නෙත්‍යා වේගයෙන් ස්පන්දනය වන හදවතින් විසල් කණ්ණාඩිය දෙස බලා සිටියාය . දොළොස් වසරකට පෙර අතීතයේ උසස් අධ්‍යාපන ආයතනයේ සිටි දඟකාරම දඩබ්බරයා හා පෙමී වෙළී උන් රුවැත්තිය ඈ ඉදිරියේ සිට ගෙන සිටියාය . කුඩා කුඩා විහිළු වලට මිතුරු කවය හා රණ්ඩු ඇල්ලූ , කෑගසමින් එහා මෙහා දිව ගිය බටිත්තිය ඈ ඉදිරියේ සිට ගෙන සිටියාය . සිහින් උර පටි යෙදූ රෝස පැහැ දණහිස තෙක් කෙටි ගවුම ඈ වර්ෂ ගණනාවක අතීතයට රැගෙන ගොස් තිබුණේය.
ඈ යාබද නිවස්නයේ සිට පිටතට පැමිණි දේහදාරියා දෙස ඇසිපිය නොගසා බලා සිටියාය. තද නිල් පැහැ ගත් ඩෙනිම් කලිසමක්ද , සුදු පැහැ අත් දිග කමිසයක්ද හැඳ සිටි ඔහු හිස පැත්තකට ඇල කරමින් ජංගම දුරකතනයෙන් කිසිවෙකු හා කතා කරමින් සිටියේය. ඒ සමානවම කමිසයේ දෑත වැලමිට තෙක් නවමින් අඩියෙන් අඩිය තබා ඈ දෙසට එමින් සිටියේය . හිතුවක්කාරයා පෙර කෙදිනකටත් වඩා කඩවසම් ආකාරයකින් ඈට දිස් වුණු අතර , ජංගම දුරකතනයේ ඇමතුම විසන්ධි කළ ඔහු තමා ඉදිරියේ සිටගෙන සිටින රුවැත්තිය දෙස වික්ශිප්ත දෑසින් බලා සිටියේය. ඔහුගේ දිළිසෙන සරාගී දෑස දෙස තව දුරටත් බලා සිටිය නොහැකි වූ නෙත්‍යා ඇගේ වටකුරු දෑස වහා බිමට හරවා ගත්තාය.
සෙමින් සෙමින් අඩි තබමින් ආ ඔහු ඇගේ ගෙල පසුපසට අත යවා ගුලියක් සේ බැඳ දමා තිබූ ඇගේ වරලස මුදා හැරියේය.
” පර්ෆෙක්ට්…!”
තවත් මොහොතක් ඈ දෙස බලා සිටි ඔහුගේ මුවින් නොදැනුවත්වම එසේ පිටවුණේය .
” මේක ඕනෙමද මනූ…?”
” ඇයි ..?”
” පොඩි කෙල්ලෙක් වගේනේ ?”
මහපටැඟිල්ලෙනුත් , දබරැඟිල්ලෙනුත් රිදෙන නොරිද්දෙන තරමට ඇගේ වටකුරු කොපුලක් ඇල්ලූ මනුහස් ඇගේ උවනට බර වුණේය.
” ඇයි දැන් මහ ලොකු ගෑනියෙක් කියලද හිතන් ඉන්නේ ? “
ඉදින් ඈ නිහඬ වූවා මිස ඉන් එහා කිසිවක් නොපැවසුවාය .
” අපි කොහෙද යන්නේ ?”
මෝටර් රථයට ගොඩ වී එක් අතකින් සුක්කානම කරකවමින් අනෙක් අතින් ඇගේ උකුළ මත තිබූ අත අල්ලා ගෙන සිටි ඔහු දෙස බලා ඈ ඇසුවාය .
” දන්නෑ..”
” දන්නෑ කියන්නේ ?”
ඔහු වරක් හිස හරවා ඈ දෙස බලා නැවතත් ඉදිරිය බැලුවේය.
” මේක මගේ පරණ හීනයක් “
” ඒ කිව්වේ ?”
” ඒ දවස්වල ඉන්සිටියුට් යන කාලේ මං නිතරම හිතුවා කවදහරි දවසක මගේම කා එකක ඔයාව මෙහෙම ඉස්සරහා වාඩි කරවගෙන ,එක අතකින් ඔයාගෙ අතින් අල්ලගෙන , අනිත් අතින් මෙහෙම ඩ්‍රයිව් කරන ගමන් කොහෙ හරි ලෝන්ග් ට්‍රිප් එකක් යන්න. “
” අනේ… මනූ…!”
වේගයෙන් එකතු වූ කඳුළු කැට පේළියක් එක දිගට ඇගේ වටකුරු කොපුල් මතින් ගලා හැලෙන්නට පටන් ගත්තේය.
” ඒ හීනේ ඔයා අඬන කෑල්ලක් තිබ්බේ නෑ.. “
” මනූ…!”
ඈ තොල් පට තද කරමින් ගලා යන කඳුළු නතර කරනට වෙහෙසක් දැරුවාය.
සුසුමක් හෙළූ මනුහස් මෝටර් රථයේ සංගීතය මඳක් වැඩි කළේය.
” මුදා ඊයේ වූ සැමදේ
හදා ආයේ මේ ආදරේ
එදා වාගේ මාගේ අතේ
වෙලී එනවාදෝ…
ඉඩෝ කාලේ හීනේක සේ
ගෙවී යාවී ස්නේහ දියේ
සිනා වාරේ ආයේම ඒ
වෙළී එනවදෝ…..
මේ තුන් යාමේ හෘදේ මා සසලෝනා
මා සන්තානේ දෑතේ ගෑවීලා
මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා
මා දැවුනාවේ ප්‍රේමේ නෑවිලා….
මට ආයේ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
කාලේ තැවුල් ප්‍රේමේ නමින්
ආයේ නොවේ කියා…
මට ආයේ නුඹ ඕනා
නුඹ ගාව ඉන්නෝනා
සැතපී ලඟින් සුසුමේ දුරින්
දෑසේ පියන් පියා…
දෙතොල් පට තද කර ගත් ඔහු සෙමින් හිස හරවා ඈ දෙස බැලුවේය . මෙතෙක් වේලා කඳුළු පමණක් වැගිරූ රුවැත්තිය අවසානයේ ඉකි ගසමින් හැඬුවාය. හදවතේ කෙළවරේම හටගත් දරාගත නොහැකි වේදනාව තව දුරටත් යටපත් කර ගැනීමට නොහැකි වූ මනුහස් මාර්ගයෙන් පසෙකට කොට මෝටර් රථය නතර කළේය.
” ඇයි මේ.. ආ..?”
” මුකුත් නෑ..”
තවත් මොහොතක් කඳුළු සැළූ ඈ දෑතින්ම කොපුල් පිසදා බොඳවූ දෑසින් ඔහුගේ උවන දෙස බලා සිටියේය.
” දෙතුන් වතාවක්ම ඔයා මගෙන් ඇහුවා නේද ඇයි ඔයාගේ මූණ දිහා කෙලින් නොබලන්නේ කියලා ? පුලුවන් කමකට නෙමෙයි හිටියේ. බය හිතුණා , ඔය මූණ දිහා එක පාරක් බැලුවොත් ආයේ අහක බලා ගන්න මට අමතක වෙයි කියලා බය හිතුණා. “
නෙත්‍යාට නැවතත් ඉකි ගැසුණාය. ඈට ඇති වනතුරු හඬන්නට ඉඩ හැරි මනුහස් නිහඬවම ඉදිරිය බලා සිටියේය. මොහොතකින් ඉකි බිඳුම තුරන් වී ගිය අතර ඇගේ උකුළ උඩ තිබූ ඔහුගේ අතේ බාහුවේ වෙළුණු ඈ ඒ මත හිස තබා ගෙන දෑස පියා ගත්‍තාය. තවත් මොහොතක් නිහඬවම ඈ දෙස බලා සිටි ඔහු නැවතත් මෝටර් රථය මාර්ගයට අවතීර්ණ කළේය.
බොහෝ වේලාවක් යන තුරුම නිසොල්මන්ව සිටි ඇය තද නින්දකට වැටී ඇති බව තේරුම් ගත් මනුහස් තවත් මෝටර් රථයෙ වේගය අඩු කළේය.
හෝරා දෙකක පමණ කාලයක් මනුහස්ගේ බාහුව දෑතින්ම තුරුළු කරගෙන ඒ මත හිස තබා තද නින්දකට වැටී සිටි නෙත්‍යා අවදි වන විටත් ඔහු දිගටම මෝටර් රථය ධාවනය කරමින් සිටියේය.
” අනේ.. මනූ සොරි..!”
ඈ හිස ඔසවා ඔහු දෙස බලා පැවසුවාය.
” ඇයි ඒ ? මොකටද ?”
” මට නින්ද ගියා. “
ඔහු පිළිතුරු දෙනු වෙනුවට මඳ සිනහවක් පෑවේය.
” අපි මේ කොහෙද ඉන්නේ ?”
ඈ ජනේලයෙන් පිටතට දෑස් යවමින් ඇසුවාය. ක්ෂණිකව තිගැස්සී ගිය ඈ නැවත හිස හරවා ඔහු දෙස බැලුවාය.
” මේ නුවර පාරේ ඇයි ? අපි කොළඹ යන්නැද්ද ?”
” යනවා. ඊට කලින් ගෙදට්ට ගිහින් එමු. “
” ගෙදර කිව්වේ ?”
” අපේ ගෙදර ”
” අනේ.. මනූ මට බෑ..”
ඇගේ කටහඬෙහි වූයේ දැඩි කලබලකාරී බවකි. ඔහු නැවත වතාවක් මෝටර් රථය මාර්ගයෙන් පසෙකට කොට නතර කළේය .
” ඒ මොකෝ ?”
” එතන මං මීට කලින් නොගිය තැනක් නෙමෙයිනේ මනූ..? “
ඈ යළිත් වතාවක් පිළිතුරු ලබා දෙන්නේ හිස බිමට බර කරමින්ය.
” ඉතිං ..?”
” ඔයාගේ අම්මා , අප්පච්චි මං නොදන්න අය නෙමෙයි. “
” ඉතිං ..? ”
” මං කොහොමද දෙයියනේ ඒ මිනිස්සු දෙන්නගේ මූණ බලන්නේ ?”
ඈ එවර හිස ඔසවා එක එල්ලේ ඔහු දෙස බැලුවාය.
” මං දිහා බලනවා වගේ බලන්න. මං එදා හිටපු මනූ වගේම තමා ඒ දෙන්නත් , එදා හිටපු මනූගේ අම්මයි , අප්පච්චියිම තමා. “
මනුහස් සීරුවට ඇගේ කොපුලක් මතින් අත තැබූ අතර ඇගේ දෑසින් කඩා හැළුණු කඳුළක් ඔහුගේ අත සිප ගත්තේය.
ඉස්සරහා තියන ශොපින් මෝල් එකකින් නතර කරනවද ?”
” ඇයි ඒ ?”
” මේ කොට ගවුම් කෑල්ල ඇඳගෙනද ඒ මිනිස්සු දෙන්නා ඉස්සරහට යන්න කියන්නේ මට ?”
මනුහස් ඈ දෙස නොබලාම සිනහ සුණේය.
” ඉස්සරත් ගියේ ඔහොමනේ ඉතිං ?”
” අනේ ඒ ඉස්සරනේ මනූ.. ප්ලීස් ..! කා එක නතර කරන්නකෝ ”
” හ්ම්ම්.. ඉස්සරහින් නතර කරන්නං “
මහනුවර සුප්‍රසිද්ධ නිමි ඇඳුම් සංකීර්ණයක රථ වාහන අංගනයකට මෝටර් රථය ධාවනය කොට නතර කළ ඔහු ඈ දෙසට හැරුණේය.
” යන්නේ පන්සලකට නෙමෙයි . ඒ නිසා සිල් රෙදි පෙරවන් එන්නෙපා. “
” ඒ කිව්වේ ?”
” නෑ ඉතිං , ඉස්සර මේ වගේ ගවුම් කොට ඇඳගෙන ඉන්සිටියුට් එකේ අර අරලිය ගස් අස්සෙන් පඩි පෙළ බැහැගෙන දුවගෙන ආපු බෝල ගෙඩියව මට මතකනේ. ඊට පස්සේ ආයේ අවුරුදු ගාණකින් දකිනකොට අතේ පයේ ඇඟිලි පවා වැහෙන්න ඔහේ දිගට දිගේ ඇඳුම් ඇඳගෙන. ආයේ ඒක උඩිනුත් රෙදි කෑලි දාගෙන. මෙච්චර ලස්සන කොණ්ඩයක් තියාගෙන ආච්චි කෙනෙක් වගේ ඒක ගුලි කරගෙන . අපේ අම්මත් තාම ඔයිට වඩා ලස්සනට අඳිනවා. දැනුත් ගිහින් ඒ වගේ එකක් පෙරවන් එන්න එපා කියලා කිව්වේ “
කිසිවක් නොපැවසූ ඈ ඔහුගේ උවන දෙස බලා මඳ සිනහවක් නැඟුවාය.
“යන්න.. විනාඩි දහයයි දෙන්නේ . හරිද ?”
” එච්චර එපා. විනාඩි පහක් ඇති. “
එසේ පැවසූ ඈ වහා මෝටර් රථයෙන් බිමට බැස්සාය .
ඈ වෙළඳ සැළ තුළ නොපෙනී යන තුරු බලා සිටි මනුහස් ජංගම දුරකතනය අතට ගෙන ඉන් ඇමතුමක් ලබා ගත්තේය .
” සර්..!”
” චමිල්ක , මොකෝ වැඩේ ?”
” අපි හරිම තැන ඉන්නේ සර් ”
” හ්ම්ම්.. ගුඩ්.. මං කියපු ගමන් විනාඩි දෙකක් ඇතුළත වැඩේ වෙන්න ඕනේ. කිසිම සද්ද බද්ධයක් බෑ. උනේ මොකද්ද කියලා ලඟ ඉන්න එකෙක් වත් දැනගන්න හොඳත් නෑ. අපේ ටාගට් එක මිනිහා විතරයි. උගේ වටේ ඉන්න අනිත් අය අදාළ නෑ. “
” ඕකේ සර්.!”
අවසන් පිළිතුරත් ඇසුණු සැණින් මනුහස් වහා ඇමතුම විසන්ධි කොට ජංගම දුරකතනය පසෙකින් තැබුවේය .


