මනුහස් නැවත වතාවක් දුරකතනය කනේ තබා ගත්තේය.
” සර්..!”
” හෙලෝ ජාන්වී…!”
සචින්ද්‍රට පැවසීමට ගිය කරුණ නතර කිරීමට සිදු විය. මනුහස්ගේ ඇමතුමේ අනෙක් පස සිටි ජාන්වී මනුහස් සමඟ සම්බන්ධ වූවාය .
” ජාන්වී… ! ඔයාට නෙත්‍යා කතා කළාද ? මං දැන් සෑහෙන්න වෙලාවක ඉඳන් ට්‍රයි කරන්නේ ෆෝන් එක ඕෆ්. ගෙදරත් නෑ. “
” ඇයි මනූ දැන් ඔයා නෙත්‍යාව හොයන්නේ ? “
මනුහස්ගේ උවන එක වරම ජාන්වීගේ පැනයත් සමඟම තවත් අඳුරු වී ගියේය.
” ජාන්වී.. හරි.. මං පිළිගන්නවා හැමදේම සිද්ධ උනේ කලබලේට. ඊයේ රෑ දොළහට කිට්ටුයි මං නෙත්‍යාව ගේ ලඟින් දානකොට. ඒ වෙලාවෙවත් අද මේ දේ කරගන්න පුලුවන් වෙයි කියලා සීයට සීයක්ම ශුවර් එකක් තිබ්බේ නෑ. මේක මෙච්චර ලොකුවට කරන්න මට උවමනාවක් තිබ්බෙ නෑ ජාන්වී. ප්ලීස්.. මිස් අන්ඩර්ස්ටෑන්ඩ් එකක් තියාගන්න එපා. ඉහලින් ආපු ඕඩර්ස් එක්ක හැම ඩිපාර්ට්මන්ට් එකකින්ම එක පාර මල්දෙණිය ගෙදරට යන්නයි අණ ලැබුණේ. ඒක මං හිතා මතා කරපු දෙයක් නෙමෙයි. මේක මෙච්චර ලොකුවට යයි කියලා දැනගෙන හිටියානං මං ඊයේ නෙත්‍යාව මෙහෙ එක්කන් එන්නෑ. අපේ ගෙදර තියලා එනවා.. “
සචින්ද්‍ර පුදුමව මනුහස් දෙස බලා සිටියේය. මනුහස් ජාන්වී ඉදිරියේ පිණ්සෙණ්ඩු වන ආකාරය දකින විට ඔහුගේ හදවත තුළ ගොඩ නැඟී තිබූ කෝපය තව තවත් විසල් වන්නට වූයේය .
” මනූ.. මනූ.. මං කියන්නේ ඒ ගැන නෙමෙයි. කවදහරි ඒවා වෙන්න තිබ්බ දේවල්. මිනිස්සුන්ට අපරාධ කරලා හැංගෙන්න බෑ. කවදහරි රටේ ලෝකේ මිනිස්සු ඒ දේවල් ගැන දැන ගන්නවා. අද මුළු දවසෙම ටීවී එකෙයි , සෝෂල් මීඩියා වලයි කතාව ඕක ගැන විතරයි. නෙත්‍යා ඒ දේවල් වලට ලෑස්ති වෙලා හිටියේ. එයා ඒවට අමුතුවෙන් ශොක් වෙන්න දෙයක් නෑ. අනික ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙච්ච එකෙන් ලොකුම හොඳේ උනේ නෙත්‍යට. මං කතා කරන්නේ ඒ ගැන නෙමෙයි මනූ.. මං කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. “
මනුහස් පුදුමයෙන් දුරකතනය කනේ තබා ගෙන සිටියේය.
” එහෙනං ඔයා මොකක් ගැනද කියන්නේ ජාන්වී.. ? මං හිතන් හිටියේ අද උදේ වෙච්ච දේවල් වලට ශොක් වෙලා නෙත්‍යා මාත් එක්ක තරහින් ඇති කියලා ?”
” මනූ.. මනූ… ! listen… I know you are a talented police officer.. හැබැයි අනිත් මිනිස්සුන්ගෙ දේවල් ගැන හොයලා බලනවා වගේම තමන් වටේ වෙන දේවල් ගැනත් හොයලා බලන්න. තමන් කොච්චර හොඳ උනත් වැඩක් නෑ තමන්ගේ වටේ ඉන්නේ කුණු ගඳ ගහන උන් නං. තමන් කොච්චර සුවඳට හිටියත් අනිත් උන්ගේ කුණු ගඳ තමන් ලඟත් දැනෙනවානං .”
” ජාන්වී.. ! ජාන්වී.. ! මට ඔයා කියන දේ තේරෙන්නෑ ජාන්වී.. හරස් පද තේරුම් ගන්න තරම් තත්වෙක මං මේ වෙලාවේ නෑ..”
අනෙක් පසින් ජාන්වී දිගු සුසුමක් හෙළන හඬ මනුහස්ට ඇසුණේය.
” මනූ… ! ඔයාගේ ස්ටාෆ් එකේ කට්ටියක් ඔයා එන්න කලින් නෙත්‍යාට සෑහෙන්න ඉන්සල්ට් කරලා තියනවා. එදා එයා ඔයා එක්ක අනුරාධපුරේ එකට එක රූම් එකක හිටියා කියලා කිසිම හිතක් පපුවක් නැති ගාණට නෙත්‍යාව ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගාණට දාලා කතා කරලා තියනවා මනූ… Yes Manu… They have insulted a lot to Nethya.. She doesn’t deserve them Manu. U know her…”.
මනුහස්ගේ දෑස කෝපයෙන් වෙව්ලුවේය. උගුර , ගෙල හරහා ඉව වහා ගිය කෝපයෙන් නළියන නහර සමඟ දෙකම්මුල් වෙව්ලී ගියේය.
” ක… කවුද එහෙම කතා කරලා තියෙන්නේ ? මං මෙතනින් යද්දිම ඒ ගිය හු@#& පුතාලට කියලා යැව්වේ කාට කොහොම සැලකුවත් නෙත්‍යාට වචනෙකින්වත් හානියක් වෙන්න බෑ කියලා. මොකාද ඒ වැඩේ කරලා තියෙන්නේ ? ජාන්වී.. කවුද නෙත්‍යාට එහෙම කතා කරලා තියෙන්නේ ?”
මනුහස් නිල කාමරය දෙදරා යන තරමට කෑ ගැසුවේය.
” සර්… !”
සචින්ද්‍රගේ දෑස දුටු මනුහස් දුරකතනය පසෙකට දමා ඔහු වෙත හැරුණේය.
” සචින්ද්‍ර …! කවුද අර බලු වැඩේ කරලා තියෙන්නේ ?”
” මිස් ෂියෝනා..”
සචින්ද්‍රට තවත් සැඟවිය යුතු දෙයක් ඉතිරි වී නොතිබුණේය . ෂියෝනා කළ වරද කුඩා එකක් නොවන්නේය. දැන දැනම මෙවන් දෙයක් කළ ඈ දඬුවමක් ලැබියම යුතුය.
මනුහස් වේගයෙන් නිල කාමරයේ දොර විවර කරමින් පිටතට අඩි තැබුවේය. සචින්ද්‍රද වහා ඔහු පසු පසින් වැටී ෂියෝනාගේ නිල කාමරය සොයා ගියේය.
කිසිදු වග විභාගයකින් තොරව ෂියෝනාගේ නිල කාමරයේ දොර වේගයෙන් විවර කළ මනුහස් එයට ඇතුළු වුණේය. පමණට වඩා තල්ලුවක් ලැබූ වීදුරු දොර වේගයෙන් තල්ලු වී ගොස් ” දඩාස් ” හඬක් නඟමින් බිත්තියේ හැප්පුණේය. තම මේසය මත හිස තබා උන් ෂියෝනා එක් වරම තිගැස්සී හිස ඔසවා බැලූ අතර ඒ වන විටත් ඇගේ දෑස කඳුළින් පිරී තිබුණේය. හැඩි දැඩි තරුණයා කෝපාවිශ්ටවී සිටින්නේ කුමන කරුණක් හේතුවෙන්ද වග ඉවෙන් මෙන් තේරුම් ගත් ෂියෝනා හිඳ සිටි පුටුවෙන් නැඟිට ඔහු දෙස කඳුළු පිරි දෑසින් බලා සිටියාය.
” මනූ..!”
” ෂියා.. ! අද උදේ මොකද්ද උනේ ?”
” මො.. මොකද්ද මනූ.. ? “
” බබෙක් වෙන්න හදන්නෙපා ෂියා. මල්දෙණිය ගෙදරදි තමුසේ මොනවද නෙත්‍යාට කිව්වේ ?”
ෂියෝනා වහා දෑස බිමට බර කර ගෙන අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලාය.
” මනූ..! මං දැනන් හිටියේ නෑ ඒ ඔයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා . ඔයා සමහර දවස්වලට සැරින් සැරේට කියන්නේ එයා ගැන කියලා මං දැනන් හිටියේ නෑ මනූ…”
මනුහස් වහා ඉදිරියට පැන ෂියෝනා වෙත පහර දීමට අතක් එසෙව්වද ඔහු විසින්ම එය පාලනය කර ගත්තේය.
” සර්.. !”
පොලිස් නිලඇඳුමට යටින් කෝපයෙන් නහර ඉල්ප්පී පෙනෙන දකුණතේ දබරැඟිල්ල ෂියෝනා වෙත දිගු කළ මනුහස් තවත් මඳක් ඇය ඉදිරියට අඩියක් තැබුවේය.
” එයා මගෙ කවුරු වෙලා හිටියත් නැතත් ඒ මේ කිසි දේකට සම්බන්ධ නැති අහිංසක කෙල්ලෙක් ෂියා.. ජීවිතේ විඳින්න පුලුවන් දුක් ඔක්කොම විඳපු කෙල්ලෙක්. අවුරුදු ගාණකින් මූණට හිනාවක් ඇවිත් නැති කෙල්ලෙක්. තමන්ගෙ එවුන් නිසා තමන්වම බිල්ලට දීගෙන කන්න පුලුවන් හැම කට්ටක්ම කාපු කෙල්ලෙක්. එහෙම කෙල්ලෙක්ට අරම කියන්න තමුසෙට කොහෙන් ආපු හයියක්ද ? තමුසේ මොනවද ඒ කෙල්ල ගැන දන්නේ ? “
” අනේ.. මනූ ඔහොම කතා කරන්නෙපා ..”
ෂියෝනාගේ දෑසින් කඳුළු බිඳු පේළියක් ගලා ගිය අතර ඈ මනුහස් ඉදිරියේ පිණ්සෙණ්ඩු වූවාය .
” මෙහෙම නැත්තන් මං තමුසෙට කොහොමද කතා කරන්න ඕනේ ? මල්දෙණිය ගෙදට්ට යන්න කලින්ම මං තමුසෙට කිව්වා නෙත්‍යාට වචනෙකින්වත් හානියක් වෙන්න බෑ කියලා. තමුසෙ රාජකාරි මට්ටමින්වත් මං කියන දේ අහලා නෑ..”
” නෑ.. නෑ.. මනූ .. එහෙම නෙමෙයි..”
” එහෙම නෙමෙයි නං කොහොමද ඕයි ? එදා රෑ ඒ කෙල්ල මාත් එක්ක එක රූම් එකක තමා හිටියේ. එකම ඇඳේ තමා නිදා ගත්තේ. අවුරුදු ගාණකට පස්සේ පැය ගාණක් තිස්සේ මගේ ඉස්සරහා අඬලා අඬලා හෙම්බත් වෙලා මගේ අතකින් විතරක් අල්ලගෙන නිදා ගත්තේ . අඩුම හුස්මක්වත් වැදෙන්න ලඟට ආවේ නෑ. එහෙම කෙල්ලටද ඕයි තමුසේ අර විදිහට කැත කතාවක් කිව්වේ ? “
“මනූ.. ! මනූ.. මේ අහන්න. ! ”
ෂියෝනා වේගයෙන් කඳුළු බේරී තිබූ දෙකම්මුල් පිස දැමුවාය.
” නෑ.. මට තමුසේ කියන කිසිම දෙයක් අහන්න ඕන්නෑ. මට තමුසෙම අප්පිරියයි. මට තමුසෙව දැක්කත් අප්පිරියයි. තමුසෙ ඔය වගේ කතාවක් නෙත්‍යාට කිව්වේ ඇයි කියන්න මං දන්නවා. තමුසෙට තියෙන්නේ ඉරිසියාව. පැහැදිලිවම ඉරිසියාව. “
” ඔව්.. ඔව්.. ඔව්… මට ඉරිසියයි තමා. මං දන්නවා ඔයා ඕන තරං කෙල්ලො එක්ක ඉඳලා තියනවා කියලා. ඒත් මනූ ඔයා එයා ගාවදි හරි වෙනස්. මට ඒක දැනුණා. වෙන කාට නොදැනුණත් මට ඒක දැනුණා. මොකද මං ඔයාට ආදරේ කරා දෙයියනේ.. ! “
ෂියෝනා කෑගසමින් හඬන්නට වූ අතර මනුහස් ඈ දෙස බලා කට කොනකින් සිනහවක් නැඟුවේය.
” ආදරේ..? කෙහෙල්මල… තමුසේ මොනාද ඕයි ආදරේ ගැන දන්නේ ? ආදරේ ගැන අහගන්නවා ගිහින් අර කෙල්ලගෙන්. ඒකිගෙන් අහනවා. ඒකි කියලා දෙයි කාටත් වඩා හොඳට. හැබැයි තමුසේ මේ දැන් ඉන්නේ මට ඒ කෙල්ලව නැති කරලා.. “
” ම.. මනූ.. මොකද්ද ඒ කතාව.. ? ඇයි මොකද්ද වෙලා තියෙන්නේ ?”
ෂියෝනා පුදුමයෙන් මනුහස් දෙස බැලුවද ඔහු කෝපයෙන් ඉවත බලා ගත්තේය .
” මැඩම් නෙත්‍යා , ගිය තැනක් නෑ. ෆෝන් එකත් ඕෆ්.. “
සචින්ද්‍ර ඉවත බලමින් ෂියෝනාගේ පැනයට පිළිතුරු ලබා දුන්නේය .
එවර මොහොතකට කුතුහලයෙන් පිරී ගොස් තිබූ ෂියෝනාගේ දෑසේ බියක් තැවරුණේය . ඈ හොඳින්ම තමා ඉදිරියේ සිටිනා දේහදාරියාගේ කෝපයේ දිග පළල දැන සිටියාය. ඔහු වියරු වූ විට හැසිරෙන ආකාරය දැන සිටියාය . ෂියෝනාගේ දෙකකුල් තුළින් මතු වූ හිරි වැටීමක් සිරුර පුරා දුව ගොස් හිස් මුදුනින් පිට වන ආකාරයක් ක්ෂ්ණිකව ඇයට දැනුණාය.
” මනූ.. මනූ.. මං එහෙම එකක් දැනගෙන හිටියේ නෑ.. “
” තමුසෙලා වගේ කුහක ගෑනුන්ට ඒ වගේ කුනුහරප ඕන ඕන විදිහට කියන්න පුලුවන් උනාට ඒවා අහන් ඉන්න සාමාන්‍ය කෙල්ලෙක්ට බෑ. එකක් මතක් තියාගන්නවා ෂියා… “
මනුහස් ෂියෝනාගේ මුව අද්දරටම ඔහුගේ දබරැඟිල්ල දිගු කළේය.
” මං මනුහස් විජේවර්ධන… , නෙත්‍යා කොයි ලෝකේ හිටියත් මං එයාව හොයාගන්නවා. හැබැයි ආයේ කවදාවත්, කවදාවත් තමුසෙගේ ඔය පාහර මූණ අරගෙන මගේ ඉස්සරහට එන්නෙපා. මට තමුසෙව දකිද්දි විතරක් නෙමෙයි මතක් වෙද්දිත් අප්පිරියයි. “
” අනේ… මනූ…!”
ෂියෝනා නැවත වතාවක් හඬා වැළපුණද ඒ කිසිවක් මායිම් නොකළ මනුහස් නැවතත් වේගයෙන් දොර විවර කරමින් පිටතට අඩි තැබුවේය.


