්ඩ්‍රා සෑහෙන්න කලබල වෙලා තියනවා. මං හිතන්නේ මේ වැඩේ කරන එකාට ලේසියෙන්ම කොටු කර ගන්න පුලුවන් උනේ ඇමැන්ඩ්‍රාව. එයා හිටපු සිටුවේශන් එකත් එක්ක ෆොටෝ දෙකක් ආපු ගමන් ඇමැන්ඩ්‍රා කලබල වෙලා තියනවා. ඇමැන්ඩ්‍රාට තරං මයන්ට ලේසියෙන් ත්‍රෙට් එකක් දෙන්න බැරි නිසා ෆොටෝ එව්වේ මිසිස් මල්දෙණියගේ නමට. මොකද මිසිස් මල්දෙණියගෙ නමට ආපු ෆොටෝ එක එයා අපිට බාර දීලා තියනවා. හැබැයි ඊට කලින් මයන්ට එහෙම ඒවා ආවද කියන්න අපි දන්නෑ. එහෙම මුකුත් හම්බුණෙත් නෑ නේද මිසිස් මල්දෙණිය ?” 

මනුහස් ඇසූ පැනයට නෙත්‍යා හිස දෙපසට සළමින් නැත යැයි පැවසුවාය . 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here