මැදෑ.. ඉඳල ඉඳලා ආපු පුතණ්ඩියට කටට රහට කෑම ටිකක් දෙන්න බලන් හිටියා. “
” ආ.. ඒවා නං එහෙ අඩුපාඩු නෑ. මෙයාට එහෙ ඉන්න පොලිස් නෝනලා හොඳට කන්න බොන්න දෙනවා. “
වසුන්දරා සිනහවක් තද කර ගනිමින් නෙත්‍යා දෙසට හැරුණාය. මනුහස්ගේ සිහින් වූ දෑසේ බැල්ම මඟ හැරි නෙත්‍යා වහා ඉවත බලා ගත්තාය.
” වෙන්නැති , වෙන්නැති . මට ෂියාත් කියලා තියනවා “
” අම්මා ෂියෝනාව දන්නවද ?”
” නැත්තන් . ෂියා , සචින්ද්‍ර කීප පාරක්ම මෙහෙ ඇවිල්ලත් තියනවා. මෙයා ඉතිං ඕන යාලුවෙක්ව ගෙදර එක්කන් එනවනේ . නැතත් ඒ කෙල්ල සතියට දෙතුන් වතාවක් මට කෝල් එකක් හරි දීලා මෙයාගෙ විස්තර කියනවා. මෙයා ඉතිං අපි කෝල් එකක් දුන්නොත් ඇරෙන්න අපිට කෝල් එකක්වත් දෙන්න මතක් වෙන ළමයෙක් නෙමෙයිනේ .”
” පහළටම ඇහෙනවා සද්දේ “
පොළොස් ගෙඩි දෙකක් රැගෙන ආ මනුහස්ගේ පියා එය මුළුතැන්ගෙහි කුඩා පඩියක් මත තැබුවේය.
” හෙට වෙනකන් ඉන්න බෑ කියන්නේ. අදම යන්න ඕනෙලු. ඔයත් අවුරුදු ගාණක් පොලීසියේ හිටියා , දවසක් දෙකක් නිවාඩුවක් ගන්න බැරි තරං රාජකාරි කරා යෑ ?”
වසුන්දරා මනුහස් දෙස බලා ඔරවා නැවත ඉවත බලා ගත්තාය.
” එකම පොලීසිය උනාට මං කරපු රාජකාරියයි , එයා කරන රාජකාරියයි දෙක දෙකක්නේ. “
මව , පියා සහ පුත්‍රයාගේ කතා බහට මැදිහත් නොවූ නෙත්‍යා සෙමින් අඩි තබමින් නැවත ආලින්දය කරා අඩි තැබුවාය. හදවත මඳකට රිදී තිබුණි. මොහොතකට පෙර තමාගේම නිවස යැයි දැනෙන හැඟෙන තරමට ලෙංගතු වූ නිවස්නය එක් වරම පිටස්තර එකක් යැයි දැනුණු අතර ඈ ආලින්දයේ දොර උළුවස්සට බර වී සුළඟට ළෙල දෙන මී අඹ ගස දෙස හැඟීමකින් තොරව බලා සිටියාය.
” මොකෝ..?”
පසුපසින් ආ දේහදාරියාගේ හඬට තිගැස්සුණු ඈ ඔහු දෙස නොබලාම ඉදිරිය බලා සිටියාය.
” ෂියෝනාව එක්කන් එන්න ඇත්තේ ලේලි කියලා පෙන්නන්න වෙන්නැති. “
මෙතෙක් වේලා හදවතට වද දුන් කාරණාව නෙත්‍යාගේ මුවින් පැන්නේ ඒ ලෙසටය . තමාගේම නිවසක් ලෙසට දැනුණු නිවස මොහොතකට පිටස්තර බව දැනුණෙත් , මුළුතැන්ගෙය තුළට වී කතාබස් කරමින් සිටි රුවැත්තිය මුව අඳුරු කරගෙන ඉන් පිටතට ආවේත් කුමන හේතුවක් නිසා දැයි දෙදෙනාටම වැටහුණේ ඒ මොහොතේය .
ඇගේ පසුපසින් තවත් ඇයට ළං වූ මනුහස් ඇගේ මුව අසලට පහත් වූයේය.
” ලේලි කියලා මේ ගෙදට්ට මං එක්කන් ආවේ එකම එක්කෙනාවයි. ඒ මීට අවුරුදු දොළහකට විතර කලින්. එච්චරම තමා…. එයා ඇරෙන්න ඒ ප්ලේස් එක රීප්ලේස් කරන්න පුලුවන් කෙනෙක් මට තාම හම්බුන්නෑ. ඉස්සරහට හම්බෙන එකකුත් නෑ. එයා ආවත් නාවත් මේ ගෙදර ලේලි විදිහට එන්න පුලුවන් එයාට විතරයි. එච්චරයි. ”
මනුහස් එසේ පවසා යළි හැරී මුළුතැන්ගෙය දෙසට අඩි තැබුවේය. දෑසින් ගලා ආ කඳුළු වැල් එක දිගට කොපුල් තෙමද්දී නෙත්‍යා තොල් පට තද කරමින් නැඟෙන ඉකිය නවත්වා ගන්නට උත්සාහ දැරුවාය.
*************************************
” දෙයියෝ මිනිස්සුන්ට එකම චාන්ස් එක දෙපාරක් දෙන්නෑ. කලාතුරකින් එහෙම එකක් ලැබෙන්නේ ඒ චාන්ස් එක දෙන්න ඕනේ ඒ මිනිහටම විතරක්ම නිසා. ඒ නිසා මේ පාරවත් කල්පනා කරලා වැඩ කරපන්. “
පිටත් වන්නට සූදානමින් ගෙමිදුලටත් බැස සිටි මනුහස් වෙත ආ ඔහුගේ පියා පුත්‍රයාගේ පිටට තට්ටුවක් දමමින් පැවසුවේය.
” මේ පාර මුකුත් වරදින්නෑ අප්පච්චි. මේ පාර ඉන්නේ කිසිම දෙයක් කර කියා ගන්න බැරි එකෙක් නෙමෙයිනේ ”
” පරිස්සමට ගිහින් එන්න දරුවෝ. දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි. ! “
වසුන්දරාගේ දෙපා නැමැද හිස එසවූ නෙත්‍යාගේ හිසට අත තබා කියූ ඈ නැවත වතාවක් නෙත්‍යාව වැළැඳ ගත්තාය.
පසුපස බලමින් මවත් පියාත් නොපෙනී යන තුරුම අත වැනූ නෙත්‍යා අසුනට බර වී ආසන පටිය පැළැඳ ගත් විගස මනුහස් පෙර පරිදිම ඇගේ අතකින් අල්ලා ගත්තේය .
” ලොකු මහත්තයා ආයෙත් ඩ්‍රයිව් කරන්න හදන්නේ තනි අතින්ද ?”
” ඔව් ඇයි ?”
” මනූ..!”
” ම්ම් .. ?”
මනුහස්ගේ දෑස තිබුණේ මාර්ගය මතය.
” මනූ.. ! මනූ…!”
එවර මාර්ගයෙන් දෑස ඉවතට ගත් ඔහු මොහොතකට එය ඈ වෙත හැරවුයේය .
” මොකද ? මනූ මනූ ගගා නම කට පාඩං කරනවද ? “
” ඔව්. අවුරුදු දොළහකින් විතර කිව්වේ නෑනේ. ඒකට හරියන්න මේ දැන් කියන්නේ. “
ඈ මූණ ඇඹුල් කරමින් ඉවත බලා ගත්තාය. ඇගේ උවන දුටු ඔහුට නොදැනුවත්වම සිනහවක් නැඟුණේය.
” හරි හරි. ඇයි දැන් මොකද්ද ප්‍රශ්නේ ?”
” ඔහොම යන්න අමාරුනේ මනූ.. “
” ඇයි , මාව එච්චරටම ශුවර් නැද්ද ?”
” හරි..හරි ඉතිං.. ඔයා ශුවර්. ඔයාට බැරි දෙයක් නෑ. ඒ උනාට අපිට අනිත් මිනිස්සු ශුවර් නෑනේ මනූ.. , අනික ඔයාට පරක්කු වෙන්නේ නැද්ද ? “
” ඔයාට යන්න ඕනේ කීයටද කියන්න. මං ඒ වෙලාවට එක්කන් යන්නං. එච්චරයි. “
” ඕන එකක් …”
වාද කිරීමෙන් ඵලක් නොමැති බව තේරුම් ගත් නෙත්‍යා නැවතත් පෙර පරිදිම තම උකුළ මත තිබූ ඔහුගේ අත දෝතින්ම තුරුළු කරගෙන ඔහුගේ අත් බාහුවට හිස තබා ගත්තාය.
කොළඹ නගරය පුරා දැල්වෙන වීදි ලාම්පු අද කවරදාටත් වඩා අලංකාර ස්වභාවයකින් නෙත්‍යා දුටුවාය. අහස උසට නැඟි බොහෝ ගොඩනැගිලි දෙස ඈ විමතියෙන් බලා සිටියාය. දොළොස් වසක් පුරාවටම කොළඹ නගරයේ දිවි ගෙවූ ඈ දිවියේ ප්‍රථම වතාවට කොළඹට පා තැබූ කුඩා එකියක සේ රාත්‍රී කොළොම්පුර දර්ශන විඳිමින් සිටියාය .
” මනූ.. ! “
” ම්ම්..?”
” ඉස්සරහා ග්ලෝරි එකේ කා පාක් එකෙන් නතර කරන්න. මං එතන ඉඳන් පික් මී එකක් දාගන්නම් .”
” විනාඩි දෙකේ දුරනේ ළමයෝ. මං ගේ ගාවට දාන්නං. “
” එපා මනූ.. මං ඔයා එක්ක එන බවක් කවුරුවත් දන්නෑනේ. “
” හ්ම්ම්…”
ඉදින් ඔහු සීරුවට වෙළඳ සැලේ රථ වාහන අංගනය අසල මෝටර් රථය නතර කළේය. උකුළ මත තිබූ ජංගම දුරකතනයේ යෙදවුමින් මෝටර් රථයකට ඇණවුමක් දුන් ඈ යළි ඔහු දෙසට හැරුණාය.
” ටූ මිනිට්ස් වලින් එයි.. “
” හ්ම්ම්..!”
මනුහස් සිටියේ ඉවත බලාගෙනය . නොඉවසිලිවන්තයාගේ අතෙහි දෑඟිලි කිසිදු තාලයකින් තොරව සුක්කානමට තට්ටු කරමින් සිටියේය .
එසේ නං ඈ සැරසෙන්නේ නික්මෙන්නටය.
” මනූ.. ! “
” ආ.. ?”
” මං යන්නං “
” හරි.. ඕකේ..!”
වසර ගණනකට පසු යළි ලං වූ සිතැත්තියට දැන් දිය හැකි නාමය තවමත් ඔහුට අපැහැදිලිය. නමුදු කෙසේ හෝ දැන් ඈට සමුදිය යුතුය.
නෙත්‍යා උකුළ මත තිබූ අත් බෑගයේ පටිය තද කර අල්ලා ගත්තාය. යන්නං , ගිහින් එන්නං වචන වලට අමතරව ඔහුට සමුදිය හැකි ආකාරයක් ඇයටත් කිසිසේත්ම සිතා ගත නොහැකි වූවාය .
” කා එක ඇවිත් මනූ..”
දුරකතනයෙන් හිස එසවූ ඈ සෙමින් පැවසුවාය . ඔහු තම ආසන පටිය ගලවා දමා ඇගේ හිස මතින් අතක් තැබුවේය .
” පරිස්සමට යන්න. ගිහින් මැසේජ් එකක් දෙන්න. “
කිසිවක් නොපැවසූ ඈ හිස සළා එයට එකඟ වූවාය. නමුදු මෝටර් රථයේ දොර විවර කිරීමට හෝ උත්සාහයක් නොගත්තාය. අපහසුවෙන් කෙළ පිඬක් ගිල දැමූ ඔහු සෙමින් ඇගේ උවන මතට බර වී ඇගේ නළල මත සියුම් හාදුවක් තැබුවේය. ඔහුගේ දෙතොලේ ස්පර්ශය ලැබුණු සැණින් ඇගේ මුළු සිරුරම වෙව්ලී ගිය අතර මනුහස්ගේ දෙතොලටද ඇගේ තිගැස්ම දැනුණේය. වසර ගණනකට පසු ඔහුගේ දෙතොලේ පහස ලැබූ රුවැත්තිය ගල් ගැසී සිටියාය.
” සොරි .. ! අතින් විතරයි අල්ලන්නේ කිව්වට ඒක කරන්න බැරි උනා. “
” මනූ.. මං…”
ඈ කඳුළු පිරි දෙනෙතින් ඔහු දෙස බලා කිසිවක් පැවසීමට තැත් කළද එකදු වචනයක් පිට කර ගත නොහැකි වූවාය.
” රෑ උනා. තව ටික වෙලාවක් හිටියොත් මට ඔයාට යන්න දෙන්න හිතෙන එකක් නෑ. පරිස්සමට යන්න. “
ඔයත් මනූ.. බුදු සරණයි..!”
සෙමින් මෝටර් රථයේ දොර විවර කර ගත් ඈ ඉන් බිමට බැස ඒ වන විටත් අසල නතර කර තිබූ කුලී රියට නැංගාය.
නිවස අසලින් මෝටර් රථයෙන් බැස ගත් නෙත්‍යා හනික නිදන කාමරය වෙතට අඩි තැබුවාය.
” ගෙදර ආවා මනූ “
ඈ එලෙස සනිටුහන් කරමින් මනුහස් වෙත කෙටි පණිවිඩයක් යැව්වාය.
” දැක්කා..”
ක්ෂ්ණිකව එයට ප්‍රතිචාරයක් ලැබුණේය.
නෙත්‍යා වහා බැල්කනියේ වීදුරු ද්වාරය හැර මාර්ගය දෙස බැලුවාය. එහි කෙළවර නවතා තිබූ මෝටර් රථය නැවත හරවා යනු ඈ දුටුවාය.
” අනේ.. මනූ.. “
ජංගම දුරකතනය ළමැඳට තුරුළු කර ගත් නෙත්‍යා මෝටර් රථයේ විදුලි පහන් නොපෙනී යන තුරුම ඒ දෙස බලා සිටියාය.
කුලී රථයෙන් බැස ඈ නිවස තුළට යන තෙක්ම ඈතින් හිඳ බලා සිටි මනුහස් මෝටර් රථය හරවා ගෙන මහා මාර්ගයට පිවිස දුරකතන ඇමතුමක් ගත්තේය.
” චමිල්ක …!”
” සර්.. !”
” මිනිහව ගන්න. විනාඩි පහළවක් ඇතුළත ඌ අපේ තැන ඉන්න ඕනේ “
” ඕකේ සර් !”
දුරකතන ඇමතුම විසන්ධි කළ ඔහු වේගයෙන් මෝටර් රථය ඉදිරියට පදවාගෙන ගියේය .


