” කොච්චර හෙව්වත් මයන් මල්දෙණියට හරියන , ගැලපෙන සර්විස් එකක් දෙන්න පුලුවන් ගෑනියෙක් එදා හොයාගන්න ලැබිලා නෑ. විහිළුවට උනත් ඉරිසියාව නිසාම ටැමී කියපු දේවල් එක්ක සිහියක් කටක් නැතුව හිටිය මයන් ඊලඟට යන්නේ හැනා ගාවට. හොඳටම බීලා අසිහියෙන් හිටියත් හැනා කැමති වෙන්නෑ මයන් එක්ක එකට ඉන්න. කොහොමහරි එදා මයන්ගේ දරුණු පහරදීම් වලට , අඩත්තේට්ටම් වලට , හිරිහැර වලට ලක් වෙච්ච හැනා ගෙස්ට් හවුස් එකේ අංක විසි හතරේ කබානා එක ඇතුළෙම මැරෙනවා. “
ෂියෝනාගේ කතාව රළු පරළුය. මනුහස් කෙතරම් පැවසුවද ෂියෝනා තුළ සිටි ගැහැනු ආත්මය හැනාගේ මරණයෙන් කෝපාවිශ්ටව සිටියාය. දරුවෙකු තුළින් සිදු වන ඕනෑම වරදකට විත්තිකරුවන් වීමට දෙමව්පියන්ට සිදු වන්නේ දරුවාව නිර්මාණය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම ඔවුන් සතු නිසාය. දරුවෙකුගේ යහපතත් , අයහපතත් නිර්මාණය වන්නේ දෙමව්පියන් අතින්ය. දෙවියන් වහන්සේ විසින් මිනිසාව මැවූවද දරුවකු මවන්නේ , දරුවෙකු මිනිසෙකු බවට පත් කරන්නේ දෙමව්පියන් බව ඈ තදින් විශ්වාස කළාය . ඒ නිසාම මයන් මල්දෙණියගේ සාහසික ක්‍රියා වලට ඔහුගේ මව වගකිවයුතු බවද ඈ එක සිතින් පිළිගත්තාය.
” ගෙස්ට් හවුස් එකේ එදා හිටපු මයන් ඇතුළු හැමෝම හැනාට උනේ මොකක්ද කියලා දැනගත්තේ පහුවදා එළි වෙලා බීපු වෙරි ටිකත් බැස්සටත් පස්සේ. ඊට පස්සේ ඉතිං වෙච්ච දේවල් ආයේ ආයේ කියන්න ඕනේ නෑනේ ? එතන ඉඳලා හැනාට කොවිඩ් හැදිලා කියලා ඒ මරණේ පුච්චලා දානකන්ම එහෙට මෙහෙට විසික් උනු මල්දෙණියලාගේ සල්ලි හැමෝගෙම කටවල් වැහුවා. හැනාට හිටියේ තාත්තා විතරයි. ඒ මිනිහත් හැනා ගැන බැලුවේ නෑ. අන්තිමට ඌටත් හතර පස් පාරක්ම ලක්ශ ගාණකින් සල්ලි ට්‍රාන්සර් උනා මයන් මල්දෙණියගේ වගේම තමන්ගෙත් එකවුන්ට්ස් වලින්. එතනින් එහා අසංග , ටැමී , ක්‍රිශාන් විතරක් නෙමෙයි සපුගොඩගෙත් කටවල් වැහුණේ මල්දෙණිය නෝනා හිතේ හැටියට තමන්ගේ පුතාව බේරගන්න සල්ලි විසික් කරපු හින්දා. ක්‍රිශාන්ගේ මරණෙදි පොලීසියට හම්බෙලා තිබ්බ සුයිසයිඩ් නෝට් එකේදී ක්‍රිශාන් කියනවා හැනාට වෙච්ච දේ දරාගන්න බැරුවයි එයා මැරෙන්නේ කියලා. ඒක දැනගත්තු හැටියෙම මල්දෙණිය නෝනා අනිත් පැත්තට ලෝබ නැතුව නිශාදි පීරිස්ට ලක්ශ පනහක්ම ට්‍රාන්සර් කරනවා.
අන්‍තිමට හිතේ තිබ්බ ස්ට්‍රෙස් එකට තමන් විසින්ම මවා ගත්තු දෙයක් කියලා ක්‍රිශාන්ගේ මරණෙත් සාමාන්‍ය එකක් කරනවා. සල්ලි වලට මොනවද කරන්න බැරි කියලා මල්දෙණියලා හිතුවට මිනිස්සු සල්ලි වලටත් වඩා තමන්ගේ ජීවිතේට ආදරෙයි. මල්දෙණියලා සෙල්ලං කරන්නේ සල්ලි එක්ක උනාට පොලීසිය එහෙම නෑ. දෙක තුනක් වදිද්දී සපුගොඩත් , වචනෙකින් දෙකකින් බය කරද්දි නිශාදි පීරිසුත් ඔක්කොම වැමෑරුවා. “
ෂියෝනා එසේ පවසා තමා ඉදිරියේ තිබූ ලිපි ගොනුව වසා දැමුවාය.
වජිරා මල්දෙණිය තව දුරටත් නිහඬවම කඳුළු වගුරමින් සිටියාය.
” මිසිස් මල්දෙණිය…!”
නැවත වතාවක් මනුහස් තම මුව හැරියේය .
” මිසිස් මල්දෙණිය මට කරන්න කියලා බාර දුන්නේ එක දෙයක් , හැබැයි මං කළේ තව දෙයක් කියලා හිතන්න එපා. මේ මිසිස් මල්දෙණිය මට කරන්න කියලා බාර දීපු වැඩේම කොටසක් තමා. මිසිස් මල්දෙණිය හැමදේම හරියට තිතට කළා. හැබැයි එක තැනක් මිසිස් මල්දෙණිය වරද්ද ගත්තා. ඒ මාත් එක්ක ගණුදෙනු කරන විදිහ. මං මනුහස් විජේවර්ධන… මිසිස් මල්දෙණිය මං ගැන හිතුවා සෑහෙන්න මදි. පෝස්‍ට් මෝටම් රිපෝට් එකේ මයන් මල්දෙණියගේ මරණයට හේතුව සුයිසයිඩ් එකක් කියලා තියෙද්දිත් මිසිස් මල්දෙණිය මට මයන් නැති වෙච්ච හේතුව හොයන්න බාර දුන්නා. “
මනුහස් එසේ පවසා වජිරා මල්දෙණිය දෙස බලමින් මඳ සිනහවක් නඟමින් හිස දෙපසට සැලුවේය.
” මිසිස් මල්දෙණියට ඕන උනේ මයන් සුයිසයිඩ් කරගත්තු හේතුව හොයන්න නෙමෙයි , ඇයි මයන්ට තමන් සුයිසයිඩ් කරගත්තා වගේ රඟපෑමක් දාලා ලොකු නාට්ටියක් පෙන්නලා තමන්ගෙම ජීවිතෙන් පැනලා යන්න උනේ කියලා හොයන්න. ඉස්කෝලේ එකට හිටපු එකම යාලුවෝ ටික එකා දෙන්නා සුයිසයිඩ් කරගෙන මැරෙනකොට ඊලඟට එන්නෙ තමන්ගේ වාරේ කියලා දැනගත්තු මයන් මල්දෙණියට තමන්ගේ ජීවිතේ රැකගන්න තමන්ගෙම ජීවිතේ දාලා යන්න හේතු වෙන එකාව මං ලව්ව අල්ලගන්න. “
වජිරා මල්දෙණිය තිගැස්සුණු දෙනෙතින් මනුහස් දෙස බලා සිටියාය.
” මි.. මිස්ටර් විජේවර්ධන …!”
ඈ අපහසුවෙන් යමක් කීමට සැරසුණද මනුහස්ගේ නමට අමතර කිසිවක් ඇගේ මුවින් පිට නොවුණේය.
” මං කිව්වනේ මිසිස් මල්දෙණිය වගේම මයන් මල්දෙණියත් මං ගැන හිතුවේ සෑහෙන්න අඩුවෙන් “
මනුහස් එසේ පවසා කට කොනකින් සිනහවක් නැඟුවේය . ඉන් පසුව මෙතෙක් පපුව මත බැඳ සිටි දෑත තමා ඉදිරියේ තිබූ මේසය මත තබා ඉදිරියට විත් එයට බර වූයේය .
” මනුහස් විජේවර්ධන කියන්නේ ලැබෙන හැම කේස් එකක්ම විසඳන එකෙක් කියලා හොයා ගත්තාට ඒක විතරක්ම නෙමෙයිනේ මිසිස් මල්දෙණිය මේ කේස් එක මටම බාර දෙන්න හේතුව ? මං කීයක් ඉල්ලයිද කියන ප්‍රශ්නේ මිසිස් මල්දෙණියටයි , මයන්ටයි තිබ්බේ නෑ. මේකට මං ඇරෙන්න වෙන ඕනම කෙනෙක්ව සම්බන්ධ කරගන්න පුලුවන් කම තියෙද්දිත් මාවම ඇදලා ගත්තෙත් මයන්ගේ තියන කපටිකමට. මයන් හිතුවා මං මගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසා මේ කේස් එක වෙන කාටත් වඩා හොඳින් කරයි කියලා ? “
එවර වජිරා මල්දෙණියගේ තිගැස්සුණු දෑසට අමතරව ෂියෝනාගේ තිගැස්සුණු දෑසද , ගැහෙන හදවතද මනුහස්ගේ උවන මතට වැටී තිබුණේය.
” මයන් මල්දෙණිය කියන්නේ මුළු ඇඟෙන්ම ප්ලෑන් ගහන මිනිහෙක්. අවුරුදු විසි පහකට එහා තමන්ගේ ඉස්කෝලේ තමන් එක්කම එකට ඉගෙනගත්තු යාලුවෝ අට දෙනෙක්ව මයන් මොකාක් හරි බරපතල දේක සාක්ශි කාරයෝ කර ගත්තා. හරියට ගෙස්ට් හවුස් එකේ සිද්ධිය වගේ. ඊට පස්සේ ඒ හැම එකාටම දරාගන්න බැරි විදිහේ උදව් කළා. කවදහරි මයන්ට ද්‍රෝහි වෙන්න උවමනාවක් ආවත් එහෙම දේකට හිත හදා ගන්න බැරි තරමට මයන් උන්ට උදව් කරලා , සලකලා උන්ව හිර කළා , උන්ගේ අත්තටු කැපුවා . හැම එකාම තමන්ගේ පාත් එක හදා ගත්තේ මයන්ගේ සල්ලි උඩ. මයන්ගේ උදව් උඩ. ඒ නිසාම අවුරුදු ගාණක් යනකන්ම උන්ට කටපියන් ඉන්න උනා. අන්තිමටත් කටක් ඇර ගන්න බැරි වෙච්ච තැන පස්සෙන් පන්නපු පව් නිසාම අන්තිමට උන් උන්ගෙ ජීවිතෙන්ම වන්දි ගෙව්වා.
මේ හැමදෙයක්ම උනේ මයන් මල්දෙණියගේ මාස්ටර් මයින්ඩ් ප්ලෑන් නිසා. හැබැයි කොහෙන් හරි වැරදුණා. කොතන හරි වැරදුණා. එකා දෙන්නා මැරෙනකොට මේ පන්නන්නේ පෙර කළ පවක් කියලා හිතපු මයන් තමන්ගේ මරණෙට කලින් තමන්වම මරව ගත්තා. මයන්ට මාව ඕන උනේ යාලුවන්ට වගේම තමන්ටත් ත්‍රෙට් එකක් දෙන්න තරම් පුලුවන් එකා කවුද කියලා හොයන්න. මේ දේවල් සිද්ධ වෙන්නේ මොන හේතුවක් උඩද කියන එක මයන් මුල ඉඳන්ම දැනන් හිටියා. මිසිස් මල්දෙණියත් දැනන් හිටියා. සිද්ධිය දැනගත්තට මේවා කරන්නේ කවුද කියලා තමුන්ලා කවුරුත් දැනන් හිටියේ නෑ. තමුන්ලා මාව ගත්තේ ඒකට. “
මින් පෙර නොඇසූ බොහෝ දෑ මනුහස්ගේ මුවින් පිටවද්දී වජිරා මල්දෙණියට වඩා පුදුමයකින් ෂියෝනා පෙළුණාය.
” හැම කාරණේකදිම නෙත්‍යාව ඉස්සරහට දැම්මේ මාව කන්ට්‍රෝල් කරන්න බව මම මුල ඉඳන්ම දැනන් හිටියේ. තමුන්ගේ පුතාට තියෙන්නේ කොයි වගේ ලෙඩෙක්ද කියලා හොඳ හැටි දැන දැනත් කොහේ වත් හිටපු අහිංසක කෙල්ලෙක්ව ඌට බන්ඳලා දීලා ඒ කෙල්ලගේ ජීවිතේ අවුරුදු ගාණක් විනාස කළා. ඒ කෙල්ලගේ විතරක් නෙමෙයි මගෙත්. “
මනුහස් දබරැඟිල්ලෙන් තම පපුවට තට්ටු කර ගත්තේය.
” මොකාට කෙළවෙලා හරි අම්මයි ,පුතයි ගොඩ යනවනං ඇති කියලා හිතපු තමනුයි , තමන්ගේ පුතයි අන්තිමේ මේ කිසිම දෙයක් නොදන්න අර අහිංසකීවත් මාව බා ගන්න ඇමකට දැම්මා. නෙත්‍යාව දැක්කට පස්සේ මං පිස්සෙක් වගේ වෙලා එයාගේ මිනිහගේ මරණෙට හේතුව මොකද්ද කියලා හොයයි කියලා හිතුවා. මං හරිනේ ..? ඒ අහිංසක කෙල්ල තවමත් හිතන් ඉන්නේ තමුන් මේ කිසි දෙයක් දන්නෑ කියලා. ඒ කෙල්ල දන්නෑ අම්මයි , පුතයි එකතු වෙලා එයාව පාවිච්චි කළා කියලා.
ඒ ඉන්නේ මං මගේ ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු කෙල්ල. මං කවුද කියන්න ඒ කෙල්ල මටත් වැඩිය හොඳට දන්නවා. තමුන්ලා හැමදේම හොඳට ප්ලෑන් කළත් වැරදුණේ අන්න එතන. මල්දෙණිය ගෙදට්ට මං ගොඩ උනේම මයන් මල්දෙණිය තවමත් ජීවතුන් අතර කියලා දැනගෙන. තමුන්ලා මුළු ලෝකෙටම හොරෙන් මට මේ කේස් එක බාරදීලා කරන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවගන්නවා වගේ වැඩක් කියලා දැනගෙන. මෙන්න මේක හොඳට මතක තියාගන්න මිසිස් මල්දෙණිය… මං නතර වෙන්නේ මේ සුයිසයිඩ් වලට හේතු වෙන්නේ මොකාද කියන එක දැනගෙන විතරක් නෙමෙයි , මයන් මල්දෙණියවත් එළියට අරගෙන. මයන් කොයි ලෝකේ හැංගිලා හිටියත් මං ඌව එළියට ගේන එක ගේනවාමයි. “
එසේ පැවසූ මනුහස් හිඳ සිටි පුටුව වේගයෙන් පසුපසට කරමින් නැඟී සිටියේය. වජිරා මල්දෙණිය තව දුරටත් හිස බිමට බර කරගෙන සිටි අතර ෂියෝනාගේ දෑසින් එක පෙළට කඳුළු බිඳු පේළියක් ගලා ගියේය.


