කිසිදු හැඟීමකින් තොරව නෙත්‍යා නිදන කාමරයෙන් පිටතට ආවාය . නිවස තුළ රැඳී සිටි නිලධාරීන් නිවසේ තිබූ බොහෝ ලිපි ගොනු ඒ මේ අත හරවමින් , බලමින් ,පරීක්ශා කරමින් සිටියහ. නිවසේ තිබූ සියළු දුරකතන , පරිගණක , සන්නිවේදන උපකරණ සියල්ලම ඔවුන්ගේ බාරයට ගෙන තිබුණේය. මීට ටික මොහොතකට පෙර ඉඳිකටු තුඩක් බිම වැටෙන හඬක් පවා ඇසෙන තරමට නිහඬව , නිස්කලංකව තිබූ මල්දෙණිය නිවස ඒ වන විට අවුල් ජාලාවක් වී තිබුණේය. නිවස පුරාම පොලිස් නිලධාරීන් මෙන්ම රාජ්‍ය අංශවල නොයෙකුත් නිලධාරීන් කිහිප දෙනෙකුම කඩි ගුලක් ඇවිස්සුවාක් මෙන් එහා මෙහා දුවමින් , පරීක්ශණ පවත්වමින් සිටියහ. කිහිප දෙනෙකු ජංගම දුරකතන මඟින් , කැමරා මඟින් සියල්ල ජායාරූප ගත කරමින් සිටියහ. මේ සියල්ල හේතුවෙන් මල්දෙණිය නිවස තුළ මින් පෙර නොවූ අයුරින් මහා කාලගෝට්ටයක් නිර්මාණය වී තිබුණේය.
එක් වරම කලබලයෙන් එහා මෙහා දුවමින් සිටි සියළුම නිලධාරීන් සිටි තැන් වලම නිශ්චල විය. හිඳ සිටි අය බොහෝ දෙනා අසුන් වලින් නැඟී සිටියේය . පොලිස් නිල ඇඳුම හැඳගත් තරුණ දේහදාරී නිලධාරියා මල්දෙණිය නිවසට ගොඩ වූයේය. ඔහු පැමිණි විගස ඔහු ඉදිරියට ගිය ෂියෝනා ඔහු හා කුළුපඟව ඉතා ලෙංගතුව එහා මෙහා අත දිගු කරමින් ඔහුට යම් යම් දේ පවසන ආකාරයත් , ඔහු සෙමින් හිස සොලවමින් ඒ සියල්ලටම ප්‍රතිචාර දක්වන ආකාරයත් නෙත්‍යා උඩු මහළේ සිට වෙව්ලන දෑසින් බලා සිටියාය. ඇගේ දෑසින් යළිත් වරක් එක දිගට කඳුළු කැට කඩා වැටුණේය. තමා පිළිබඳව තමාගේ සිතෙහිම හටගත් දරා ගත නොහැකි අසරණභාවය හේතුවෙන් ඈ දෑතම ගුලිකොට ළමැඳ මත තබා තද කර ගත්තාය.
” සර්.. ඔක්කොම එවිඩන්ස් ටික ලැබුණා. ඔක්කොම ක්ලියර්..”
දෙවන මහලට ගොඩ වැදුණු ඉහල නිලධාරියා ඉදිරියේ සිට ගත් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුම තමන් පැමිණි කාර්‍ය සාර්ථක වූ බව ඔහු හමුවේ පවසා සිටියේය . මල්දෙණිය නිවසේ තිබූ ලැප්ටොප් පරිගණකයක් පෙන්වමින් එහි සිටි තවත් නිලධාරියෙකු ඔහු හට දෑතම එහා මෙහා කරමින් ගිණුම් වාර්ථා රැසක් පිළිබඳව නොයෙක් නොයෙක් දෑ පැහැදිලි කරමින් සිටියද නෙත්‍යා හට ඒ කිසිවකට සවන් දීමට ශක්තියක් නොවුණාය . දැන් දැන් තම වාරුව ගිලිහී ඇද වැටේදෝ වැනි බියකින් සිත පෙළී ගිය ඈ වහා නිදන කාමරයේ උළුවස්සට බර වූවාය.
” මිසිස් වජිරා මල්දෙණිය…?”
පොලිස් නිලධාරී මනුහස් විජේවර්ධන එසේ අසමින් ෂියෝනා වෙතට හැරුණේය . ෂියෝනා වහා අසල සිටි තවත් කාන්තා පොලිස් නිලධාරිනියකට හිසින් සන් කළ අතර ඈ වහා වජිරා මල්දෙණියව මනුහස් ඉදිරියට කැඳවාගෙන පැමිණියාය.
” මිසිස් මල්දෙණිය…!”
වජිරා මල්දෙණිය හිඳ උන් රෝද පුටුවේ සිටම හිස බිමට බර කර ගනිමින් සිටියාය. මොහොතකට පෙර ඇගෙන් දිස් වූ ප්‍රතාපවත්බව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ගොස් තිබුණේය .
” මිසිස් මල්දෙණිය දෙදාස් විස්ස අවුරුද්දේ අනුරාධපුර බ්ලූ වෝටර් ගෙස්ට් හවුස් එකේ මිසිස් මල්දෙණියගේ පුතා මයන් මල්දෙණිය ඇතුළු කීප දෙනෙක්ගෙන් බරපතල කරදර වලට මූණ දීපූ ජර්මන් ජාතික ගෑනු ළමයෙක් මිය ගිහින් තියනවා. කොවිඩ් හැදිලා නැති උනා කිව්වට ඒක වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි කියලා අපි දන්නවා. එතන වෙලා තියන දේ මිසිස් මල්දෙණිය හොඳින්ම දන්නවනේ ? පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ ? අදාල ඝාතනය හංගන්න ඕන නිසා ඒක කොවිඩ් මරණයක් කියලා රිපෝට් හදපු ඩොක්ටර්ස්ලා දෙන්නවත් , කේස් එක හැඩ්ල් කරපු පොලීසියේ තුන්දෙනෙක්වත් අපි ඇරෙස්ට් කරලා ඉවරයි. තව ඒ වෙනකොට ගෙස්ට් හවුස් එකේ හිටපු සපුගොඩවත් , ක්‍රිශාන් පීරිස්ගේ වයිෆ් නිශාදි පීරිස්වත් අපි ඇරෙස්ට් කරලා ඉවරයි.
ඒ වගේම ඒ ඝාතනය හංගන්න අනුබල දෙන්න අදාල පුද්ගලයින්ට අවශ්‍ය කරන මුදල් සේරම ගිහින් තියෙන්නේ මිසිස් මල්දෙණියගේ බැංකු ගිණුමකින් කියලත් අපි හොයාගෙන ඉවරයි . එතනින් නවතින්නැතුව මැරුණු ගෑනු ළමයගේ පවුලෙ අයටත් සල්ලි දීලා කටවල් වහපු බව අපි දන්නවා. සෝ.. සොරි මිසිස් මල්දෙණිය , අපරාධයක් සැඟවීමට කටයුතු කිරීම , ඊට ආධාර අනුබල දීම වැනි කාරණා උඩ අපිට ඔබතුමියව අත් අඩංගුවට ගන්න වෙනවා. “
මනුහස් එසේ පවසා ෂියෝනා හට හිසින් සංඥා කළේය . වචනයකින් හෝ නිදහසට කරුණු කීමට ඉදිරිපත් නොවුණු වජිරා මල්දෙණිය හිඳ සිටි රෝද පුටුව උඩ ගල් ගැසී සිටියාය. ඇගේ පසුපසින් පැමිණි කාන්තා පොලිස් නිලධාරිනියක් ඇගේ රෝද පුටුව තල්ලු කරමින් නෙත්‍යාද පසු කර යන්නට ගියාය.
රැස්ව සිටි පොලිස් නිලධාරීන් ලිපි ගොනු හා පරිගණක යන්ත්‍ර කිහිපයක් රැගෙන යාමට සූදානම් වෙමින් සිටි අතර පොලිස් නිලධාරී මනුහස් විජේවර්ධන නෙත්‍යා මල්දෙණිය දෙසට එකදු බැල්මක් හෝ නොහෙළා ඈ අසලින්ම අඩි තබමින් පිටත් වී ගියේය.
*******************************************-
වජිරා මල්දෙණිය ප්‍රශ්න කිරීම් කාමරයේ කුඩා මේසයක් ඉදිරියේ තම රෝද පුටුව මත අසුන් ගෙන හිස බිමට බර කරමින් හිස් හැඟීමකින් බලා සිටියාය .
මඳ වේලාවකින් ප්‍රශ්න කිරීම් කාමරයේ දොර විවර කරමින් ඇතුළට ආ මනුහස් හා ෂියෝනා වජිරා මල්දෙණිය ඉදිරියේ තිබූ අසුන් දෙකකින් වාඩි වූහ.
” මිසිස් වජිරා මල්දෙණිය.. , අපි දැන් කතා කරමු. දැන් හංගන්න කියලා දේකුත් නෑ. තියන දෙයක් හංගලා වැඩකුත් නෑ. දෙදාස් විස්සේ මාර්තු හතර වෙනිදා අනුරාධපුරේ බ්ලූ වෝටර් ගෙස්ට් හවුස් එකට මයන් මල්දෙණිය , අසංග සුදේශ් , ජේඩ් තෝමස් කියන තුන්දෙනා ගිහින් තියනවා. බ්ලූ වෝටර් එකේ අයිතිය තියෙන්නේ ක්‍රිශාන් පීරිස්ට. මයන් මල්දෙණියත් , ගිය අනිත් දෙන්නත් , ක්‍රිශාන් පීරිසුත් කියන්නේ ඉස්කෝලෙ කාලේ ඉඳන්ම හොඳ යාලුවෝ. “
ෂියෝනා තමා ඉදිරියේ තිබූ ලිපි ගොනුවක් පෙරළමින් පවසා සිටියාය.
” ඊට අවුරුද්දකට කලින් තමන්ගේ රිසර්ච් එකකට ලංකාවට ඇවිල්ලා හිටපු අවුරුදු විසි හතරක් වුණු හැනා මුලර් ඒ වෙද්දී නැවතිලා හිටියේ අනුරාධපුරේ බ්ලූ වෝටර් ගෙස්ට් හවුස් එකේ . කොවිඩ් ප්‍රශ්න නිසා හැනාට තමන්ගේ රටට යන්න අවශ්‍යතාවයක් තිබ්බත් ඒ වෙද්දි කොව්ඩ් නිසාම ඒක දිගින් දිගට කල් ගියා. කොවිඩ් නිසා මිනිස්සු නැතුව බ්ලූ වෝටර් ගෙස්ට් හවුස් එකත් තිබ්බේ ටිකක් පාලුවට ගිහිල්ලා. ක්‍රිශාන් පීරිස් ඒ වෙලාවෙ තමන්ගේ ඉස්කෝලේ පරණ යාලුවෝ තුන් දෙනා ගෙස්ට් හවුස් එකට ආපු එක ගැන ලොකු සතුටකින් ඉඳලා තියනවා.
ගෙස්ට් හවුස් එක පාලුවට ගිහින් තිබ්බ නිසා වගේම විසිටර්ස්ලා වගේම වැඩ කරපු අයත් කීප දෙනෙක්ම ගෙස්ට් හවුස් එකට ඔය කාලේ ආපු නැති නිසා හැනා උනත් ඉඳලා තියෙන්නේ ලොකු කම්මැලිකමකින්. ඉතිං එක පාරට ආපු ගෙස්ට් හවුස් එකේ අයිතිකාරයාගේ යාලුවෝ ටික නිසා ඒ පාලුවයි , කම්මැලිකමයි යන්න හැනා මයන් ඇතුළු කට්ටිය එක්ක හරි ඉක්මන්ට යාලු වෙනවා. “
රසවත් කතාවක් දිග හරින්නා සේ වජිරා මල්දෙණිය අභියස කතා කරමින් සිටි ෂියෝනා වරින් වර කතාව අතර තුර හිස ඔසවා වජිරා දෙසද බැලුවාය. නමුත් ඈ පෙර සිටි ආකාරයටම හිස බිමට පහත් කරගෙන සිටියා විනා සෙළවීමක් හෝ නොකළාය. දෑතම පපුවට බැඳ නිහඬව ඉදිරිය බලා සිටින තම ඉහල නිලධාරියා දෙසද යටැසින් බැලූ ෂියෝනා නැවත කතාව ආරම්භ කළාය.
” සිහි කල්පනාව නැති වෙන්නම බීපු කට්ටියගෙන් අසංග සුදේශ් එක්ක ඕනෑවට වඩා හිතවත් වෙච්ච හැනා අසංග එක්ක එදා රෑ තමන්ගේ කාමරේට යනවා. නොමිලේම අසංගට ලැබුණු ට්‍රීට්මන්ට් එක ඉරිසියා හිතුණු ජේඩ් තෝමස් නොහොත් ටැමී ඒකට විහිළු කරද්දි මයන් මල්දෙණියටත් ලිංගික ශ්‍රමිකයෙක්ගේ අවශ්‍යතාවයක් එනවා. මයන් මල්දෙණිය කියන්නේ අසාමාන්‍ය ලිංගික ආශාවන් තිබ්බ මිනිහෙක්. කොටින්ම විකෘති ලිංගික ආශාවල් තිබ්බ මිනිහෙක්. සයිකෝ කාරයෙක්. “
” ෂියා…!”
මනුහස් ප්‍රථම වතාවට කටහඬ අවදි කළේය.
කෙතරම් අපරාධකරුවෙකු වුවත් කතාවේ චරිතය වන්නේ ඉදිරියේ හිඳ සිටිනා කාන්තාවගේ පුත්‍රයාය. මිනීමැරුමක් , මංකොල්ලකෑමක් , මත්ද්‍රව්‍ය ප්‍රවාහනයක් , පහර දීමක් මේ එකී මෙකී නොකී සියලු අපරාධ වලට අපරාධකරුවෙකු ලෙසට මවක් ඉදිරියේ පුතෙකු හංවඩු ගැසුණද මෙවන් කාරණයක් මවකට දරාගත හැකි සීමාවක් ඇති බව මනුහස්ට දැනුණේය . ඔහු ෂියෝනා දෙස බලා එකී කාරණය පිළිබඳව පැවසීම නවතා දමන ලෙසට හිසින් සන් කළ අතර මෙතෙක් වේලා හිස බිමට බර කරගෙන සිටි වජිරා මල්දෙණිය හිස ඔසවා මනුහස් දෙස කඳුළු පිරි දෑසින් බලා සිටියාය.


