BE SILENT – 40

0
631

කළු බොටම් කලිසමක්ද , කළු පැහැ ගත් අත් දිග ටී ෂර්ටයකින්ද සැරසුණු මනුහස් තම නිවස්නයෙන් පිටතට පැමිණ සෙමින් සෙමින් ඉදිරිය බලා අඩි තැබුවේය . 

” මං ඒත් හිතුවා සර්ට නින්ද ගිහින් කියලා  ?” 

මනුහස්ව දුටු සපුගොඩ වහා ඉදිරියට දිව ආවේය. 

” ඔව් මට ටිකක් නින්ද ගියා..”

නිවාඩු නිකේතනයක් වුවද එහි ආහාර ගන්නා ස්ථානය තුළ පිරිස බෙහෙවින් රැඳී සිටියහ. පොළොවෙන් මඳක් උස්ව තැනූ ලී අට්ටාලයක් මත සම්පූර්ණ දැවයෙන් නිම කරවා තිබූ ආහාර ගන්නා ස්ථානය තුළ ඒ වන විටත් බොහෝ පිරිසක් රැස්ව සිටියේය. පසෙකින් ඉතා මිහිරි සංගීතයක් වාදනය වෙමින් තිබූ අතර එහි ශ්‍රීලාංකික මෙන්ම රටවල් කිහිපයකම ආහාර රැසක් පිළිගන්වා තිබුණේය. පිරිස වටා දෙතුන් වරක්ම ඇස යැවූ මනුහස් කෙළවරක තිබූ දැවමය මේසයක් හා පුටු කිහිපයක් අතරින් ගොස් අසුන් ගත්තේය. සපුගොඩගේ නියමයෙන් පළමුව ඔහු වෙත ගෙන ආ මත්පැන් බෝතලය සපුගොඩ විසින්ම විවර කර දුන් අතර මත්පැන් වීදුරුවක් පුරවා ගත් මනුහස් අමතරව දුම් වැටියක්ද දල්වා ගෙන සපුගොඩට නික්ම යන ලෙසට පැවසුවේය. 

” මොනාහරි ඕන උනොත් කතා කරන්න සර්..”

සපුගොඩ නික්ම ගියේ දෙතුන් වරක්ම එසේ පවසා අනතුරුවය. 

මනුහස් පිරිස අතර දෑස කරකවමින් මත්පැන් වීදුරුව තොළ ගෑවේය. දෑස සෙවූ රුවැත්තිය ලී අට්ටාලයට ගොඩ වූවාය. ඈ සෙමින් සෙමින් දෑස කරකවමින් හිඳ ගැනීමට අසුනක් බැලුවද හිස් ඉඩක් ඉතිරි වී තිබුණේ කෙළවර මේසයක සිටිනා මනුහස් අසල පමණය. ඇගේ පසුපසින්ම පැමිණි සපුගොඩට ඉඟි කෙරූ මනුහස් ඔහු ඉදිරියේ වූ අසුන පෙන්වූයේය. මනුහස්ගේ ඉඟිය තේරුම් ගත් සපුගොඩ නෙත්‍යා හට අත දිගු කරමින් මනුහස් සිටින දෙසට කැඳවාගෙන පැමිණියේය. ඈතට නුදුටුවද ළං ළං වන විට තමා දැක තිගැස්සුණු වටකුරු දෑස දුටු මනුහස් එය මායිම් නොකර දුම් වැටිය ඉරුවේය. 

” සමාවෙන්න මැඩම් , අද ටිකක් සෙනඟ වැඩියි. ඉස්කෝල නිවාඩුවනේ.. “

” ඒකට කමක් නෑ..”

නෙත්‍යා එසේ පවසා මනුහස් අසල තිබූ පුටුවකින් හිඳ ගත්තාය. 

සපුගොඩ පසුපසින් පැමිණි  තරුණියන් කිහිප දෙනෙකු කෑම බඳුන් කිහිපයක් ගෙනවිත් මනුහස් හා නෙත්‍යා අසුන් ගෙන සිටි මේසය මතින් තැබූහ. 

” මැඩම් තව මොනවත් අඩුපාඩු ?” 

” නෑ.. මුකුත් නෑ. අවශ්‍ය උනොත් මං කියන්නං “

” හොඳයි මැඩම්. මං මෙතන මේ ළමයෙක් තියලා යන්නං. අවශ්‍ය දෙය කියන්න “

සපුගොඩ ගරු බුහුමනින් යුතුව නෙත්‍යාට එසේ පවසමින් මනුහස්ටද හිස සලා ආචාර කොට පිටව ගියේය . 

තමා ඉදිරියේ තිබූ බීම වීදුරුවක් අතට ගත් නෙත්‍යා මනුහස් දෙසට දෑස විතැන් නොකරම සංගීත ශිල්පීන් දෙස බලා සිටියාය. ඔවුන් නැවත වතාවක් තමන්ගේ සුමිහිරි ගීත නාදය ඇරඹූහ. 

” රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා

  කියඹු ලතා ඇයි මාව කොනිත්තලා

  ආදර සැලසුම් සිහින නොවෙයි කිසිදා

  ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා

  මා ඇවිළිලා.. – ඈ නිවෙනවා..

  ඈ ඇවිළිලා.. – මා නිවෙනවා..

උණුසුම් දෙතොල් හැඟුමක් කිති කවනා

සඳ නැති රෑ තරු සියොලඟ කතා කලා

අත අත නෑරම නොනිදා පහන් කළා

නිදි නැති මැදියම උණුහුම ඉපැද්දුවා

මා ඇවිළිලා – ඈ නිවෙනවා

ඈ ඇවිළිලා – මා නිවෙනවා

මනුහස් මත්පැන් වීදුරුව තොළ ගාමින් නෙත්‍යා දෙස බැලුවේය. ඈ මහත් ආයාසයෙන් සංගීත කණ්ඩායම දෙස බලා සිටින වගක් ඔහුට දැනුණේය. 

” ඔයා යන්න , ඕන උනොත් කතා කරන්නං “

නෙත්‍යාගේ අවශ්‍යතාවයන්ට ඈ අසල සපුගොඩ රඳවා ගිය තරුණිය දෙස බැලූ මනුහස් එසේ පැවසූ අතර මඳක් විසල් කර ගත් දෑසින් නෙත්‍යා එක් වරම මනුහස් දෙස බැලුවාය. 

” මෙච්චර මං ලඟ ඉද්දි වෙන කවුරුවත් ඕනෙ නෑනේ ?” 

කිසිවක් නොපවසා ඉවත් වී ගිය තරුණිය දෙස බැලූ මනුහස් යළි නෙත්‍යා දෙසට හැරුණේය. ඈ වහා ඔහුගෙන් දෑස මුදවා ගත්තාය. 

” අඩු තරමේ මං දිහා කෙලින් බලන්නවත් බැරි තරමට මං ඔයාට කරපු වැරැද්ද මොකක්ද නෙත්‍යා…?” 

මනුහස් එවර එක එල්ලේ නෙත්‍යාගේ මුහුණට එබුණු අතර ඈ තිගැස්සී වේගයෙන් හුස්මක් ගත්තාය. 

” මි… මිස්ටර් විජේවර්ධන .. !  , මෙතන මිනිස්සු ඉන්නවා. “

යළි පසෙකට වූ මනුහස් නැවතත් මත්පැන් වීදුරුව පුරවා ගෙන එය එක හුස්මට මුවට හළා ගත්තේය . දෑස තද කර පියවා ගත් නෙත්‍යා නැවතත් ඉවත බැලුවාය. කෙතරම් කීවත් තමා දෙසට බැල්මක් හෝ නොහෙළෙන රුවැත්තිය පිළිබඳව කෝපයකුත් , තමා පිළිබඳවම අනුකම්පාවකුත් සහිත හදවතින් මනුහස් දුම්වැටිය උරා බී නැවතත් මත්පැන් වීදුරුවක් පුරවා එය එක හුස්මට පානය කළේය. නැත… රුවැත්තිය තවමත් සිටි ලෙසමය. ඔහු යළිත් වරක් හිස් වූ වීදුරුව පුරවා එය අතට ගන්නට සූදානම් වූ විගස නෙත්‍යා වහා මනුහස් අල්ලා සිටින මත්පැන් වීදුරුව අල්ලා ගත්තාය. 

” දැන් ඇති . “

මනුහස්ගේ හදවතේ සියුම් සතුටක් මෝදු වෙමින් තිබුණේය. 

” ඇයි නතර කරන්නේ ? මොකටද ? මූණවත් බලන්න ඕන නැති එකෙක් බිව්වත් , බීලා මැරුණත් මැඩම්ට පාඩුවක් නෑනේ ?” 

මනුහස් අත ඉවතට නොගෙනම එසේ පැවසූ අතර නෙත්‍යාද තව දුරටත් මත්පැන් වීදුරුව අල්ලා ගෙන සිටි අතර එය අත නොහැරියාය. 

” මෝඩ කතා කියන්න එපා මිස්ටර් විජේවර්ධන ” 

ඇගේ කතාව තවමත් ඉවත බලාගෙනය. නැවත වාරයක් මනුහස්ගේ සිතෙහි කෝපයක් මෝදු වූයේය. ඔහු වහා වීදුරුව අත හැර නෙත්‍යාගේ අතින් අල්ලා ගත්තේය. 

” ම.. මිස්ටර් විජේවර්ධන , මෙතන මිනිස්සු ඉන්නවා..”

” හිටපුදෙන්..”

” කියන දේ අහන්න , මේක මට වගේම මිස්ටර් විජේවර්ධනටත් හොඳ නෑ.. “

නෙත්‍යාගේ කටහඬ වෙව්ලීමට පටන් ගෙන තිබුණේය . කුමක් පැවසුවද ඈ තවමත් සිටින්නේ ඉවත බලාගෙනය. 

” මට.. ? ඇයි මට හොඳ නැත්තේ ? මට මොනවා නැති වෙයි කියලද ? මගෙ ලඟ තිබ්බ වටිනාම දේ හොරු අරන් ගියේ මීට අවුරුදු ගාණකට කලින් “

නෙත්‍යා වහා දෑස තද කර ගත්තාය. දෑසෙන් කඩා වැටෙන්නට පොර කන කඳුළු බිඳු සියල්ලම ඈ වහා තම අනෙක් අතින් පිස දැමුවාය. 

” මිස්.. මිස්ටර් විජේවර්ධන , මං කසාද බැඳපු ගෑනියෙක්. හැසිරෙන්න ඉගෙනගන්න. “

නෙත්‍යා බොහෝ ආයසයක් දරා තම වචන රළු පරළු කර ගත්තාය. 

” බම්බුව..” 

මනුහස්ගේ වචන වල කෝපය තැවරී ඇති අන්දම ඇයට හොඳින් දැනුණේය. මාන්නක්කාරයා මට්ටු වන්නේම නැත. නෙත්‍යා ඔහුට සිර වී තිබූ තම අත වේගයෙන්  යළි ඇද ගත්තාය. 

” Just stay within your limits “

එසේ පැවසූ ඈ මනුහස් කෝපයෙන් බලා සිටියදීම හිඳ සිටි අසුනෙන් නැඟිට පිටව ගියාය. 

*******************************************-

” සර්.. මොකද්ද වෙන්න ඕනේ ? මිනිහව මෙහෙදිම ඉවරයක් කරන්නද ?”

නිවාඩු නිකේතනය අසල කිසිවෙකුගේ හෝ ඇස නොගැටෙන තුරු ලතා ඝහන පරිසරයකට වැදී උන් සපුගොඩ ගන අන්ධකාරයේම කිසිවෙකු සමඟ දුරකතන ඇමතුමක පැටළී සිටියේය .

” පිස්සුද ඕයි ? ඌව මේකට පටළවගත්තෙත් කොච්චර ගේමක් දීලද ? ඌව විතරයි මේ වෙලාවේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඉන්න එකම එකා. තමුසෙට කියපු දේවල් ඇරෙන්න වෙන ඒවා කරන්න ගිහිල්ලා මැරුං කන්න හදන්නෙපා මගෙන්. “

” නෑ.. නෑ.. සොරි සර්.. ! මං මේ කිව්වේ මිනිහා ගැන සෝදිසියෙන් ඉන්න කියලා කියපු නිසා. “

” කිසිම විකාර වැඩක් කරන්න ලෑස්ති වෙන්නෙපා. තමුසෙට සෝදිසියෙන් ඉන්න කියලා කිව්වේ ඌට ඕන කරන්නේ මොනාද ? අන්න ඒ ටික පිළිවෙළට අඩුවක් නැතුව දෙන්න කියන්න. “

” හරි සර් හරි .. මට තේරුණා. “

ගන අන්ධකාරයේ වුවද අනෙක් පසින් කතා කරන්නා ඇස නොගැටුණද සපුගොඩ අවසන් වාක්‍යයේ පැවසුවේ මහත් ගෞරවයෙන් දෙකට තුනට නැමීගෙනය . 

සපුගොඩ තුරු ලතා ගොන්නෙන් පිටතට පැමිණ අන්ධකාරයේම ඈතින් විදුලි ආලෝකයෙන් පිරී ඉතිරී යන නිවාඩු නිකේතනයේ ආහාර ගන්නා ස්ථානය දෙසට පා එසව්වේය. 

” සපුගොඩ…!” 

අන්ධකාරයේ තමා පසුපසින් එක වරම ඇසුණු කටහඬට තිගැස්සුණු ඔහු වහා පසුපස හැරී බලා තමාගේ නම පැවසූ පුද්ගලයා දැක සැනසුම් සුසුමක් හෙළුවේය. 

” සර් නේ මේ.. මං බැලුවා ඒත් කවුද කියලා ?”

” සපුගොඩ මොකෝ මේ පැත්තේ කරන්නේ ? “

” මං කළුවර වැටීගෙන එද්දී පොඩ්ඩක් වට පිටාවේ ඇවිදලා බලනව සර් හැමදාම. සර් ඩිනර් ගත්තද සර්.. ? සර්ට  තව මොනාහරි ඕනේද ? “

” තව නං ඕන දෙයක් තියනවා…”

සපුගොඩ තමා ඉදිරියේ සිටි පුද්ගලයාගේ මුව දෙස බලා හීන් සිනහවක් නැඟුවේය. 

” සර්ට කොයි ජාතියේ එකක්ද ඕනේ සර් ? සාමාන්‍යයෙන් අපි මෙහෙට එන විශේෂ අමුත්තන්ට විතරයි ඔය සර්විස් එක දෙන්නේ . “

” මෙහෙ ඒවා නං හරියන්නෑ. ජර්මන් එකක් වගේ නැද්ද ?”

සපුගොඩ වහා තිගැස්සී ගියේය. 

” මො.. මොකද්ද සර්.. ?” 

සපුගොඩගේ වචනයක් වචනයක් පාසා බිය තැවරී තිබූ අතර පසුපසින් පැමිණි කිසිවෙකු හෝ වහා ඔහුගේ හිස මතට කළු පැහැ ආවරණයක් දැමුවේය. මඳ වේලාවක් බේරෙන්නට දඟලමින් මහත් වෙහෙසක් දැරූ සපුගොඩ ඉන් පසුව නිශ්චල වී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here