BE SILENT – 47

0
551

උදෑසනින්ම දිය නා ගත් නෙත්‍යා තෙත කොණ්ඩයෙහි බැඳ තිබූ කෙටි තුවාය ඉවත ළා ජංගම දුරකතනය අතට ගත්තාය. ඇගේ දෑස දිව ගියේම තමා අවදි වී ඔහුට තැබූ good morning පණිවිඩය තුළය. මේ වන තෙක්ම එයට පිළිතුරක් නොමැත. රාත්‍රී දොළහ කණිසමට ආසන්නව තමාගේ නිවස අසලින් නික්ම ගිය ස්නේහවන්තයා බොහෝ දුරට තවමත් නිදනවා වන්නට හැකිය. ගත වූ දිනය පුරාම එක දිගට මෝටර් රථය ධාවනය කළ ඔහු ඇත්‍තේ අධික මහන්සියකින් වන්නට ඇති බව ඈට දැනුණාය. 

ජංගම දුරකතනය පසෙකින් තැබූ ඈ විසල් කැඩපතෙන් පෙනෙන තම ප්‍රතිබිම්බය දෙස මඳ වේලාවක් එක දිගට බලා සිටියාය. හදපුරා නැඟ එන අසීමිත සුන්දර හැඟීමට ලෝබ වූ ඇය කැඩපත තුළින් පෙනෙන තමා සමඟම සිනහ වූවාය. පෙර දින උදෑසන රෝස පැහැ ගත් සිහින් උරපටි සහිත ගවුම හැඳ මේ ආකාරයටම කැඩපත ඉදිරියේ සිට තමා දෙසම බලා සිටි ආකාරය මතකයට නැඟුණු ඇයට ඔහු පැවසූ යමක් එක්වරම සිහියට නැඟුණි. 

” යන්නේ පන්සලකට නෙමෙයි . ඒ නිසා සිල් රෙදි පෙරවන් එන්නෙපා. “

දොළොස් වසකට පෙර සිටි තමා ක්‍රම ක්‍රමයෙන් තමාටම අහිමිවී ගිය ආකාරය ඈට සිහියට නැඟුණාය. නේක වර්ණ පිරී ගිය නෙක නෙක මෝස්තර රටා සහිත ඇඳුම් පැළැඳුම් සියල්ලටම තමා තිත තැබුවේ විවාහයෙන් පසුවය. තමා එළඹෙන්නේ විවාහයකට නොව මරණ මංචකයකට බවද , මෙයින් මතු තමා මළකඳක් පමණක් බවද ගෝරනාඩු කරමින් පියා හට පැවසූ යුවතිය ඇයට තවමත් මතකය. එදා සිට ඈ වර්ණවත් ඇඳුම් ප්‍රතික්ශේප කළාය. මෝස්තර රටා ප්‍රතික්ශේප කළාය. පැහැයෙන් ඉතා අඩු , කිසිදු වර්ණ ගැලපීමක් නොමැති , කිසිදු අලංකාරයක් නොමැති ඇඳුම් පමණක් ඈ භාවිතයට ගත්තාය. ඉණ තෙක් දිගු නිල් වරලස ඉන් මතුව කිසිදා කඩා නොදැමුණු අතර ගුලියක්ව හිසට බැඳුණේය. දිනෙන් දින දිනෙන් දින ඉතා සුළු වැරදීම් වලට පවා පහර ලබමින් දෑත දෙපා , ගෙල ඇතුළු සියොළඟම පෙනෙන කැළැල් වසා දැමීමට අව පැහැ ගත් ඇඳුම් ඉන් පසුව සිරුරට පමණටත් වඩා විසල් ඒවා වූයේය.  ඔහු එදා සිල් ඇත්තියක් ලෙස සරදම් කළේ එයටය. හේතු කාරණා පහදා දිය හැකි වුවත් ඔහුගේ සිත තවත් නොරිදවිය යුතුය . 

සුසුමක් හෙළූ ඈ නැවත ජංගම දුරකතනය අතට ගත්තාය. යැවූ කෙටි පණිවිඩයට තවම පිළිතුරක් තබා එය දැක හෝ නොමැත. ඔහු තවමත් නින්දේ විය හැක. එක් වරම දොරට කරන තට්ටුවක් නිසා නෙත්‍යාගේ කල්පනාව බිඳී ගියේය. 

” ඇයි මාලී ?”

” මැඩම්…!” 

සේවිකාව සිටියේ බොහෝ බියකින්ය. 

” ඇයි මාලී ? මොකද ?” 

” පො.. පොලීසියෙන් ඇවිල්ලා ” 

ඇගේ පණිවිඩයටත් වඩා නෙත්‍යාගේ හදවත සැලුණේ ඇගේ හැසිරීමේ තිබූ බිය නිසාය. නිදන කාමරයේ දොර සම්පූර්ණයෙන්ම විවර කර දැමූ ඈ ඉන් පිටතට පැමිණෙනවාත් සමඟම තරප්පු පෙළ දිගේ වේගයෙන් ඇවිද එන පොලිස් නිලධාරීන් හා කාන්තා නිලධාරිනියන් කිහිප දෙනෙක් දෙසම බලා ඒ හා සමානවම යාබද නිදන කාමරය තුළින් පිටතට ආ නැන්දණිය දෙස වික්ශිප්තව බැලුවාය .

” ඇයි මේ ? මොකද්ද  ප්‍රශ්නේ ? කවුද ඕගොල්ලෝ ? මෙහෙම ගෙවල් වලට කඩා පනිනවද ? “

හිඳ සිටි රෝද පුටුව තල්ලු කරමින් ඉදිරියට ආ වජිරා මල්දෙණිය කෝපයෙන් ගුගුරා හැළුණු අතර සිදු වන කලබගෑනිය තෝරා බේරා ගත නොහැකි වූ නෙත්‍යා සිටි තැනම ගල් ගැසී සිටියාය. 

තරප්පු පෙළ දිගේ ඉහල මහලට වේගයෙන් පැමිණි ෂියෝනා වජිරා මල්දෙණිය අසල සිට ගත්තාය .

” මිසිස් මල්දෙණිය අපි සම්පූර්ණ උසාවි නියෝගයක් සහිතව ආවේ. අපිට මේ මුළු ගේම සර්ච් කරන්නත් , මල්දෙණියලට අයිති ගිණුම් වාර්ථා , දුරකතන වාර්ථා හැමදේම සර්ච් කරන්නත් අයිතිය තියනවා. කරුණකරලා කලබල නැතුව අපිට මේ වැඩේ කරගන්න ඉඩ දෙන්න. “

නෙත්‍යා වහා වජිරා මල්දෙණිය අසලට ගියාය. 

” අම්මා ලෝයර්ට කතා කරන්න. “

ඒ වනවිටත් නිවස තුළට පැමිණ සිටින පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම පුද්ගලයින් විස්සකින් පමණ මල්දෙණිය නිවස පිරී ගොස් තිබුණේය. 

” න.. නර්මදා කෝල් එකක් ගන්න..”

වජිරා මල්දෙණිය පැටලෙමින් වුවද කෑගැසුවාය. 

” බොහොම කණගාටුයි මිසිස් මල්දෙණිය අපේ මේ පරීක්ෂා කිරීම් අවසන් කරන කන් කාටවත් කෝල් කරන්න ලෑස්ති වෙන්න එපා. “

නෙත්‍යා හා වජිරා දෙදෙනාම මුහුණට මුහුණ බලා ගත් අතර නෙත්‍යා වහා තම අත තිබූ ජංගම දුරකතනයෙන් මනුහස් හට ඇමතුමක් ගැනීමට උත්සාහ කළාය. බොහෝ විට ඔහු තවමත් නින්දේ විය යුතුය. මෙහි සිදුවන කිසිවක් නොදන්නවා විය යුතුය. 

නමුදු නෙත්‍යාට පෙර ඉක්මන් වූ ෂියෝනා වහා ඇගේ දුරකතනය තම බාරයට ගත්තාය. 

”  මං එක පාරක් වෝනින් එකක් දුන්නා මිසිස් මල්දෙණිය. කෝල් කරන්න බෑ. “

” ඕ.. ඕගොල්ලන්ට මෙහෙම කරන්න බෑ.. කවුද ඕගොල්ලන්ට මෙහෙම කරන්න අවසර දුන්නේ ? ම.. මනූ කෝ.. ?” 

” කවුද මනූ .. ?” 

ෂියෝනාගේ දෑසේත් , උවනේත් පුරාම සමච්චල් සිනහවක් ඇඳී ගියේය. 

” ම.. මනුහස් විජේවර්ධන , කෝ .. කෝ එයා..?” 

” ආ… මනුහස් විජේවර්ධන , එයා තමයි අපේ හෙඩ්. මේ හැමදේම වෙන්නේ එයාගේ අනුමැතිය අනුව. එයාගේ දැනුවත්වීම යටතේ.. තේරුණාද මිසිස් මල්දෙණිය ..?” 

ෂියෝනා අවසානයේ මිසිස් මල්දෙණිය යන්න බොහෝ බර කර පැවසූ අතර නැවතත් නෙත්‍යාගේ උවන දෙස බලා කට කොනකින් සමච්චල් සිනහවක් නැඟුවාය. 

” මිනිහෙක් එක්ක එක රැයක් කාමරේකට වෙලා හිටියා කියලා ඒ මිනිහට අයිතිවාසිකං කියන්න බෑ මිසිස් මල්දෙණිය. නම්බු දීලා කතා කරන්න. මෙච්චර කල් මිස්ටර් විජේවර්ධන කියලා කට පුරා කිව්ව එක මනූ කියලා කියන තරමට ළඟට එන්නෙපා. මිනිහෙක් රෑකට , දෙකකට හරි පැයකට දෙකකට හරි ගෑනියෙක්ව ලඟට ගන්නේ ඒ වෙලාවේ ඇති වෙන ඕනකමට මිසක් සදාකාලෙටම අඹුකමට ගන්න නෙමෙයි මිසිස් මල්දෙණිය . ඇත්තම කියනවනං ඒ වගේ ගෑනුන්ට මෙහෙම ගරු නම්බු දීලා කතා කරන්නෙත් නෑ. අපිට උන්ට  කියන්න නං වෙන වෙන නම් ඕන තරම් තියනවා. “

ෂියෝනා එසේ පවසා අසල සිටි තවත් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් සමඟද එකතුව සමච්චල් සිනහවක් නැඟුවාය. ඇගේ කතාව අසා සිටි නෙත්‍යාගේ දෙකම්මුල් ගිනියම් වී ගිය අතර අධික ලැජ්ජාවෙන් හා පීඩාවෙන් ඈ මිරිකී ගියාය. දෑසින් වැටෙන උණු කඳුළු දෙකම්මුල් දිගේ ගලා යද්දී ෂියෝනා පැවසූ සියල්ල අසා සිටි වජිරා මල්දෙණිය රෝද පුටුව නැවත තම නිදන කාමරය දෙසට හරවා ගත්තාය. 

” අම්මා…!” 

නෙත්‍යාට ඉකි ගසා හැඬුණාය. තමා පණටත් වඩා විශ්වාස කළ ස්නේහවන්තයාගේ මෙවැනි ද්‍රෝහී ක්‍රියාවක් ඈ කිසිසේත්ම බලාපොරොත්තු නොවූවාය. නෙත්‍යාගේ මුහුණ දෙස හැරී හෝ නොබැලූ වජිරා මල්දෙණිය නිදන කාමරය තුළට ගොස් දොර වසා ගත් අතර ෂියෝනා ඒ වනවිටත් අසල සිටි තවත් කාන්තා නිලධාරිනියන් කිහිප දෙනෙකු සමඟ කිසිවක් පවසමින් සිනහ වෙමින් සිටියාය. බොහෝ ජනකායක් මැද හැඳ උන් වස්ත්‍රය ගිලිහී යාමක් වැනි ලැජ්ජාවකින් මිරිකී ගිය නෙත්‍යා වහා නිදන කාමරයට විත් දොර වසා ගත්තාය. 

” මැඩම්.. ! මැඩම්..!” 

බොහෝ වේලාවක් යහනට වැදී හඬා වැළපෙමින් උන් නෙත්‍යා නර්මදාගේ කටහඬ ඇසුණු සැණින් දොර විවර කළාය .

” ඇයි නර්මදා..?” 

” මැඩම්.. ටීවී එක .. නිවුස් …” 

නර්මදා හට කුමක් හෝ පැවසීමට ඉතා අවශ්‍ය වුවද ඈ ගොත ගසමින් වචන කිහිපයක් පමණක් කතා කරමින් නෙත්‍යාගේ නිදන කාමරයේ තිබූ රූපවාහිනිය වෙතට අත දිගු කළාය. 

නෙත්‍යා වහා ටීපෝවක් මත තිබූ දුරස්ථ පාලකය ගෙන රූපවාහිනිය ක්‍රියාත්මක කළාය.

” විශේෂ පුවත්..

වර්ශ දෙදහස් විස්ස වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් රටේ බොහෝ කලබලකාරී තත්වයක් උදා වී තිබූ සමයක අනුරාධපුර නව නගරයට ආසන්න බ්ලූ වෝටර් නම් නිවාඩු නිකේතනය තුළ කොරෝනා ආසාධිත යැයි පවසමින් නිරෝධායනය වෙමින් තිබූ තරුණ ජර්මන් ජාතික තරුණියක් ඊට දින කිහිපයකට පසු මරණයට පත් වී තිබුණේය. එවකට ඒ සම්බන්ධව සිදු කෙරුණු සියළු පරීක්ශණ තුළ ඈ මිය ගියේ කොරෝනා ආසාධිත වීම නිසා බවට සඳහන්ව තිබුණද , මෑතක පොලිස් නිලධාරීන්ට සිදු කළ පරීක්ෂණ කිහිපයක් හේතුවෙන් මීට අවුරුදු පහකට පෙර මිය ගිය ජර්මන් ජාතික තරුණියගේ මරණය සිදුව ඇත්තේ කොරෝනා ආසාධිත වීමකින් නොව පිරිසක් විසින් ඇයට සිදු කර ඇතැයි කියනු ලබන දැඩි හිරිහැර කිහිපයක් නිසාවෙන් බව හෙළි වී තිබුණේය. 

ඒ අනුව එකී වරදට වරදකරුවන් වූ බ්ලූ වෝටර් හී අධිපති ක්‍රිශාන් පීරිස් හා ඔහුගේ සමීපතම මිතුරු කවය වූ මයන් මල්දෙණිය , අසංග සුදේශ් හා ජේඩ් තෝමස් යන අයගේ සියළුම වාර්ථා පරීක්ෂා කිරීමට පොලීසිය විසින් අධිකරණ නියෝග ලබා ගෙන ඇත. මෙම පරීක්ශණ මේ වන තෙක් මෙහෙය වූයේ පොලිස් නිලධාරී මනුහස් විජේවර්ධන වූ අතර මෙකී අපරාධයට හේතු වූ සියලුම අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන එන බවට මාධ්‍යට ඔහු පොරොන්දු වූයේය. 

දෙපයින් හට ගත්තා වූ වෙව්ලීම හේතුවෙන් තව දුරටත් සිට ගෙන සිටීමට නොහැකි වූ නෙත්‍යා යහන මතට කඩා වැටුණාය. 

” එස්කියුස් මී මිසිස් මල්දෙණිය..! “

නිදන කාමරයට එබුණු පොලිස් නිලධාරිනියක් දෙස නෙත්‍යා හැඟීම් විරහිතව බලා සිටියාය. 

” අපේ ලොකු සර් එනවා දැන්. මැඩම් ටිකක් එළියට එන්න.. ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here